ප්‍රංශ අග්‍රාමාත්‍ය මිචෙල් බාර්නියර් විශ්වාසභංගය හමුවේ පරාජය වී ගෙදර ගියේ, ආණ්ඩුව ද බිඳ වට්ටවාගෙනය. වසර පනහකට ආසන්න මෑත ඉතිහාසයේ ප්‍රංශ රජයක් විශ්වාසය භංග කරගත් පළමු වතාව මෙයය. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ද විපක්ෂය දෝෂාභියෝගයක් ගෙනැවිත් සෝල් පුරයම සෝලියක් වී ඇත්තේය. ගෙවී ගිය සතිය තුළ, ලෝකය මේ අත්දැකීම් දෙක වින්දේය. ආණ්ඩු සඳහා මේ ආකාරයේ ඉක්මන් ප්‍රතිචාර ජනතාව දැන් ලබා දෙන්නේය.
බලය රඳවා ගැනීම උදෙසා ගල් යුගයේ දේශපාලන උපායමාර්ග දියත් කිරීම විසින්, දේශපාලන ව්‍යාපාර දියවී යන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාව ද මේ වසරේ අග භාගයේ අත්දැකීම් ලබා ඇත්තේය.
එවැනි දේශපාලන උපායමාර්ගයක් ලෙස මේ රටේ භාවිත වූ, බාර් ලයිසන් බෙදාදීමේ කතාව අද මාතෘකාවක් වී ඇති හෙයින් දේශපාලනයේ අලුත් තානය සමඟ මෙවැනි රටා වලංගු නොමැති බව සඳහන් කළ යුතු වේ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක සභාගත කරන ලද ලියවිල්ල අනුව, මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සුරාසල් බලපත් 361ක් නිකුත් කර තිබේ. වයින් ස්ටෝස් හෙවත් එෆ්. එල්. බලපත්‍ර 172ක් ද ඒ අතර වෙයි. සුරාසල් බලපත්‍ර යනු දේශපාලන ආයුධයකි. මන්ත්‍රී පට්ටමක් සඳහා නම් වූ විගස එහි සමස්ත පැකේජය තුළට බාර් ලයිසන්, කාර් පර්මිට් වැනි රාශියක් දෑ අඩංගු වන්නේය. ගෙවී ගිය හැත්තෑ වසරක දේශපාලනයේ, ආණ්ඩු පක්ෂයක් සිය සගයන් සතුටු කිරීම සඳහා භාවිත කරන ලද්දේ, ඔය ජාතියේ තෑගි මලුය. ගමේ පහළම දේශපාලන උනන්දුවා, පාරට බැස පෝස්ටර් අලවන, කොඩි වැල් එල්ලා රැස්වීම් සංවිධානය කරන, උද්ඝෝෂණ ආදිය ඳහා පෙලඹවිය හැක්කේ, උඩට ලැබෙන දෙයින් සොච්චමක් පහළට විසි කළ කල්හිය. විපක්ෂයේ සිටියදීම මේ සඳහා ලබා දෙන ‘අපේක්ෂා මල්ලේ’ පළාතේ මන්ත්‍රීවරයා වෙත ලැබෙන බාර් ලයිසම ප්‍රමුඛය. සුපිරි වෙෙළදසල් හි හැරුණු කොට, මේ රටේ ඇති හැම බාර් එකකටම එයට ආවේණික වූ පැහැයක් තිබේ. මේ වර්ණ තීරුව කොළ හෝ නිල් යන දෙකෙන් එකකි. බාර් ලයිසන් නිකුත් කිරීම සිය කැමැත්ත බවට පත්ව ඇති හෙයින් රටේ පාලක පන්තිය ඇබ්බැහි වී ඇත්තේ, තමන්ගේ සනුහරේ වෙත හිතුමතේ බාර් ලයිසන් බෙදා දීමටය.
දන්න කියන අය වෙත, වරපත් බෙදාදීමට මේ මධ්‍යකාලීන ප්‍රංශ යුගය නොවේය. ‘රාජ්‍යය යනු මමය’ කියා දාහතර වෙනි ලුවී ප්‍රකාශ කළ පරිදි, මේ සමයේ රාජ්‍ය පාලකයාට හෝ පාලක පක්ෂයට සිය සිතැඟි පරිදි හිතවත් සමාගම වෙත බාර් ලයිසන් බෙදා දිය නොහැකිය. මේ රටේ සුරාව සම්බන්ධයෙන් නෛතික රාමුවක් ඇත්තේය. 1921 අංක 8 දරන සුරා බදු ආඥා පනතේ සිට ආඥා පනත් දොළහක් ද ජාතික රාජ්‍ය සභාවේ සිට මේ දක්වා පනත් දහතුනක් ලෙස ද සුරාව සඳහා වූ මේ රටේ නෛතික රාමුව නිර්මාණය වී තිබේ. ඒ තුළ සිට මිස පෝරමයක් පුරවා ගෙන ආ විට, අත්සන් ගසා, පක්ෂයේ එකාට බාර් ලයිසන් බෙදාදීම සිදු කළ නොහැකිය. නීතිය නොව පුරුද්ද සම්මතය වී ඇත්තේ හෙයින් වසර පනහක පමණ කාලයක් ඒ ගැන කිසිවෙක් කතා කළේ නැත.
ඒ යුගය මීට වසර දහයකට පමණ පෙර නිමාවට පත්විය. එසේ තිබියදී ගිය ආණ්ඩුව බාර් ලයිසන් වටේට බෙදා දී තිබේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම බාර් ලයිසන් මුදලට ලබා දී රටට ආදායමක් ලබා ගත් බවය.
දැන් එය නඩු නිමිත්තකි. සුරාබදු රෙගුලාසිවලට පටහැණි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීමට එරෙහිව, මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇත්තේය. ඡන්ද අල්ලස් ලෙස බාර් ලයිසන් බෙදාදුන් පිරිසට සහ ලබා ගත් පිරිසට දැන් වටේ කතා කිය කියා යා නොහැකිය. නීතිය හමුවේ උත්තර දිය යුතුය. පාලන බලය ඇති කාලයේ තමන්ගේ වැයික්කිය සේ සිතා රටේ සෙල්ලම් දැමීම සඳහා වන්දියක් ගෙවිය යුතුය. ජනතා මුදල් නාස්තිය එකකි. නියමාකාරයෙන් බාර් ලයිසන් සඳහා මුදල් අය කළේ නම්, එයින් රජයට ලැබෙන ආදායම මෙයට වඩා දහ ගුණයක් වෙනවා ඇත. අනික් කරුණ නම් අනවශ්‍ය ආකාරයට දේශය මත්වතුරේ ගිල්වීමය.
දැනටමත් මත්පැන් නිෂ්පාදන ආයතන නොගෙවා පැහැර ඇති බදු ප්‍රමාණය කෝටි ගණනකි. ඒවාට අදාළ කාලසීමා ද ලබා දී අවසන්ව ඇත්තේ හෙයින් එක් ආයතනයක නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීම සඳහා පියවර ගෙන තිබේ. බදු මුදල් නොගෙවන තරම් හයියක් අරක්කු නිෂ්පාදකයන් වෙත ආවේ දේශපාලන බලය මත්තේය.
එහි දෙවැනි අදියර බාර් ලයිසන්ය. ජනතාවාදී ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින්, රටේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ඡන්දයට ඉදිරිපත් වෙන අයෙක් වෙත මේ ආකාරයට “අල්ලා ගනී’ කියා බාර් ලයිසන්, උඩ විසි කළ නොහැක්කේය. ඒවා අල්ලා ගන්නේ ද ඒ ජාතියේම මන්ත්‍රීවරුය. තමන්ගේ ආසනයේ ජනයාගේ මුදල් ටික වස විස සඳහා වියදම් කිරීමේ අවස්ථාවක් නිර්මාණය කර දෙන්නා, සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොවන වගට ජනතාව තීරණය කළේ එහෙයිනි.
ලැයිස්තුවේ තවම ප්‍රකාශ කර ඇත්තේ ලබා ගත් ආයතන පමණය. ඒ සඳහා මැදිහත්කරණය සිදු කළ මන්ත්‍රී, ඇමැති කවුදැයි වහාම රට දැන ගත යුත්තේය. මෙවැනි දේශපාලන කෙරුම් මින් මනත මේ රටට වුවමනා නැත. එහෙම කියා අල්ලස් ලෙස බෙදූ බාර් ලයිසන් සඳහා නිකම්ම සිටිය යුතු නැත. ඒවා අවලංගු කර, මහජන බදු වංචා කිරීම සම්බන්ධයෙන් දඬුවම් දීම ද අත්‍යවශ්‍යය.