සුජීවට තිබුණු ගැටලුව තමයි ජිනසිරිට මුහුණ දෙන එක. කොයි මොහොතක හෝ ජිනසිරි කඩා බිඳගෙන මෙතනට දුවගෙන එන බව සුජීවා දන්නවා.
“එක අතකට ටිකක් බීල ආවොත් හොඳයි”
කවදාවත්ම නැතිව සුජීවා හිතුවා
සාමාන්‍ය ජීවිතයේ කතා අඩු බැරෑරුම් පුද්ගලයකු වන ජිනසිරි බීගත්ත වෙලාවට සැහැල්ලු විනෝදකාමී පුද්ගලයෙක්. බීල කෑ ගහන ගුටි බැට හුවමාරු කරගන්න ඉතිහාසයක් ජිනසිරිට ලියවිලා තිබුණේ නැහැ.
එළහරක් හතර පස්දෙනාගේ රාජකාරිය කළේ සුජීවා. සුජීවා ජිනසිරිව කසාද බැඳලා එනකොටත් ජිනසිරිලාගේ පවුලට හරක් පට්ටියක්ම හිටියා. ඒත් ජිනසිරිගේ තාත්තාගේ මරණයත් එක්ක එකා දෙන්නා අඩු වුණු හරක් පට්ටිය දැන් වෙනකොට පස්දෙනකුට සීමා වෙලා. කිරි දොවන එක තමයි සුජීවගේ දවසේ පළමු කාරිය. කිරි ටික කඩයට ගිහින් දෙන්නේ ජිනසිරි.
ජිනසිරි නම් මේ හරක් කෙරුවාවට කම්මැළි. පෙදරේරුවෙක් වන ජිනසිරි හවසට ගේන සොච්චමෙන් දරු දෙන්නෙකුත් පාසල් යවාගෙන ගෙදර අඩු වැඩියත් පිරිමහගන්න බැරි නිසා හරක් හතර පස්දෙනා සුජීවාට ලොකු පිටිවහලක් වුණා.
නොමිලේම ලැබෙන ගොම ටිකෙන් පලා කොටුවත් සාරෙට හැදුණා. ඒකත් සුජීවට අමතර ආදායමක්.
කලින් දවසේ හවස ගේ පිටිපස්සේ පොල් ගහක ගැටගහල හිටපු සුදු වැස්සී ලිහාගෙන ගිහින් තිබුණේ පෙරෙයිදා පාන්දර. කිරි දොවන්න බාල්දියත් අරගෙන ගිහින් බලනකොට ලණුවත් එක්කම වැස්සි පේන්න හිටියේ නැහැ. ගැටේ බුරුල් වෙලා වැස්සිම ලිහාගෙන යන්න ඇති කියල හිතපු සුජීවා කෑගහල ජිනසිරිවත් ඇහැරවගෙන වට පිට ලඳු කැලෑවල හොයල බැලුවත් වැස්සි හිටියේ නැහැ.
අහල පහල උදවියත් එකතු වෙලා දවල් එකොළහ දොළහ වෙනකම් හෙව්වත් වැස්සි හම්බ වුණේ නැහැ. පෙරදා රෑ පොද වැස්සෙම තමන්ගේ ගෙදර බල්ලා නොනැවතී බිරූ බව කිව්වේ අල්ලපු ගෙදර ජයසිංහ. සුජීවට නම් ඔය මොකවත් ඇහුණේ නැහැ. දවස තිස්සේ නැහිලා නැහිලා මොරොන්තුඩුවේ පොළටත් ගිහින් ආවට පස්සේ ඇඳට වැටුණු ගමන්ම මළා වගේ නින්ද ගියා.
හැමෝම කිව්වේ පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාන්න කියලා. ජිනසිරි නම් ඔය පොලිසි ගානේ රස්තියාදු වෙන්න හොරයි. ඒ නිසාමද කොහෙද බයිසිකලේ නැගලා ” තව ටිකක් බලලා එන්නම් ” කියලා පිටවුණේ.
පොලිසි යන්න සිද්ධ වුණෙත් සුජීවට. කමලාවතී නැන්දා එක්ක ගිහින් ඇන්ට්‍රිය ලියලා ආවා. රාළහාමි ඇහුවේ සැක කවුද කියලා. ඒත් එහෙමට සැක කරන්න කෙනෙක් සුජීවගේ ඔළුවට ආවේ නැහැ.
ගෙදර ආවත් උයා පිහාගෙන කන්නවත් සුජීවට හිත් දුන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලම දරුවෙක් වගේ නාවල කවල පොවල අතගගා හැදුව සතා මස් කඩේටවත් බිලි වුණා ද කියලා හිතෙනකොට ඇස් දෙකෙන් කඳුළු පැන්නා.
ඉන්න හරක් පස්දෙනාගෙන් තුනක් වැස්සියො. වහු පැටව් දෙන්නයි. වැඩිපුරම කිරි දුන්නේ සුද්දි. තමන්ගේ දරුවන්ගේ ඇඟෙත් වැඩිහරියක් දුවන්නේ සුද්දිගේ කිරි නේද කියල හිතනකොට සුජීවට ඉහිලුම් නැතිව ගියා.
“නිමිත්තක්වත් බලමු” කියල ජිනසිරිට යෝජනා කළත්
” ඕව බොරු වැඩ ” කිව්වා මිසක් වෙන කරන්න දෙයක් යෝජනා කළෙත් නැහැ.
පේන කියන තැනක් ගැන ඔත්තුවක් අරගෙන ආවෙත් කමලාවතී නැන්දා.බණ්ඩාරගම පැත්තේ ටක්කෙටම පේන කියන තැනක් තිබෙන බවත් පේන කියන්නේ හවස හතරෙන් පස්සේ බවත් කිව්වට සුජීවා එක්ක ඒ ගමනට එකතු වෙන්න කමලාවතී නැන්දට ඉස්පාසුවක් තිබුණේ නැහැ.
ජිනසිරිට කිව්වත් පලක් නැති නිසා තනිවම හරි මේ ගමන යන්න සුජීවා තීරණය කළේ තමන් ප්‍රමාද වන හැම තත්පරයකින්ම සුද්දිට මස් කඩේ කොක්කට ඇති දුර අඩුවන බව දන්න නිසාමයි.
පාසැල ඇරී නිවෙසට ආ දෙදරුවන්ට බත් බෙදා දුන් සුජීවා පාරට බැස්සේ බණ්ඩාරගමින් හතට පිටත් වෙන බසයෙන් තමන් ආපසු පැමිණෙන බව කියමින්. .
හවස තුන පමණ වන විට පේන කියන ස්ථානය මිනිසුන්ගෙන් පිරී ගියා.
පූජා පවත්වා යාතිකා අහවර කර පේන කීම අරඹනකොට පහත් පහුවෙලා. පේන කිව්වේ නම අඬගහලා. හයත් පහුවෙනකම් සුජීවට අඬගැහුවේ නැහැ. පේන ඇහිල්ල පැත්තක තියලා එන්න හදනකොටම තමයි සුජීවගේ නම අඬගැහුවේ.
නැතිවුණු දෙයක් ගැන පවසමින් ඇරඹුණු පේනය ගමන් කළේ නැතිවූ වළල්ලක දිසාවට. සුජීවත් මැදිහත් වෙලා හරි පාරට ගත්තත් පේනකරු කීවේ තව දින දෙකකින් වැස්සිම කඹයත් සමඟම නිවෙසට පැමිණෙන බවයි.
සුජීවා බස් නැවතුම් පොළට පැමිණෙන විටත් අවසන් බස් රථය පාරට පැමිණෙමින් තිබුණා. පාපුවරුවට ගොඩවන විටම කොන්දොස්තර කෑගැහුවේ බසය යන්නේ මොරොන්තුඩුවට පමණක් බව කියමිනුයි.
” ඉතිරි දුර යන්නේ කොහොමද” සුජීවා ළතැවුණා
මොරොන්තුඩුවෙන් බහිනකොට අටට විතර ඇති. මොරොන්තුඩුවේ සිට කෙටි පාරක් ගමට වැටී තිබුණත් එය වැටී තිබුණේ කැලෑ කුට්ටි සහ පාළු කුඹුරු යායවල් පසුකරමින්. දහවලක වුවත් යෑමට බියක් උපදවන එම පාර තෝරාගනු හැර වෙන විකල්පයක් සුජීවට තිබුණේ නැහැ. අතේ තිබුණු ජංගම දුරකතනයත් බැටරි බැහැලා තිබුණා.
එකම ත්‍රිරෝද රථයක්වත් රථ ගාලේ තිබුණේ නැහැ. පාරේ ගමන් කරන ත්‍රිරෝද රථයක් නවත්වාගෙන තනියම එහි ගමන් කරන්නත් සුජීවට බය හිතුණා. ළඟ තිබූ කඩයකට ගෙඩ වූ සුජීවා එහි සිටි කාන්තාවගෙන්
“අක්කේ ඉටිපන්දම් නැද්ද” යැයි විමසා සිටියේ තද අඳුරේ යා නොහැකි නිසයි.
කාන්තාව ඉටිපන්දම් සොයන අතරතුර වයස පනහක පනස් පහක තරමේ හැඩි දැඩි අයකු “නංගී කොහේට ද යන්නේ” යැයි විමසා සිටියේ කරුණාවෙන්. එක්වරම කිසිවක් නොපැවසූ සුජීවා “කලපුගමට” යැයි පැවසූවේ ඇසෙන නෑසෙන හඬකිනි.
කලපුගම යැයි පැවසෙනවාත් සමඟම වෙෙළඳසලේ සිටි කාන්තාව “අනේ විජේපාල මල්ලියේ මෙන්න මේ නංගිවත් කලපුගමට ගෙනිහින් දාපන්. උඹත් යන්නේ ඒ පාරෙන්ම නේ”
පැවසුවේ සුජීවාව පුදුම කරවමින්. එවිට විජේපාල “යමු
මම ගිහින් දාන්නම්” යැයි පැවසුවත්, සුජීවා හිටියේ අදිමදි කරමින්.
සුදු සරමක් හා කමිසයක් ඇඳ පිටතට පෙනෙන ලෙස රන් දම්වැලක් ගෙල පැලඳ සිටි විජේපාල පැමිණ සිටියේ යතුරුපැදියකිනි.
සුජීවාගේ ප්‍රතිචාරය දුටු කාන්තාව
” ඇයි නංගි අඳුනන්නේ නැද්ද විජේපාල මල්ලිව. නෙල්ලි ගහ ගෙදර ලොකු විජේ කියන්නේ මේ මල්ලිට තමයි”
දැක පුරුද්දක් නැතත් සුජීවා විජේපාල පිළිබඳව අසා තිබුණේ අයුක්තියට එරෙහිවන කා හටත් පිහිටවන හිත හොඳ චණ්ඩියකු ලෙසය. ඔහුගේ චරිතයේ ඇදක් පලුද්දක් කිසිවකු කතා වනු සුජීවා අසා නොතිබිණි.
කෙසේ වුවත් විජේපාලගේ යතුරුපැදියට සුජීවා ගොඩ වූයේ වෙන කළ හැකි කිසිවක් නොමැති නිසාය.
යතුරුපැදියට නැඟුණු සුජීවා ඉඳගත්තේ විජේපාලගේ ඇඟේ නොවදින ලෙස බොහෝ පිටුපසට වන්නටය. යන අතරතුර ඇතිවූ කතාබහේදී පෙනී ගියේ විජේපාල ජිනසිරිව පමණක් නොව ඔහුගේ පරම්පරාවම හොඳින් දන්නා හඳුනන බවකි.
කෙමෙන් පහව යන බියත් සමඟ සුජීවා තැන්පත් වූවා පමණි යකඩ පාලම ළඟදී ඉදිරිපසින් වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් නැවැත් වූයේ මඟ හරස් කරමිනි. බයිසිකලය බ්‍රේක් තද කරනවාත් සමඟම වීසිවී ගිය සුජීවා තණබිස්සට වැටුණු අතර යතුරුපැදිය ද පෙරළා ගෙන විජේ වැටුණේ පාර මැදමය.
සිහි එළවා ගැනීමට තැත් කරද්දීම පොලු මුගුරු ගත් පිරිමි තිදෙනෙක් ත්‍රිරෝද රථයෙන් බැස්ස අතර ආවේස වූ පරිදි කෑගසමින් කාන්තාවක් පැමිණියේ අවසානයටය.
පිරිමි තිදෙනා පොලු මුගුරුවලින් විජේට පහර දෙද්දී ගැහැනිය සුජීවාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පාර දිගේ ඇදගෙන ගියේ පයින් ද පහර දෙමිනි. ඒ අතර ඇය මහ හඬින් බැණ වැදුණාය.
” මම කාලයක් තිස්සේ බලාගෙන හිටියේ අතටම අල්ලගන්න. හවසට හවසට ජැන්ඩියට ඇඳගෙන මොරොන්තුඩු ගාටනකොට මම හිතුව මොකක් හරි හොර ගමනක් තමයි කියල”
” දැකපු කීපදෙනෙක් ම කිව්වා රෑට රෑට ගාමන්ට් යන ගෑනියෙක්ව බයිසිකලේ දාගෙන එනවය කියල”
” කසාද බැඳපු දරුවොත් ඉන්න මිනිහෙක් නේද? කියල නිකමටවත් හිතුවද? මනමාලකම ඉහට ගැහුවම ඕවා කල්පනා වෙන්නේ නැහැනේ”
” ලෝකෙට නම් හරිම අපූරු සාධාරණ මිනිහ.
ගෙදර ගෑනිට තමයි සේරම හොර ”
බණින අතරම ගැහැනිය සුජීවාගේ මුහුණට වැරෙන් පහරක් එල්ල කළේ තොල පැළී ලේ ගලන ලෙසටය. සුජීවා ඇඳන් හිටි හැට්ටයේ පැත්තක් ඉරා දැමූ ගැහැනිය සුජීවාට තව තවත් පහරදී වෙලට පෙරළා දැමුවාය.
” අනුන්ගේ මිනිස්සු අල්ලගන්නවට මම අද තොට හොඳ පාඩමක් උගන්නනවා”
“තොට පාරෙ බැහැලා යන්න බැරි කරලා තමයි මම අද පස්ස බලන්නේ ”
නැගිට ගැනීමට ද නොහැකි සුජීවා අතහැර දැමූ ඔවුන් විජේව ත්‍රිරෝද රියට පටවා ගනිමින් පිටව ගිය අතර එක් අයෙක් විජේගේ යතුරු පැදිය පැදගෙන ගියේය.
අතට අහුවන තණ පඳුරු ආධාරයෙන් පාරට ඇදුණු සුජීවා නැගිට හිට ගැනීමට උත්සාහ කළ ද කැරකී ගොස් නැවත පාර මැදම ඇද වැටිණි. අතේ මැණික් කටුව දෙසින් තදබල වේදනාවක් දැනුණු අතර පැළුණු තොලෙන් මෙන්ම සීරුණු අතපයෙන් ද ලේ ගලායමින් තිබිණි.
ඇඳන් හිටි සුදු සාය හා හැට්ටය ඉරී රැල් වී තිබුණු අතර ගලා ආ රුධිරයෙන් තැන තැන රතු පැල්ලම් සෑදී තිබුණේ යක්ෂණියකගේ පෙනුමක් සුජීවාට ආරෝපණය කරමිනි. විදාහල බොකටු කොණ්ඩය පෙනුම තවත් බියකරු කළේය.
ඈතින් එන යතුරුපැදි සද්දයකින් නැගිට පාර මැද ඉඳගත් සුජීවා දෑත ඉහළට ඔසවමින් කෑගැසුවේ තමන්ට පිහිට වන ලෙස ඉල්ලමිනි. නමුත් සුජීවා දුටු යතුරුපැදිකරුවන් දෙදෙන යතුරු පැදියද හරවාගෙන පලා ගියේ මරහඬ දීගෙනමය.
අවසන තමන් අසල රථයක් නවත්වන හඬ සුජීවාට ඇසුණේ සිහිය අඩ සිහිය අතර වැටී සිටියදීය. ඇයව ඔසවා රථයට දමාගෙන රෝහලට රැගෙනවිත් තිබුණේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පොලිස් ජීප් රියකිනි.
පිරිසිදු කර බෙහෙත් දමා සුජීවා ව වාට්ටුවට දමන විට පාන්දර දෙක පමණ වී තිබිණි. ඇඳ ගැනීමට සායක් හා හැට්ටයක් රෝහලෙන්ම දී තිබුණු අතර මැණික් කටුවට ගල් ප්ලාස්ටරයක් දමා තිබිණි. වේදනා නාශක හා නිදි බෙහෙත්වල බලයෙන් රෑ එළි කරගත් සුජීවාව පෙළමින් සිටින්නේ තුවාලවල වේදනාව නොව ජිනසිරිට මහුණ දීමට ඇති ලැජ්ජාව සහ බයයි.
ජිනසිරි එනකොට අටට විතර ඇති. කොරිඩෝව දෙසට බෙල්ල දික්කරගෙන ඇඳ උඩ වාඩි වෙලා හිටපු සුජීවා ඈතදීම ජිනසිරිව දැක්කා. ජිනසිරි වාට්ටුවට ඇතුළු වෙනකොටම සුජීවා විලාප නැඟුවේ මේ දැන් කවුරු හරි පහර දෙන විදිහටයි.ජිනසිරිත් දුවගෙන ඇඳ ළඟට ආවේ සුජීවට හොඳටම අමාරු ඇති කියලා හිතාගෙන. සුජීවගේ ස්වභාවය දැකලා ජිනසිරිට ඇස් අදහගන්න බැහැ. මූණ ඉදිමිලා. එක ඇහැක් වැහිලා. තොල් දෙක කළු වෙලා. මළ මිනියක මූණක් වගෙයි.
” අනේ ජිනේ” කියමින් ගොත ගහනව ඇර කට ඇරලා වචන පිටකරන්න සුජීවට අමාරුයි. ගොත ගගහ සුජීවා කියන්න තැත් කරන්නේ මොකක්ද කියලා ජිනසිරිට තේරුම් ගන්න අපහසු වුණේ නැහැ.ඒක නිසාමයි දෑතින්ම අල්ලගෙන සුජීවා ව ඇඟට තද කරගත්තේ.
” ඔයා බයවෙන්න එපා සුජීවා…
මම ඔයාව හොඳට අඳුනනවා. ඔයා කවදාවත් වැරදි වැඩක් නොකරන බව මම විතරක් නෙවෙයි අපේ දරුවො දෙන්නත් දන්නවා ”
කවුරුවත් ඔයාව සැක කරන්නේ නැහැ”
” මගෙයි වරද. මට තිබුණා ඔයත් එක්ක ඔය ගමන යන්න එන්න”
ඒ වචන ටික ඇහෙනකොට සුජීවට තේරුණේ තමන්ගේ ඇඟේ අමාරවෙන් බාගයක්ම සුව වුණා වගේ.
” අන්න විජේ අයියත් පිරිමි වාට්ටුවේ ඉන්නවා. ඒ මනුස්සයට හොඳටම අමාරුයි.ඉස්සරහ දත් දෙකකුත් කඩලා”
” විජේ අයියගෙ පවුල තමයි එයාගෙ මල්ලි කෙනෙකුයි තව චණ්ඩි දෙන්නෙකුයි එක්ක ඇවිත් මේ වැඩේ කරලා තියෙන්නෙ. අන්තිමේ මිනිහව ඉස්පිරිතාලෙට ගෙනත් දාලා ගෑනි ගිහින් පොලිසියට බාරවෙලා”
” දැන් කූඩුවේ”
” ඕන චණ්ඩියෙක්ගේ චණ්ඩිකම් ගෑනි ළඟදි ඉවරයි කියන්නේ ඕකනේ”
කියමින් ජිනසිරි හයියෙන් හිනා වුණා. ඒ හිනාවට එක්වෙන්න හැදුවත් දැනුණු වේදනාව නිසා සුජීවා කට වහගෙන ඇස් දෙකෙන් හිනා වුණා.
ෂර්මිලා බංදුනී දංවත්ත