වෘත්තීය ජීවිතයේ වඩාත්ම සතුටින් සිටි කාලය කුමක්දැයි කෙනෙකුගෙන් ප්‍රශ්න කළහොත් ලැබෙන පිළිතුර කුමක් විය හැකිද? තලු මරමින් රසවිඳිය හැකි අත්දැකීම් රැසක් මට ලැබුණේ මගේ ජීවිතේ පළමු රැකියාවෙන් ය. ඒ නිසා මම තවමත් එම රැකියාවට ප්‍රිය කරමි.
මා ගුවන්විදුලි සංස්ථාවේ සේවයට එක් වුණේ 1984 දී සහන නිවේදකයකු වශයෙනි. පළමුවෙනි අවුරුද්දේම ගුවන්විදුලිය එපාවූ නිසා කීප වතාවක් මම ගෙදර නවතින්නට උත්සාහ කළෙමි.
‘කොල්ලට මේක එපාවෙලා’ යැයි අපේ තාත්තා හඩ්සන් සමරසිංහ මහතාට කියා තිබිණ. ඒ කතාව දුර දිග ගියේය. ඒ අනුව තාත්තාගේ බල කිරීමෙන් මට එකල ගුවන්විදුලියේ තිබූ සංවර්ධන අංශයට එකතු වන්නට සිදු විය.
එහෙත් එතැන වැඩ කිරීමට මුලදී මා තුළ කැමැත්තක් නොවිය. නමින් ‘සංවර්ධන අංශය’ වුවත් එහි තිබුණේ එවක අගමැති ප්‍රේමදාස මහතාගේ වැඩය. ‘ධනපති ආණ්ඩුවලට කඩේ යන්නට බැරි යැයි’ මම තාත්තා සමඟ වාද කළෙමි. ඒ එක් වාදයකදී තාත්තා මට කම්මුල් පහරක්ද ගැසුවේය. මා ජනමාධ්‍යකරුවකු වූයේ මේ සංසිද්ධිය නිසා යැයි මම අදටත් කල්පනා කරමි.
සංවර්ධන අංශයේ ඕනෑ තරම් වැඩ තිබුණේය. රට වටේ ඇවිදින්නටත් ලැබුණේය. මගේ පළමුවැනි වැඩේටම ප්‍රශංසා කිරීමකුත් ලැබුණේය. එම අංශයට පැවරී තිබුණු ප්රමුඛ කාර්යයක් වූයේ ගම් උදා ප්‍රදර්ශනයේ ගුවන් විදුලි විකාශන කටයුතුය. ඒ අනුව 1985 සිට අවසන් වන තුරුම සෑම ‘ගම් උදා’ ප්රදර්ශනයකම මම රාජකාරී කළෙමි.
‘ගම් උදාව’ ප්‍රදර්ශනය පිළිබඳ රට තුළ විවිධ මතවාද පැතිරී තිබිණ. එය දැවැන්ත මුදල් නාස්තියක් බව බොහෝ අය කියා සිටියහ. අපේ තරුණ කණ්ඩායම්ද මේ කතාව සැලකිල්ලට ගෙන තිබිණ. තණ පිඩැල්ලක් පෑගුණු අවස්ථාවල “අම්මෝ රුපියල් දොළහක් පෑගුණා” ආදී වශයෙන් රහසේ කතා වූ උපහාස වැකි මට තවමත් මතකය.
කෙසේ වෙතත් මෙම ප්‍රදර්ශනය රටේ ඒ ඒ ප්‍රදේශවල සැඟවුණු ඓතිහාසික, ආර්ථික සහ සමාජයීය තොරතුරු ජනමාධ්‍ය හරහා යළිත් වතාවක් සමාජගත කළ හැකි අපූර්ව අවස්ථාවක් වූ බව මගේ හැඟීමයි. එහෙත් එය ඵලදායී ලෙස යොදා ගැනුණේ ද යන්න ගැටලුවකි.
1991 වසරේ කඹුරුපිටියේ පැවැති ගම් උදා ප්‍රදර්ශනය ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එක් කල එකකි. මේ සෑම ප්‍රදර්ශනයක්ම නරඹන්නන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිය ඒවාය. කඹුරුපිටිය ද එසේමය. ප්‍රදර්ශන කුටිවල සිට සජීවීව විස්තර වාර්තා ගෙන ඒම අපේ දෛනික ක්‍රියාවලියකි. ඒ සඳහා යා යුතු ස්ථාන දහවල් කාලයේ දී සොයා ගැනීම පහසුවකි. මගේ නිවේදක සගයෙකු වූ හෙන්රි සෙනෙවිරත්න සමඟ ප්‍රදර්ශන භූමියේ සැරිසරා ආපසු එමින් සිටියෙමු.
දහවල විඩාව නිවා ගැනීම සඳහා සිසිල් බීම බෝතලයක් බීමේ යෝජනාවක් ඉදිරිපත් විය. අපේ මැදිරිය ආසන්නයේම තරමක විශාල ආපන ශාලාවක් ඉදිකර තිබිණ.
ලංකාවේ ප්‍රසිද්ධ වර්ගයක ඉඟුරු යෙදූ බීම බෝතලයක් මිලදී ගත්තෙමු. අධික පිපාසය නිසා මම එය වහා කටේ හලා ගත්තෙමි. රසය වෙනස්ය. ඒ මොහොතේම හෙන්රි මා අතින් බෝතලය උදුරා ගත්තේය. ඒ තුළ කිසියම් ඝන කැබැල්ලක් තිබේ.
‘ඉඟුරු කෑල්ලක් වෙන්න ඇති.’ මම කීවෙමි. “නෑ නෑ මේ කොම්පැනිය බෝතල් ඇතුළට ඉඟුරු දාන්නේ නෑ.”
වෙළෙඳසලේ පිරී සිටි සෙනඟ ගැන නොතකා ඒ පිළිබඳව වෙළෙඳසලේ සේවකයාට හෙන්රි මහ හඬින් පැමිණිලි කළේය. අප ගුවන්විදුලි සංස්ථාවේ බවත්, ජනමාධ්‍යයෙන් මේවා හෙළිදරව් කරන බවත් කියමින් ඔහු කෑගැසුවේය. අපේ පැමිණිල්ල තඹ දොයිතුවකට ගණන් ගැනුනේ නැත. නමුත් වෙළෙඳසල තුළ සිට පැමිණි කිසියම් මැදිවියේ පුද්ගලයකු වහා බෝතලය ගෙන අපට යළි මුදල් දුන්නේය.
යළි මැදිරියට ගොස් අපි මේ කතාව රස කරමින් කීවේ, මහා වීරත්වයක් ආරෝපනය කරගෙනය. අපේ කතාව අසා සිටි ජ්‍යෙෂ්ඨයෙක් පැමිණ අපට දොස් කියන්නට පටන් ගත්තේය.
“උඹලා දන්නවද ඔය කඩේ කාගෙද කියල. පණ්ඩිතකම් කරන්න යන්නේ. මෙහෙන් යන්න වෙන්නෙ අතක් පයක් නැතුව. එහෙම හරි යන්ඩ ලැබුණොත් ලොකු දෙයක්.”
ඔහු ඒ කාලයේ ප්‍රසිද්ධ මැරවරයෙකුගෙ නමක් සඳහන් කළේය. අප වටා සිටි බොහෝ දෙනා ඉන් මඳක් සැලුණු බව පෙනින. එදා දවසේ ඇතමුන් අප සමඟ කතා කරන්නටද ඉදිරිපත් වූයේ නැත.
ඔවුන්ගේ අනාවැකිය හරි ගියේය. එදා සවස වෙළෙඳසලේ නියෝජිතයකු ගුවන්විදුලි මැදිරියට පැමිණ අප ගැන විමසීය.
“අන්න උඹලට කඩේට එන්නලු. කෑලි වෙන වෙනම ගේන්න වෙනවා නම් මමත් එන්නම්.” ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරී සහායකයකු වූ රංජිත් ජයමහ කීවේ සැහැල්ලුවෙනි.
“බය නැතුව පලයල්ලා හරි මඟුලක් නෙ.” ඔහු අප දිරි ගැන්වීය.
අප වෙළෙඳසල තුළට කැඳවාගෙන යනු ලැබින. වෙළෙඳසල් හිමිකරුවා යැයි සිතිය හැකි පුද්ගලයෙක් කුඩා මේසයක් අසල වාඩි වී සිටියේය.
“මහත්තයල මොනවද බොන්නේ?”
ඔහුගේ සුහද ආමන්ත්‍රණය අපගේ හෘද ස්පන්දනය තවත් වැඩි කළේය. භයානක මැරවරයෝ මුලින් කතා කරන්නේ මේ ආකාරයට සුහදවය. තව මොහොතකින් කම්මුල් පහරක් හෝ පිස්තෝලයක් මතුවනු ඇතැයි මට සිතිණි.
“හරි වැඩේනේ මහත්තයෝ; අර බීම ගැන මිනිස්සු හරියට කම්ප්ලේන් කළා. බැරි තැන අපි පොලීසියට ගියා. හෙට පොලීසිය එයි. දැන් ඉතින් පැමිණිලි කරපු මිනිස්සු ගෙවල්වලනේ. මහත්තයලට පුළුවන් ද සාක්කියක් දෙන්න.”
සියල්ල කණපිට හැරී ඇතුවා සේය. හෙන්රි ගත් කටටම “හා” කියා කීවේය. අපි ආපසු මැදිරියට ආවේ යුද්ධයක් ජයග්‍රහණය කළ සෙන්පතියන් සේය. දැන් මේ සිද්ධිය හොඳ ප්රවෘත්තියකි. උදේ පොලීසිය පැමිණීමෙන් පසු අපට එය ප්‍රවෘත්තිවලටද යොදාගත හැකියි.
පසුදා අප ප්‍රදර්ශන භූමියට පැමිණියේ මහත් උද්යෝගයෙනි. එහෙත් පොලීසිය එන පාටක් නැත. කීප වතාවක් ම එම වෙළෙඳසල ඉදිරියෙන් එහෙ මෙහෙ ඇවිද්දෙමු. අඩු තරමින් ඔවුන් අප හඳුනා ගන්නා බවක්වත් නොපෙනේ. බැරිම තැන වෙළෙඳ සැලට ගොස් මේ ගැන විපරම් කළෙමු. ප්‍රධානියා සිටියේ නැත.
“මහත්තයා ඒක හොයාගත්තා. විකිණෙනවා වැඩිනේ මහත්තයා. බෝතල් හුඟක් කොළඹ යන්නෙ නෑ. මඟදි පුරෝලා එවනවා.”
“කවුද පුරවන්නේ.?”
“ඒවා ඉතිං අපි දන්නෑ මහත්තයා. පොලීසියෙන් තමයි කිවුවේ. මං හිතන්නෙ තොරතුරු ටික මහත්තයලට දෙයි.”
“වතුරයි ඉඟුරුයි සීනි එක්ක කාබන්ඩයොක්සයිඩ් ටිකක් කළවම් කරලා එවනවා “
තව කෙනෙක් කීවේය.
එහෙම තොරතුරක් අපට හොයා ගන්නට බැරි විය.
බෝතලයට කාබන්ඩයොක්සයිඩ් වායුව මිශ්‍ර කිරීමත්, නිවැරදිව මූඩියක් සවිකිරීමත් විශාල ව්‍යාපෘතියකි. එසේ නම් එය සිදුවිය යුත්තේ මහා පරිමාණයෙනි. එනම් එය මහා පරිමාණ වංචාවකි. යටත් පිරිසයින් ඒවා පසුදා පුවත්පත්වල පළවනු ඇතැයි අපි සිතුවෙමු.
නමුත් ඒ පුවත, පුවත්පතක පළවන පළමුවන වතාව මෙය යැයි මම විශ්වාස කරමි.