ඉන්දියාවේ නාලන්දා ප්‍රදේශයෙන් පැමිණි ආර්යයන් විසින් පිහිටුවා ගන්නා ලද ආර්ය ජනාවාසයක් ආශ්‍රිතව නාලන්දා ගෙඩිගේ නිර්මාණ කොට ඇතැයි කියැවේ. ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය ලෙස බොහෝදෙනෙකු සලකන්නේ මාතලේ නාලන්දා ගෙඩිගෙය, මාතලේ සිට දඹුල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ 48 වැනි කිලෝමීටර් කණුව ආසන්නයෙන් දකුණු දෙසට හැරී කි.මී එකහමාරක් පමණ දුරක් ගමන් ගත් විට පිහිටා ඇත.
ගෙඩිගේ සම්ප්‍රදායට අයත් විහාර නටබුන් දක්නට ලැබෙන මෙම භූමියට පිවිසිය හැකිය. නාලන්දා ගෙඩිගේ බෞද්ධ හා හින්දු ආගමික ඇදහිලිවල සංකලනයත් ථේරවාදය හා මහායාන සංකල්ප මතත් ගොඩනැඟී ඇති බැවින් මෙය විශේෂිත වූ ස්ථානයක් බව සඳහන් කළ යුතුය. මෙහි කැණීම්වලදී හමුවූ සෙල්ලිපියක, මෙම භූමියේ විහාරස්ථානයක් පැවති බව හා විහාරස්ථානයක් තුළට ඇතුළු කර ගත යුතු සහ ඇතුළු කර නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් එම සෙල් ලිපියේ තොරතුරු අඩංගු වේ.
හින්දු කොවිලක ආකාරයට මෙය නිමවා තිබීම දකින්නා තුළ වෙනස් හැඟීම් ඇති කළද ඇතුළත ඇත්තේ බුදු පිළිම ය. මෙම පෙදෙසට නාලන්දා යන නම ලැබීම පිළිබඳ ද අපූරු පුරාවෘත්තයක් වේ.
නාලන්දා නම් දමිළ කුමාරයකු තම ආගම ඇදහීම උදෙසා කෝවිලක් ඉදිකර වැඳුම් පිදුම් කළ ස්ථානය එයට නාලන්දා නම ලැබීමට හේතු වී ඇත. ඒ අසල බෝධිමූලයේ වැඩ සිට බවුන් වඩන භික්ෂූන් වහන්සේ තමනට කළ හිරිහැර නිසා තමාට අත් වූ දේව කෝපයෙන් මිදීමට නාලන්දා කුමරු පළමුව ගල් මුල් ගසා පලවා හැරි භික්ෂුව යළි වඩමවා මෙම ස්ථානයේ විහාරස්ථානයක් බවට පත්කර දී ඇත. කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන් වහන්සේගේ පිරිනිවන්පෑමෙන් ආදාහනය කරවා භෂ්මාවශේෂ ගෙන එහිම ස්තූපයක් කරවා ඇත.
එය මීටර් 25ක පමණ වට ප්‍රමාණයකින් නිමවා ඇත. එය අදට ද පවති. විශාල ගල් පුවරුවලින් මෙහි බිත්ති නිමවා තිබේ. එසේම වහලය ද ගල් උපයෝගයෙන් නිමවා ඇත. විස්මයජනක කරුණ වන්නේ පියස්සේ වක්‍ර හැඩය මනාව ගෙන තිබෙන අයුරුය. මෙම නිර්මාණ ක‍්‍රමයට ලංකාවේදී හමුවන එකම ගොඩනැඟිල්ල වන්නේ නාලන්දා ගෙඩිගේ පමණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණවලට අනුව අඩි 23 උස් මළුවකට මෙම ගොඩනැඟිල්ල ගෙන එනු ලැබීම විස්මයජනකය. දැනට පවතින ප්‍රවේශ මාර්ගය ද ඉතාම අලංකාරව නිමවා ඇත. මෙම නිර්මාණාත්මක ගොඩනැඟිල්ල නැරඹීමට ද තණපලස රැඳුණු මළුවට පිවිසෙන දෙස් විදෙස් සංචාරක පිරිස අතිමහත්ය. වැව් දියෙන් වට වූ පෙදෙස අනුරපුර, පොලොන්නරුව නටබුන් පිරි ඓතිහාසික පෙදෙස් සිහියට නංවයි.
ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය නාලන්දා ගෙඩිගෙය ද?
ලංකාවේ මධ්‍ය කේන්ද්‍රීය ස්ථානයේ මෙම ගෙඩිගේ ඉදිකර ඇති බව විශ්වාසයයි. එමෙන්ම අතීතයේ සිටම සිංහල රජුන් දවසත් බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේත් මෙම භූමියට ප්‍රමුඛත්වයක් හිමි විය. එයට හේතු වූයේ අනුරාධපුරය, පොලොන්නරුව හා මහනුවර යන නගරයන් කේන්ද්‍රීයව මෙම ස්ථානයේ පිහිටීමය.
මේ අනුව නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා ඇති බව පුරාණයේ සිටම ඇතැම්හු විශ්වාස කළහ. තවත් විශ්වාසයකට අනුව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මෙම ස්ථානය භාවිත කළ බවත් මෙම ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියැවේ. මේ අනුව රාවණා පුරාවෘත්තය විශ්වාස කරන විද්වත්හු සහ විචාරකයෝ ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය නාලන්දා ගෙඩිගෙය බව පවසති.
එහෙත් ඇතැම් විද්වත්හු සහ විචාරකයෝ නාලන්දා ගෙඩිගෙය ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය මත ඉදි කර ඇති බව කිසිවකු විසින් මේ දක්වා තහවුරු කර නොමැති බව ද තර්ක කරති.
පල්ලව වාස්තු විද්‍යාව
ශිලාමය නිර්මාණයක් වන නාලන්දා ගෙඩිගේ මුළුමනින්ම කළු ගල් භාවිත කර නිමවා ඇති අතර, ඉන්දියාවේ ක්‍රි.ව 6 වැනි සියවසේ සිට 9 වැනි සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍ය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවධිය ලෙස සැලකෙන නරසිංහ වර්මන් හෙවත් මාමල්ල ශෛලිය, ගෙඩිගෙය නිර්මාණයට යොදා ගෙන ඇත. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ හින්දු කෝවිලක ස්වරූපයෙන් නාලන්දා ගෙඩිගේ නිර්මාණය කර ඇති අතර, ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාදි මෙන්ම මහායාන ඇදහිලි ද, එසේම හින්දු ඇදහිලි ද, මිශ්‍ර කර තිබෙන බව සඳහන් කළ යුතුය. ඒ අනුව පල්ලව ශෛලිය යටතේ ඉදි කළ වර්තමානය වන විට ලංකාවේ ඉතිරිව ඇති එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්දා ගෙඩිගෙයයි.
හින්දු සේම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ද මෙහි දැකිය හැකි අතර, පිවිසෙන ස්ථානය බෞද්ධ විහාරස්ථානයක් මෙන් නිර්මාණය කොට තිබේ.
සංරක්ෂණ කටයුතු

ප්‍රතිසංස්කරණය ගැන සඳහන් පුවරුව
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ වෙනමම දෙපාර්තමේන්තුවක් පිහිටු වූ කාලයේදීම එවකට පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු විය. ඒ අනුව 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබූ ගෙඩිගේ හි දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදි. 1911 වසරේදී පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් විසින් මෙහි පස්වලින් යටවී තිබූ සියලු කොටස් පාදා ගත් අතර, තහවුරු කිරීමකට උපයෝගි කර ගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මඟපෙන්වීම යටතේ තැන්පත් කෙරිණි. ඔහු විශ්‍රාම යාමෙන් පසුව නැවත වරක් නාලන්දා ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු වූයේ 1927 – 1928 කාලයේදීය. ගෙඩිගෙයි වේදිකාව මත පැතිර තිබූ නුග මුල් ඉවත් කිරීමක් සිදු වූ අතර, එම අවස්ථාවේදී වේදිකාවේ කොටසක් පවා ගලවා ඉවත් කරන්නට සිදු විණි. වර්ෂ 1953දී සෙනරත් පරණවිතාන සමයේදී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතු කර ගත් අතර, ස්තූපය ප්‍රතිසංස්කරණය කරන ලදි. අනතුරුව ගෙඩිගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු වූයේ 1970 දශකයේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශය බෝවතැන්න ජලාශයට යටවීමට නියමිතව තිබූ හෙයිනි.
එහිදි ගෙඩිගෙය ආරක්ෂා කර ගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදි කිරීමේදී අබුසිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදි කළ පරිද්දෙන් සියලු කොටස් සංකේත යොදමින් ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කරනු ලැබිණි. එහිදී ගෙඩිගෙය හි පාදම කැණීම් කිරීමටද පුරාවිද්‍යාඥයන්ට හැකි වූ අතර, චතුරස්‍රාකාර ශිලාමය පදනමක් පාදා ගන්නා ලදී. ගෙඩිගෙය නැවත සැකසීමේ කටයුතු එම ප්‍රදේශයේ කඳු මුඳුනක සිදු කිරීමට යෝජනා වුවද, පසුව නැවත වරක් එය මුලින් පිහිටි ස්ථානයේම ඉදිකිරීමට යෝජනා විය. ඒ අනුව එවකට සංස්කෘතික අමාත්‍ය ඊ.එල්.බි. හුරුල්ලේ මහතාගේ තීරණය මත 1977 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ අංශාධිපති වූ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලකගේ අධීක්ෂණය යටතේ ඉදි කරන ලදි. 1980 වසරේදී මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලකගේ සහ පෙදරේරු එම්. විමලදාස යටතේ වැඩ ආරම්භ කරමින් මහවැලි සංවර්ධන අධිකාරිය මඟින් නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානයේ අඩි 23ක් උස් වූ සමචතුරස්‍රාකාර බිම් කඩක් මෙන්ම එම උසින්ම මාර්ගයක් ද ඉදි කරන ලදි. ගර්භ ගෘහයේ වහල සම්පූර්ණ කරමින් මෙහි වැඩ කටයුතු අවසන් වූ අතර, පෙර පැවති තත්ත්වයෙන්ම ගෙඩිගෙය සකස් කර ගැනීමට පුරා විද්‍යඥයෝ සමත් වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ආකාරයේ සංරක්ෂණ කාර්යයක් කළ ප්‍රථම අවස්ථාව ද මෙය විය.
ඉතිහාසය
මෙම ගොඩනැඟිල්ල කවුරුන් විසින් ඉදිකර වූවාදැයි ඉතිහාසයෙන් සාක්ෂි නොලැබෙතත්, අවට මූලාශ්‍රවලට අනුව, පළමුවැනි පරාක්‍රමබාහු රජු බලය තහවුරු කර ගැනීම සඳහා ගජබාහු සහ මානාභරණ යන රජවරුන් සමඟ කළ සටන්වලදී නාලන්දේ බළකොටු පිහිටුවා ගත් බව මහාවංශයේ සඳහන් වේ. පරාක්‍රමබාහු රජ පොලොන්නරුව යටත් කර ගැනීමට ප්‍රථම ඇළහැර පෙදෙස යටත් කර ගැනීමේදී නාලන්ද බළකොටුව ඉමහත් ප්‍රයෝජනවත් වන්නට ඇත.
යුදමය කටයුතු සඳහා ඉතා යෝග්‍ය තැනක් බව පසක් වූ බ්‍රිතාන්‍යයන් ද 1818දී ඇතිවුණු උඩරට මහ කැරැල්ල අවස්ථාවේදී හමුදා මූලස්ථානයක් ලෙස නාලන්දය තොරා ගෙන තිබේ. එසේ පිහිටුවා ගනු ලැබූ බ්‍රිතාන්‍ය බළකොටුව පිහිටි ස්ථානය කුඩා කඳු ගැටයක ඇති බවත් වර්තමානයේ කොටුවේ ගොඩැල්ල ලෙස ව්‍යවහාර වන බවත් දැක්වේ.
නාලන්දා ගෙඩිගෙයහි ඇති පිළිමය පුරාවිද්‍යාඥා කොමසාරිස් එච්.සී.පී. බෙල් විසින් විස්තර කොට ඇත්තේ දේව ප්‍රතිමාවක් බවය. හිරු උදාවන විට ඕවරකය මත පතිත වන හිරු රැස්වලින් සූර්ය දේව ප්‍රතිමාව බබළවන්නට සලස්වා තිබේ. ඒ අනුව මෙහි සූර්ය වන්දනාව කළ බවට සාක්ෂි ඇත. හිරු මුඳුන් වන විට අවට අයට දැන ගැනීමට ගෙඩිය ගසනු ලැබේ. අනික් ස්ථානවල ගෙඩි ද එසේ නාද වන්නට ඇති බව සිතිය හැකිය. ලංකා පුරයේ රාවණ සටන කෙරෙන අතරතුර රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් (මේඝ නාද කුමරා) විජයග්‍රහණය සඳහා රාමායණයේ යුද්ධ කාණ්ඩ 22 සර්ගයෙහි සඳහන් පරිදිත්, මෝනියර් විලියම්ස් පඬිවරයා පවසන අන්දමටත් දේව පූජාවක් පැවැත්වීමට යන ලද්දේද මෙම නාලන්දා ගෙඩි ගෙයට විය යුතු බවට විශ්වාස කරති.
කැටයම් සහ සුවිශේෂී අංග
ගොඩනැඟිල්ල ප්‍රවේශයේ සඳකඩපහණ, කොරවක්ගල, පියගැටපෙළ ආදියෙන් යුක්ත වන අතර, කොරවක් ගලෙහි ලියවැලකින් සමන්විත මකර රුවක් ද නිර්මාණය කොට ඇත. නාලන්දා ගෙඩිගේ ශිලා ස්ථම්භ 24කින් සමන්විත ආලින්දයක්, අන්තරාලයක් හා මණ්ඩපයක් ඊට එකතු කොට ඇති අයුරු දැකිය හැකිය.
ගෙඩිගෙයහි ඉදිරිපස පිවිසුම් පඩිපෙළ නැඟීමෙන් පසුව හමුවන්නා වූ කොටසින් මණ්ඩප කොටසට පිවිසීමේදී ගල් උළුවස්සක් ඇති අතර එය පාදමට සවි වන ස්ථාන දෙපස ඇත් රූ දෙකක් ද දැක ගත හැකිය. ගල් උළුවස්සේ මැදට වන්නට හින්දු ආගමේ වන්දනා කරන ගජ ලක්ෂ්මි දෙවඟනගේ කැටයමක් දැක ගත හැකිය. මණ්ඩපය පසුකර ඉදිරියට එන විට ගර්භ ගෘහය හමුවන අතර, එය වටා ගමන් කළ හැකි අයුරින් නිමවා ඇත.

උළුවස්ස සවි කර ඇති ආකාරය
ගර්භ ගෘහයට පිවිසෙන දොරටුවට ඉහළින් විමාන වැනි නිර්මාණ පහක් සහ බුදුන් වහන්සේගේ යැයි අනුමාන කළ හැකි ධ්‍යාන වඩන රූ කැටයම් ද කැටයම් කර ඇත. එසේම ගර්භ ගෘහයේ මධ්‍යයට වන්නට පද්මාසනයක් මත හිටි බුදුරුවක් දැක ගත හැකි අතර, එහි මුද්‍රාව අවුකන බුද්ධ ප්‍රතිමාවේ මුද්‍රාවට සමානය. දකුණු අතින් ව්‍යාකරණ මුද්‍රාව ද වම් අත වැලමිටෙන් ඉහළට නැමී ඇඟිලි තුඩු වම් උරහිස ස්පර්ශ වන අයුරින්ද නිමවා ඇත. මෙයට අමතරව ගණ දෙවියන්ගේ පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාව ද ඉදි කර ඇත. ගෙඩිගෙයහි බිත්ති පිටපැත්තේ නිරීක්ෂණය කිරිමේදී එම බිත්තිවල කැටයම් සහිත ගල් දැක ගත හැකිය.
එසේම හින්දු කෝවිල්වල දැක්වෙන කාමසූත්‍රයේ විවිධාකාර කැටයම් අකුරෙන් මෛථුන සේවනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයමක් දැකගත හැකිය. නාලන්දා ගෙඩිගෙයට උතුරු පසින් ගඩොලින් කළ වේදිකාවක් මත පිහිට වූ ස්තූපය දැකගත හැකිය. පේසා වළලු තුනකින් සමන්විත මෙම කුඩා ස්තූපයෙහි ගර්භයට ඉහළින් පිහිටි කොටස් විනාශ වී ඇත. ඒ, පසුකාලීනව මෙම ස්තූපය නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබු හෙයිනි. 1953 වසරේදී සෙනරත් පරණවිතානයන්ගේ මූලිකත්වයෙන් එහි සංරක්ෂණ කටයුතු සිදු විය.
ගලින් නිර්මිත මෙම ගොඩනැඟිල්ල සහ එහි පවතින සියුම් කැටයම් සහ අංගෝපාංග ඉපැරණි ගල් වඩුවාගේ පරිචය මැනවින් පෙන්නුම් කරන්නකි. විශේෂයෙන්ම ශෛලමය බුදු පිළිම වහන්සේ වැඩවසන, ගලින්ම කළ වහල සහිත කවාකාර කුටිය දක්වා ඇති විවෘත ගෙය සහිත මෙම අගනා විහාරය පිළිබඳ විග්‍රහ කිරීමට වඩා නාලන්දා ගෙඩිගේ නමැති විශ්ව නිර්මාණය දැක බලාගැනීමට යෑම සුදුසුය.
තවද නාලන්දා ගෙඩිගේ ප්‍රදේශයේ කරන ලද විවිධ කැණීම්වලින් හමු වූ පුරාවස්තු රැසක් ඒ අසල ඇති කෞතුකාගාරයේ ස්ථාපිත කොට ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන මෙයින්, නාලන්දා ගෙඩිගේ සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා ගැනීමට එහි යන නරඹන්නන්ට හැකියාව ලැබී තිබේ. බෝවතැන්න ජලාශයෙන් වට වූ උස් බිමක පිහිටි නාලන්දා ගෙඩිගේ වටා පවතින ගස්වැල් හේතුවෙන් වන මැද පිහිටි ආරණ්‍ය සේනාසනයක් පරිද්දෙන් එය තව තවත් සුන්දර වී ඇත. දැඩි නිස්කලංක බවකින් යුතු සිත සුවපත් කරන අසිරිමත් ස්ථානයක් ලෙස නාලන්දා ගෙඩිගේ හා ඒ ආශ්‍රිත කලාපය හැඳින්විය හැකිය.

ගෙඩිගේ ඉදිරිපස පෙනුම