Home » මරන්න ගෙනගිය කිරිඅම්මලා දැන් සතුටින් පොලිසියේ

මරන්න ගෙනගිය කිරිඅම්මලා දැන් සතුටින් පොලිසියේ

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

– සූරියවැව බෝපැළේ හන්දියේදී වෙඩි තබා හඹා ගොස් ඇල්ලූ ලොරියේ ගවයින් 17ක්
– මාමයි බෑනයි එකතු වී කළ හොර හරක් ජාවාරමේ තොරතුරු එළියට

හම්බන්තොට මහ ලේවායේ මිදෙන ලුණුත්, නිවසක් පාසා මිදෙන මීකිරිත් රුහුණේ පාරම්පරික කර්මාන්ත දෙකකි. මෙම කර්මාන්ත දෙක අතරින් රුහුණේ මීකිරි කර්මාන්තයට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. දකුණට සංචාරයකට ආ අයෙක් රුහුණේ කිරි හට්ටියක රස බැලීම සාමාන්‍ය දෙයකි. එය එසේ වුවත් රුහුණේ මීකිරි කර්මාන්තය දවසින් දවස වළපල්ලට ඇදෙමින් ඇත්තේ හොර හරක් ජාවාරම නිසාය. රුහුණේ මීකිරි සඳහා වැඩි ඉල්ලුමක් ඇත්තේ ද නිදහසේ තණකොළ උළාකමින් වැඩෙන ගව සම්පතට පින්සිදු වන්නටය. එහෙත් කාලාන්තරයක සිට නිදහසේ තණකොළ උළාකමින් සිටින රුහුණේ ගව පට්ටි හොර හරක් ජාවාරමුන්ගේ ඉලක්ක බවට පත්ව ඇත්තේ ගව හිමියන් ද දැඩි අසරණ තත්ත්වයකට ඇද දමමිනි. මෙම හොර හරක් ජාවාරම සඳහා ඒ ඒ ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක කරවන ඇතැම් නිලධාරීනේගේ සහාය ද ලැබෙන බවට ගව හිමියෝ චෝදනා කරති.

මෙලෙස දිනපතා දකුණේ නන්දෙසින් වාර්තා වන හොර හරක් ජාවාරම් අතරින් ආසන්නතම සිදුවීම පසුගිය දින වාර්තා වූයේ සූරියවැව පොලිස් බලප්‍රදේශයෙනි. එම හොර හරක් ජාවාරමේ ප්‍රධානින් දෙදෙනා ‘මාමා සහ බෑනා’ වන අතර ඔවුන් දෙදෙනා වසර 40කට වැඩි කාලයක් තිස්සේ රැකියාව ලෙස සිදුකර ඇත්තේ ද හොර හරක් පැටවීමේ ජාවාරම බවට ද තොරතුරු අනාවරණය වීම පුදුමය දනවන්නකි.

වේලාව අලුයම දෙකත් පසුවී තිබුණි. සූරියවැව බෝපැළේ හන්දිය සහ අවට පදිංචිකරුවෝ තද නින්දේ පසු වූහ. එහෙත් ගත වූයේ නිමේෂයකි. නිදා සිටි සියලු දෙනා තිගැස්සී බයභිරාන්ත වී ගියේ වෙඩි ශබ්දයක් හේතුවෙනි. වෙඩි ශබ්දය සමඟ ඇතැමෙක් දොර යාන්තමට විවර කර එබී බැලුවේ සිදු වූයේ කුමක් ද යන්නය. තවෙකෙක් දොරගුළු තවත් තද කරගත්තේ කුමක් හෝ විපත්තියක් සිදු වෙමින් පවතින බව දැනුණු නිසාය. බයභිරාන්තව සිටි ප්‍රදේශවාසීන් සියලු දෙනා සිදුව ඇති කාරණය පිළිබදව දැනගන්නේ පසුදා පෙරවරුවේය.

බුත්තල, ගෝනගංආර ප්‍රදේශයේ සිට ගවයින් 17ක් පටවාගත් ලොරියක් ලුණුගම්වෙහෙර නගරය ද පසුකරමින් මත්තල දෙසට ඇදී ආවේ පවනට බඳු වේගයෙනි. ඒ වන විට වේලාව අලුයම 1.30ට පමණය. ලුණුගම්වෙහෙර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ද මාර්ග බාධක යොදා ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි අතර, පවනට බඳු වේගයෙන් ඉදිරියට ඇදී ආ ලොරිය දුටු පොලිස් නිලධාරීන් ලොරියට නවතන ලෙස සංඥා කරන ලදි. පොලිස් අණ නොතැකූ ලොරිය රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ද පසුකර ඉදිරියටම ධාවනය විය. පොලිස් නිලධාරීන් ද ජීප් රථය පණ ගන්වා ලොරිය පසුපස හඹා ගියේ පවනට බඳු වේගයෙනි. පොලිසියේ නිලධාරීන්ට ලබා දී ඇති ජීප් රථයට තමන් පසුපස හඹාවිත් අල්ලා ගැනීමට නොහැකි බව දන්නා හරක් ලොරියේ රියැදුරු හිතේ හැටියට මත්තල මාර්ගය ඔස්සේ පැමිණ සූරියවැව දෙසට ලොරිය හැර වූයේ පසුපසින් හඹා එන පොලිස් නිලධාරීන්ට මඟ වරද්දන්නටය.

ලුණුගම්වෙහෙර පොලිස් ජීප් රථය ද හරක් ලොරිය පසුපස හඹා ආ නමුත් ලොරිය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මේ පිළිබඳව සූරියවැව පොලිස් ස්ථානයට දැනුම් දුන්නේය. ඒ වන විට වේලාව ද අලුයම 02ට ආසන්නය. ලුණුගම්වෙහෙර පොලිසියෙන් ලද මෙම පණිවිඩයත් සමඟ සූරියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම වහාම ක්‍රියාත්මක විය. ඒ අනුව පොලිස් නිලධාරීන් සූරියවැව බෝපැළේ හන්දිය අසලින් රථවාහන පරික්ෂා කිරීමේ මාර්ග බාධකයක් යෙදවීය. වේලාව අලුයම 2.30ට පමණය. ලොරියක් අධික වේගයෙන් සූරියවැව දෙසට ධාවනය වෙමින් තිබුණි. මාර්ග බාධකයේ සිටි සූරියවැව පොලිස් නිලධාරීන් ලොරිය නවතන ලෙසට අණ කළත් ලොරියේ රියැදුරු එම විධානය තඹයකට ගණන් නොගෙන ආ වේගයෙන්ම ලොරි රථය සූරියවැව බෝපැළේ හන්දියෙන් කිරිඉබ්බන්ආර දෙසට හරවා ධාවනය කෙළේය. මාර්ග බාධකයේ සිටි සූරියවැව පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ලොරියේ ඉදිරිපස වම් රෝදයට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. පොලිස් වෙඩි ප්‍රහාරයෙන් වාහනයේ ඉදිරි රෝදය පුපුරා ගිය නමුත් ලොරිය නොනවත්වා ධාවනය කෙරුණි. එහිදී සූරියවැව පොලිස් නිලධාරීන් වෙඩි වැදුණු ලොරිය පසුපසින් තවත් මීටර් 100ක් පමණ දුරට හඹා ගොස් ලොරිය නවතා ගත්තේය. පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ ලොරියේ ඉදිරිපස අසුනේ සිටි ‘ගෝලයා’ පැන ගියේය. පොලිසිය හඹා එනු දුටු ලොරියේ රියැදුරු ද ලොරිය නවතා පලාගිය නමුත් පොලිස් නිලධාරීන් විසින් ඔහු හඹාගොස් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අංක 44/08, සමඩ් මාවත, මස්වල, බේරුවල ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. ලොරිය පරීක්ෂා කිරීමේදී එහි නීති විරෝධී අයුරින් රැගෙන යමින් සිටි ගවයන් 17දෙනෙකු සොයා ගැනිණි. ඒ අනුව සැකකරු සහ ලොරිය සූරියවැව පොලිස් ස්ථානයට රැගෙනවිත් සිදුකළ පරීක්ෂාවේදී එහි එළගවයින් 17 දෙනෙකු ඉතා අමානුෂික ලෙස පටවා තිබූ ආකාරය දැකගත හැකි විය. ඒ වන විටත් ගවයින් දෙදෙනෙකු මිය ගොස් සිටි අතර ගවයින් දෙදෙනෙකු මරණාසන්නව සිටියේය.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ මෙම සැකකරු සිය බෑනා සමඟ අවුරුදු ගණනාවක සිට දකුණේ ගව ගාල්වල හා කැලයේ තණකොළ උලාකමින් සිටින ගවයින් හොර රහසේ මෙලෙස පටවාගෙන මස් කඩවලට රැගෙන යන බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 15 සිටම මෙම හොර හරක් පැටවීමේ ජාවාරම සිදුකර ඇති බවත්, මේ වන විට සිය බෑනා සමඟ එකතු වී මෙම ජාවාරම කරගෙන යන බවත් මූලික විමර්ශනවලදී හෙළි විය.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් කඳානේගෙදර, කුලියාපිටිය, ඇරෑපොළ, නාරංවල, වීරඹුගෙදර සහ තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශවලින් ද මීට පෙර මෙලෙස හොර හරක් පැටවීම සහ ප්‍රවාහනය කිරීමේ ජාවාමේ නිරතව සිටි බවයි. සැකකරු වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 406ක්ද පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ. මේ වන විට තමන්ගේ බෑනා මේ ජාවාරම මෙහෙයවන බව සැකකරු පොලිසියට පවසා ඇත. ඒ අනුව සැකකරුගේ බෑනා මුලින් කරන්නේ ගවයින් පිළිබඳ තොරතුරු ලැබුණු පසු එම ස්ථානයට පැමිණ ගවයින් බලා අදාළ තැරැව්කරුවන්ට මුදල් ලබාදී අනතුරුව ලොරි එහි ගෙන්වා ගවයින් පටවා යවන බවයි. පලාගිය සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගැනීමට පොලිසිය කටයුතු කරන ලදි. ඒ අනුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දකුණේ ක්‍රියාත්මක වූ හොර හරක් ජාවාරමකට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. සැකකරු අනතුරුව නැවත හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්තගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරීන් සහ ලුණුගම්වෙහර පොලිසියේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.

නුවන් ජයසේකර - සූරියවැව විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division