ශ්‍රී ලාංකේය සාහිත්‍ය (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි) වෙනුවෙන් පිදෙන විශිෂ්ට ම බුහුමන වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ 65 වන අදියර පසුගිය නොවැම්බර් 27වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
එම සම්මාන ප්‍රදානෝත්සවයේ දී: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත මෙහෙවර ඉටු කළ ලේඛක ලේඛිකාවෝ හතළිස් අට දෙනකු රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහ මුදල් ත්‍යාග ලබාගත් අතර ලේඛක ලේඛිකාවන් අසු පස් දෙනකු සහතික සහ මුදල් ත්‍යාග ලබාගත්තේ ය. ඒ, අදාළ ලේඛක ලේඛිකාවන් ද සම්මාන නාම ලේඛනය සඳහා නිර්දේශ වීම උදෙසා ය.
සාහිත්‍ය සම්මාන සහ සහතික පත් ලබාගැනීම පිණිස මෙන් ම විශේෂිත ආරාධනා ලැබ උත්සවයට පැමිණි පිරිස සිවු හෝරාවක් පමණ එහි රැඳී සිට ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට සුබ පතා වෙන්ව ගිය ද මෙම කටයුත්ත සරල සහ පහසු කටයුත්තක් නොවේ. මන්ද මේ කර්තව්‍ය සඳහා විශාල පිරිසක් මාස හත අටක කාලයක් සිය: ශ්‍රමය, ඥානය, බුද්ධිය සහ කාලය මේ වෙනුවෙන් කැප කරන බැවිනි. රාජ්‍ය සේවය අකාර්යක්ෂම යැයි සතර දෙසින් චෝදනා එල්ල වෙද්දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ සිට බොහෝ පිරිසක් යට කී පිරිසත් මෙම දැවැන්ත කටයුත්තට එක් වෙති; එමෙන් ම කෘති සමීක්ෂණය සඳහා ද විශාල සම්පත් දායක පිරිසක් සහභාගි වෙති.
මේ සා විශාල කැප කිරීමක්, පිරිස් බලයක් සහ මූල්‍ය පිරිවැයක් දරා සංවිධානය කරන මෙම සාහිත්‍ය උලෙළ සඳහා ඇතැම් ලේඛක ලේඛිකාවන් සම්බන්ධ නොවීම පිළිබඳව ද විවිධ කතාබහ පවතී. ඒ සඳහා බලපාන විවිධ හේතු ද පවතී. ලද ආරංචිවලට අනුව ඇතැම් ලේඛක ලේඛිකාවන් හට ආරාධනා පත්‍රය ලැබී නොමැත; ඒ ආකාරයට තමන්ට සම්මානයක් නැතැයි සැලවූ ඇතැම් ලේඛක ලේඛිකාවන් ‘මම මොකට ද අනෙක් එවුන්ට අත්පොඩි ගසන්නේ’ යැයි හිතවත් ලේඛක ලේඛිකාවන්ට දුරකතනයෙන් දැනුම් දී ‘මම නම් ඔය මඟුලට යන්නෑ’ යනුවෙන් පවසා ඇත.
තවත් සමහර ලේඛක ලේඛිකාවන් හට සම්මාන හීනමානයක් පවතී. ඔවුන් ද ආරාධනයක් ලැබුණ ද උලෙළට සහභාගි වන්නේ නැත. එබදු ලේඛක ලේඛිකාවන් තමන්ගේ ගැලවිජ්ජාව වෙනුවෙන් සම්මාන උලෙළෙහි පැවති ඇතැම් අඩු ලුහුඬුතා පිළිබඳ පමණක් මුහුණපොතේ සටහන් යොදයි; වාද විවාදවල ද පැටලේ.
එබඳු වාතාවරණයක් යටතේ වුව ද: පෙර වසරේ ජනවාරි මස පළමුවන දා සිට දෙසැම්බර් මස තිස් එක්වන දින දක්වා ප්‍රථම වතාවට ප්‍රකාශයට පත්, රාජ්‍ය ලේඛනාගාරයේ ප්‍රථම මුද්‍රණය ලෙස ලියාපදිංචි කළ, රාජ්‍ය ලේඛනාගාරයෙන් ලබාගත් කෘති සහ කර්තෘ ප්‍රකාශන ලෙස ප්‍රකාශයට පත්, යට කී නිර්නායකවලට යටත් විෂය 26ක් යටතේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය ත්‍රිත්වයෙන් ම මේ සඳහා කෘති තෝරා ගැනේ. අනතුරුව එම පොත් නාමාවලිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කෙරේ; ඊට අමතරව මෙම නාම ලේඛනය දිවයිනේ පිහිටි සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ද විමසිය හැකි ය.
මේ ආකාරයට කෘති තෝරාගත්ත ද කිනම් හෝ හේතුවක් මත කිසියම් ලේඛකයකුගේ හෝ ලේඛිකාවකගේ කෘතියක් සමීක්ෂණයට ලක් වී නැතැයි, විනිශ්චයට ඉදිරිපත් කර නැතැයි කිසිවකුට හැඟෙන්නේ නම් අදාළ ලේඛක ලේඛිකකාවන්ගේ කෘති පළමු මුද්‍රණය බවට සහතික කර සමීක්ෂණ ක්‍රියාවලියට ඇතුළත් කිරීම පිණිස සහන කාලයක් ද ලබා දේ. අදාළ කෘති විනිශ්චය මණ්ඩල වෙත යොමු කෙරෙන්නේ ඉන් අනතුරුව ය. එහි ද පියවර කිහිපයකි.
එහි දී එක් එක් විෂය ක්ෂේත්‍රයට අදාළ පරිදි නිර්මාණාත්මක ලක්ෂණ මෙන් ම ලේඛන විධි ක්‍රම වෙත අවධානය යොමු කරමින් සැකසූ නිර්නායක මාලාවකට අනුව පළමු වටයේ තේරීම කරනු ලබන්නේ සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජික සාමාජිකාවන් විසිනි.
අනතුරුව අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබද ප්‍රාමාණික දැනුමකින් හෙබි විද්වතුන් පිරිසක් වෙත ඒ ඒ කෘති යොමු කෙරේ. දෙවන, තෙවන සහ අවසාන වටය සඳහා ඇගයීම් සිදු කරනු ලබන්නේ මෙලෙස තෝරා ගන්නා බාහිර සමීක්ෂක මණ්ඩලය විසිනි.
අවසාන වශයෙන් නිර්දේශිත කෘති තෝරා ගැනීම සිදු කෙරෙන්නේ බාහිරව සම්බන්ධ කරගත් විද්වත් සමික්ෂණ මණ්ඩලයේ සහ උපදේශක මණ්ඩලයේ තීරණය අනුව ය.
ලිපිය ආරම්භයේ දී ම ‘මෙම කටයුත්ත සරල සහ පහසු කටයුත්තක් නොවේ.’ යැයි පැවසුවේ එබැවිනි.
මතු දැක්වෙන සටහන තබන්නේ ඒ වෙනුවෙනි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ලද ආරංචිවලට අනුව මෙවර සම්මාන උලෙළ අවම වශයෙන් දෙවතාවක් ම කල් තබන්නට සිදු වී තිබේ. ඒ, එක් වතාවක් ජනාධිපතිවරණය ද, දෙවන වතාව මහමැතිවරණය ද ඒ සඳහා බලපෑ බැවිනි. මෙම කල් යෑම මතුපිටින් සරල කාරණයක් වුව ද එහි අභ්‍යන්තර කතා සහ ක්‍රියාදාම සරල ලෙස සැලකිය නොහැකි ය. එහි දේශපාලනික පසුබිම මෙන් ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දරන ලද වියදම ද සලකා බැලිය යුතු ය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පැවැත්විය යුත්තේ සෑම වසරක ම සැප්තැම්බර් 01වන දින හෝ පළමු සතියේ දිනක ය. ඒ, පාඨක ප්‍රජාවට අදාළ සම්මාන උලෙළෙහි දී සම්මානයට පාත්‍රවන කෘති කලින් ම හඳුනා ගැනීමට හැකි වන බැවිනි. එසේ හඳුනාගත් පසු සැප්තැම්බර් මාසයේ දෙවන සතියෙන් පසු දින දහයක් පුරා පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් එම කෘති මිලදී ගැනීමට පාඨක ප්‍රජාවට හැකි වන ලෙසිනි. එමෙන් ම අදාළ කෘති ප්‍රකාශයට පත් කළේ කුමන ප්‍රකාශන ආයතනයෙන් ද යන්න ද සඳහන් කරන්නේ නම් එය ද ඉතා අගනේ ය.
මගේ පුද්ගලික විශ්වාසය අනුව නම් එදා උලෙළට පැමිණි බොහෝ පිරිසක් අමාත්‍යවරයාගේ කතාවේ දී කිසියම් බලාපොරොත්තු සහගත යමක් පවසාවි යැයි සිතා සිටින්නට ඇත. එනම්: කඩදාසි මිල අඩු කිරීම, පොත් සඳහා පනවා ඇති 18%ක බද්ද ඉවත් කිරීම, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙතින් වඩා වැඩි සේවාවක් ඉටු කිරීම යනාදියයි. අමාත්‍යවරයාගේ කතාවේ දී භාවිත කළ වාක්‍ය අනුව පැහැදිලි වන්නේ ඒ පිළිබඳ සලකා බලන බව පමණී.
මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පැවති අවස්ථාවේ දුටු අඩුපාඩු කිහිපයක් සඳහන් කළ යුතු ම ය; ඒ, ඊට අදාළ කිසිවකු අපහසුතාවට පත්කිරීමේ අදහසින් නොවන බව ද පළමුවෙන් ම සඳහන් කළ යුතු ය.
එමෙන් ම මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා සහභාගි වන සියලු දෙනාට කිසිදු බාධාවකින් තොරව අරලියගහ මන්දිර භූමියට ඇතුළු වීමට ඉඩ කඩ සැලසීම පිළිබඳව ද ස්තුතිය පිරිනැමිය යුතු ය. මීට පෙර විවිධ උත්සව සහ මාධ්‍ය කටයුතු සඳහා සහභාගි වූ පුද්ගලයකු ලෙස එකල විඳි ගැහැට කෙතරම් ද යන්න යළි යළි සිහිපත් කළ යුතු නොවේ.
මෙම උලෙළෙහි දී සම්මානයට පාත්‍ර වූ ඇතැම් ලේඛක ලේඛිකාවෝ බොහෝ වියපත් අය වූහ; කෙතරම් වියපත් ද යත් ඒ ඇතැම් ලේඛකයකුට, ලේඛිකාවකට වේදිකාවට ගොඩ වීම පවා අපහසු ය. සංවිධායක මණ්ඩලය මේ පිළිබඳව අවධානය යොමු කළේ නම් ඔවුන් අපහසුතාවෙන් වේදිකාවට කැඳවාගෙන නොගොස්, ඔවුන් අසලට ගොස් එම සම්මානය හෝ කුසලතා සහතිකය පිරිනැමීමට කටයුතු සැලැස්විය යුතුව තිබිණ. එබඳු ලේඛක ලේඛිකාවන් අසුන් ගැන්වීමේ දී ඔවුන් වෙනුවෙන් ඉදිරි පෙළ අසුන් වෙන් කළ යුතුව (ප්‍රධාන අමුත්තා ඇතුළු පිරිස එක් පසක සිටින සේ) තිබිණ. එවිට ඔවුන්ගේ නම ප්‍රකාශ කළ පසු ඔවුන් ඉතා අපහසුවෙන් වේදිකාව වෙත රැගෙන යෑමේ අවශ්‍යතාවක් පැන නොනගී; ඔවුන් වෙනුවෙන් මඳකට වේදිකාවෙන් බැස විත් සම්මානය හෝ කුසලතා සහතිකය පිරිනැමීම ආරාධිතයන්ට අපහසු කටයුත්තක් නොවන බව මගේ අදහස ය.
මෙහි දී පූරකයෙක් සහ පූරකාවියන් දෙපළක් භාෂා ත්‍රිත්වයෙන් ම පූරක කටයුත්තෙහි නියැළි අතර ඇතැම් අවස්ථාවල දී මා යට සඳහන් කළ වයෝවෘද්ධ ලේඛකයා හෝ ලේඛිකාව වේදිකාව මතට පැමිණීමට පෙර ම අනෙක් සම්මාන සහ කුසලතා සහතික පිළිබඳව සැල කර, පිරිනමා ද අවසන් කර තිබිණ. එහි දී පුරක පූරිකා දෙපළ සභාව වෙත අවධානය යොමු කළේ නම් එම අඩුපාඩුව මඟහරවා ගැනීමට ඉඩ තිබිණ. මන්ද සම්මානය හෝ කුසලතා සහතිකය ලබාගන්නා ලේඛකයාට හෝ ලේඛිකාවට එහි වටිනාකම ලැබෙන්නේ ඔහු හෝ ඇය සභාව සමඟ මුහු වීමෙනි. නමුත් ඇතැම් අවස්ථාවල ඇතැම් වයෝවාද්ධ ලේඛක ලේඛිකාවන් හට එම අවස්ථාව අහිමි විය.
මෙහි දී මා දුටු තවත් අඩුපාඩුවක් වූයේ සම්මානලාභි පුද්ගලයා හෝ සහතික පත්ලාභි පුද්ගලයා වෙනුවට වෙනකකු වේදිකාවට පැමිණි මොහොතේ සභාවට ඒ පිළිබඳ ප්‍රකාශ නොකිරීම ය. මෙහි වගකීම අදාළ සම්මානය හෝ කුසලතා සහතිකය ලබාගන්නා පාර්ශ්වයට ද හිමි විය යුතු ය. එනම්, ඔවුන් ශාලාවට පැමිණි පසු තමන් පැමිණියේ අසවල් ලේඛකයා හෝ ලේඛිකාව නියෝජනය කරමින් බව සංවිධායක මණ්ඩලය දැනුම්වත් කළ යුතු ය. එමෙන් ම අදාළ පුද්ගලයා වෙත ආරාධනා පත්‍රය යැවීමේ දී අදාළ ලේඛකයා හෝ ලේඛිකාව වෙනුවට වෙනත් පුද්ගලයෙක් පැමිණෙන්නේ නම් ඒ පිළිබඳව කල් තියා (හදිසි අවස්ථාවක හැර) දන්වන්නැයි ඔවුන් දැනුම්වත් කළ යුතු ය; එය සංවිධායක මණ්ඩලයේ කාර්යයකි.
මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජීවිත කාලයේ දී එක් වතාවක් පමණක් ලැබෙන ‘සාහිත්‍ය රත්න’ සම්මානය භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත්‍ය සඳහා අනගි මෙහෙවරක් ඉටු කළ තිදෙනකු වෙනුවෙන් පිදීම ද පැසසිය යුතු කරුණකි. මෙවර සිංහල අංශය වෙනුවෙන් මහාචාර්ය ජිනදාස දනන්සූරිය, දෙමළ අංශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ලේඛිකා අන්නලක්ෂ්මි රාජදුරෛයි සහ ඉංග්‍රීසි අංශය වෙනුවෙන් මහාචාර්ය වෝල්ටර් පෙරේරා සම්මානිත විය.
මේ සියලු කරුණු සඳහන් කළේ කිසිදු පුද්ගලයකු හෝ කණ්ඩායමක් අපහසුතාවට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් නොවන බව මම යළිත් අවධාරණය කරමි; විශේෂයෙන් ම රටේ සමස්ත ජනතාව ම නැවුම් බලාපොරොත්තු තබා සිටින මොහොතක ඒ බලාපොරොත්තු ඉටු කිරීම රාජ්‍යයේ වගකීමක් බව සිහිපත් කිරීම සඳහා ය.
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න
ජයසිරි අලවත්ත