ලංකා බැංකුව තැපැල් කාර්යාල හරහා සිය සේවා පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදු කෙරිණි. සමස්ත දිවයින ම ආවරණය වන පරිදි විහිදුණු තැපැල් කාර්යාල ජාලය සමඟ එක් වෙමින්, ලංකා බැංකුවේ සුවිශේෂී සේවාවන් ග්‍රාමීය ජනතාව අතරට ගෙනයාම මෙහි ප්‍රධානතම අරමුණ වන අතර, තැපැල් සහ උප තැපැල් කාර්යාල 100ක් හරහා මෙම ක්‍රියාවලියේ සමාරම්භය සනිටුහන් විය. එහි දී ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා තැපෑල යන ආයතන ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි.
මේ පිළිබඳ ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා ප්‍රකාශ කළේ, “ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා තැපෑල අත මෙම සහයෝගීතාව, ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා බැංකු පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා බැංකුව ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ සංධිස්ථානයක් සනිටුහන් කරනවා…” යනුවෙනි.