Home » පන්සල්වලට සුද්දෙ දාන මත්ලෝලී මරු ජෝඩුව

පන්සල්වලට සුද්දෙ දාන මත්ලෝලී මරු ජෝඩුව

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

– පෞද්ගලික බසයක රියැදුරෙකුත් අත්අඩංගුවට
– පැල්මඩුල්ලේ පන්සලක් බිඳ රෑ ගමන් බසයකින් පැන යද්දී ඇහැලියගොඩදී දෙදෙනාම අල්ලයි

මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ අය ඒ සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම සඳහා නොකරන දෙයක් නැතැයි කීවොත් වැරදි නැත. මත්ද්‍රව්‍ය ඒ තරම්ම සමාජයට සිදු කරන සහ සිදුකර ඇති ව්‍යසනය මිල කළ නොහැකිය.

රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ ගණනින් රටේ විවිධ ප්‍රදේශවලින් හසුවන්නට පටන් ගැනීම මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට වැදුණු ලොකු කනේ පහරක් වුවත් ඉතා සූක්ෂ්මව කටයුතු කරන ජාවාරමුන්ද මේ සාහසික ජාවාරම අත්හරින්නට සූදානම් වන බවක් ද පෙනෙන්නට නැත.

විශේෂයෙන් කොල්ලකෑම්, සොරකම්, මිනිමැරුම්, කුලී ඝාතන ඇතුළු විවිධ වර්ගවල අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ‘පැටිකිරිය’ සොයා බැලුවොත් ඔවුන්ගෙන් 99.9% ක්ම මත්ලෝලීන්ය. එසේත් නැත්නම් සුළුවට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන අයයි. ඒ අතරට කාන්තාවන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් ද අයත් වීමද කනගාටුවට කරුණකි. මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීම නිසා අත්අඩංගුවට පත් කාන්තාවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද මේ වන විට සිපිරිගෙදර ‘කල්දේරම් බතේ’ රස බලන බව නම් රහසක් නොවේ. ඒ අතර ඇතැමුන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියෝය. සමහර කතුන් අයිස් හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී ඇති අයයි.

එලෙස අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින කාන්තාවන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් හදල් සොයා ගැනීමේ අරමුණින් අපරාධවල නිරත වන බව රහසක් නොවේ. මේ අයගෙන් බොහෝදෙනෙක් තමන්ගේ පෙම්වතා, සැමියා, අනියම් සැමියා හෝ ඇසුරු කරන පිරිමින් විසින් තමාද මතට හුරු කර ඇති බව පෙනෙන්නට ඇත. පිරිමින් සමඟ හරිහරියට මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින මේ කතුන් ඔවුන් සමඟ එකතු වී හරිහරියට අපරාධවල ද නිරත වන බව අනාවරණය වී ඇත්තේ පොලිසිය ඒ සම්බන්ධව සිදු කරන ලද යම් යම් විමර්ශනවලදීය. තම පෙම්වතා, සැමියා, අනියම් සැමියා හෝ සමීපව ඇසුරු කරන පිරිමි අය විසින් මතට හුරු කරන ලද කාන්තාවන් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් තම සමීපතමයා සමඟ එක්ව අපරාධ සිදු කළ අවස්ථාද පසුගිය දිනවල වාර්තා විය.

එවැනි සුවිශේෂී සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ රත්නපුර දිසාවේ පැල්මඩුල්ල පොලිස් ස්ථානයෙනි.

සැක කටයුතු පිරිමි අයකු සහ කාන්තාවක පසුගිය දිනෙක අලුයම 2.30ට පමණ බළන්ගොඩ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී භාණ්ඩ කීපයක් රැගෙන කොළඹ බලා ධාවනය වූ මගී බසයකට ගොඩවුණ බවට කිසියම් පුද්ගලයකු පැල්මඩුල්ල පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන්නේ ක්ෂණිකවය.

මෙසේ ලද තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වුණු පැල්මඩුල්ල පොලිසියේ සැරයන් (35303) රත්නායක අදාළ බසය පිළිබඳව තොරතුරු සොයාගෙන එහි සේවකයකුගේ ජංගම දුරකතන අංකයද ඉතා සූක්ෂ­්මව ලබාගෙන එම සේවකයාට දුරකතන ඇමතුමක් ගන්නේ මෙසේ පැල්මඩුල්ලෙන් භාණ්ඩ කීපයක් රැගෙන අදාළ මගී බසයට ගොඩවුණු සැක කටයුතු යුවළ පිළිබඳ යම් තොරතුරක් හෙළිකර ගැනීමේ අදහසිනි.

ඒ අනුව අදාළ යුවළ බසයේ ගමන් කරන බව හෙළිකර ගත් සැරයන් (35303) රත්නායක ඇහැලියගොඩ පොලිසියට මේ බව දැන්වීමෙන් ඇහැලියගොඩදී බසය නවත්වාගන්නේ ඇහැලියගොඩ පොලිස් නිලධාරින් විසිනි.

අදාළ සැකකාර යුවළගෙන් පොලිසිය සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ මේ යුවළ එදින අලුයම පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්මශාලාවට ඇතුළු වී එහි විදුලි උපකරණ සොරකම් කරගෙන පලාගොස් සිටි බවයි. මේ ගැන දැනගත් විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් ඒ ගැන පැල්මඩුල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මේ ජෝඩුව කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුර ප්‍රධාන මාර්ග අයිනේ පිහිටි විහාරස්ථානවලට අලුයම් කාලයේ ඇතුළු වී ඒවායේ ඇති වටිනා භාණ්ඩ සොරකම් කර රාත්‍රී බස්රථවලට ගොඩවී රැගෙන යන බවයි. එවැනි සොරකම් දහයක තොරතුරු ද හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය. මේ යුවළ කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක තිබුණ පින් කැට දෙකක් ද කඩා මුදල් සොරකම්කර ඇති බව හෙළි වන්නේ අනතුරුවය. විහාරස්ථාන කඩා මේ සොරකම් දහයම සැකකාර යුවළ විසින් සිදුකර ඇත්තේ මාසයක් ඇතුළතදීය.

මේ යුවළ එසේ සිදු කරන සොරකම්වලට ආධාර අනුබල දුන්නැයි සැකපිට පෞද්ගලික බස් රියැදුරකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

සැකකරු සහ සැකකාරිය පැල්මඩුල්ල, කහවත්ත ප්‍රදේශවල ප්‍රධාන මාර්ග අයිනේ පිහිටි ඇතැම් විහාරස්ථානවල ධර්ම ශාලා කඩා සොරකම් කරන ලද ශබ්ද විකාශන යන්ත්‍ර, විදුලි පංකා, බෆල්, රූපවාහිනි ඇතුළු වටිනා විදුලි උපකරණ රැසක් සොරකම් කර තිබුණු අතර ඉන් කොටසක් මොනරාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අඩු මිලට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

මේ යුවළට මේ සඳහා රාත්‍රී දුර ගමන් සේවා බස් රථ කිහිපයක සේවකයන්ගේ ආධාර සහ අනුබල ලැබී ඇති බවට සැක කැරේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කලක් මොනරාගල කොළඹ බසයක සහායකවරයෙකු ලෙස කටයුතු කළ අයකු බවට ද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. සැකපිට අත්අඩංගුවට ගන්නා ලද රියැදුරු මොනරාගල කොළඹ බසයක සේවය කළ අයෙකි. තවත් බස් සේවකයන් කීපදෙනකු සම්බන්ධ බව පොලිස් විමර්ශන මේ අංශ පවසයි.

මේ යුවළ අයිස් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින අය වෙති. සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අයෙකි. මේ දෙදෙනා විවාහ වී නැතත් කොටිකාවත්ත ප්‍රදේශයේ නවාතැන්පළක අඹුසැමියන් ලෙස ජීවත්වී ඇති බවද පොලිසිය තොරතුරු සොයාගෙන ඇත.

මේ දෙදෙනා මෙලෙස පාර අයිනේ පිහිටි සමහර විහාරස්ථාන බිඳ සොරකම් කරන භාණ්ඩ පෞද්ගලික බස්වලින් මොනරාගලට ගෙන ගොස් සීට්ටු භාණ්ඩ ලෙස අලෙවිකර ඇති බවද පොලිසිය කළ විමර්ශනයකදී හෙළි වී තිබිණි.

ඡායාරූප – කහවත්ත ලසන්ත නිරෝෂන

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division