ප්‍රවීන මාධ්‍යවේදියකු, ගීත රචකයකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ධර්මසිරි ගමගේ වියෝ වී දෙසැම්බර් 06 දාට වසර විස්සකි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
මෙරට එක්තරා යුගයක ලියන්නට කැමැති තරුණ පරපුරක් නිර්මාණය කළ නියමුවා ඔහු විය.
“මුලින්ම ඔබ ඔබට පහනක් වන්න. දෙවනුව අන්‍යයන්ට පහනක් වන්න. තෙවනුව ඔබ ඔබට ද අන්‍යයන්ට ද පහනක් වන්න.” ඔහු යෞවනයන්ට දුන් තේමා පාඨයයි. යෞවනයන් අරබයා ඔහු බිහි කළ ව්‍යාපාරය ‘පහන් වැට’ විය. ඔහු යෞවන පරපුරට ‘පහන් ටැඹ’ විය.
1977 ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග දිනමිණ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත්වීම ලබන්නේ ලංකාදීප පත්‍රයේ ජ්‍යෙෂ්ඨයකුව සිටි පෙරමුණේ තිලක මහතාය. ඔහු ‘දිනමිණ’ට එන්නේ ලංකාදීපයේ සිටි දක්ෂයන් කිහිප දෙනෙකු ද සමඟය. ඒ අතර උපාලි රූපසිංහ, සිරි අමරවීර සහ ධර්මසිරි ගමගේ ද වූහ. ලේක්හවුසිය වෙනුවෙන් රට පුරා යමින් පාඨක ප්‍රසාදය දින ගන්නා විශේෂාංග ලියූ ධර්මසිරි ගමගේ සූරීන්ට ‘යෞවනයන්ගේ ඉහේ පිපුණු මල’ බවට පත්වීමේ වරම එළැඹෙන්නේ ‘යොවුන් ජනතා’ අවධියේදීය.
එවක ලේක්හවුස් අධිපතිවරයාව සිටි රණපාල බෝධිනාගොඩ තරුණයන් වෙනුවෙන් සතිපතා පත්තරයක් ඇරඹීමට යෝජනාවක් ගෙනාවේය. ‘ජනතා’ ප්‍රධාන කර්තෘ ඩී.එෆ්. කාරියකරවන 1978 ‘යොවුන් ජනතා’ ආරම්භ කරන්නේ ඒ අනුවයි. ඔහු එය ආරම්භ කර සියලු වගකීම් සහිතව ධර්මසිරි ගමගේට කර්තෘ පදවිය භාර කළේය.
යෞවන ලේඛක පරපුරකට නියත විවරණ දෙන ක්‍රියාදාමය ඇරැඹුණේ එතැනිනි. කොතැන සිටියත් ඔහු සිටියේ යෞවනයන් පිරිවරාගෙනය. අතහිත දීගෙනය. වරෙක කොළඹ ස්ටැෆඩ් විද්‍යාලයේ පටන් ගත් චිත්‍රපට තිර නාටක පාඨමාලාවකට පැමිණි තරුණයන්ගෙන් ධර්මසිරි ගමගේ ශත පහක්වත් අය කළේ නැත. ඔවුන්ට ගෙවන්නට සිදු වූයේ ආයතනික ගාස්තුව පමණි. සෞන්දර්යය අගය කළ ඔහු පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු සහතික ප්‍රදානය කළේ සීගිරි සිංහපාද මූලයේය.
ඈත ගම්දනව්වල සිට කොළඹට එන බොහෝ තරුණයන්ට කොළඹ නවාතැන වූයේ ධර්මසිරි ගමගේ නිවහනය. ඔහු රත්මලානේ තුන්වැනි පටුමඟේ සිටියදී නවාතැන එතැනය. රාජගිරියේ සිටියදී එතැනය. ඉඳුම් හිටුම් ධර්මසිරි සර්ගෙනි. කෑම්බීම් සීතක්කාගෙනි. කිසිදු අය කිරීමක් නැත. ආදර සංග්‍රහය ද සමඟ සියල්ල නොමිලේය.
ධර්මසිරි ගමගේ යෞවනයන් කෙරෙහි දැක්වූයේ තම දරු තිදෙනාට දැක් වූ ආදරයම බව ‘යොවුන් ජනතා’ ව වටා රොෙද බැඳගත් ඇත්තෝම කියති. ධර්මසිරි සර් දුකේදීත් – සැපේදීත් ඔවුන් සමඟ සිටියේය.
පවස නිවාලන දිය බිඳුවක් සොයන
මිරිඟු දියට හඬනා ඉන් විඩා වෙන
දිනෙක අපව මුදවා පිරිපතින් දුර
පොළෝ ගැබින් මතු වූ ඊතණ පඳුර
යොවුන් පහන් ටැඹේ මුල් සාමාජිකයකු වූ බන්ධුනාථ දසනායකගේ අදහස්
සෝදුක් ගිනි
සිත තුළ දැවෙනා විට
ඉන් ලොව ගනඳුර නිව්ව හැටී
අපේ මඟද ඒ එළියෙන් එළිකර
අපට මඟ කියා දුන්නු හැටී
ඔබගෙනි හඳුනාගත්තේ අප හැම
කිසිදින දැක නැති සරස්වතී
ඒ යොවුන් පහන් වැටේ දීප්තිමත් පහනක් වන යමුනා මාලිනී, ධර්මසිරි සර් දකින හැටිය.
ධර්මසිරි ගමගේ සූරීන්ගේ මානව ගුණය – දයාව – කරුණාව යොමු වූයේ සැමට සම සේ සෙවණ සලසන විසල් නුග තුරක් මෙනි. අපේ විශිෂ්ටම කිවිඳිය මොනිකා රුවන්පතිරණ ඔහුගේ මාහැඟි අකම්ප්‍ය ගුණය මුව පුරා ප්‍රශංසාවට ලක් කළාය. තරුණයන්ගේ සේම ගැටලුවලට මුහුණ දී සිටි සැමට මුදිතා ගුණයෙන් සරණවීම කිවිඳිය අගයන්නේ මෙසේය.
ජීවිතයේ දිගු ගමනේ යන කලට
පාර වැරදෙනා තැන නිම නැත අපට
ආපසු ගමන මහ වෙහෙසක් වුව සිතට
කාට කියමු – කාගෙන් අහමුද පිහිට
එසඳෙහි දන මුවින් සිනහව පලා යති
වරද කොතැන වෙද සොයමින් පසුතැවෙති
සබඳිනි එවිට වුව ඔබ නම් සිනාසෙති
අපට ද ඔබ නිසා ඉන් දිවි දිරි ලැබෙති
1978 යොවුන් ජනතා ධජය වටා – ධර්මසිරි ගමගේ ධජය වටා – රට පුරා විසිරි සිටි යොවුන් ලේඛක ලේඛිකාවන් රොද බැඳ ආවේ මලට අදෙන බඹරුන් මෙනි. අවසානයේ එය මහ බළඇණියක් බවට පත්විය. ධර්මසිරි ගමගේ ඉබේම එහි සේනාධිනායකයා විය. මෙරට පත්තර ඉතිහාසයේත් බුද්ධිමත් ලේඛක පරපුරක් බිහි කිරීමේ නිර්මාණශීලී ව්‍යායාමයේත් අසිරිමත් සිදුවීමක් විය.
හොඳ ලේඛක ලේඛිකාවන් බිහි කරන්නේ කෙසේ ද? ඒ සඳහා කවරාකාර වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු ද? මේ සඳහා වන පුරෝගාමී වැඩපිළිවෙළක් සැලසුමක් හෝ ආකෘතියක් කොයි රටක හෝ ඇද්දැයි මා නම් අසා නැත. ධර්මසිරි අයියා ද එවන් පූර්වාදර්ශී වැඩ සටහනක් දැක හෝ දැන හෝ අසා ඇද්දැයි නොදනිමි.
යොවුන් පහන් වැට
ඒ යොවුන් පහන් වැට සංකල්පය උපන්නේ ද ධර්මසිරි අයියාගේ දයාර්ද්‍ර හදවතේය. එය යොවුන් පරපුර කෙරෙහි පැවැති හද පිරි හක්ත්‍යාදරයේ මහිමයෙන් උපන් සංකල්පයක් විය යුතුය. කවියක් – කෙටිකතාවක් ලිවිය හැකි යෞවනයෝ ද කවියක් – කෙටිකතාවක් ලියන්නට තතනන යෞවනයෝ ද යොවුන් ජනතාව වෙත ඇදී ආහ.
පහන් වැට නිර්මාණ සංසදය බිහිවිය. බබළන ප්‍රතිභාවක් ඇති යොවුන් නිර්මාණකරුවෝ පෙළහර පාන්නට පටන් ගත්හ. කවි පොත් ලියා ගත් – කෙටි කතා පොත් ලියා ගත් – නවකතා ලියා ගත් – චිත්‍ර ඇඳගත් නිර්මාණකරුවෝ දිවයිනේ සතරදිග් භාගයෙන් පැමිණ ලේක්හවුස් පියගැට පෙළ නැඟ යොවුන් ජනතාව වෙත ආහ.
ලේඛක පරපුරක්
යහපත් ආකල්ප සහිත නිර්මාණශීලී යෞවනයන් නැතැයි අවලාද නැඟුවන්ට අභියෝග කරමින් නව ලේඛක පරපුරක් බිහි කිරීමේ අභිලාෂයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේ 1982 මුළු දුන් මංගල යොවුන් පහන් ටැඹ ජ්‍යෙෂ්ඨ ලේඛක පරපුරට ද යොවුන් ලේඛක පරපුරට ද මහත් ආස්වාදජනක අත්දැකීමක් විය. ආනන්දජනක අත්දැකීමක් විය. හොඳ ලේඛක පරපුරක් බිහි කිරීමේ නව ආකෘතියක් බිහිවිය.
දෙවැනි යොවුන් පහන් වැට දැල්වුණේ ගම්පහ රදාවානේ තුන්මංහන්දියේ පිහිටි මහගමසේකර මහා විද්‍යාලයේදීය. මහගමසේකරගේ නිර්මාණ වින්දනය කළ යෞවනයන්ට ඒ පරිසරය නිර්මාණාවේශයට යෝග්‍ය පරිසරයක් විය. ධර්මසිරි ගමගේ හැමවිටම වෑයම් කළේ යෞවනයන්ගේ නිර්මාණ ප්‍රමිතීන් ඉහළ තලයකට නැංවීම අරබයා සුන්දර වටපිටාවක් තෝරා ගැනීමටය. මහගෙසේකරයන්ගේ පියා, මහගමගේ ජෝන් සිඤ්ඤෝ මහතා කලින් දා සිටම එහි ගොස් සැරසිලි කරමින් උත්සව ශාලාව අලංකාර කරනු දැක්ම කාගේත් දෙනෙතට කඳුළක් නැංවීය. විද්වතුන්ගේ දේශන – සාකච්ඡා – නිර්මාණ වින්දන ආශ්‍රයෙන් පැවැති ව්‍යාපෘතිය අතිශයින් සාර්ථක විය.
යොවුන් පහන් වැට යෞවනයන්ගේ නිර්මාණ අස්වැන්න සාරවත් කිරීමට මාහැඟි පිටබලයක් විය. දෙවැන්නේ නිමාවේ සිටම පහන් වැට සාමාජිකයන්ගේ කුතුහලය වුයේ තෙවැනි පහන් වැට කවදා කොහේදී පවත්වනවා ද යන්න ගැනයි.
තෙවැනි යොවුන් පහන් වැට වඩාත් උත්කර්ෂවත් විය. සාරවත් විය. එය පවත්වනු ලැබුවේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේදීය. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ද ඊට නොමඳව ලැබිණි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර – පණ්ඩිත් අමරදේව – අරිසෙන් අහුබුදු – තිස්ස අබේසේකර – කේ. ජයතිලක ප්‍රමුඛ විද්වත්හු රැසක් ඊට සහභාගී වූහ. පහන් වැටේ යොවුන් ලේඛක ලේඛිකාවන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් කණ්ඩායම් වශයෙන් ජ්‍යෙෂ්ඨ ලේඛකයන් හා සාකච්ඡා කරමින් නිර්මාණ නිමිති ගැන ද අත්දැකීම් ගැන ද කතිකා කළහ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණවලට පාදක වූ ස්ථාන – චරිත ගැන බොහෝ දේ ඔවුන්ට දැනගත හැකි විය. වික්‍රමසිංහගේ අත්පිටපත් – පාරිභෝගික භාණ්ඩ – ලියන මේසය – පොත් ලියූ පෑන් ආදිය නැරඹීමට ද – මඩොල් දූව – කුරුලු දූව ආදී තැන්වල සංචාරයට ද අවස්ථාව ලැබිණි.
අද ලේඛක ලෝකයේ ඉහළ තැන්වල සිටින බොහෝ දෙනෙක් පහන් වැට එළිය ලද්දෝ වෙති. ඔවුහු එදා අංකුර ලේඛක ලේඛිකාවන් වශයෙන් ධර්මසිරි ගමගේ වෙතින් විවරණ ලැබූහ. ආරියවංශ අබේසේකර, සමන් වික්‍රමාරච්චි, කේ.එම්. අයි. ස්වර්ණසිංහ, කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැලියගොඩ, රංජිත් අමරකීර්ති පලිහපිටිය, ප්‍රණීත් අභයසුන්දර, නීල් ලකී ආදී පිරිසක් ඒ අතර වෙති
රෝස තිරිවානා කන්ද
ජාතික නාමල් උයන සහ රෝස තිරිවාණ කන්ද රටට හෙළි කළේ ධර්මසිරි ගමගේය. රත්නපාල විතාන කියන්නා සේ ඔහුගේ කව්‍යමය සුන්දර වදන් මාලාවෙන් ලියැවෙන පාරිසරික චමත්කාරය පාඨකයාට ද අපූරු ආස්වාදයක් ගෙන දෙයි. මවිසින් සංස්කරණය කරනු ලැබූ දිනමිණ වෙසක් කලාපයකට ඔහු අපූරු පරිසර චමත්කාරය දනවන ලිපියක් ලිව්වේය. සිදුහත් කුමරා උපන්නේත් – බුද්ධත්වය ලැබුවේත් – බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑවේත් තුරු සෙවණකය. “තුරු සෙවණේ තෙමඟුල” යන ශීර්ෂ පාඨයෙන් පළවුණු එම කෙටි රචනය සුන්දර ගද්‍ය කාව්‍යකට නොදෙවෙනි විය.
ඔහුගේ ගීත පිරිපහදු කළ කවිලකරින් ලියූ අපූර්ව කාව්‍ය සංකල්ප ලෙස උසස් තැනක් ගනී.
සුළං කුරුල්ලෝ – ආදරයේ රන් විමනේ – සංසාර ගමනේ (සැනසුම කොතැනද) – මහගිරි අරණේ (හන්තානේ කතාව) – කුඩා ගමේ මද්දහනේ (හුලවාලි) – රෑන ගිරා ජෝඩුවයි (රෑන ගිරවු) – අම්මාවරුනේ (යස ඉසුරු) – ආදර නිල් දෑසේ (ආදරවන්තයෝ) – රන් පොකුණෙන් දිය නාගෙන (බිනරමලී) – මාගෙ පුතුට මල් (පුංචි බබා) වැනි උසස් චිත්‍රපට ගීත ද හදවිල කළඹන පෙම් ජල රේඛා (නන්දා මාලිනී) – බඹරෙකු ඇඩුවා (අබේවර්ධන බාලසූරිය / නිරංජලා සරෝජිනී) – මේ මිහිතලේ සෙනෙහස් විලේ (යසපාල පෙරේරා) – මිහිමඬලේ සුව නිකේතනේ (අමරදේව) ගුවන්විදුලි – තැටි ගීත ද විශිෂ්ට ප්‍රබන්ධයෝ වෙති.
ඔහු කළ සාහිත්‍ය නිර්මාණාවලිය අදර සුවඳ (1960) – සිත්තර සිතක් (1963) – දවල් හීන (1965) අළු යට ගිනි (1967) – සංසාර දර්ශන (1976) – මරු සිරා (1978) – හිත නිවෙන තැන් (1978) – සුළං කුරුල්ලෝ (1988) – සිරිපාල හා රන්මැණිකා (1989) – ජාතික නාමල් උයන හා රෝස තිරිවාණ කඳුපෙළ – චාරිකා සටහන් (1999) – භාරත චාරිකා (2000) – දඹදිව චාරිකා සටහන් (2002) යනුවෙන් විවිධ විෂය යටතේ ලියැවී තිබේ. ඒවාද තරුණ පරපුරට බස – රස ඉගෙනීමට සරිලන පොතපතය.
ධර්මසිරි ගමගේ චිත්‍රපට තුනක තිර නාටක ලිව්වේය. ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක්, අමරනාත් ජයතිලකගේ තිලක හා තිලකා සහ සුනිල් ආරියරත්නගේ සරුංගලේ චිත්‍රපට උදෙසායි.
ඔහු චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේය. පළමුව යස ඉසුරුය. එය අම්මාවරුන්ට උපහාරයක් වශයෙනි. අනෙක් චිත්‍රපටය පිය උපහාරය පිණිසය. ඒ පූජා චිත්‍රපටයයි. ඒ චිත්‍රපට දෙකට ඇතුළත් වූ නන්දා මාලිනී ගයන “අම්මාවරුනේ“ සහ අමරදේවයන් ගයන “දරු දුක උහුලන“ යන ගීත චිත්‍රපට ගීත වශයෙන් අමරණීය ගීත ලෙස සටහන් වී තිබේ.
ධර්මසිරි ගමගේ ආදරය කරන්නට පටන් ගන්නේ ගෙදරිනි. තම මවුපියන්ට – සහෝදර සහෝදරියන්ට තම ආදරණීය බිරියට දරුවන්ට සියලු මවුවරුන්ට පියවරුන්ට සියලු සහෝදර සහෝදරියන්ට – දරුවන්ට – සමස්ත දරු පරපුරට කොටින්ම සමස්ත මානව වර්ගයාට එක සේ ආදරය කළ හැකි පරමාදර්ශී චරිතයකි, ධර්මසිරි ගමගේ.
ඔහු තමන්ට ආක්‍රෝශ පරිභව කළ කෙනෙකු දෙසවත් ක්‍රෝධ සිතින් බලන කෙනෙක් නොවේ. සතුරකුගේ පවා යහගුණ මිස, දුර්ගුණ දකින්නේ නැත. ඔහුට හාත්පස සමාජය ප්‍රියජනකය. ඒ නිසා ඔහුට අප්‍රිය අමනාපකම් ළං නොවෙයි.
එක් යුගයක යොවුන් පරපුරක් එක් හඬින් කියා සිටින්නේ යමුනා මාලිනී පෙරේරා කිවිඳිය කියන දේමය. “ඔබගෙනි හඳුනාගත්තේ අප හැම – කිසිදින දැක නැති සරස්වතී.”
1960 සිට 1977 දක්වා ‘ලංකාදීප’ ය ප්‍රමුඛ ටයිම්ස් ආයතනයේත් 1977 සිට 1999 දක්වා දිනමිණ – සිළුමිණ ප්‍රමුඛ ලේක්හවුස් ආයතනයේත් පුරා 40 වසරක දීර්ඝ පත්‍ර කලා චාරිකාවෙන් මේ කෘතහස්ත මාධ්‍යවේදියා සමුගත්තත් ඔහු චාරිකාව නතර කළේ නැත. ලිවීම නතර කළේ ද නැත.
2004 සැප්තැම්බර් 19 දින ඔහු පරිසර චාරිකාවකදී ජීවිතයෙන් සමුගැනීම ද අතිශය අපූර්ව සිද්ධියක් ලෙස මම දකිමි.
තිලකරත්න කුරුවිටබණ්ඩාර