Home » අහංගම අඹුසැමියන් ඝාතනයට ඇල්ලූ සැකකරුවෙක් පොලිසියට කී කතාව

අහංගම අඹුසැමියන් ඝාතනයට ඇල්ලූ සැකකරුවෙක් පොලිසියට කී කතාව

by thanushika
December 7, 2024 12:30 am 0 comment
අමිල මලවිසූරිය

පසුගිය ඔක්තෝබර් 4 දා අලුයම අහංගම පොලිස් වසමේදී සිදුවූ ද්විත්ව මිනිස් ඝාතනයට මේ වන විට මාස දෙකකටත් අධික කාලයක් ගත වී තිබේ. එම ද්විත්ව ඝාතනයට අනුබල දුන් තැනැත්තා හෙවත් කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනුණත් ඝාතන ද්විත්වය සිදුකළ බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වූ සැකකරුවන් දෙදෙනා ගෙන් කෙනෙකු අත්අඩංගුවට ගැනුණ ද අනෙකා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් සහ අහංගම පොලිසියේ නිලධාරින් එක්ව ඉකුත් 3 වැනිදා ගාල්ල, කොටුව ප්‍ර දේශයේදී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත්තේ 41 හැවිරිදි ප්‍රසන්න නමැති සැකකරුය. අහංගම වැල්හේන්ගොඩ නොම්මර 221/2 නි‍ෙවසේ පදිංචිව සිටි 68 හැවිරිදි ප්‍රේමතිලක ජයසිංහ සහ ඔහුගේ බිරිය වන 63 හැවිරිදි ඇල්ගේවත්තගේ කමනී වීරතුංග ඔක්තෝබර් 4 දා අලුයම සිය නිවෙසේදීම ඝාතනය කර තිබුණේ කපා-කොටා ඉතාම සාහසික ලෙසය.

පොලිස් විමර්ශනයෙන් අනාවරණය වී තිබුණේ එම සාහසික ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මොහොට්ටි මල්වත්තගේ සුසිල් හෙවත් බටු සහ මැතිව් ප්‍රසන්න අනුරුද්ධ කුමාර බවය.

සුසිල් 46 හැවිරිදිය. විවාහකයකු වන ඔහු මාගාල්ල, ගංගාරාම පාරේ පදිංචිකරුවෙකි. මාළු බෝට්ටුවල ද හිමිකාරයකුව සිටි සුසිල් පසුගිය කාලයේ සිය ව්‍යාපාර බිඳ වැටීම නිසා බොහෝ දුෂ්කරතා මත ජීවත්වූ අයෙකි.

අනුරුද්ධ 41 හැවිරිදි විවාහකයෙකි. පෙදරේරු රැකියාවේ නියුතුව සිටි අනුරුද්ධ ගාල්ල, උණවටුන, මැටරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඔස්සේ එම දෙදෙනාගේ ඡායාරූප ද මාධ්‍යයට නිකුත්කර තිබිණි. සැකකරුවන් දෙදෙනාට එම ද්විත්ව ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන් තැනැත්තා ඉකුත් ඔක්තෝබර් 13 දා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඔහු කලහේ ලොකුගේ ප්‍රියන්ත හෙවත් ටෝනිය. 50 හැවිරිදි ටෝනි ගාල්ල, මාගාල්ල, ගංගාරාම පාරේ පදිංචිකරුවෙකි. ඔහු සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරවල නිරත වන්නෙකි.

ටෝනිගෙන් ලද කොන්ත්‍රාත්තුවක් මත ඝාතන සිදුකරන ලද බවට සැක සුසිල් සහ ප්‍රසන්න දෙදෙනා ඝාතනයෙන් පසු පලා ගොස් ඇත්තේ ඉතාම සූක්ෂ්මව බවට තොරතුරු සොයාගත් පොලිසිය ඔවුන් දෙදෙනා පලාගොස් ඇති ආකාරය පිළිබඳවද වැදගත් තොරතුරු රැසක් සොයා ගත්තේය. ප්‍රේමතිලක සහ කමනි යුවළ සිය එකම දියණිය සහ ඇගේ සැමියා සමඟ ඝාතන සිදුවූ නි‍ෙවසේ ජීවත් වූහ. එම යුවළ ඉකුත් 4 දා ඝාතනය කර තිබුණේ දියණිය ඇගේ සැමියාගේ මහගෙදර නි‍ෙවස පිහිටි කඩුවෙල ගොස් සිටියදීය. සිය ඥාතියකු විසින් එම යුවළ ඝාතනය ගැන මුලින්ම දැනගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් ද එක්වී අනතුරුව අහංගම පොලිසිය දැනුම්වත් කෙරිණි.

අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීරගේ මෙහෙයවීමෙන් මූලික විමර්ශන ඇරැඹෙද්දී ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්නගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එස්.එල්. නාරංගොඩගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක යොහාන් මධුෂංක ඇතුළු කණ්ඩායම ද විමර්ශනවලට එක් වූහ. පොලිස් පරීක්ෂක යොහාන් මධුෂංක ඇතුළු කණ්ඩායම විමර්ශන සිදු කරමින් ද්විත්ව ඝාතනය සිදුවූ දින අවට සීසීටීවී කැමරා පරීක්ෂාවේදී ඝාතනය සිදුවූ නි‍ෙවසට යාබද නි‍ෙවසේ සීසීටීවී කැමරාවක එදින පෙරවරු 6.38ට පමණ යුවළ සිටි නි‍ෙවසින් දෙදෙනකු පිටව යන ආකාරය සටහන් වී තිබිණි. අනතුරුව ඒ ඔස්සේ අයි.පී. යොහාන් ඇතුළු කණ්ඩායම සිදුකරන ලද සෙසු සීසීටීවී කැමරා පරීක්ෂාවේදී එම පුද්ගලයන් දෙදෙනා මුහුදුබඩ දුම්රිය මාර්ගයට පිවිස දුම්රිය මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් පා ගමනින් ගොස් ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ත්‍රිරෝද රථයකින් ගාල්ල දෙවට හංදියට යන ආකාරය සොයා ගත්තේය.

පොලිස් නිලධාරින් ගාල්ල, දෙවට හංදියෙන් ත්‍රිරෝද රථයෙන් බැස ගිය දෙදෙනා ගැන පුළුල්ව විමර්ශන සිදු කරද්දී එම ස්ථානයේදී දෙදෙනාට යතුරුපැදියකින් පැමිණ මුදල් දුන් තැනැත්තෙක් ගැනත් විමර්ශනය කරන්නට විය.

ඔහු පැමිණි යතුරුපැදිය ඔස්සේ විමර්ශන සිදු කෙරිණි. එම යතුරුපැදියේ දර්ශන ගාල්ල – උඩුගම මාර්ගයේ සීසීටීවී කැමරාවක මනා සේ සටහන් වී තිබිණි. එම යතුරුපැදියේ අංකය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කෙරිණි. එහි ලියාපදිංචි නම සහිත පුද්ගලයා ද්විත්ව ඝාතනය සිදුවූ නි‍ෙවසට යාබද නි‍ෙවසේ අයෙක් බව හෙළි විය.

ඒ සමඟම යුවළ ඝාතනයට විමර්ශන නිලධාරින්ගේ සැකය එම යාබද නි‍ෙවසේ පදිංචි අයකු වෙත එල්ල විය. පොලිස් නිලධාරින් එසැණින් එම නිවෙස වෙත ගියේය. එහි සිටියේ වැඩිහිටි යුවළක් සමඟ ඔවුන් දෙදෙනාගේ දියණිය සහ පුතුය. ඊට අමතරව වයස අවුරුදු 22ක පමණ තරුණයෙක් එහි සිටියේය. ඔහු වැඩිහිටි යුවළගේ නි‍ෙවසේ සිටි දියණියගේ පුත්‍රයාය. ඒ පුතුගේ නම්-ගම් විමසද්දී පොලිස් නිලධාරින්ට අනාවරණය වූයේ අදාළ යතුරුපැදිය ඔහුගේ නමට තිබෙන බවයි. විමර්ශන නිලධාරින් එකී තරුණයාගෙන් එම යතුරුපැදිය ගැන ප්‍රශ්න කළේය.

එලෙස හෙළි වූ තොරතුරු ඔස්සේ සැණින් ක්‍රියාත්මක වූ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක යොහාන් මධුෂංක ඇතුළු කණ්ඩායම අදාළ යතුරුපැදිය පාවිච්චි කළ, එදා ත්‍රිරෝද රථයට ගෙවීමට මුදල් රැගෙන ආ පුද්ගලයා වන ටෝනි අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ඉකුත් ඔක්තෝබර් 13 දාය. ටෝනි එම යුවළ ඝාතනයට තමාගේ සබඳතාවක් නොමැති බව පවසමින් ත්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනාට මුදල් දුන්

බව පමණක් සැබෑවක් බව කීවේය. ඔහුගේ පාපෝච්චාරණයෙන් හෙළි වූයේ ත්‍රිරෝද රථයෙන් බැස මුදල් ඉල්ලූ දෙදෙනා සුසිල් සහ ප්‍රසන්න බවය. එලෙස නම්-ගම් හෙළි වීමත් සමඟ පොලිස් නිලධරයෝ ඔවුන් දෙදෙනා සොයා විමර්ශන ආරම්භ කළහ. එහෙත් සුසිල් සහ ප්‍රසන්න එම ද්විත්ව ඝාතනවලින් පසු මේ වන තෙක්ම ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිදරව් විය.

පොලිස් නිලධාරින්ගේ විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ ටෝනිගේ විවාහක බිරියගේ නි‍ෙවසේ අය සමඟ තිබෙන ඉඩම් ආරවුලක් හේතුවෙන් සුසිල් සහ ප්‍රසන්න, ප්‍රේමතිලක සහ කමනිගේ නි‍ෙවසට රිංගා ඇත්තේ ඔප්පුවක් සෙවීමට බවයි. අත්අඩංගුවට ගත් ප්‍රසන්න හෙළිකර තිබුණේ ටෝනි එම නිවස තමාගේ නැන්දම්මාගේ නිවස බවත් එම නිසා කිසිවකට බිය නොවී එම නිවසට ගොස් එහි තිබෙන ඔප්පුවක් රැගෙන එන ලෙස කී බවකි.

කෙසේ හෝ ටෝනි විසින් මෙකී ද්විත්ව ඝාතනය සිදු කිරීම සඳහා සුසිල්ට සහ ප්‍රසන්නට කොන්ත්‍රාත්තුව ලබා දීමට පෙර දී හබරාදුව, මීපේ පදිංචි 26 හැවිරිදි ටිරාන් හෙවත් ටික්කා නමැත්තෙකුට ද පිස්තෝලයක් ලබාදී රුපියල් කෝටියක මුදලක් දෙන බවට ද පොරොන්දු වී එම ද්විත්ව ඝාතනය සිදු කිරීමට ටෝනි සැලැසුම් කර සිටි බවද හෙළිවී ඇත. ඒ සඳහා ටිරාන්ට රුපියල් දසදහසක මුදලක් අත්තිකාරම් ලෙස සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද ටෝනි විසින් දී තිබිණි. එහෙත් ඔහු එම ඝාතන සිදු නොකොට ටෝනි රවටා තිබුණේ ටෝනි දුන් තුවක්කුවද නැවත ලබා නොදෙමිනි. ඉකුත් ඔක්තෝබර් 26 දා ටිරාන් එම පිස්තෝලය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ 70701 කොස්තාපල් සම්පත් සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් පසු සීඅයිඩී නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ එය හෙළි විය.

ටිරාන්ගෙන් එම ඝාතනය සිදු නොවූ නිසා ටෝනි විසින් සුසිල් සහ ප්‍රසන්නට කොන්ත්‍රාත්තුව දී ප්‍රේමතිලක සහ කමනි අඹුසැමියන් අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි සැල වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division