Home » පූසාරිලා දෙදෙනෙක් සී.අයි.ඩී. වෙසින් ගහපු ගේම
යාපනේ පූජකයෙක් කොළඹට ගෙන්වා 

පූසාරිලා දෙදෙනෙක් සී.අයි.ඩී. වෙසින් ගහපු ගේම

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින පුද්ගලයන් ඒ සඳහා මිල මුදල් සොයා ගැනීම සඳහා සිදු නොකරන දෙයක් නැති තරම්ය. අහිංසක අසරණ මිනිසුන් සතු මිල මුදල් කොල්ලකෑම සේම මුහුණුපොත ඔස්සේද මිනිසුන් රවටා ඉතා සූක්ෂ්මව මිල මුදල් කොල්ලකන කල්ලි කණ්ඩායම්වලද මත්ලෝලීන් බුරුතු පිටින් සිටින බව රහසක් නොවේ.

මුහුණුපොත ඔස්සේ දැනහඳුනාගන්නා පුද්ගලයන් ඉතා සූක්ෂ­්මව රවටා ඔවුන් සතු මිල මුදල් කොල්ලකන, වංචා කරන කල්ලි කණ්ඩායම් කීපයකටම අයත් සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් ද පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතත් එවැනි පුද්ගලයින් තවත් සැලකිය යුතු පිරිසක් මුහුණුපොත ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පුද්ගලයන් රවටා ඔවුන් සන්තකයේ ඇති මිල මුදල් වංචනිකව ලබාගැනීම සඳහා කටයුතු කරන බව හෙළි වී තිබේ. එම පුද්ගලයන් ද නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය දිනපතා විමර්ශන සිදු කරද්දී මුහුණුපොතෙන් හඳුනාගත් යාපනයේ පූජකවරයෙකු කොළඹට ගෙන්වාගෙන සී.අයි.ඩී. වෙසින් ඔහුට තර්ජනය කර ඔහු සතු රුපියල් දහනව ලක්ෂයක ආභරණ කොල්ලකෑ මත්ලෝලී පූජකයන් දෙදෙනෙක් මාලිගාවත්ත පොලිසියේ නිලධරයන්ට කොටුවන්නේ පසුගියදාය. ඒ එම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

මේ සිද්ධියට මුහුණපෑ පූජකයා යාපනය පලෙයි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු එම ප්‍රදේශයේ කෝවිලක පූජකවරයකු ලෙස කටයුතු කළ අතර, වයස අවුරුදු 33 කි. මේ පූජකවරයා මුහුණුපොත පරිශීලනය කළේය. ඔහු යම් පුද්ගලයකු මුහුණුපොත ඔස්සේ දැනහඳුනාගෙන තිබිණි. එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ අයෙකි.

දෙදෙනා අතර මුහුණුපොත ඔස්සේ කතාබහ සිදු වෙද්දී කොළඹ පුද්ගලයා පලෙයි පූජකයාට පසුගිය දිනෙක පවසන්නේ ඔහු දන්නා හඳුනන අයකු අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්නා නිසා එම ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ ව්‍යාපාරික ස්ථානයේ පූජාවක් පැවැත්වීමට අවශ්‍ය බවය. ඒ සඳහා මුදල් ද ලබාදෙන බව කොළඹ පුද්ගලයා යාපනය පලෙයිහි පූජකවරයාට පවසන්නේ ඔය අතරේදීය.

මුහුණුපොතෙන් හඳුනාගත් කොළඹ මිතුරාගේ යෝජනාව පසෙක නොදැමූ පලෙයි පූජකයා යාපනයේ සිට කොළඹට එන්නේ මුහුණුපොතේ මිතුරා හමුවී ව්‍යාපාරික ස්ථානයට ගොස් එහි පුද පූජා පැවැත්වීම සඳහාය.

යාපනය පලෙයිහි සිට බසයෙන් පිටකොටුවට පැමිණෙන පූජකයා කැඳවාගෙන යාමට මුහුණුපොතේ මිතුරා ද පිටකොටුවට පැමිණ සිටියේය. පිටකොටුවේදී හමු වූ දෙදෙනා මොහොතක් කතාබහ කිරීමෙන් අනතුරුව මුහුණුපොතේ කොළඹ මිතුරා, යාපනයේ පලෙයි පූජකයා එදින රාත්‍රිය ගත කිරීම සඳහා කැටුව යන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ හින්දු කෝවිලකටය. එහි කාමරයක රැය පහන් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මුහුණුපොතේ මිතුරා විසින් සපයා තිබිණි.

පසු දින අලුයම පූජකවරයා නැවතී සිටි කාමරයේ දොරට තට්ටු කරන පුද්ගලයකු තමන් සී. අයි. ඩී. නිලධරයකු ලෙස හඳුන්වා දොර විවෘත කරන ලෙස පූජකයාගෙන් ඉල්ලීමක් කරන අතර, විමතියට පත් පූජකයා තමාගේ දොර විවෘත කිරීමත් සමඟ කිසියම් පුද්ගලයකු ඊට කඩා වදින්නේ තමා සී.අයි.ඩී. නිලධරයකු බව හඳුන්වා දෙන අතරේදීය.

පූජකවරයාට තර්ජනය කරන එම පුද්ගලයා ඔහුට අයත් බඩු බාහිරාදිය ඇද දමා පරීක්ෂා කරන අතරේ එහි තිබූ කාන්තා යට ඇඳුම් කීපයක් ද සොයාගෙන පූජකවරයාට තර්ජනය කරන්නේ ඔහු එම කාමරයට කාන්තාවක් ද ගෙන්වාගෙන ඇති බව කියමිනි.

වඳින්න ගිය දේවාලේ හිස කඩා වැටුණාක් වැනි තත්ත්වයකට පත් වූ යාපනයේ පූජකයා බයභිරාන්තව සිටියදී සී.අයි.ඩී. ලෙසින් පෙනී සිටි පුද්ගලයා පූජකයා සහ කාන්තා යට ඇඳුම් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර පූජකයාට තර්ජනය කර ඔහු සතු රන් ආභරණද කොල්ලකා ඩෙබිට් කාඩ්පතින් රුපියල් ලක්ෂ 2ක් බලෙන් ලබාගෙන පලාගොස් තිබිණි.

මේ සිද්ධියෙන් දැඩි ලෙස භීතියට පත් යාපනයේ පූජකයා තමන් මුහුණපෑ සිද්ධිය කිසිවකුට නොපවසා පසු දින නැවත යාපනය පලෙයි බලා ගොස් ඇති අතර, මාලිගාවත්ත පොලිසියට කිසියම් විදියකට මේ සිද්ධිය ගැන තොරතුරු වාර්තා වන්නේ ඔය අතරය.

මේ සිද්ධිය පිළිබඳව මුල සිටම විමර්ශනය කරද්දී මෙය පැහැදිලිවම සිදු කරන ලද සංවිධානාත්මක අපරාධයක් බවට තොරතුරු හෙළි කරගන්නා මාලිගාවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් යාපනය පලෙයි පූජකයාට මාලිගාවන්ත පොලිසියට පැමිණ මේ ගැන පැමිණිල්ලක් කරන ලෙස දන්වා ඔහු පැමිණි පසු කටඋත්තරයක් ලබාගෙන විමර්ශන ආරම්භ කරන ලදි.

පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වන්නේ යාපනයේ පූජකයා නවාතැන් ගෙන සිටි මාලිගාවත්තේ අදාළ කෝවිලේම පූජකයා සහ පූසාරියකු එක්ව මේ කොල්ලය සංවිධානාත්මකව සිදුකර තිබුණු බවය.

යාපනයේ පූජකයාගෙන් කොල්ලකන ලද රන් ආභරණ කෝවිලේ දේව ප්‍රතිමාවක් පිටුපස සඟවා තිබියදී සොයාගෙන ඇති අතර ඩෙබිට් කාඩ් පතෙන් ගත් මුදල් වැයකර මේ දෙදෙනා මත්ද්‍රව්‍ය පානය කර ඇති බව හෙළි විය. මුදල් සහ රන් ආභරණවල වටිනාකම රුපියල් දහනව ලක්ෂයකි.

අත්අඩංගුවට ගත් පූජකයා සහ පූසාරිවරයා බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් 23 සහ 37 හැවිරිදිය.

මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක චතුරංග යසරත්න, කොස්තාපල්වරුන් වන හල්තොට, තෙන්නකෝන්, ජයලත් සහ දිල්ෂාන් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම

බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division