– ප්‍රධාන සැකකරු සමඟ තවත් 10ක් අත්අඩංගුවට
– වාහන 4ක් සහ හමුදා නිල ඇඳුම් කීපයක් සොයාගනී
– වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී පොලිසිය සහ යුද හමුදා පොලිසිය කළ මෙහෙයුමක්
කොටි ත්රස්තවාදීන් විසින් පොළොව යට සඟවා ඇතැයි කියන රන් ආභරණ ගොඩ ගැනීමට පැමිණ ඇති බවට සැක කරන යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු යැයි කියාගත් පුද්ගලයකු සහ යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙක් සමඟ රථ වාහන 4ක් හා යුද හමුදා නිල ඇඳුම් කීපයක්ද වැලිකන්ද පොලිසියේ නිලධාරින් සහ නාරාහේන්පිට යුද හමුදා පොලිස් නිලධාරින් කණ්ඩායමක් එක්ව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේදීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් බදුල්ල, නොච්චියාගම, මිණිපුරගම, මොරගොල්ල, කොබ්බෑවැහැර, පාදුක්ක, යක්කල, විරඅලව, මැල්සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු හෙළිවූ බව පොලිසියේ නිලධරයන් සඳහන් කළේය.
කොටි ත්රස්තවාදීන් විසින් වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ කැලෑවල වළදා ඇතැයි කියන රන් ආභරණ සහිත බැරල් එකක් පොළොව යට සඟවා ඇති බවට ලැබුණ තොරතුරක් මත සැකකරුවන් නාමල්ගම නිවෙසක් කුලියට ගෙන එහි රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් විය.
වැලිකන්ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.අයි. රාජපක්ෂ හමුවට පසුගිය දිනක හදිසියේ ‘අමුත්තන් පිරිසක්’ පැමිණියේ බලාපොරොත්තු නොමැති අවස්ථාවකදීය. සවස 7ට පමණ එසේ පැමිණි පිරිස තමන් කවුරුන් ද යන්න පළමුවෙන් හඳුන්වා දෙන්නේ විනාඩි කිහිපයක් ඇතුළතදීය.
එසේ පැමිණි පිරිස තමන් යුද හමුදා පොලිසියේ නිලධාරීන් බව හඳුන්වා දුන් අතර තමන් පැමිණියේ හමුදා වෙසින් පැමිණි පිරිසක් පොළොව හාරා ආභරණ සහිත බැරලයක් ලබා ගැනීමට සූදානමින් පසුවන බවට ලද තොරතුරකට අනුව බව පැවසුවේය.
පොලිස් පරීක්ෂක රාජපක්ෂ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කර අදාළ ස්ථානය බලා පිටත් වූයේ වැලිකන්ද පොලිසියේ තවත් නිලධාරීන් හතර දෙනෙක් ද කැටුවය. වැලිකන්ද පොලිසියේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කළ පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් නාමල්ගමට ගොස් නතර වී ලැබුණ තොරතුරු අනුව වැටලීම සිදු කරන ලදී. පළමුව නාමල්ගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ මෙම නිලධරයෝ නිවසේ සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිස් නිලධාරීන් නිවස තුළ සිටි පුද්ගලයන් 11 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි.
එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කරද්දී නිවස තුළ බ්‍රිගේඩියර්වරයකු ලෙස භාවිත කරන නිල ව්‍යාජ හැඳුනුම්පතක්, යුද හමුදා නිල ඇඳුමක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු ලෙස ‘රඟපා’ ඇතත් ඔහු බ්‍රිගේඩියර්වරයකු නොවන බවද පොලිස් විමර්ශනවලින් පසු හෙළිදරව් විය. ඔවුන් පැමිණි වාහන තුනක් සමඟ කැබ් රථයක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
එලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
ඉකුත් නොවැම්බර් 21 වැනි දින නාමල්ගමට පැමිණි මෙම පුද්ගලයන් අතරින් පළමුව බ්‍රිගේඩියර්වරයා ලෙස පෙනී සිටි පුද්ගලයා සහ යුද හමුදා සෙබළුන් යැයි කියන දෙදෙනා පැමිණි බවද අනිකුත් පුද්ගලයන් 9 දෙනා වරින්වර මෙම නිවසට පැමිණ ඇති බවද සිංහපුර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන එම ඉඩම සංවර්ධනයට පැමිණි පිරිසක් ලෙසින් ඔවුන් පෙනී සිට ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.
කොටි ත්රස්තවාදීන් රන් ආභරණ බැරලයක බහා පොළොව යට සඟවා ඇති බවට තොරතුරක් සොයාගෙන එම රන් ආභරණ ගොඩ ගැනීමට මෙලෙස පැමිණ ඇති පිරිසක් බව විමර්ශනවලදී හෙළි විය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වාගේ අධීක්ෂණයෙන් සිරිපුර පොලිසියට අනුයුක්ත වැලිකන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.අයි. රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු, සැරයන් (70985) දිසානායක, (78658) ප්‍රියදර්ශන යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇළහැර සරත් වෙලගෙදර