Home » සිංහල සාහිත්‍යයට අනාගතවාදී හැඩයක් දෙන කැක්කුමකින් මා පෙළෙනවා

සිංහල සාහිත්‍යයට අනාගතවාදී හැඩයක් දෙන කැක්කුමකින් මා පෙළෙනවා

ලේඛක අජන්ත සෙනෙවිරත්න

by Mahesh Lakehouse
December 7, 2024 12:29 am 0 comment

ලෙක්ට්‍රොනික සහ විදුලි සන්දේශ ඉංජිනේරුවරයකු වන අජන්ත සෙනෙවිරත්න ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු ප්‍රධාන සමූහ අලෙවි නිලධාරීවරයාය. සිය වෘත්තියෙන් ඔබ්බට යමින් ලේඛන කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කරන ඔහුගේ නවතම ග්‍රන්ථය කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම යි. මේ ඒ පිළිබඳව ඔහු සමඟ කරන ලද සංලාපයක සංක්ෂිප්තයයි.

කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම වෙනස් දැක්මක් ගැන ඔබේ කියවීම සටහන් කෘතියක්. මේ වැනි කෘතියක් ලිවීමට ඔබ පෙලඹ වූ සාධක මොනවාද?

ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් බෞද්ධයන්ට අදාළයි. දෙවැන්න පොදුවේ සිංහල පාඨකයාට අදාළයි. පසුගිය සමයේ මට අසන්නටත් කියවන්නටත් ලැබුණා විවිධ විදේශීය විද්වතුන් බුදුදහම සහ කෘත්‍රිම බුද්ධිය (AI) අලළා කරන ලද ප්‍රකාශ. ඒ වගේම මට කියවන්නට ලැබුණා මේ විෂයය ක්ෂේත්‍රය ගැන කෙරුණු පර්යේෂණ ලිපි කිහිපයක්. මේවායෙන් ප්‍රකට වන එක කරුණක් තමයි කෘත්‍රිම බුද්ධිය යනු බුදු දහමෙන් ආභාසය ලබා බුදු දහමේ හරය ඔස්සේම දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයක් බව. කෙසේවුවත් AIහි අවසාන අභිලාෂය බුද්ධත්වයට සමාන කිරීම මතභේදයට තුඩු දෙන්නක්. අනෙක් අතට AI සංකල්පය නිර්වාණයට සම කිරීම නිරර්ථකයි. මේ ගැන විදේශීයව බොහෝ කරුණු කාරණා කතාබස් කෙරුණත්, විවිධ මත පළ වුණත් අප රටේ ඒ ගැන කතාබහක් නැතිවීම මට මවිතයක්. එය පුළුල් සංවාදයකට ලක් කිරීමේ අරමුණ මේ පොත ලිවීමේ මූලික අභිලාෂයක්. සිංහල පාඨකයාගේ දැනුම යාවත්කාලීන කිරීම දෙවැනි අභිලාෂයයි.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස ලැබෙන්නේ බුදු දහමෙන් ය යන කාරණය මෙහිදී මතු කරනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

මගේ මුළු පොත පුරාම මා ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය තොරතුරු අඩංගු කර තියෙනවා. බුද්ධිය ලෙස සාමාන්‍යයෙන් අප වටහා ගන්නේ ගැටලු විසඳීමේ හැකියාවයි. ටිකක් පුළුල්ව බැලුවොත් බුද්ධිය කියන්නේ තමන් ලබන අත්දැකීම්වලින් ඉගෙනීමටත්, තමන් මුහුණ දෙන නව තත්ත්වලට අනුවර්තනය වීමටත්, ලබා ගන්නා දැනුම භාවිත කරමින් තමාට රිසි පරිදි තම ජීවන පරිසරය හැසිරවීමට ඇති හැකියාවත් ලබා දෙන මානසික ගුණාංගයක්. බුද්ධිය යනු මනස නම් වූ මහා කුලයට අයත් වන විශේෂ මානසික ක්‍රියාවලියක්.

බෞද්ධ ඉගැන්වීම තරම් මනසේ ස්වභාවය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විවරණයක යෙදෙන තවත් විද්‍යාත්මක හෝ ආගමික දර්ශනයක් නෑ. බුදු දහම මනස පිළිබඳ පරිපූර්ණ ඉගැන්වීමක් සහිත දර්ශනයක් බව පැහැදිලියි. එය මිනිසාගේ සියලු චර්යා සඳහා මනස මූලික වන්නේය යන මුඛ්‍ය ඉගැන්වීම මත පදනම් වූවක්. බටහිර විද්‍යාව ද මනස සම්බන්ධ පර්යේෂණවලදී බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගන්නේ ඒ නිසායි. ඉංග්‍රිසි භාෂාවෙන් Mind යනුවෙන් තනි වචනයෙන් හඳුන්වන මනස, බුදුදහමේදී චිත්ත, විඤ්ඤාණය ආදී විවිධ විවරණවලින් යුක්ත වන්නේත් මනසේ නා නා විධ ස්වභාව ගැඹුරෙන් විශ්ලේෂණය වන නිසායි. සුබෝද් සක්ෂේනාගේ “කෘත්‍රිම බවින් අඩු සහ බුද්ධිමත් බවින් වැඩි කෘතිම බුද්ධිය සඳහා බෞද්ධ ප්‍රඥාව” පත්‍රිකාව මීට හොඳ පැහැදිලි කිරීමක්. අනෙක් අතට AI නියාමනය ගැන කතා කරන බටහිර රටවලට රීඩ් හොෆ්මාන්ගේ “බෞද්ධයකු වීම සඳහා කෘත්‍රිම බුද්ධියට පුහුණුවක් ලබා දිය හැකි නම් එය බොහෝ හොඳ කාරණයක් වනු ඇති”යි යන ප්‍රකාශය සිහි කැඳවීමක්. බුදුදහමේ තියෙන විද්‍යාව මතුකිරීමටයි මා හේතුඵල දහම කැටි වූ පටිච්චසමුප්පාදය යොදා ගත්තේ.

නිර්මාණකරණයට මේ වැනි විෂයයන් යොදා ගන්නා නිර්මාණකරුවන් අඩුයි. දැනුම හා නිර්මාණය එකතු වෙන තැන කුමක්ද? ඔබ ඒ පිළිබඳ දීර්ඝකාලීන අධ්‍යයනයක නිරත වෙන බව ඔබේ ලිවිසැරිය දෙස බැලූ විට පෙනෙනවා?

දැනුමකින් තොරව නිර්මාණකරණයේ යෙදීම භයානකයි. ඕනෑම ක්ෂේත්‍රයකට මෙය පොදුයි. නිර්මාණකරණයේ පදනම වන්නේම දැනුමයි. දුර්වල පදනමක් මත සවිමත් ගොඩනැඟීමක් කරන්න බෑ. විශේෂයෙන්ම සාහිත්‍ය නිර්මාණවේදියා සමාජ ශෝධකයෙක් මිස උදර පෝෂකයෙක් නොවේ. එනිසා එවැන්නෙක් පරිපූර්ණ දැනුමකින් තොරව තම අදහස සමාජගත කිරීම සමාජයට අවැඩදායකයි. ඔය හේතුව නිසාම කිසියම් විෂය කරුණකට අදාළව නිසි අධ්‍යයනයක් කිරීමට මා බොහෝ ගැඹුරු කියැවීමක යෙදෙනවා. දැනුම පසුපස හඹා යන තරමටම පරිකල්පන හැකියාවත් ඔපමට්ටම් වෙන බව නොකියාම බෑ. අනෙක් අතට නව දැනුම නැතුව කොහොමද අපි සමාජ ප්‍රගතිශීලි මෙහෙවරක යෙදෙන්නේ? විශේෂයෙන්ම සාහිත්‍යකරණය කියන්නේ භාෂාව හැසිරවීමම නොවේ. එහි හරාත්මක පරිකල්පනයක් අඩංගු විය යුතුයි. එසේ නොවුණොත් සාහිත්‍යය පතපොත පිළබඳ තිබෙන සමාජ විශ්වාසය බිඳ වැටෙනවා. අනාගත පරම්පරාව කියවීමෙන් ඇත්වීමට එය ඉවහල් වෙනවා.

කෘතිම බුද්ධියේ අනාගතය ගැන ඔබ මෙහි සාකච්ඡා කරනවා. අනාගත මානවයා ගැන ඔබේ කියැවීම පිළිබඳ අවධානය යොමු කළොත්?

මේ පොත ප්‍රවේශමෙන් පරිශීලනය කළොත් ඔබට පෙනෙයි මා එකිනෙකට සමාන්තර රේඛා තුනක් ඔස්සේ පාඨකයා කැඳවාගෙන යන බව. ඒ නූතන හෝමෝ සේපියන්ස් මානවයාගේ ගමන් මඟ, කෘතිම බුද්ධියේ ගමන් මඟ, රොබෝවන්ගේ ගමන් මඟ සහ බුද්ධිමත් යාන්ත්‍රිකයකුගේ ආගමනයයි.

හෝමෝ සේපියන්ස් මානවයා තාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධ වීම හරහා හෝමෝ ටෙක්නිකස් මානවයෙක් බවට පත් වීමත් එහි උච්ච අවස්ථාවේදී හෝමෝ ඩෙයස් නොහොත් දිව්‍යමය මානවයෙක් බවට පත්වීමත් මා විස්තර කර තිබෙනවා. අනෙක් අතට අද අපි කතා කරන කෘත්‍රිම බුද්ධිය තවමත් පවතින්නේ මිනිසාගේ බුද්ධි මට්ටමට පහළින්. ඒ නිසායි එය කෘත්‍රිම පටු බුද්ධිය (Artificial Narrow Intelligence) ලෙස හඳුන්වන්නේ. එය මිනිසාට සමානව ක්‍රියා කරන කෘත්‍රිම සාමන්‍ය බුද්ධිය බවට පත්වීම ගැනත්, මිනිසා ඉක්මවා යන කෘත්‍රිම සුපිරි බුද්ධි තත්ත්වය ළඟා කර ගැනීම ගැනත් මා කතා කරනවා. රොබෝ තාක්ෂණයේ දියුණුවත් සමඟ හ්‍යුමනොයිඩයන් හරහා ඇන්ඩ්‍රොයිඩයාගේ ඇතිවීමත් එවැනි රොබෝවන් ලබන කායගත විඥානය හරහා බුද්ධිමත් යාන්ත්‍රිකයන් නොහොත් මකීනා සේපියන්ස් පහළවීමත් මා පැහැදිලි කරනවා. හෝමෝ සේපියන්ස් මානවයා අනාගතයේදී විනාශය කරා යොමු වන්නේ එවැනි වර්ගයකින්.

මේ වැනි විෂයයන් සිංහලෙන් ලිවීම අපහසුයි. ඔබට මුහුණ දෙන්නට සිදු වූ අපහසුතා එහෙමත් නැත්නම් සීමා මොනවාද?

එය ඉතාම අපහසු කටයුත්තක්. අපේ භාෂාව ඒ අංශයෙන් විකාශනය වෙලා නෑ. ඒ නිසාම සමහර වචන ප්‍රවේශමෙන් හඳුන්වාදීමට මා උත්සාහ කළා. නිදසුනක් සේ හෝමෝ ටෙක්නිකස්, තක්ෂණික මානවයා ලෙසත් හොමෝ ඩෙයස්, දිව්‍යමය මානවයා ලෙසත් මකීනා සේපියන්ස්, බුද්ධිමත් යාන්ත්‍රිකයා ලෙසත් මා හඳුන්වා දුන්නා. කෙසේ නමුත් සියලු ඉංග්‍රීසි තාක්ෂණික වචන සිංහලට පරිවර්තනය කළ යුතු යැයි මා විශ්වාස කරන්නේ නෑ. එසේ කිරීම නිෂ්ඵලයි. මොකද සාමාන්‍ය ව්‍යවහාරයේදීත් ඒවා ඉංග්‍රීසියෙන්ම කියවෙනවා.

මා මුහුණ දුන් අනෙක් අභියෝගය වුණේ මෙය පාඨකයාගේ දැනුම අඩුවෙන් පවතින විෂය ක්ෂේත්‍රයක් වන නිසා අවධානය නොබිඳ තබා ගැනීම. ඒ සඳහා මා දැරූ උත්සාහයේ සාර්ථක බව, මට ලැබෙන ධනාත්මක ප්‍රතිචාරවලින් සනාථ වෙනවා. කෙසේ වෙතත් මෙහි අන්තර්ගතයේ වටිනාකම නිසාම මේ පොත ඉංග්‍රීසියෙන් ලිවිය යුතු යැයි පළ වූ අදහස් ඔස්සේ මා දැන් ඒ කටයුත්තත් අවසන් කොට තිබෙනවා.

බුදු දහම පිළිබඳවත් තාක්ෂණය පිළිබඳවත් ඔබ දීර්ඝකාලීනව අධ්‍යයනය කරනවා. මේ දෙක එකතු කරන්නට පුළුවන් දේවල් ගැන ලෝකයේ විවිධ තැන්වල සාකච්ඡා වුණාට ලංකාවේ සාකච්ඡා වෙනවා අඩුයි. ඒ හිඩැස සම්පූර්ණ සම්පූර්ණ කිරීමට ද ඔබේ මේ උත්සාහය?

සැබැවින්ම මගේ ඒකායන උත්සාහය එයයි. හැබැයි මේ දෙකේ එකතුව තියෙන්නේ බුදු දහම විද්‍යාවට ඉදිරියෙන් සිටින බව පිළිගැනීම මතයි. අප දන්නා සමහර විද්‍යාඥයන් පවා අවසානයේදී මේ සත්‍යය තේරුම් ගෙන තියෙනවා. කීර්තිමත් විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් “නූතන විද්‍යාත්මක අවශ්‍යතා මැඩ පැවැත්විය හැකි කිසියම් ආගමක් ඇත්නම් ඒ බුදුදහමයි” යනුවෙන් ප්‍රකාශ කළෙත් මේ ගැන මනා අවබෝධයෙන්. කප්‍රා පෙරදිග ආධාත්මිකත්වය විශ්ලේෂණය කරන්නෙත් ඒ නිසාමයි. තම වෑයම වනුයේ කෘත්‍රිම බුද්ධිය තුළට බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම කේතගත කිරීමේ හැකියාව සොයා බැලීම බව ෂෙන් බෞද්ධාගමික පැවිද්දෙකු වන සෝයු ෆෙරෝල් පවසා තිබෙන්නේ AI ගමන් මගේ උච්චස්ථානයට පත්වීම කියන්නේ බුදුන්වහන්සේ ලැබූ ප්‍රඥාව කරා ළඟා වීම බව පෙන්වමින්.

නිර්වාන සංකල්පය ගැන සිතුවොත් කෘත්‍රිම බුද්ධිය නිර්වාණ අවබෝධය කිරීමත්, කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් එහි සහය ලබා මිනිසුන් වන අප නිර්වාණ අවබෝධය ලබා ගැනීමත් එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. බුද්ධිමත් මිනිසුන් හැටියට අප විසින් කළ යුතු වන්නේ නිර්වාණාවබෝධයට නවීන තාක්ෂණික මෙවලම් කුමන ආකාරයකින් පිහිටාධාර කරගත හැකි දැයි සොයා බැලීමයි. එවන් හැදෑරීමක් වෙනුවෙන් සමාජ සංවාදයකටයි මගේ මේ උත්සාහය.

ඡායාරූප – මාලන් කරුණාරත්න

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division