තවත් මහ කන්නයක් ඇරඹී ඇත. නියඟය හමාර කරමින් මහ වැසි ඇද වැටී වැව් පිරී ඉතිරී වාං දැමුවේය. නිකිංනේ අඩියටම දිය සිදී බිම ඉරිතලා තිබූ ගම්මැදි වැව් වැහි දියෙන් පිරී යන්නේ මේ මාස් මෝසමේ වැසි ආධාරයෙනි. එනයින් මේ ගතව යන්නේ ගොවිතැන ජීවනෝපාය කොටගත් ගම්මැදි ජනී ජනයා ගොවිබිම් පිරිවරණ කාලයයි. මෙරට අතීත ගොවිතැන ජන සම්ප්‍රදායන් හා වටිනාකම් සමඟ ඈදි තිබුණේය. එය එක්තරා අන්දමක කලාවකි.
වගා කන්නය රැක දෙන ලෙස කරන බාරහාර
එකලෙහි වැව් බැඳි රජරට ගොවියන් වගා කන්නයේ කටයුතු ඇරඹීමට මත්තෙන් සිදු කළ සත්කාරයකි කිරි ඉතුරුම් මංගල්‍යය. මේ සිරිත් සම්මත කාරිය ගැමියන් මුට්ටි නැමීම ලෙසද හැඳින්වීය. සුබ නැකැත් වේලාවකට අනුව පේවී වැව අසල තෝරාගත් අතු පතර විහිදී ගිය වනස්පතියක් යට මුට්ටි නැමීම සිදු විය. දෙවියන් උදෙසා කන්නලව් පවත්වමින් නැවුම් වළං කට මිහිකත මත සිටින සේ තබනුයේ සරු වගා කන්නයක අපේක්ෂා පෙරදැරිවය. ගොවියන් මුට්ටි නමා දෙවියන් උදෙසා කන්නලව් පවත්වමින් වගා කන්නය රැක දෙන ලෙස බාරහාර වෙති.
වගා කන්නය පුරන විටදී මෙන්ම අහවරව ද කිරී ඉතිරවීම රජරට ඈත ගම්මැදිවල සිරිත් සම්ප්‍රදායක්ව පැවැත ඇත. මෙහිදි නවන ලද මුට්ටි තුනක් හෝ හතක් තෝරාගෙන ඒවා සෝදා පිරිසිදු කොට කිරි ඉතිරවීම සම්ප්රදාය වී තිබේ. කිරි ඉතිරීමට බොහෝ විට එවක ප්‍රයෝජනයට ගෙන ඇත්තේ දෙනුන්ගෙන් දොවාගත් එළකිරිය. කිරිබතෙහි පළමු කොටස ගොවිතැනට ඇල්ම බැල්ම හෙළා උදවු දෙන දෙවියන් උදෙසා කැපකර සිටියි. කැවුම්, කෙසෙල් ගෙඩි ආදියෙන් කිරිබත තවත් රසවත් කරයි. නැවුම් කිරිබත ගම්මැද්දේ කා අතරත් බෙදාදීම සිරිත් සම්මත චාරිත්‍රය වී ඇත. අනුරාධපුරය, තඹුත්තේගම ගම්මැද්දේ ඩබ්ලිව්. දසනායකට මේ අතීතය පිළිබඳව ඇත්තේ හොඳ අවබෝධයකි.
“අපි ඒ කාලේ ගොවිතැන් බත් කෙරුවේ දෙවියන්ගේ, බුදුන්ගේ රාජකාරියක් විදිහට හිතලා. ගොවිතැනේ හැම කටයුත්තක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ වතාවත්, ඇවතුම්, පැවතුම් එක්ක. ඒකෙන් පිට කවුරුවත් ගියේ නෑ. ඒ හින්දම ඒ කාලේ ගොවිතැන් ක්‍රම එක්ක ලොකු හැදිච්චකමක් තිබුණා. සාමුහික බවක් තිබ්බා. කවුරුවත් යායේ තනියම ගොඩ යන්ඩ හිතුවේ නෑ. මුළු යායම එකට වැපුරුවා. එකට අස්වැන්න නෙළා ගත්තා. ඕකට කිව්වේ කන්නෙට, කතාවට ගොවිතැන් කරනවා කියලා. මේ හින්දම මිනිස්සු අතර ගැටුමක් කියලා දෙයක් තිබ්බේ නෑ”
වෙල් විදානේගේ රාජකාරිය
එවක මහට කන්න වැසි ඇද වැටී වැව් පිරි ඉතිරී යත්ම නොඑසේ නම් වැව වාං දාත්ම වෙල් විදානේ විසින් ගොවියන්ගේ කන්න රැස්වීම කැඳවනු ලැබීය. වෙල් විදානේ කන්න රැස්වීම පිළිබඳ තොරතුරු ගොවියන්ට පවසා ඇත්තේ ගෙං ගෙට ගොස්ය. මෙහිදී වෙල් විදානේ යන නිල නාමයෙන් හඳුන්වනු ලැබුවේ ගොවියන්ගේ ඇළ වේලි කෙටීමේ සිට වැවෙන් වතුර බෙදා හදාදීම දක්වා වූ සියලු රාජකාරි භාරව සිටි පුද්ගලයාටය. ඔහු තලතුනා, අත්දැකීම් සපිරි අයෙකි.
කන්න රැස්වීමේදී කතිකා කරගත් පරිදි ඔවුන් වැඩ ආරම්භ කරනුයේ වනාත් කෙටීමෙන් නොමැති නම් කුඹුරු යායට ගමන් කරන අතුරු මාර්ග සහ ජලය ගෙන යන ඇළ මාර්ග සුද්ධ පවිත්‍ර කිරීමෙනි. පොදුවේ සිදු කළ යුතු මේ සියලු කටයුතු වෙල් විදානේගේ මඟ පෙන්වීම යටතේ අවසන් කිරීමෙන් පසුව ගොවියෝ ඔවුනොවුන්ගේ කටයුතු සඳහා යොමු වූහ. මෙහිදී කන්නය පුරා දියවර සපයන වැව පිරිපහදු කිරීම ගැමියන් වෙත පැවරෙන ප්‍රධානතම කාරියක් වී ඇත. අක්වැහි නැතිනම් කන්නයේ හාපුරා කියා වැටෙන වැහි වැටීමට පෙරාතුව වැව ඒ සඳහා සුදානම් කළ යුතුය.
උදලු, වක්කැති, වාංපතුල්, මන්නා පිහි, වැල් කුඩා ආදිය ඒ අතර වේ. වැවට බැසීමට පෙරාතුව දෙවියන් උදෙසා කන්නලව් කොට ආරක්ෂාව සලසා දෙන ලෙස ආයාචනය කරති. වැව් බැම්මේ වැවී ඇති කටු පදුරු, ලදු කැලෑ කපා සුද්ද පවිත්‍ර කිරීම සේම වැවේ කැඩී, බිඳී වළගැසී ඇති තැන් පස් දමා පිරවීම ආදිය වැවේ රාජකාරි අතරට ගැනෙයි.
හැම නිවෙසකම ගව ගාලක්
හා පුරා කියා කුඹුරට බහින ගොවියන් සමහරෙක් නියර කෙටීමෙන් පසුව බිංහීය හෑම සිද්ද කළේය. සමහර ගොවියන් බිංහීයෙන් පසුව නියර කෙටීම සිද්ද කළේය. මෙහිදී බිංහීය ලෙස හැඳින්වූයේ කුඹුරෙහි මුල් වරට සිදු කළ සී සෑමටය. බිංහීය බිංනැඟුම නමින් ද හැඳින්වීය. නියර කෙටීම ලෙස දැක්වූයේ නියර සුද්ධ කිරීමටය. මේ ආකාරයෙන් මුල් වරට සී සෑමෙන් පසුව දින කිහිපයක් ලියැදි තුළ ජලය ඒකරාශි කොට තබා ලියැදි කුණු වෙන්නට හැරියේය. මේ අතරතුර ගොවීයෝ නියර බැඳීම නොඑසේ නම් නියර මඩ තැබීම සිද්ධ කළේය. අවසන දෙහීය හාන්නේ ය. දෙහීය ලෙස හැඳින්වූයේ කුඹුරෙහි දෙවන වරට සිදුකළ සී සෑමටය. මෙකලෙහි සී සෑම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත කළ ද අතීතයේ සී සෑම මෙන්ම පෝරු ගෑම සිද්ද කළේ ද ගවයන්ගෙනි. එවක හැම නිවෙසකම පාහේ ගව ගාලක් දක්නට ලැබිණි. හරක් නැති උදවිය විය අඳේට ගවයන් ලබා ගත්තේය. විය අඳේ ලෙස හැඳින්වූයේ අස්වනු කපා පාගා ගත් පසුව ගාස්තුව ලෙස වී අස්වනු ලබාදීමටය.
මුළු වසර පුරාම මහත්සේ ප්‍රයෝජනවත් වූ ගවයන්ට අම්මා, අප්පා ලෙස ඇමතූ ගැමියෝ අවිහිංසක සතුන් කෙරෙහි වූ තම දයා කරුණාව අපුරුවට විද්‍යාමාන කළේය. හොඳ ගොවියකු මෙන්ම නුවර කලාවියේ ප්‍රකට කලාකරුවකු වන “සෝමරත්න උල්පතගම” අතීත ගොවිතැන් සම්ප්රදාය පිළිබඳව සිය මතකය අවදි කළේ මෙපරිද්දෙනි.
“අපි ගොවිතැන් කෙරුවේ ඉරයි, හඳයි ගැන විශ්වාසය තියාගෙන. ඕකට කිව්වේ චන්ද්‍ර මාස ගොවිතැන කියලා. ඔය විශ්වාසෙ හින්දම හරියටම වහින, පායන කාල වකවානු ගැන හොඳ අවබෝධයක් පරණ ගොවියන්ට තිබුණා. ඇත්තටම දැන් තියෙන්නේ සොබාදහමට විරුද්ධ ගොවිතැන් ක්‍රමයක්. මේ හින්දා අපිටවත් අහස ගැන හරියට අනාවැකි කියන්ඩ බෑ දැන්. වහින කොට හැමදේම අසානාසි වෙන්ඩ වහිනවා දැන්. පායනකොටත් එහෙමයි. මට නම් හිතෙන්නේ දැන් තියෙන ගොවිතැන නිකන්ම නිකන් ආදායම් හොයන්ඩ බලාගෙන කරන එකක් විතරයි. මේ හින්දම ගොවිතැනක් එක්ක තිබ්බ හැම වටිනාකමක්ම විනාශ වුණා. අපේ තිබ්බ මනුස්සකම් ටික ටික විනාශ වුණා. මට හිතෙන්නේ ඒක ගොවිතැනටත් බෝවෙලා ඉවරයි.”
වක්කඩ කපන හැටි
එකල්හි කුඹුරු වැඩ සමයට වැව් කන්දේ සිට පහළ බලන කල්හි කෙත් යායේ ආරම්භයේ සිට කෙළවර දක්වා මනාව දිස්වේ. හිසෙහි ජටාවක් බැඳ අමුඩයකින් සැරසී නියර මඬ තියන ගොවියන් සහ ගොයම් නෙළන හෝ පෝරු ගාන ගැමි ලියං දකින්නෙකුගේ නෙතට එය රසඳුනකි.
මුලික බිම් සැකසීමෙන් අනතුරුව ගොවියෝ ඒ මත වී වැපිරීම හෝ පැළ සිටුවීම කළේය. බිත්තර වී තුන් රැයක් වතුරේ දමා පොඟවාගත් පසුව ඒවා යහන්ගත කිරීම සිද්ද කළේය. යහන් කිරීම සිදු කළේ කෙසෙල් කොළ මතය. මේ ආකාරයෙන් දින තුනකට පසුව කණු කැපී නොඑසේ නම් මුල් මතුව ඇති වී ළියැදි මත වැපිරීම කළේය.
වී වපුරන්නේ සමබර ආකාරයකටය. වඩාත් තුනීවට වී ඉසිනු ලැබුවහොත් පැළපතය මදිය. වඩාත් ඝනකමට වී ඉස්සහොත් පැළවෙන ප්‍රමාණය නොමැතිනම් පැළපතය වැඩිය. මෙහෙයින්ම වී වැපිරීමේ දී ගොවීහු වඩාත් කල්පනාකාරී වූහ.
ලියද්ද මත වී වැපිරීමට පෙරාතුව ලියැද්ද තුළ ඇළ මං පෑදීම සිද්ධ කළ යුතුය. ඇළ මං පාදනුයේ ලියැද්ද තුළ ඇති ජලය බැස්සවීමටය. වතුර බැස්ස වූයේ වක්කඩ මඟිනි. ලියැද්දේ උඩ අතට වන්නට පාදන ඇළ කිවුල් ඇළ හෝ මඩ ඇළ ලෙසත් ලියැද්දේ ඇතුළාන්තයට වන්නට පාදන ඇළ මාර්ග අතු ඇළ ලෙසත් හැඳින්වූවේය. කෙසේ වුව ද මේ ඇළ මාර්ගවලින් බේරි ගලා එන වතුර බැස යෑමට කපන වක්කඩ මඳක් ප්‍රමාණයෙන් විශාල විය යුතුය. “මනමාලයටයි, ලෝභයාටයි වක්කඩ කපන්න බෑ. වක්කඩ කපන්න තරහකාරයකුට දෙන්න ඕන…” වැනි කියමනක් ගැමියන් අතර භාවිත වූයේ මේ කාරණාව පාදක කොටගෙන යැයි අනුමාන කළ හැකිය. මනමාලයෝ ලැජ්ජාශීලි වෙති. ලෝභයා අතිශය පිරිමැසුම්දායකය. තරහකරුවාගේ අරමුණ වාඩු පිරිමැසීමය. එහෙයින්ම මේ උපහැරණය ද ගැමියාගේ සියුම් නිරීක්ෂණ හැකියාවට තවත් කදිම නිදසුනකි.
තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්. ප්‍රදීප්