වර්තතමාන සමාජයේ කුඩා දරුවාගේ සිට මහල්ලාගේ දක්වා බොහෝ දෙනකුට නීරක්තය හෙවත් රක්තහීනතාව තත්ත්වය ඇති වී තිබේ. මේ නිසාම වෙනත් අතුරු ආබාධ ද පෙන්නුම් කරයි. යකඩ ඌනතාව ඇති වූ විට රුධිරයේ රතු රුධිරානු අඩු වී රත්ක හීනතාව ඇති වේ.
මේ තත්ත්වය තුළ දෛනික ජීවිතය අඩාළ කරවන විවිධ ගැටලු ඇති වේ. අලස බව, අධික වෙහෙස, හන්දිපත් රුදාව, ඇඟ සුදුමැලි වීම, ඇස් පෙනීම දුර්වල වීම, හුස්ම ගැනීම අපහසු වීම සිදු වේ. මේ තත්ත්වයට හේතුව හිමෝග්ලොබීන් අඩුවී ශරීරයට අවශ්‍ය ප්‍රාණ වායුව හෙවත් ඔක්සිජන් අවශ්‍යතාව අඩු වීමය. ඔක්සිජන් ලබා ගැනීම සහ පරිවහනය කරන ප්‍රමාණය අඩු වීමය. මේ තත්ත්වය හෘද ක්‍රියාකාරීත්වයට ද බලපානු ලබයි.
සුළු කොට තකන්න එපා
එබැවින් යකඩ හීනතාව යම් කෙනකුට තිබේ නම් එය සුළු කොට සැලකිය යුතු දෙයක් නොවේ. බරපතළ කාරණාවකි. ඊළඟට අප අවධානය යොමු කළ යුත්තේ අපට යකඩ හීනතාව ඇති වන්නේ කුමක් නිසාදැයි විමසීමටය. වර්තමාන සමාජයේ යකඩ ඌනතාවට ප්‍රධාන හේතුව ඒකාකාරී ආහාර රටාවය. යකඩ, ඛණිජ ලවණ අඩංගු ආහාර ගැනීම අඩු වී යෑමය. වත්මන් සමාජය තුළ අපේ ආහාර රටාවම විකෘතියක් වී තිබේ. සමබල ආහාර වේලක් සම්බන්ධයෙන් නිවැරැදි අදහසක් අපට නැත.
එමෙන්ම මස් මාංස පරිහරණය අඩු වීමත් සමඟ නිරක්තය වැඩි වන ආකාරය නිරීක්ෂණය වේ. මස් මාංස පරිහරණයෙන් ඈත් වූ නිර්මාංස පුද්ගලයෙක් නම් ඔහු සිය ආහාර වේල තුලනය සඳහා අවශ්‍ය දේ එළවළු පලතුරුවලින් කළමනාකරණය කර ගත යුතුය. ඒ සමතුලිතතාව බිඳුන විටත් යකඩ ඌනතාව ඇති වේ. එමෙන්ම ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය, අහාර ජීර්ණය නොවීම පෝෂණ අවශෝෂණයට බරපතළ ගැටලු උපදවයි. අතීතයේ අප අහාර ජීර්ණ පද්ධතිය විටින් විට අලුත් කර ගතිමු. මාස හයකට වරක් විරේකයක් කිරීමෙන් මෙම ජීර්ණ පද්ධතිය අලුත් කරගැනීම සිදු කරගත් අතර, එසේත් නැති නම් ජීරණ ක්‍රියාවලිය යහපත් කරගැනීමට ඖෂධ වර්ග ලබා ගත්තෙමු.
එමෙන්ම අප ගන්නා ආහාරවල යකඩ හීන වීම, දෛනික ආහාර රටා වෙනස් වීම වැනි කාරණා යකඩ ඌනතාවට හේතු වන වෙනත් සාධක වේ. අප පරිභෝජනය කරන්නේ සුදු පාට ආහාර නම්, එයත් යකඩ හීනතාවට එක්තරා බලපෑමක් ඇති කරයි.
යකඩ සරු පාරම්පරික ආහාර වේල
අපේ පැරැන්නෝ මේ බව දැන සිටියහ. නිවිති, වට්ටක්කා බඳු යකඩ බහුල ආහාර ගත්ත ද ඒ යකඩ අවශෝෂණය කරගන්නා ක්‍රමවේදයක් සැකසිය යුතුය. ඔවුහු ආහාරයක් සකස් කරන විට යකඩ අවශෝෂණය කරගැනීම සඳහා අවශ්‍ය ජීව පදාර්ථ ද ආහාරයට එක් කළහ. ගොටුකොළවල යකඩ තිබෙන අතර, ඒ යකඩ අවශෝෂණය සඳහා දෙහි එකතු කරගනු ලබයි. මදටිය දලු, දියබහරල, කොහිල දලු, රතු තම්පල, කූර තම්පල, නිවිති, මුරුංගා කොළ, කුරහන් පිටි, රතු කැකුළු හාල්වල යකඩ බහුලව තිබේ.
එවැනි ආහාර සැකසීමේදී ආහාරයේ පෝෂණ පදාර්ථ අවශෝෂණය කරගැනීම සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයක් අපේ පාරම්පරික ආහාර රටාවේ තිබිණි. උදාහරණයක් ලෙස යකඩ අවශෝෂණයට විටමින් සී සංඝටකය වැදගත් වේ. පැරැන්නෝ අපේ ආහාරවේලට ඇඹුලක් ලෙස සකස් කරගත් ව්‍යාංජනයක් එක් කරගත්හ. සමහර කොළ වර්ග, පලා වර්ග, වෑංජන හදන විට සියඹලා කැබැල්ලක්, ගොරකා කැබැල්ලක් එක් කළහ. මේ ඇඹුල් එකතු කිරීමේ පරමාර්ථය වූයේ මෙම ආහාරවල ඇති යකඩ අවශෝෂණය කරගැනීමට අවශ්‍ය පදනම සකස් කිරීමය. අපේ පිඟානෙන් අද ඇඹුල අයින් වී ඇත. ගොරකා යෙදූ ආහාර ප්‍රමාණය අඩු වී තිබේ. දෙහි දමා ආහාර ගන්නා ප්‍රමාණය අඩු වී තිබේ.
මෙම තත්ත්වය මග හැරගත හැක්කේ කෙසේද?
නිවිති, ගොටුකොළ මුරුංගා, මුරුංගා කොල, ධාන්‍ය වර්ග, රතු කැකුළු කොහිල දලු, කොහිල අලවල පවා යකඩ අඩංගුය. අප වට්ටක්කා අහාරයට ගන්නා විට වට්ටක්කා ඇට විසි කර දැමිමේ පුරුද්දක් ඇත. එහෙත් පැරැන්නෝ වට්ටකා ඇට කබලේ බැද වේලා පොතු හැර පොල් සමඟ ආහාරයට ගත්හ.
මේ වට්ටක්කා ඇටවල විශාල ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය අඩංගුය.
පීකුදු හොඳ ද?
මස් මාංස කන විට පීකුදු පරිභෝජනය රක්ත හීනතාව ඇති අයට නිර්දේශ කරනු ලබයි.
පීකුදු යනු සත්ත්ව අක්මාවය. සතුන්ට ලබා දෙන ආහාරවල ඇති විශාල වස විස ප්‍රමාණය තැන්පත් වන්නේ එම සතුන්ගේ අක්මාව තුළය.
පීකුදු කන විටත් ඉතා පරෙස්සම් විය යුතුව තිබේ. විෂ සහිත බැරලෝහ, රසායන සතුන්ගේ ආහාර සමඟ පැමිණ තැන්පත් වන්නේ අක්මාවේය. ඒ අනුව පෙර නිර්දේශ අදට කෙතෙක් වලංගු දැයි ගැටලුවක් මතු වේ.
කුකුළන්ගේ පීකුදු සම්බන්ධවත් හරකුන්ගේ පීකුදු සම්බන්ධවත් තත්ත්වය එයය.
ඇතැම් රසායන හා හෝමෝන කුකුළු කෑම සමඟ ශරීරගත වී සත්ත්ව අක්මාවල තැන්පත් වී තිබීමට ඉඩ ඇත.
ඒ නිසා වෙනත් උපද්‍රවත් ඇති විය හැකිය. පීකුදු බහුල භාවිතය වෙනුවට පොඩි මාළු වර්ග ආහාරයට ගත හැකිය. යකඩ හීනතාව ආහාර මඟින් මග හරවා ගැනීමේදී ද අප බොහෝ කල්පනාකාරී විය යුතුය.
කළ යුතු දේ
අප අපේ ජීවන රටාවේ පැවැත්ම මුළුමනින්ම වෙනස් කරගත යුතුය. වර්තමානයේ බොහෝ දරුවන්ට දක්නට හැකි රෝගයක් ලෙස නීරක්තය දක්නට ලැබේ. ගර්භිණී මාතාවන් බොහෝ දෙනෙකු නීරක්තයෙන් පෙළෙයි.
අප අවට ඇති ආහාරවලින් මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකි නම් බොහෝ අනාගත උවදුරුවලින් ජාතියක් ලෙස අපට ගැලවිය හැකිය.