– කිරුළපන සරසවි උයන නිවාස සංකීර්ණයේ නිවෙසකදී මරා දැමූ සින්නම්මාගේ ඝාතකයා පැය 24න් අල්ලයි
– සින්නම්මා මරා පැහැරගෙන ගිය ලක්ෂ දාහතරක රන් ආභරණත් සොයා ගනී
නිවෙස්වල දහවල් කාලයේ තනිව සිටින කාන්තාවන් ඝාතනය කිරීමේ සිදුවීම් පසුගිය කාලයේ කීපයක්ම සිදු විය. දුවා-දරුවන් රැකියාවකට හෝ වෙනත් කාර්යයක් සඳහා නිවෙසින් බැහැරට ගිය පසු සිදුවූ එවැනි ඝාතන කඩුවෙල, කොට්ටාව, නාන්නේරිය ඇතුළු පොලිස් වසම් කීපයකම මෑතකදී සිදු විය. ඉකුත් දිනවල වාර්තා වූ එවැනි කාන්තා ඝාතන බොහොමයක් සිදුකර තිබුණේ මතට ඇබ්බැහි වූ මත්ලෝලීන් සේම රට වටේ පුද්ගලයන්ට ණයතුරුස් වී නන්නත්තාර වී සිටි පුද්ගලයන් විසින් බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.
කිරුළපන පොලිස් වසමෙන් පසුගියදා වාර්තා වූ කාන්තා ඝාතනය ද කැසිනෝ වැනි සූදුවලට ඇබ්බැහිවීම නිසා රට වටේ ණය වී සිටි පුද්ගලයකු සිදුකළ ඝාතනයක් බව කිරුළපන පොලිසිය සිදුකළ විමර්ශනයෙන් අනාවරණය කර ගැනිණි.
ඉකුත් නොවැම්බර් 21 දා සවස කිරුළපන පොලිසියට වාර්තා වූ එම කාන්තා ඝාතනයේ සැකකරු කිරුළපන පොලිස් ස්ථානාධිපති ජනක් ද සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර ඇතුළු කණ්ඩායම සිදු කළ විමර්ශනයකින් පසු පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් ඉකුත් 22 වැනිදා අලුයම එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ කිරුළපන පොලිස් වසමෙන් කිලෝමීටර් සිය ගණනක් ඈත දුරබැහැර පිහිටි අම්බලන්තොට, ලුණම ප්‍රදේශයේ සැකකරුගේ සහෝදරියකගේ නිවෙසේ සැඟවී සිටියදීය.
70 හැවිරිදි වියේ පසුවූ මරදෙයි කමලා සින්නම්මා ඝාතනය කර තිබුණේ දෙඅත් පිටුපසට තබා ගැට ගසන ලද ඇඳ ඇතිරිල්ලක එක් කොනකින් ඇගේ ගෙල සිර කිරීමෙනි. කිරුළපන පොලිස් වසමේ කාලිංග මාවතේ, කොළොම්තොට, සරසවි උයන, තට්ටු 9කින් යුත් මහල් නිවාසයේ දෙවන මහලේ අංක A/F/2/U5 නිෙවසේ දහවල් කාලයේ තනිව සිටි සින්නම්මා ඝාතනය සිදුවූ ආකාරය මෙන්ම ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය කිරුළපන පොලිසියේ පොත්වල සටහන් වන්නේ මෙසේ ය.
ඉකුත් නොවැම්බර් 21 දා සවස 2.40ට පමණ කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වාගේ ජංගම දුරකතනය නාද වන්නට විය. ඊට දුරකතන ඇමතුම ගත් තැනැත්තා මෙසේ කීවේය.
“සර්… කාලිංග මාවතේ ප්ලැට් එකේ දෙවැනි තට්ටුවේ ගෙදරක ගෑනු කෙනෙක් මරලා දාලා… පේන විදිහට අත්දෙක ගැට ගහලා… ඒ අත්දෙක ගැට ගහපු රෙද්දෙන්ම බෙල්ල හිර කරලා වගේ මරලා තියෙන්නෙ…“ යැයි එම දුරකතන ඇමතුම දුන් තැනැත්තා පොලිස් ස්ථානාධිපතිවරයා එලෙස දැනුම්වත් කළේය.
අධිකරණ කටයුත්තකට ගොස් සිටි පොලිස් ස්ථානාධිපතිවරයා සැණින් එම ඝාතනය ගැන කිරුළපන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර දැනුම්වත් කරමින් කීවේ, සිදුව ඇති ඝාතනය පිළිබඳ සොයා බලා තමා ද ඒ ගැන දැනුම්වත් කරන ලෙසයි.
ඒ අනුව පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර නිලධාරින් කණ්ඩායමක් සමඟ සවස 2.50 පමණ වෙද්දී අදාළ නිවසට ගියේය. ඒ වන විට එම නිවසට අවට පිරිස් එක්රැස් වී සිටියහ. පොලිස් නිලධාරින් කණ්ඩායම නිවසේ කාමරයක් අසල වැටී සිටි තැනැත්තියගේ සිරුර පරීක්ෂා කරද්දී දුටුවේ දෙඅත් ඇඳ ඇතිරිල්ලකින් ගැට ගසා මුණින් අතට වැටි සිටින ආකාරයයි. ඇගේ දෙඅත් ගැට ගැසූ ඇඳ ඇතිරිල්ලේ එක් කොනක් ඇගේ ගෙලෙහි ගැට ගසා ඇති ආකාරයක් ද දිස් විය. ඒ වන විට එම කාන්තාව මියගොස් ඇති බව පොලිස් නිලධාරින් දුටුවේය.
එලෙස මියගොස් සිටියේ 70 හැවිරිදි මරදෙයි කමලා සින්නම්මා නමැත්තිය බව පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේය. ඇය සිය සැමියා දේවරාජන්, දියණිය සහ දියණියගේ 9 හැවිරිදි දරුවා සමඟ එම නිවෙසේ ජීවත් වූවාය. සැමියා පරණ යකඩ බඩු එකතු කිරීමේ රැකියාවක් කළ අයෙකි. දියණිය ද නාරාහේන්පිට ප්‍රදේශයේ දුරකතන ඇමැතුම්හලක රැකියාවක් කළාය. ඇගේ සැමියා විදෙස්ගතව සිටින්නීය. කුඩා දරුවා ද පාසල් ගිය පසු දහවල් කාලයේ සින්නම්මා තනිවම එම නිෙවසේ සිටියාය.
පොලිස් නිලධාරින් එම නිවස අවට පරික්ෂා කරද්දී දුටුවේ මුළුතැන්ගෙයි පුටුවක් පෙරළි ‘තුවායක්‘ද වැටී තිබෙන ආකාරයයි. ඉන් ගම්‍ය වූයේ සින්නම්මා කිසියම් කෙනෙකු සමඟ පොර බදා ඇති ආකාරය බව පොලිස් නිලධාරින් වටහා ගත්තේ විමර්ශනවලදී ලත් හසළ අත්දැකීම් ඔස්සේය.
යාබද කාමරය පරීක්ෂාවේදී පොලිසිය දුටුවේ එහි අල්මාරිය ඇද දමා තිබෙන ආකාරයයි. පොලිස් නිලධාරින් අවට රැස්ව සිටි පිරිස ඉවත්කොට මූලික විමර්ශන ආරම්භ කළේ මේ ඝාතනය පිළිබඳ කිරුළපන පොලිස් ස්ථානාධිපතිවරයා ද දැනුම්වත් කරමිනි. ඒ අතරේ සින්නම්මාගේ දියණිය ද මවගේ ඝාතනය සැලවී නිවසට පැමිණියාය. අනතුරුව එම ඝාතනය පිළිබඳ විමර්ශන සඳහා කිරුළපන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ද දැනුම්වත් කිරීමෙන් පසු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරින් සහ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සලකුණු නිලධාරින් ද එහි පැමිණියේ වැඩිදුර විමර්ශන සඳහාය.
ඒ අතර කිරුළපන පොලිසිය විසින් සින්නම්මාගේ ඝාතනය ගැන අධිකරණය දැනුවත් කිරීමත් සමඟ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා කොළඹ, අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහි පැමිණි අතර පරීක්ෂණයෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලට රැගෙන යන ලෙසයි.
පොලිසිය සින්නම්මාගේ නිවස පරීක්ෂාවේදී හෙළි වූයේ රුපියල් 14,50,000ක රත්රන් සහ මුදලින් රුපියල් විසි දහසක් සොරකම් කර ඇති බවයි. එහෙත් සින්නම්මා පැලඳ සිටි ස්වර්ණාභරණ කිසිවක් රැගෙන ගොස් තිබුණේ නැත.
අනතුරුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත කිරුළපන පොලිස් ස්ථානාධිපති ජනක් ද සිල්වාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර ඇතුළු කණ්ඩායම සින්නම්මාගේ ඝාතනයේ සැකකරුවන් සොයා විමර්ශන ඇරඹුවේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් අවට අයගෙන් ප්‍රකාශ ලබා ගනිමින් තොරතුරු රැස්කරද්දී තවත් කණ්ඩායමක් මහල් නිවාසයේ සහ අවට සීසීටීවී කැමරා පරීක්ෂා කරන අතරතුරේදීය.
අවට අයගෙන් ප්‍රශ්න කරද්දී සින්නම්මාගේ නිවසට යාබද නිවෙසක කාන්තාවක කීවේ සින්නම්මාගේ නිවසට පුද්ගලයකු පැමිණ සිටින බව කියා ඇය සිය සැමියාට තම ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගෙන එම පුද්ගලයාට කතා කිරීමට ද දුන් බවයි.
“සර්… සින්නම්මා දවල් 1.15ටත් හොඳට හිටියා. ඒ වෙලාවේ මට කියලා මහත්තයට කෝල් එකකුත් ගත්තා… මහත්තයගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා මහත්තයට කතා කරන්න ඕන කියලා… ඒ මනුස්සයා තමයි ෆෝන් එකෙන් සින්නම්මගේ මහත්තයත් එක්ක කතා කළේ… ඒ ආපු කෙනා යන්නෙත් නෑ… පැය දෙකක් විතර වෙලේ ඉඳන් ගේ ඇතුළේ වාඩිවෙලා ඉන්නවා කියලත් කිව්වා…“ යැයි ඇය පැවසුවාය.
එලෙස තොරතුරු හෙළිදරව් වෙද්දී මහල් නිවාසයේ සීසීටීවී කැමරා පරීක්ෂාවේදී දුටුවේ එදින දහවල් 11.30ට පමණ නිල් පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමක් ඇඳ මුව ආවරණයක් පැලඳි පුද්ගලයකු එම මහල් නිවාසයට එන ආකාරයයි. එම පුද්ගලයා නැවත මහල් නිවාසයෙන් දහවල් 1.30ට පමණ පිටවී යන දර්ශනයද සීසීටීවී කැමරාවේ මනා ලෙස සටහන් වී තිබිණි. වැඩිදුරටත් සීසීටීවී කැමරා පරීක්ෂාවේදී එම පුද්ගලයා මහල් නිවාසයේ ඉදිරිපිටින් ත්‍රීරෝද රථයක නැඟී යන ආකාරය ද සටහන් වී තිබිණි. පොලිස් නිලධාරින් එම ත්‍රීරෝද රථයේ අංකය ඔස්සේ ත්‍රීරෝද රථ රියැදුරු සොයා ගත්තේය. ත්‍රිරෝද රථ රියැදුරුගෙන් ප්‍රශ්න කෙරිණි.
“සර්… ඔය කියන මනුස්සයා ත්‍රිවිල් එකට නැග්ගේ නාවලට යන්න ඕන කියලා…. පස්සේ නාවලට යන්න බෑ කියලා කොළඹගේ මාවතෙන් බැස්සා… හැබැයි සර් එයා මට කිව්වා මං මේ ප්ලැට් එකේ දෙවැනි තට්ටුවට ආවේ… සල්ලි වගයක් ඉල්ලගන්න ආවේ කියලා කී” බව ත්‍රිරෝද රථ රියැදුරු පොලිසියට හෙළි කළේය.
එලෙස පොලිසිය විමර්ශන සිදුකරද්දී එදින සවස 4 පමණ වෙද්දී සින්නම්මාගේ සැමියා දේවරාජන් නිවසට පැමිණියේ සිදුවී ඇති කිසිවක් නොදැනය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේ දහවල් නිවසට පැමිණියේ කවුදැයි යන්න විමසමිනි. බිරිය යාබද නිවෙස්වලින් දුරකතන ඇමතුම් රැගෙන දුන් මොහොතේ ඔහු සමඟ කතාබස් කළේ කවුද යන්න සොයා ගැනීම පොලිසියේ අරමුණ විය.
“සර්… මීට අවුරුදු 15කට විතර කලින් මාත් එක්ක නාරාහේන්පිට කොම්පැනියක වැඩ කළ විජිත කියලා කෙනෙක් හිටියා… එයා ආවා කියලා තමයි කෝල් කළේ… හැබැයි මම දැක්කේ නෑ… විජිත එයා ආවා කියලා තමයි කිව්වේ… සර් එයා ඊයෙත් ඇවිල්ලා මාව හම්බවෙලා සල්ලි වගයකුත් ඉල්ලලා ගියේ…“ යැයි ඔහු පැවසීය.
පොලිස් නිලධාරින් ඒ වන විට සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ එකී කාල පරාසය තුළදී එම මහල් නිවාසයට පැමිණ යන පුද්ගලයා හඳුනාගෙන සිටියේය. සීසීටීවී කැමරා මඟින් හඳුනාගත් එම පුද්ගලයාගේ සීසීටීවී දර්ශන පොලිසිය සින්නම්මාගේ සැමියාට පෙන්වීය.
“මේ වීඩියෝවල ඉන්න කෙනානම් විජිත තමයි… සර්…“ යැයි ඔහු පැවසීය. අනතුරුව පොලිස් නිලධාරින් ඔහුගෙන් විමසුවේ විජිත නමැත්තා පදිංචිවී සිටින්නේ කොහේද යන්නයි.
“විජිත… ඒ දවස්වලනම් පදිංචි වෙලා හිටියේ නාරාහේන්පිට ආර්එම්වී එක පිටිපස්සේ වත්තේ… හැබැයි දැන්නම් මිනිහා කොහේ ඉන්නවද කියලා දන්නෙ නෑ…“ යැයි සින්නම්මාගේ සැමියා දේවරාජන් පැවසීය. එම හෙළිදරව්වත් සමඟ පොලිස් නිලධාරින් කණ්ඩායම නාරාහේන්පිට අදාළ වත්තට ගොස් විජිත ගැන එහි පදිංචිකරුවන්ගෙන් විමසුවේය.
“ඔය විජිත කියන කෙනා දැන් මෙහේ නෑ සර්… එයා ගෙවල් විකුණලා ගිහින්… දැන් එයා අම්බලන්තොට ලයිම හංදියේ රයිස් කොත්තු කඩයක් කරනවා කියලා ආරංචියි…“ යැයි එම වත්තේ පදිංචිකරුවෝ පොලිසියට පැවසූහ.
ඒ අනුව අයි. පී. ප්‍රදීප් එදිරිවීර ඇතුළු කණ්ඩායමක් 21 දා රාත්‍රියේම අම්බලන්තොට බලා පිටත්ව ගියේ සැකකාර විජිත සොයා ගැනීම සඳහාය. අම්බලන්තොට ලයිම හන්දියට ගොස් අදාළ හෝටලය සොයාගෙන එහි ගියත් එය වසා දමා තිබිණි. ආසන්න ත්‍රීරෝද රථ අංගණයේ අය ඇතුළු අහල-පහල අයගෙන් පොලිස් නිලධාරින් විජිත ගැන විමසද්දී එම පිරිස් කීවේ දින තුන හතරක සිට හෝටලය වසා දමා ඇති බවකි.
“හැබැයි සර්… එයාගේ නංගි කෙනෙක් ඉන්නවා ලුණම කියන පැත්තේ… අන්න ඒ ගෙදර තමයි ඔය විජිත වැඩිපුර ඉන්නේ…“ යැයි කී ත්‍රීරෝද රථ අංගණයේ සිටි අය පොලිසියට වැඩිදුරටත් කීවේ බොහෝ අවස්ථාවලදී විජිත ඔවුන් සමඟ ත්‍රීවීලර් කුලියට ගෙන එම නිවෙසට යන බවයි. එම තොරතුර ඔස්සේ පසුදා එනම් 22 දා අලුයම කිරුළපන පොලිස් නිලධාරින් කණ්ඩායම විජිත සිටින බව කී එම නිවෙස සොයා ගියේය. ඒ අම්බලන්තොට, ලයිම හන්දියේ සිට කිලෝමීටර් හය-හතක දුරකින් පිහිටි ප්රදේශයකි. ලුණම ප්‍රදේශයෙ පිහිටි එම නිවසට ගිය පොලිස් නිලධාරින් දුටුවේ විජිත එම නිවසේ සාලයේ පැදුරක් එළාගෙන නිදා සිටින ආකාරයයි. එම නිවසේ සිටියේ විජිතගේ නැඟණිය, ඇගේ සැමියා සහ කුඩා පුතු පමණි. පොලිස් නිලධාරින් විජිත අවදි කරද්දී දුටුවේ ඔහුගේ ගෙල, පපුව, මුහුණ නියපොතුවලින් සූරා ඇති ආකාරයයි.
“මේ සීරිම් තුවාල මොනවද?“ පොලිස් නිලධාරින් විජිතගෙන් ප්‍රශ්න කළේය.
“නෑ… නෑ… ඒවා තුවාල නෙවෙයි… ඔබතුමාලා කොහොමද ඒවා තුවාල කියලා කියන්නේ…“ යැයි කියමින් ඔහු පොලිස් නිලධාරින්ගෙන් ප්‍රශ්න කරන්නට විය. විජිතගේ නැඟණිය ඇතුළු එම නිවසේ අය පොලිසිය පැමිණියේ කුමකට ද යන්න එතෙක් කිසිවක් දැන සිටියේ නැත. නිවැසියන් කීවේ විජිත අලුයම තුනට පමණ තම නිවසට පැමිණි බවයි.
විජිත සිදුවූ සියල්ල මඟහැර බොරු කීමට සැරසුණත් ඒ වන විට පොලිසිය සියල්ල අනාවරණය කරගෙන සිටි හෙයින් තවදුරටත් පොලිසියට බොරු කීමෙන් පලක් නොවන බව දැනගෙන සිදුවූ සියල්ල පාපෝච්චාරණය කෙළේය.
“සර්… මං ඒ සේරම දේවල් කළේ ඒ මනුස්සයා මරන්න හිතාගෙන නෙවෙයි… එයා දාගෙන හිටපු රත්තරන් බඩු ටික දැක්කම මට ඒවා ගන්නමයි ආසාව ආවේ… පස්සේ ඒ ගෑනු කෙනා මරන්න හිතාගෙන නෙවෙයි මම අත්දෙක ගැට ගහලා ඒ රෙද්දේම කොනක් බෙල්ලේ ගැට ගැහුවේ…“ යැයි ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ පැවසීය.
කෙසේ හෝ සින්නම්මාගේ ගෙල සිරවීමෙන් උගුරු දණ්ඩ කැඩී යාම නිසා ඇයට හුස්ම ගැනීමට නොහැකි වීමෙන් ඇගේ මරණය සිදුව ඇති බව කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ පශ්චාත් මරණ වාර්තාවේ සඳහන් විය.
සින්නම්මා අවසන් ගමන් යැවීමෙන් පසු නිවෙසේ සෑම අස්සක්-මුල්ලක් නෑරම ඇවිස්සූ විජිත කාමරයක තිබූ අල්මාරියක්ද අවුස්සමින් එහි තිබූ රුපියල් 14,50,000ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදලින් රුපියල් විසි දහසක්ද රැගෙන ගොස් තිබිණි.
“ඒත් සර්… මම රුපියල් විසිදාහක් ගත්තේ නෑ… රුපියල් තුන්දාහයි මං සල්ලි අරන් ගියේ…“ යැයි විජිත පැවැසීය.
විජිත අත්අඩංගුවට ගත් ලුණම නිවසේදීම පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේ සොරාගත් බඩු කොහිදැයි අසමිනි. එහිදී විජිත හෙළිදරව් කළේ නැඟණියගේ නිවසේ පිටුපස තිබෙන පැරණි ලීදඬු ගොඩෙහි කළු පැහැති බෑගයක දමා එම රත්රන් බඩු තොගය සඟවා ඇති බවයි.
සින්නම්මා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් විජිත 54 හැවිරිදිය. ඔහු බිරියගෙන් දික්කසාද වී සිටී. පෞද්ගලික සමාගමක රැකියාව කළ විජිත මෑතක සිට අම්බලන්තොට ලයිම හන්දියේ හෝටලයක් පවත්වාගෙන ගියේය. කැසිනෝ සූදුව නිසා බොහෝ පිරිසකට ණය වී සිටි විජිත අම්බලන්තොටින් ඉකුත් දිනෙක කොළඹ පැමිණ තිබුණේ අරමුණකින් තොරවය. එසේ කොළඹ පැමිණීමත් සමඟ විජිතට වසර 15කට පමණ පෙරදී නාරාහේන්පිට සමාගමක තමා සමඟ එක්ව රැකියාව කළ තම පැරණි මිතුරා දේවරාජන් කිරුළපන, කාලිංග මාවතේ පිහිටි මහල් නිවාසයක සිටින බව සිහිපත් විය. ඒ අනුව විජිත ඉකුත් නොවැම්බර් 20 වැනිදා දේවරාජන් හමුවීමට මහල් නිවාසයට පැමිණියේය. එලෙස පැමිණි විජිත ඔහුට තම අගහිඟකම් කියා මුදලක් ඉල්ලුවේය.
“විජිත… මගේ අතේ මේ වෙලාවේනම් සල්ලි නෑ… මං පස්සේ කෝල් එකක් දෙන්නම්…“ යැයි සින්නම්මාගේ සැමියා දේවරාජන් පැවසීමත් සමඟ විජිත ඔහුගේ දුරකතන අංකය නොදී දේවරාජන්ගේ දුරකතන අංකය ඉල්ලා ගත්තේ ද කිසියම් කපටිකමකට විය හැකිය.
ඒ අනුව විජිත දේවරාජන් සොයා පසුදා එනම් නෙවැම්බර් 21 වැනිදා නැවත දේවරාජන්්ගේ නිවසට පැමිණියේය. ඒ මොහොතේ දේවරාජන් රැකියාවට ගොස් සිටියේය. විජිත තමන් දේවරාජන් සමඟ එක්ව රැකියාව කළ මිතුරෙක් යැයි කියා සින්නම්මා සමඟ කතාබහ කරමින් සිටියදී එදින දහවල් 11.30 පමණ සින්නම්මා යාබද නිවසකට ගොස් එම නිෙවසේ කාන්තාවට කීවේ ‘මහත්තයගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා… අපේ මහත්තයට කෝල් එකක් අරන් දෙන්න… එයාට කතා කරන්න‘ යැයි කියාය. අනතුරුව එම කාන්තාව දේවරාජන්්ට ඇමතුමක් ගෙන දුරකතනය දුන්නේ සින්නම්මාටය. සින්නම්මා එම දුරකතනය විජිතට දුන්නේ සැමියා සමඟ කතාබස් කරන ලෙස පවසමිනි. ඒ අනුව දෙදෙනා අතර සංවාදයක් සිදුවිය.
අනතුරුව විජිත, සින්නම්මාගේ නිවසට වී සිටියේය. එහෙත් ඇගේ සැමියා පැමිණියේ නැත. පසුව දහවල් 1.15ට පමණ සින්නම්මා වෙනත් යාබද නිවසක කාන්තාවක හමුවීමට ගොස් කීවේ, ‘අනේ අපේ මහත්තයගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා… දැන් පැය දෙකක් විතර වෙනවා… එයා යන්නෙත් නෑ… මහත්තයා ආවෙත් නෑ… අනේ අපේ මහත්තයට කෝල් එකක් අරන් දෙන්න පුළුවන් දැ‘යි අසමිනි. ඇය එසේ පැවසීමත් සමඟ එම කාන්තාව ද දේවරාජන්ට දුරකතන ඇමතුමක් ගත්තාය. එම ඇමතුම ද පසුව විජිතට දුන්නේ සින්නම්මාගේ සැමියා දේවරාජන් සමඟ කතාබහ කිරීමටය. එම ඇමතුමෙන් පසු ගත වූයේ නිමේෂයකි.
“සර්… ඒ වෙලාවේ තමයි මට දේවගේ නෝනගේ රත්තරන් බඩු දැක්කම ආසාව ඇතිවුණේ… මං ඒ මනුස්සයගේ අත්දෙක ගැට ගහලා කෑගහන නිසා බෙල්ලත් ගැටගහලා කාමරේ අල්මාරියක තිබුණ රත්තරන් බඩුයි සල්ලියි අරගෙන ගෙදරින් ගියා…“ යැයි විජිත කීවේය.
එදින සවස 1.30ට පමණ නිවසින් පිටත්වූ විජිත මහල් නිවාසය ඉදිරිපිටින් ත්‍රිරෝද රථයකට නැඟි නාරාහේන්පිට ඔස්සේ දෙමටගොඩට ගොස් පසුව බොරැල්ලේ සිට රාත්‍රී අටට පමණ පිටකොටුව බස් නැවතුම්පොළට පැමිණ රාත්‍රී නවයට පමණ කතරගම බලා පිටත්වූ බසයක නැඟි අම්බලන්තොටට ගොස් තිබිණි.
සින්නම්මාගේ නිවසින් විජිත පිටවී පැයකට පමණ පසු එනම් සවස 2.30ට පමණ සින්නම්මාගේ දියණියගේ දියණිය පාසල් ගොස් නිවසට පැමිණි විට දුටුවේ ආච්චි නිවසේ කාමරයක් අසල වැටී සිටින ආකාරයයි. ඒ සමඟ ඇය විලාප දුන්නේ අසල්වාසීන්ට ද ඇසෙන ලෙසය. එම නිවසට එක්රොක් වූ පිරිස අතරින් කෙනෙකු සින්නම්මාගේ ඝාතනය කිරුළපන පොලිසියට දැන්වීමත් සමඟ සිදුකළ විමර්ශනයෙන් සැකකාර විජිත පොලිසියට කොටු වූයේ පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙනි.
අත්අඩංගුවට ගත් විජිත අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටියගේ උපදෙස් මත කොළඹ දකුණ පොලිස් අධිකාරි II ජයශාන්ත ද සිල්වාගේ අධීක්ෂණයෙන් කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර, සැරයන්වරුන් වන 9233 ජයවීර, 37060 සනත්, 68823 යාපා, කොස්තාපල්වරුන් වන 37783 විජේතුංග, 97795 විජේසිංහ, 97757 ජෝර්ජ්, 103025 චතුර, කාන්තා කොස්තාපල් 12641 වාසනා සහ කොස්තාපල් රියැදුරු 80801 ඉසුරු යන නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.
අමිල මලවිසූරිය