අනියම් සබඳතා නිසා වටිනා ජීවිත අකාලයේ දිනෙන් දින විනාශ වී යන ආකාරය සමාජයේ අපට නිරතුරුවම අසන්නට දක්නට ලැබේ. කොස්ලන්ද අලුත්වෙල හාමුදුරුකන්ද රක්ෂිතයෙන් ද එවැනි සිද්ධියක් වාර්තා වූයේ මේ නොබෝදාය. ඒ තණමල්විල සහ කොස්ලන්ද පොලිස් නිලධරයන් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
තිස්පස් හැවිරිදි වඩුගේ රොෂාන් දිමුතු තණමල්විල පොලිස් වසමේ හම්බේගමුව, අරබෙකෙම ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි. ඌව කුඩාඔය හම්බේගමුව, සූරියගොඩආර ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි 43 හැවිරිදි තිදරු මවකි. පිළිකා රෝගයට ගොදුරු වී මීට වසර අටකට පමණ ඉහතදී ඇගේ සැමියා මිය ගියේය.
එතැන් පටන් දරු තිදෙනා රැක බලාගෙන පවුල් ජීවිතය ගත කරමින් සිටියදී සැමියා ජීවතුන් අතර සිටි කාලයේ පටන් ශ්‍රියානිගේ වත්තේ සහ වතුපිටිවල මෙන්ම කුඹුරු වැඩපළ කුලී වැඩ කිරීමට නිවසට ආ දිමුතු සමඟ ශ්‍රියානි අනියම් සබඳතාවක් පවත්වා ගන්නෙ සැමියාගේ වියෝවෙන් පසුවය.
ඔහු සමඟ අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය ශ්‍රියානිගේ ජීවිතය යළි දිමුතු නිසා ආලෝකවත් වන්නටත් ඇත. සිය සැමියාගෙන් නොලැබුණු ආදරයක් ඇයට දිමුතුගෙන් ලැබිණි. ඒ ආදරය නිසාම ශ්‍රියානි දිමුතුට රුපියල් ලක්ෂ 28ක් ගෙවා කැබ් රථයක් මිලදීගෙන දුන්නේ කිසියම් වෙළෙඳ ව්‍යාපාරයක් ද කරගෙන සතුටින් පවුල් ජීවිතය ගෙනයාම සඳහාය.
දිමුතු ද ශ්‍රියානිගේ ආදරෙන් මුසපත් වී සිටියේය. ඔහුට ශ්‍රියානි නොමැතිව එක පැයක් හෝ ගත කිරීමට නොහැකි වන තරමට දෙදෙනාගේ ආදරය විසිරී පැතිරී තිබිණි. මෙම අනියම් සබඳතාව ඔහුගේ මවට ද සැලවී තිබුණත් එය ඔවුනට බාධාවක් නොවීය.
දෙදෙනාගේ අනියම් ප්‍රේමයට වසර පහක පමණ කාලයක් ගත විය. තරුණ දිමුතුට ශ්‍රියානිගේ ආදරය නිතරම පාහේ අවශ්‍ය වුවද ශ්‍රියානිට එය පසුව මහත් කරදරයක් විය. මේ නිසා දෙදෙනා අතර තරමක විරසකයක් ද ඇති විය.
මේ අතරතුරේ ශ්‍රියානි සිය දරුවන් බලහරුව විදුහලට රැගෙන යන අතරතුරේදී ‘බලහරුවේ සංජීව’ නමැති පුද්ගලයා මුණගැසිණි. සංජීව ද සිය දරුවා එම පාසලට රැගෙන ආවේය. ඔහු ද විවාහක 46 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ බිරිය නොමැත. දෙදෙනා නිරතුරුවම මෙසේ මුණගැසී කතාබස් කරන අතරේ ශ්‍රියානි, සංජීව අතරේ අලුතින් අනියම් ප්‍රේම සබඳතාවක් ගොඩනැඟිණි.
ශ්‍රියානි සිය ජීවිතයේ සියලුම විස්තර සංජීවට පැවැසුවාය. සංජීවගේ ආදරය ශ්‍රියානිගේ හිතට, පපුවට තදින්ම ඒ වන විටත් කා වැදී තිබුණි.
“සංජීව අයියේ මට ‘අර මනුස්සයගෙන්’ හරිම කරදරයි. නිතරම දරුවන් ඉස්සරහා මගේ ඇඟේ ගෑවිලා ආදරේ ඉල්ලනවා. මේ නිසා මම හරියට අසරණ වෙලා ඉන්නෙ.” යැයි ශ්‍රියානි සංජීවගේ තුරුලේ උණුසුම විඳිමින් සිටින අතරතුරේ පැවැසුවාය.
“හරි ඉතින්… මම මොනවද කරන්න ඕන…?” සංජීව පෙරළා ශ්‍රියානිගෙන් විමසුවේය.
ඒ අනුව ශ්‍රියානි, සංජීවට කීවේ “ඔයා දිමුතු එක්ක හොඳ සමගියෙන් හොඳ යාළුවො වගේ ඉන්න. ඊට පස්සෙ කොස්ලන්ද අලුත්වෙල හාමුදුරුකන්ද රක්ෂිතයේ ගංජා වගාවක් පටන්ගන්න යනවා කියලා. ඒකට ඉඩම ශුද්ධ පවිත්‍ර කරගන්න ඕනි කියලා දිමුතුව බයික් එකින් අරගෙන ගිහින් කැලේ දාලා ආපහු එයාට කවදාවත් මෙහාට නොඑන්න දෙයක් කරන්න” යැයි කීවාය.
“ඊට පස්සේ මට කරදරයක් නැතිව ඔයාගෙ දරුවෝ ටිකත් බලාගෙන අපි දෙන්නටම සතුටින් ඉන්න පුළුවන්.” යැයිද ශ්‍රියානි සංජීවට පැවැසුවාය.
කාලය ක්‍රමයෙන් ගතවී යමින් තිබියදී ඉකුත් 12 වන දින සංජීව ශ්‍රියානිගේ සැලසුම ක්‍රියාත්මක කැරිණි.
ඒ අනුව සංජීව දිමුතුව මෝටර් බයිසිකලයේ නංවාගෙන කොස්ලන්ද, අලුත්වෙල, හාමුදුරුකන්ද රක්ෂිතයට ගියේය. පසුව දෙදෙනා රක්ෂිතයේ ගංජා වගාවක් කිරීමට අවශ්‍ය පරිදි ඉඩම ශුද්ධ පවිත්‍ර කර කානු කැපූහ.
මේ අතරතුරේ දිමුතු වෙහෙස මහන්සිය නිවා ගැනීමට අසල දිය කඩිත්තකට ගොස් අතපය සෝදමින් සිටියදී පසුපසින් කැත්තක් අතැතිව ගිය සංජීව එක්වරම දිමුතුගේ ගෙල හරහා කැති පහර එල්ල කළේය. කිසිත් කරකියා ගත නොහැකිවූ දිමුතුගේ ගෙල එම කැති පහරත් සමඟ ලේ විදිමින් සිරුරෙන් වෙන්වී ගියේය. ඉන් නොනැවතුණු සංජීව දිමුතුගේ හිස රෙදි බෑගයක් තුළ දමා එම දිය පහර අසල වළක් හාරා වළ දැමීය.
සිය පුතු දින කීපයක් මුළුල්ලේ නිවසට නොපැමිණි බව පවසමින් දිමුතුගේ මව ආර්.ඒ. ඉන්ද්‍රාවතී තණමල්විල පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නෙ ඉකුත් 18 දින පෙරවරුවේය.
මෙම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එන්.පී. බණ්ඩාර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.
මවගේ පැමිණිල්ල අනුව දිමුතු ඌව කුඩාඔය සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ දැනට වසර කීපයක් මුළුල්ලේ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බව හෙළිවූ නිසා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර එම කාන්තාව පොලිසියට කැඳවා ප්‍රශ්න කෙළේය.
“අනේ සර් මම මොනවත් දන්නෙ නෑ. 12 උදේ කැබ් එක අරන් ඇවිත් ගෙදර මිදුලේ නැවැත්තුවා. ඊට පස්සෙ මම එයා දැක්කෙ නෑ.” යැයි ශ්‍රියානි කීවාය. පොලිස් පරීක්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරීන් ශ්‍රියානිගේ නිවසේ තිබූ කැබ් රථයක් සමඟ යතුරුපැදියක් පොලිසිය භාරයට ගත්හ.
පසුව පොලිස් නිලධාරීන් ශ්‍රියානිගේ දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූ අතර එහිදී ඇය මෑතක සිට කොස්ලන්ද බලහරුව, උස්වැල්ල ප්‍රදේශයේ 46 හැවිරිදි දෙදරු පියෙකු සමඟ තවත් අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවට තොරතුරු පොලිසිය හෙළි කර ගත්තේය. පොලිස් පරීක්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායම එහි ගොස් සංජීව නැමැති එම පුද්ගලයා පොලිසියට රැගෙනවිත් දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සැකකාර සංජීව පොලිස් නිලධාරීන් හමුවේ හෙළි කරන්නේ පොලිස් නිලධරයන් විස්මයට පත් කරමිනි.
දින 11ක් පමණ ගතවී අබිරහස් ලෙස වැළලී යන්නට ගිය මනුෂ්‍ය ඝාතනයක් එලෙස හෙළි කර ගන්නට තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එන්.පී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් එලෙස සමත් විය. ඔවුන් කොස්ලන්ද පොලිස් වසමට අයත් අලුත්වෙල හාමුදුරුකන්ද වන අලි ගැවසෙන රක්ෂිතයට කිලෝමීටර් හයක් පමණ දුර දුෂ්කර මාර්ගයක ගොස් කැලෑවට ඇතුළු විය. ඒ යන අතරමඟදී සුනඛයකු පොලිස් පරීක්ෂක බණ්ඩාර පසුපසින් දිව එන්නට විය.
පසුව එම සුනඛයා ඉදිරියෙන් ගමන් කරමින් පොලිස් පරීක්ෂක බණ්ඩාරට පාර පෙන්වන්නට වූයේ පොලිස් නිලධාරීන් ද මවිතයට පත් කරමිනි. රක්ෂිතයේ කැලෑව තුළට ගිය සුනඛයා දිය පහරක් අසල නැවතී පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ මුහුණ දෙස බැලුවේ තරමක ශෝකයෙනි. සැකකාර සංජීව ද අන්දුන් කුන්දුන් වී එදෙස බලා සිටියේය. මීට දින 11ට පමණ ඉහතදී කැත්තකින් ගෙල කපා ඝාතනය කළ දිමුතුගේ හිසසුන් සිරුර දියපහර අසල වැටී බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබෙනු පොලිස් නිලධාරීන් දකින්නේ ඒ මොහොතේදීය.
“සර්… මම මෙතන තමයි දිමුතුගේ ඔළුව වළ දැම්මේ.” යැයි සංජීව කී නිසා වළ හාරා බැලීමේදී රෙදි බෑගයක් තුළ දමා තිබූ දිමුතුගේ හිස ද පොලිසිය සොයා ගත්තේය. ඝාතනයට යොදා ගත් උදැල්ලක්, කැත්තක් රක්ෂිතයේ සඟවා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය සොයුගනු ලැබිණි.
මෙම මනුෂ්‍ය ඝාතනය කොස්ලන්ද පොලිස් වසමේ සිදුව ඇති හෙයින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරු කොස්ලන්ද පොලිසියට භාර දෙන ලදි. කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ ඉන් අනතුරුවය.
බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් පාරින්ද වීරසිංහ මේ ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර දිමුතුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට යවා එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කොස්ලන්ද පොලිසියට නියෝග කෙළේය.
බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. එම්. කේ. බී. විජේතුංග මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර දිමුතුගේ ඝාතනය තියුණු ආයුධයකින් ගෙල කපා දැමීමෙන් සිදූවූ ඝාතනයක් බවට තීරණය කළේය.
කොස්ලන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අනියම් යුවළ රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් පාරින්ද වීරසිංහ නියම කෙළේය.
බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන සහ පොලිස් අධිකාරී ඩී.බී.එච්. කළණසිරිගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි විජේසිරිගේ අධීක්ෂණයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ.
සී. ගමගේ - සොරණාතොට සමූහ