සමස්ත ලෝකවාසී ජනයාම කරදර බාධකවලින් තොරව ජීවත් වීමට දැඩි කැමැත්තක් දක්වති. ඒ උදෙසා අණපනත් නීති රීතිවලට වඩා තමන්ගේ හික්මීම සංවරකම වඩාත් අගනේය. එවන් ස්වයං හික්මීමක් සංවරකමක් ලෙස අපට පංචශීලය හඳුන්වා දිය හැකිය.
පංචශීලය යන්න බෞද්ධයන්ට පමණක් සීමා වුණු බෞද්ධයන් පමණක් අනුගමනය කළ යුතු මාර්ගයක්ද නොවේ. එමෙන්ම පන්සිල් සමාදන්වූ පමණින් එසේත් නැත්නම් අප සාමාන්‍ය ව්‍යවහාරයේ කියනු ලබන ‘පන්සිල් ගත් පමණින්‘ ඔහු බෞද්ධයකු වන්නේද නැත. බෞද්ධයකු වීමට නම් ඔහු හෝ ඇය තුනුරුවන් සරණ යා යුතුය. එම දහම පිළිපැදිය යුතුය.
ඒ අනුව සලකා බලන කල පංචශීලය යනු මිහිපිට ජීවත් වන සියලු දෙනාටම ශික්ෂණ මාවතකි. ජීවන ප්‍රතිපදාවකි.
මේ මොහොතේ සිට ලෝකයේ සියලු ජනතාව පංචශීලය ආරක්ෂා කිරීම ආරම්භ කරන්නේ නම් හෙට දින වන විට මේ සමස්ත ලෝකයම සාමකාමී සාධු සම්මත ලෝකයක් බවට පත්වනු ඇත. ඇතැම් අය සිතන්නේ බෞද්ධයන් පමණක් පන්සිල් ගත යුතු හෝ බෞද්ධයන් පමණක් පංචශීලය අනුගමනය කළ යුතු බවකි. පංචශීලය ආරක්ෂා කිරීමෙන් පිරිපුන් මිනිසකු බවට පත්වීමට හැකිවනු ඇත. එවිට ඒ තැනැත්තා බෞද්ධ හෝ වෙනත් ආගමිකයකු වන්නේදැයි සෙවීමක් අවශ්‍ය වන්නේ නැත. සමාජයට ඇවැසි වන්නේ විලි බිය ඇති සමාජ සම්මතයන්ට ගරු කරන තැනැත්තෙකි. එයින් එම තැනැත්තාට සෙසු ජනතාවගේ ප්‍රසාදය හිමිවනු ඇත.
පංචශීලයේ අර්ථයන් මැනවින් වටහාගෙන බැලුවහොත් එය තවත් පසක් කරගත හැකි වනු ඇත. මිනිසා සියලුම වැරැදි මාර්ගවලින් ඉවත් කර යහමඟට ගත හැකි මාර්ග මේ පංචශීල රාමුව තුළ දක්නට තිබේ.
පංචශීලයෙන් දුරස් වීමේ විපාක
ලෝකයේ සිරගෙවල් පිරී ඇත්තේ ඇයි? එකම හේතුව පංචශීලයෙන් දුරස් වීමය. පංචශීලයේ පළමු ශික්ෂාපදය ගෙන බැලුවහොත් එයින් කියවෙන්නේ ‘අනුන්ගේ ප්‍රාණය නැති කිරීම වරදක් වන නිසා මම එයින් වළකිමි, නැත්නම් එම ශික්ෂා පදය ආරක්ෂා කරමි‘ යන්නයි.
එය අනුගමනය කිරීමෙන් වඩාත් පිහිටක් ප්‍රතිලාභයක් ලැබෙන්නේ තමන්ට වඩා බාහිර ලෝකයටය. මිනිසා ඇතුළු සියලු සතුන්ගේ ජීවිත ආරක්ෂාව එයින් සැලසේ. එය ඇත්තෙන්ම ජීවිත රක්ෂණයකි. අනුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්නකි. ඒ හරහා තමාද ආරක්ෂා වන්නේය.
එමෙන්ම දෙවන ශික්ෂා පදය ආරක්ෂා කිරීම වන අනුන් සතු දෙයක් සොරකම් නොකිරීම යන්න ‘සොර බිය රක්ෂණය‘කට සමානය. අනුන්ගේ වස්තුව ආරක්ෂා කිරීම, මිනිස්සුන්ගේ වගකීමක් යුතුකමක් යන්න එයින් අපට වටහාගත හැකිය. ඒ හරහා ලොව ඇති සියල්ල සුරක්ෂිත වනු ඇත.
මෙහිදී විශේෂයෙන්ම සලකා බැලිය යුතු වන්නේ තුන්වන ශික්ෂාපදය වන කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීමය.
අද වන විට පවුල් සංස්ථා කුටුම්බ බිඳවැටී ඇත්තේ මේ තත්ත්වය නිසි ලෙසින් තේරුම් නොගැනීම නිසාය. ස්වාමි – භාර්යා සබඳතාව නිසි ලෙසින් වටහා නොගැනීම නිසාය. ස්වාමියා වෙනත් කාන්තාවක් හා සබඳතා පවත්වන්නේ නම් හෝ භාර්යාව වෙනත් පුරුෂයකු හා සබඳතා පවත්වන්නේ නම් අනිවාර්යෙන්ම එතැන විශාල ගැටලු නිර්මාණය වනු ඇත. ඒ පවුල සමාජයේ විපත්තිදායක පවුලක් බවට පත් වනු ඇත. එම පවුල තුළ සාමය ආදරය නොපවතී.
පවුලක් තුළ පතිභක්තිය ආරක්ෂා කරගැනීම සමස්ත සමාජයටම අවශ්‍ය වන්නකි. සමාජයේ ඉතා කුඩාම ඒකකය වන්නේ පවුලයි. කුඩා පැල්පතක් වුවත් මහා මන්දිරයක් බවට පත් කර ගන්නට ආදරය සෙනෙහස පිරුණු පවුලකට හැකියාව තිබේ.
ඔවුනොවුන් පිළිබඳ ආදරයෙන් සෙනෙහසින් සිටින්නේ නම් සතුටු මන්දිරයක් එතැන ඉදිවේ. එසේ නොමැති වුවහොත් එම පවුල් සංස්ථාව කඩාවැටීම සිදු වේ. පවුලක අන්‍යෝන්‍ය පැවැත්ම ස්ථිර වන්නේ ළෙන්ගතුකම වැඩි වීමේදී පමණකි.
සියල්ලටම මුල්වන සිත
සියල්ලටම මුල් වන්නේ සිත බවද අප තේරුම්ගත යුතුයි. පංචේන්ද්‍රියන් පිනවීමට නිරතුරුවම සිත උත්සහ ගනී. උදාහරණයක් ලෙස යම් රූපයකට හිත කැමති නම් වරක් දුටු ඒ රූපය පිළිබඳ සිත ආසාවක් ඇති කර ගනී. යළිත් ඒ රූපය ඉල්ලා සිටී. ඒ රූපය තමන්ට ලබාගැනීමට අපහසු නම් එසේත් නැත්නම් තමන්ට හිමි නැතිනම් කෙසේ හෝ එය ලබා ගැනීම පිණිස කටයුතු කරනු ඇත. ඒ රූපය හඹා යන්නට කටයුතු කරනු ඇත. එහිදී සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වෙයි. ආයුධ අතට ගනු ඇත. නීතියෙන් තහනම් දේ වෙත පවා අවධානය යොමු වනු ඇත. එහි අවසානය තමන් නොසිතූ විරූ ලෙස සමාජ ව්‍යසනයක් ලෙස වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, තමාද එහි එක් ඉලක්කයක් වීම අනිවාර්යෙන්ම සිදු වන්නේය.
අපගේ සීමාවන් අප දැනගත යුතුය. එම සීමාවන් ඉක්මවා නොයා යුතුය. සීමාව ඉක්මවා ගිය තැන අනිවාර්යෙන්ම විනාශයක් සිදු වන්නේය. එම නිසා සිතට එන සෑම අරමුණක් කෙරෙහිම අවධානය යොමු කර එය මුදුන් පත් කර ගැනීමට කටයුතු නොකළ යුතුය. ඒ උදෙසා අපට ඇති ‘ප්‍රඥාව‘ අනුව කටයුතු කළ යුතුය. පංචේන්ද්‍රියන් නිරතුරුවම විවිධ අරමුණු කරා යොමු වන අතර, ඒ අරමුණු පාලනයක් ඇතිව තමන් ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුය.
අරමුණක් සිතට ආ පමණික් එම අරමුණ මුදුන්පත් කර ගැනීමට අපට නොහැකි බව තේරුම්ගත යුතුය. එහිදී අපට ගැළපෙන අරමුණ කුමක්ද යන්න ගැන ප්‍රඥාවෙන් විමසා බැලිය යුතුය. නමුත් එසේ නොවන සමාජයක් අද බිහිව තිබේ. මේ හේතුවෙන් ගිනි ගනිමින් තැවෙන්නට අපට සිදුව තිබේ. විශාල ගැටලු අර්බුද මතුව ඇත. අප සිතට වහල් වන තත්ත්වයට පත් නොවිය යුතුය.
අප අවධානයෙන් බුද්ධියෙන් අරමුණු කර ගත යුත්තේ ‘ඒ රූපය ලස්සනයි තමයි, නමුත් අපට නැත්නම් මට අයිති නැහැ‘ යන්නයි. බුදු දහමේ දැක්වෙන්නේ හිමි අරමුණක රසය විඳිනවාට වඩා අහිමි අරමුණක් ප්‍රතික්ෂේප කිරීමෙන් මනසට ලැබෙන සුවය අසීමිත බවයි. බුදුරජාණන් වහන්සේ නිරතුරුවම පුද්ගල මනස යොමු කර ඇත්තේ මේ කෙරෙහිය.
ආදර්ශයේ ඇති වැදගත්කම
විශේෂයෙන්ම මවුපියන් දරුවන්ට ආදර්ශයක් ලෙසින් කටයුතු කළ යුතුය. දූ දරුවන් නිරතුරුවම මවුපියන් දෙස බලා සිටින නිසා දරුවන්ට යහපත් දේ උකහාගත හැකි ලෙස මවුපියන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. මවුපියන් නිසි මඟ නොගොස් දරුවන් සුමඟට යොමු කළ නොහැකිය.
වැඩිහිටි වැරැදි ගමන් මාර්ග නිසා මේ වන විට සමාජය අතිශයින් සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබේ.
විශේෂයෙන්ම අද වන විට සමාජයටම පිළිලයක් වී ඇති ඒඩ්ස් වැනි මාරාන්තික රෝග හටගෙන ඇත්තේ වැරැදි සමාජ ඇසුර නිසාය. තුන්වන ශික්ෂාපදය කඩ කිරීම නිසාය. මේ තත්ත්වය වැළැක්වීමට බුදු හිමි විසින් ලබා දුන් මාර්ගයම අනිවාර්ය වන්නේය.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන අඹු සැමි සබඳතා ගැන අවධානය යොමු කළ යුතුමය. විශේෂයෙන්ම ස්වාමිපුරුෂයන් විසින් තම බිරිය ඉක්මවා නොයා යුතු බව දැක්වේ. එමෙන්ම භාර්යාවද තම ස්වාමි පුරුෂයා ඉක්මවා නොයා යුතු බව දැක්වේ.
එමෙන්ම පරාභව සූත්‍රයේ දැක්වෙන පිරිහීමේ දොරටු ලෙස දක්වා ඇති ස්ත්‍රිය කෙරෙහි මෙන්ම සුරාව කෙරෙහි ලොල්වීම පිරිහීමක් බව දක්වා ඇත. එයද අද වන විට තමන් පමණක් නොව සමස්ත සමාජයේම පිරිහීමක් බවට පත්ව ඇති බව අපට පසක් වේ.
මේ නිසා පෙර සඳහන් කළ ඒඩ්ස් වැනි රෝග මැඬ පැවැත්විය හැක්කේ ඒ වෙනුවෙන් දිනයක් වෙන් කිරීමෙන් හෝ ඒ සම්බන්ධ අයට දඬුවම් කිරීමෙන් නොවේ. එම තත්ත්වය අවබෝධයෙන් යුතුව වළක්වා ගනිමිනි. ඒ උදෙසා අප පවුල් සංස්ථාව ආරක්ෂා කර ගත යුතුය. ඊට කළ යුතු එකම ක්‍රමවේදය වන්නේ තුන්වන ශික්ෂා පදය පුමුඛව පංචශීලය ආරක්ෂා කිරීමය.
බොරුව සමාජ පිළිලයකි
එසේම පංචශීලයේ දැක්වෙන මුසාවාදයද සමාජයටම මහත් පිළිලයකි. බුදුරජාණන් වහන්සේ විසින් බොරුවෙන් මායාවෙන් අප ඉවත් කර නිවැරැදි සත්‍ය මාර්ගයම අපට හඳුන්වා දී ඇත. එවන් තත්ත්වයක් උඩ අප විසින් යම් අයකු හෝ කණ්ඩායමක් සත්‍ය නොවන්නකින් මුළාවට පත් කරන්නේ නම් එතැන සමාජ සංස්ථා බිඳවැටීමක් අනිවාර්යෙන්ම සිදු වන්නේය. සමාජය නොමඟ යාම හරහා සත්‍යය සමාජයේ ස්ථාපිත නොවේ. එවිට අධර්මය සමාජගත වනු ඇත. බොරුව හෙයත් මුසාවාදය බරපතළ අකුසලයක් බව අප තේරුම්ගත යුත්තේ එහෙයිනි.
එසේම සිහි විකල් තත්ත්වයට පත්වන ප්‍රමාදයට පවා හේතුවන මත්වතුර බීමේ ආනිශංස අපට සමාජයේ දිනපතාම දක්නට ඇත. ඒ හරහාද පවුල් සංස්ථා බිඳ වැටේ. අද වන විට මත් උවදුර සමස්ත ලෝකයම ගිලාගෙන තිබේ.
මිනිසා කායික මානසික දෙඅංශයෙන්ම විනාශය කරා යාමට මත් උවදුර හේතු සාධක වී ඇත. ඒ හරහා විශාල සමාජ පරිහානියක් අපට දක්නට තිබේ.
එම නිසා ලෝකයම සුවපත් කරන්නට නම් මේ සිල්පද පහ පමණක් ආරක්ෂා කිරීම වුවද ප්‍රමාණවත් වනු ඇත.
පටිච්ච සමුප්පාදය ආර්ය මාර්ග කරා යොමුවීමට පෙර අප සමාජයම සදාචාර සංවර කර ගත යුතුය. ඒ උදෙසා පංචශීලය අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු දහමක් බව අපට පැහැදිලිය. අපට වැරදි මාවතේ සිට නිවන් මඟ සොයා ගත නොහැකි බව අප විශේෂයෙන්ම අවබෝධ කර ගත යුතුය.
සමස්ත සමාජයම සුවපත් කරන්නට හැකි පංචශීලයට ලොව කිසිදු අයකු අකමැති නොවනු ඇත. එය ආගමක් හෝ ජාතියක් හෝ ගෝත්‍රයක් උදෙසා සීමාවූවක් නොවන බව සිතා සියලු දෙනා අනුගමනය කළ යුතුය. එය ඇත්තෙන්ම සියලු දෙනා පිළිපැදිය යුතු පිළිපැදිය හැකි ජීවන මාර්ගයකි. ඒ තුළ ඇත්තේ ආගමික සම්ප්‍රදායකටත් වඩා යහපත් මිනිසකු ලෙස ජීවත් විය හැකි දහම් කරුණු සමුදායකි.
තාරක වික්‍රමසේකර