Home » රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු

රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු

by Mahesh Lakehouse
December 7, 2024 12:29 am 0 comment

නීතිය පසිඳලීමේ උත්තරීතර ආයතනය වන අධිකරණය කෙරෙහි ජනතාව තුළ ඇත්තේ ඉමහත් විශ්වාසයකි. එම නිසාම අධිකරණ නඩු කටයුතු වාර්තා කිරීම යනු හුදෙක් මාධ්‍ය වාර්තාකරණය ඉක්මවා ගිය ඉතා වගකීම් සහගත කාර්යයකි. ඊට හේතුව වැරැදි හෝ අසම්පූර්ණ වාර්තාවකින් පැමිණිලි පාර්ශ්වයට හෝ චුදිත පාර්ශ්වයට අගතියක් සිදුවීම, සාධාරණ නඩු විභාගයකට බලපෑමක් සිදුවීම, අධිකරණයට අපහාසයක් සිදුවීම ආදී අහිතකර තත්ත්වයන් පමණක් නොව මහජනතාව තුළ අධිකරණය කෙරෙහි ඇති විශ්වසනීය බව ද බරපතළ ලෙස බිඳ වැටිය හැකි නිසාය. එවැනි පසුබිමක් තුළ අධිකරණමය නඩු කටයුත්තක පසුබිම, සාක්ෂි සහ තීන්දුව නිවැරැදිව සහ සත්‍ය ලෙස සමාජගත කිරීම මාධ්‍යකරණයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

දශක තුනකට ආසන්න කාලයක් අධිකරණ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ජේ. ඒ. අබේනායක විසින් අධිකරණ මාධ්‍යකරණයෙන් ඔබ්බට ගිය එබඳු විශිෂ්ට නිර්මාණ කාර්යයක නියැළී ඇත. ඒ ප්‍රයත්නයේ මහඟු ඵලය ‘රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු’ නමින් ග්‍රන්ථයක් ලෙස පසුගියදා ජනගත කෙරිණි.

“මේ කෘතියට ඇතුළත් කර ඇත්තේ මවිසින් වසර 27කට අධික කාලයක් තුළදී පුවත්පත්වලට ලියන ලද ප්‍රකට නඩු හා නඩු තීන්දු 30ක්. මෙතෙක් මාධ්‍ය මඟින් අනාවරණය නොකළ එම නඩු කටයුතුවලට අදාළ අප්‍රකට සිද්ධීන් ද මෙම කෘතියට ඇතුළත් කර තිබෙනවා. “කෘතියේ අන්තර්ගතය පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ජේ. ඒ. අබේනායක එසේ පැවැසීය.

‘රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු’ කෘතිය තුළින් කතුවරයා පාඨකයාට ඉදිරිපත් කර ඇති සියලු සිදුවීම් නීතියේ ප්‍රගමනයට මෙන්ම රටේ දිශානතිය ද වෙනස් කළ සුවිශේෂී සිදුවීම් වීම බව නිරීක්ෂණය වේ. මෙම කෘතිය නීති ක්‍ෂේත්‍රයේ නියැළෙන්නන්ට පමණක් නොව පාඨකයා ද අතීතාවර්ජනයකට කැඳවාගෙන යන්නක් බව එමඟින් පෙනී යයි. රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු සහ නඩු තීන්දු තිහක් පිළිබඳ නිවැරැදි සහ සැඟවුණු තොරතුරු දැන ගැනීමට පාඨකයාට මේ තුළින් අවස්ථාව සැලසී ඇත.

මෙම කෘතිය තුළ දැකිය හැකි තවත් සුවිශේෂතාවක් වන්නේ එය විනිසුරුවරයකු හා මාධ්‍යවේදියකු යන භූමිකා දෙකටම සර­ිලන ආකාරයෙන් නිරීක්ෂණය කොට ඉතා සැලකිල්ලෙන් රචනා කරන ලද කෘතියක් වීම නිසාය. ඉකුත් දශක දෙක තුන ඇතුළත විනිශ්චයට ලක් වූ ඉතා තීරණාත්මක නඩු අතරින් ඉතා ප්‍රවේශමෙන් හා අවධානයෙන් තෝරා ගත් නඩු සහ නඩු තීන්දු 30ක් පමණක් මේ කෘතියට ඇතුළත් කර තිබේ. එම තොරතුරු පිටු 522කට සාරංශගත කොට ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ජේ.ඒ. අබේනායක දක්වා ඇති කුසලතාව ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

‘රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු’ කෘතියට ඇතුළත් නඩු අතර, භාරත ලක්ෂ­්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව, රාඩා නඩුව, තංගල්ල ඝාතන නඩුව, රෝයල් පාක් ඝාතනය, කොටකෙතන තරුණ දියණිය සහ මවගේ ඝාතන නඩුව, කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව, රත්මලාන ත්‍රිත්ව ඝාතන නඩුව, සුදු කොඩි නඩුව, හයිකොප් නඩුව, පානදුර- අටළුගම නව හැවිරිදි දැරිය ඝාතන නඩුව, නාම්පමුණුව ඝාතන නඩුව, ඉනෝකා සෙව්වන්දි ඝාතනය සහ සහකාර රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න ඝාතන නඩුව ආදී රට හෙල්ලූ ජනතාව අතර කතාබහට තුඩුදුන් නඩු පිළිබඳ තොරතුරු ඇතුළත්ය.

මෙම කෘතිය මඟින් අධිකරණ ක්‍රියාදාමය පමණක් නොව සියුම්ව ඒ තුළින් මතුව තිබෙන සමාජයීය, දේශපාලනික සහ සංස්කෘතික පැතිකඩ ඉස්මතු කර සමාජ කතිකාවක් ජනගත කරන්නට කතුවරයා උත්සාහ දරා ඇති බව නිරීක්ෂණය වේ. එහෙත් එය ඔහු සිදු කර ඇති විලාසය ප්‍රශංසනීය බව කෘතිය පිළිබඳ අදහස් දක්වා ඇති ප්‍රකට නීතිවේදීන්ගේ අදහසයි. කෘතියට පසුවදනක් සපයමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් චමත් දිලීප පීරිස් පවසන්නේ මෙම කෘතිය යුග කිහිපයක අධිකරණ ක්‍ෂේත්‍රයේ විශේෂිත වූ නඩු කටයුතු සම්බන්ධයෙන් ප්‍රබල සමාජ අවධානයක් දිනා ගනු ඇති බවය.

එවැනි වටිනාකමකින් යුතු මේ කෘතිය රචනා කිරීමේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ජේ.ඒ. අබේනායකගේ නිරවද්‍ය, අව්‍යාජ සහ අපක්ෂපාතී මාධ්‍ය භූමිකාව ද වෙසෙසින් ඉවහල් වී ඇති බව කෘතියට පෙරවදනක් සපයමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පවසන්නේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ජේ. ඒ. අබේනායක විසින් දශක කිහිපයක් පුරා වාර්තා කරන ලද ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට යොමු වූ, සාකච්ඡාවට බඳුන් වූ ආන්දෝලනාත්මක නඩු කටයුතු හා එම නඩුවල තීන්දු පාඨක ප්‍රජාවගේ දැනුමට එක් කිරීමට මෙම ග්‍රන්ථය ඔස්සේ දරා ඇති උත්සාහය ද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ගේ පැසසුමට ලක්වී ඇත.‍

විශේෂයෙන් මෑත කාලයේ අධිකරණය හමුවේ විභාග වූ මෙරට සුප්‍රකට පුද්ගලයන්ගෙන් නඩු කටයුතු සහ ඊට අදාළ නඩු තීන්දු පිළිබඳ දැනුමක්, අවබෝධයක් ලබා ගැනීමට පාඨකයාට අවස්ථාව සලසා දෙමින් කතුවරයා විසින් මෙම කෘතිය රචනා කර තිබේ. “මුල් පුටුවේ ඉඳගත් සැණින් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දුට දුන් කනේ පහර, ඥානසාර හාමුදුරුවෝ හිරගෙදරට පාර කපාගත් හැටි, පොලිසිය දණ ගැස්වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියා, නගරාධිපති හිරේ යැවූ සෙල්ලම් පිස්තෝලය, කට නිසා නහින මාළුවාගේ කතාව හෙවත් වාස්- ශානිට මරණ තර්ජනය කළ නඩුව, මිනිස් ජාවාරමේ ඛේදවාදකය කියා පෑ රිසානාගේ කතාව, පොල් ගෙඩි දෙකක් කළ විපතක්, දුරකතනයක් කළ විපතක්, තොප්පියක් නිසා දිසාපති නෝනාට වැටුණු තොප්පිය සහ දෙදෙනෙකුට දිවි අහිමි කළ – ඝාතකයන් සැඟවූ වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන නඩුව” යන සිරස්තල යටතේ මේ කෘතියෙහි පළ කර ඇති විස්තර තුළින් පාඨකයා අපේක්ෂාවෙන් සිටි තොරතුරු රැසක් දැනගැනීමට අවකාශ සැලසෙනු ඇත.

නීතියේ සාධාරණත්වය පිළිබඳ ඇතැම් අවස්ථාවලදී පොදු ජනතාව තුළ පැන නැඟුණු ඍණාත්මක අදහස්වලට සැපයුණු පිළිතුරක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය. පුත්තලම ගල්කුලිය ලිහිණිගිරි විද්‍යාලයෙන් හා ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලයෙන් මූලික හා ද්විතීය අධ්‍යාපනය ලැබූ ඒ. ජේ.ඒ.අබේනායක, හුණුපිටිය ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සහ කොළඹ පේ. එම්. සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාව හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරියෙකි. ‘වයඹ ‘ විත්ති ප්‍රාදේශීය පුවත්පතින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිස ප්‍රාදේශීය මාධ්‍යවේදියකු හා නිදහස් මාධ්‍යවේදියකු ලෙස කලක් කටයුතු කළ ඔහු, 1997 වසරේදී ආණමඩුව ප්‍රාදේශීය අතිරේක වාර්තාකරු ලෙස දිවයින ජාතික පුවත්පතට සම්බන්ධ වී මේ වන විට එම පුවත්පතේ කොළඹ අධිකරණ මාධ්‍යවේදියා ලෙස කටයුතු කරමින් සිටියි. ඊට අමතරව රාවය, යුක්තිය, නිදහස, කෙළිබිම, යෙහෙළිය සහ රිවිර යනාදි පුවත්පත්වලට ද ඔහු සිය මාධ්‍ය දායකත්වය දක්වා ඇත.

මාධ්‍යකරණයෙන් ග්‍රන්ථකරණයට අවතීර්ණ වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ජේ.ඒ. අබේනායක විසින් ප්‍රකාශයට පත් කළ මුල්ම කෘතිය වන්නේ ‘යහපත් මැයි ගහ’ ළමා කෘතියයි. ඉන් අනතුරුව ‘යුවතියකගේ ප්‍රේමය’, ‘මියගිය හෘද සාක්ෂිය’ කෙටි කතා සංග්‍රහ ද්විත්වය එළිදැක්වූ ඔහු ඉකුත් වසරේදී සිය කුලුඳුල් නවකතාව ‘සුවඳ කඳුළු’ එළිදැක්වීය. ‘රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු ‘නමැති නවතම කෘතිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ජේ. ඒ. අබේනායක විසින් රචිත පස්වැනි කෘතිය පමණක් නොව ඔහුගේ ලේඛන දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ කෘතියක් බවට පත්වනු නිසැකය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division