ශ්‍රී ලංකාවේ වාහන ඉතිහාසයේ ඓතිහාසික දිනයක් වූයේ පසුගිය ඔක්තෝබර් 14 වැනි දාය. එම දිනය විශේෂ වූයේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ නිපදවූ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් තොගයක් යුරෝපයට අපනයනය කිරීම සඳහා කන්ටේනර්ගත කිරීම නිසාය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පූර්ණ ආශිර්වාදයෙන් ජනාධිපතිවරයා නියෝජනය කරමින් මෙම සුබ මොහොතට සහභාගි වූයේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුනආරච්චි ය.
ලංකාවෙන් මෙම ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් අපනයනය කිරීම සුළුකොට තැකිය නොහැකි ජාත්‍යන්තර ක්‍රියාවලියකි. යුරෝපයට ඉලෙක්ට්‍රික් බයිසිකල් අපනයනය කිරීම දකුණු ආසියානු කිසිදු රටකට කළ නොහැකි කටයුත්තකි. ඊට හේතුව එම රටවලටද යුරෝපයට ඉලෙක්ට්‍රික් බයිසිකල් අපනයනය කිරීමට අවශ්‍ය CE (Compliane Certificate) සහතිකය එම රටවලට නොතිබීමය. CE තත්ත්ව සහතිකය දිනාගත් දකුණු ආසියාවේ පළමු ආයතනය වන්නේ ශ්‍රී ලංකාවේ කේ. ඩී. රයිස් ඉලෙක්ට්‍රිකල් ආයතනයයි.
මෙම අපනයන කර්තව්‍යයට සුබ පතමින් එදින උත්සව සභාව ඇමතු මහජන නියෝජිත දෙපළ සඳහන් කළේ දේශීය කර්මාන්ත රැකගැනීම හා ඒවා ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුකොට රටට ඩොලර් ගෙන එන්නට මාලිමා රජයක් යටතේ පියවර ගන්නා බවය.
ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් එකලස් කරන සහ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇරැඹෙන්නේ ගෝඨාභය ජනපති යුගයේ ආර්ථික අර්බුදයට සමගාමීව මෝටර් සයිකල් ආනයනය තහනම් වීමත් ඉන්ධන පෝලිම් ඇතිවීමත් සමඟය. ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් කර්මාන්තශාලාව වන කේ. ඩී. රයිස් ඉලෙක්ට්‍රිකල් මෝටර් ආයතනය අරඹන්නේ 2021 වසරේදීය. මෙහි ආයෝජකයා ඉතාලියේ ඉලෙක්ට්‍රිකල් මෝටර් සයිකල් කර්මාන්තශාලාවකට හිමිකම් කියන ලංකාවේ තරුණයකු වූ ධම්මික පෙරේරාය. ඉතාලි ආණ්ඩුව ලංකාවේ ආයෝජනය අවදානම්සහගත බවට ධම්මිකට අනතුරු අඟවද්දී ධම්මික ලංකාවේ ආයෝජනය කළ මුදල ඩොලර් මිලියන පහකි.
“මම ශ්‍රී ලංකාවට ආවේ ලංකාවේ නිෂ්පාදනයකින් ලෝක වෙළෙඳපොළ ජය ගන්න පුළුවන් වෙළෙඳ නාමයක් ගොඩනඟන්න. මේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදනාගාරය පටන්ගන්න ආණ්ඩුවෙන් සත පහක ණයක් ඉල්ලුවේ නැහැ. මං ඉල්ලුවේ ආණ්ඩුවෙන් අවශ්‍ය නීති පද්ධතිය දේශීය කර්මාන්ත රැකගන්න සකසා දෙන්න කියලා විතරයි.”
මෝටර් සයිකල් ආනයනය තහනම් වීමත් සමඟ ලංකාවේ ආරම්භ වූ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් එකලස් කරන කර්මාන්තශාලා ගණන 16කි. ඔවුනට 30%ක දේශීය කොටස් එකතු කිරීමේ දී කොන්දේසියක් ද විය. නිෂ්පාදනය සම්බන්ධ සියලු රෙගුලාසි සම්බන්ධ පළිතුර සකසන ලද්දේ CAC කොමිටියයි. (Cabinet Apponted Comitee) දේශීයව නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා ලෙඩ් ඇසිඩ් නම් වූ බැටරි වර්ගය ලෝකයේ බොහෝ රටවල තහනම් කොට ඇත්තේ ඒවා ප්‍රතිචක්‍රීයකරණයට ලංකාවේ ක්‍රමවේදයක් නොමැතිවීම නිසාය. දේශීයව නිපදවූ මෙම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා අනුමත කරන ලද්දේ පරිසර හිතකාමී ලිතියම් අයන් (Lithium Iron) බැටරි පමණකි. කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලියාපදිංචි වූ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් කර්මාන්තශාලා 17ක් තම නිෂ්පාදන කටයුතු අරඹන්නේ ඉන්පසුවය. මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණය යටතේ සිදුකෙරුණු ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදනය ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් විය.
මේ අතර ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහයන් ගැසට් පත්‍රයක් මගින් සම්පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ආයතනයට අවසර දෙන ලදි. ඒ වන විට එජාපයේ ප්‍රබලයකු ආනයනය කළ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් කන්ටේනර් 4ක් හිටපු ජනපති ගෝඨාභයගේ මෝටර් බයිසිකල් ආනයන තහනමත් සමඟ රේගුවේ හිරවී තිබිණි. එහෙත් ප්‍රශ්නය වන්නේ CAC කමිටුවේ නියෝජිතයකු වන ආනයන අපනයන පාලකවරයා ආනයනික ඉලෙක්ට්‍රික් බයිසිකල් සඳහා කිසිදු ආනයන ප්‍රමිති නිර්නායකයක් ඉදිරිපත් නොකිරීමය. දේශීයව නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා පරිසරයට හානිකර ලෙඩ් ඇසිඩ් නම්වූ බැටරි විශේෂය භාවිතය හෝ ආනයනය තහනම් වූ අතර ගෙඩිපිටින් ආනයනය කරන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා කිසිදු ප්‍රමිතියකින් තොරව අඩු මිල ලෙඩ් ඇසිඩ් බැටරි භාවිත විය. මෙම බැටරිය ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදනයේදී භාවිතයට නිර්දේශ කළ ලිතියම් අයන් බැටරියේ මිලට වඩා ඉතා අඩු මිලට ඇති මාස 6කින් පමණ කල් ඉකුත්වන බැටරි විශේෂයකි. ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා භාවිත කරන ලිතියම් අයන් බැටරියක ආයු කාලය වසර 5ක් පමණ වේ.
ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලය සඳහා දේශීයව නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයට මෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් බැච් අංකයෙන් අංකයට කපා කොටා තළා අනුමැතිය ගැනීමට අවශ්‍ය නොවීය. ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් යොමු කෙරෙන්නේ NERD ආයතනයටය. ආනයනික බයිසිකලයක් සඳහා ලබා දිය යුත්තේ එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රමිති සහතිකයකි (Standard Report). එහෙත් NERD ආයතනය ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් සඳහා නිකුත් කරන්නේ එහි ඇති අංගෝපාංග හා ඒවායේ ධාරිතාව ගැන Test Report එකක් පමණි. දැන් ප්‍රශ්නය වී ඇත්තේ දේශීයව නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා මෙන්ම ගෙඩිපිටින් ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා ද අදාළ වන්නේ CAC කමිටුවේ පිලිවතර වීමය. එහෙත් නීතිය රටේ දේශීය නිෂ්පාදකයින් තළාපෙළා තම ව්‍යාපාර වසා දමන තත්ත්වයට දරුණු වෙද්දී බාල තත්ත්වේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ආනයනකරුවන්ට ඕනෑම කුණු ගොඩක් ආනයන කොට මුදල් රැස් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදීම එකම නීතියක් පිරිස් දෙකකට බලපාන විෂම ක්‍රමවේදය තදින් තහවුරු කරන්නකි. මේ සම්බන්ධයෙන් ආනයන අපනයන පාලකවරයා දරන දෙබිඩි පිළිවෙත දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැසට් පත්‍රයකින් ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ආනයනයට අවසර දීමත් සමඟ ලංකාවේ නැඟී එමින් තිබූ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් එකලස්කරන කර්මාන්තශාලා 16ක් වැසී ගොස් දහස් ගණනකට රැකියා අහිමි විය. අන්තිමට ලංකාවේ ඉතුරු වූයේ කේ.ඩී. රයිස් ඉලෙක්ට්‍රිකල් මෝටර්ස් ආයතනය පමණි.
දැන් ප්‍රශ්නය ඇත්තේ ඉතා අඩු මිලකට ආනයනය කරන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා යොදා ගන්නා ලෙඩ් ඇසිඩ් බැටරි ප්‍රතිචක්‍රීයකරණය ලංකාවේ සිදුකළ නොහැකිවීම ගැන මධ්‍යම පරිසර අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව මේ ලෙඩ් ඇසිඩ් බැටරි මාරයාට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා නොකිරීම ඉදිරියේ ජාතික ප්‍රශ්නයක් වනු නියතය.
වත්මන් රජයට මෙම ගැටලුව කිසිදු වියදමකින් තොරව සිදුකළ හැක්කකි. මේ ආනයනය කරන ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් සඳහා යුරෝපීය වෙළෙඳ පොළට පිවිසීමට CE සහතිකයක් නැත. ඊටත් වඩා ඒවා ලංකාවට අපනයනය කරන රටවල් තම රටවලදී එම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා පරිසරයට හානිකර ලෙඩ් ඇසිඩ් බැටරි තහනම් කොට ලිතියම් අයන් බැටරි නිර්දේශ කොට ඇත.
දැන් සිදුවී ඇත්තේ කිසිදු ප්‍රමිති සහතිකයක් නැතුව අඩු මිලට විකුණන ආනයනය කළ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සමඟ දේශීයව නිපදවන ජාත්‍යන්තර ප්‍රමිතියේ යුරෝපයටත් අපනයනය කළ හැකි ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වලට තරගවැදීමට සිදුවී තිබීමය. මෙහිදී සිදුවන්නේ ආනයනික අඩු මිල ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් පාරිභෝගිකයා තෝරා ගැනීමයි. මේ ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක බැටරියක ආයු කාලය මාස 6කි. ඉන්පසු සිදුවන්නේ මෙම ආනයනික බාල ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් මිලදී ගත් පාරිභෝගිකයා ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සංකල්පයට සාප කරමින් නැවත පෙට්‍රල් මෝටර් සයිකලයට මාරුවීමය. මෙය මුළු ලෝකයම ගමන් කරමින් තිබෙන EV (Electric Vehicle) සංකල්පය කරා ලංකාව යන ඉලක්කයට බලවත් හානියකි.
ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයට චැසියේ ප්‍රමිතිය ගැන කිසිදු ප්‍රමිති පරීක්ෂණයක් ලංකාවේ සිදුනොවේ. එහෙත් ලංකාවේ නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වල ඇති වැල්ඩින් කොට ඇති ස්ථාන 22ක් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කපා එහි ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ දේශීයව නිපදවූ සෑම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සියයේ බැච් එක බැගිනි. මෙයින් දේශීය නිෂ්පාදකයාට එම පරීක්ෂණ සඳහා හැම වාරයකදීම රුපියල් ලක්ෂ 5ක අලාභයක් දරා ගැනීමට සිදුවේ.
එහෙත් ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් චැසි මේ කිසිදු පරීක්ෂණයකට භාවිතය නොවේ. මෙම ප්‍රමිති තත්ත්ව සහතිකයට දේශීය නිෂ්පාදකයින්ට මුදලින් ගෙවීමක් සිදුවන අතර දේශීය නිෂ්පාදනයේ මිල වැඩිවීමට ද එය හේතුවී තිබේ. ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් එකින් එක ප්‍රමිති පරීක්ෂණයක් සිදු නොවන අතර ආනයනය කළ තොගයේ සාම්පලයක් පමණක් NERD ආයතනය හරහා ටෙස්ට් රිපෝට් එකක් ලබාගැනීම පමණක් සිදුකෙර්.
මේ ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා භාවිත වන ලෙඩ් ඇසිඩ් බැටරිය මාස හයකින් කල් ඉකුත්වන අතර දේශීයව නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා ඒවා යොදා ගැනීම තහනම් කටයුත්තකි. දේශීය නිෂ්පාදනයට අනිවාර්ය කොට ඇති ලිතියම් (LFP) බැටරියක ආයු කාලය වසර 5කි.
දේශීය කර්මාන්ත රකින මාලිමාවේ ප්‍රතිපත්තිය
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම සඳහන් කොට ඇත්තේ දේශීය කර්මාන්ත රැකගන්නා බවය. දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජයගැනීම ද එහි පුළුල් අරමුණක් විය. මෙම ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා මෙන්ම දේශීයව නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා පැවැති රජයන් අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය ද පරස්පර විරෝධීය. දැන් මාලිමාව ආණ්ඩුවට ඇති බහුතර බලය උපයෝගී කොට ගෙන මෙවැනි දේශීය කර්මාන්ත රැකගෙන රටට ඩොලර් ගෙනෙන ව්‍යාපාර බවට ඒවා පත්කර ගත යුතුය.
ආනයනික ප්‍රමිතියෙන් තොර ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් සඳහා රජය බයිසිකලයට රු. 12,500ක බදු ඇතුළුව ගාස්තු අය කරන අතර දේශීයව නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් සඳහා රු. 133,500ක බදු හා ගාස්තු අය කිරීම පුදුම සහගතය. දේශීයව නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා රු. 300,000ක ලිතියම් බැටරියක් අනිවාර්යයෙන් භාවිත කළ යුතු අතර ආනයනික බයිසිකලයක් සඳහා යොදා ගැනෙන්නේ රු. 50,000ක පමණ ලෝකයේ බොහෝ රටවල තහනම් කර ඇති ලෙඩ් ඇසිඩ් බැටරියකි. මේ හේතුවෙන් තම දේශීය නිෂ්පාදනයට රජයේ බදු ප්‍රතිපත්තිය නිසා දේශීය වෙළෙඳපොළට තරගකාරී මිලකට ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් වෙළෙඳ පොළට නිකුත් කළ නොහැකි තත්ත්වක් උද්ගත වී ඇත.
ඉතිහාසය පුරා ලංකාව සමඟ අත්සන් කළ වෙළෙඳ ගිවිසුම් නිරීක්ෂණයේදී පෙනී යන්නේ එහි වාසිය අත්වූයේ එම ගිවිසුම් අත්සන් කළ රටවලට බවය. ඊට හේතුවන්නේ ගිවිසුම අත්සන් කළ රටට අපනයනයට තරම් දේශීය නිෂ්පාදන අප සතුව නොපැවතීමය. මේ වෙළෙඳ ගිවිසුම් නිසා අවසානයේ නිදහසෙන් පසු ලංකාවෙන් ගලා ගිය ඩොලර් මිලියන ගණන අතිමහත්ය.
අපේ අසල්වැසි ඉන්දියාවට රථ වාහන ක්ෂේත්‍රයේ ටාටා, ලේලන්ඩ් වැනි ලෝක වෙළෙඳ සන්නාම ඇත. කොරියාවට හුන්ඩායි, ජපානයට ටොයෝටා, මිට්සුබිෂි, නිසාන් වැනි වෙළෙඳ නාමද ජර්මනියට බෙන්ස් මෙන්ම ඉතාලියට ලැම්බෝගිනි වැනි ලොව ජයගත් රථවාහන සන්නාම ඇත.
මේඩ් ඉන් ශ්‍රී ලංකා
ලංකාවට යුරෝපා වෙළෙඳ පොළ තුළ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සන්නාමයක් ගොඩනඟා ගැනීමට ඇති හැකියාව පිළිබඳ කේ.ඩී. රයිස් ආයතනයේ අධ්‍යක්ෂ ධම්මික පෙරේරා පවසන්නේ මෙවැන්නකි. “මේක තමයි අපිට ලෝකෙට ගෙනියන්න පුළුවන් වෙළෙඳ සන්නාමය. මුළු ආසියාවෙන්ම යුරෝපයට අපි මුල් වතාවට ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් අපනයනය කළා. දැන් අපි ඉන්දියාව, ඩුබායි, මාලදිවයින, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාවට මේඩ් ඉන් ශ්‍රී ලංකා කේ.ඩී. රයිස් මෝටර් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් අපනයනය කරන්න ගිවිසුම්ගත වෙලා තියෙනවා. අපිට බැංකු ණය එපා. මේ දේශීය ව්‍යාපාරය රැකගන්න නීති පද්ධතිය හදන්න. ඉතාලියේ තියෙන අපේ කර්මාන්තශාලාවට තමන්ගේ දේශීය කර්මාන්තයක් ලෙස සලකල ඒ රටේ ආණ්ඩුව නීති පද්ධතිය හදල තියෙන නිසා අපි ලෝක වෙළෙඳපොළ ජයගත්තා.”
උපාලි විජේවර්ධන උපාලි ෆියට් රථය නිෂ්පාදනය කළේ ද ඉතාලියේ ෆියට් ආයතනයේ සහාය ඇතිවය. එහෙත් උපාලිටවත් තම වාහන තුළින් යුරෝපය ජයගන්න හැකිවූයේ නැත. රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා උපාලිගේ වාහන එකලස් කිරීමේ ව්‍යාපාරය බිඳවැටිණි. ධම්මික පෙරේරා පවසන්නේ මෙරටට ඩොලර් මිලියන හයකට ආයෝජනයක් ගෙනා තමන්ට ද රාජ්‍ය අනුග්‍රහය නොලැබුණොත් ‘උපාලි ෆියැට්’ කර්මාන්තයට ඇතිවූ ඉරණම අත්විය හැකි බවය.
“මම එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හම්බවෙලා මේ අසාධාරණය ගැන කිව්වා. ඔහු කිව්වේ ගැසට් එකට තමන් අත්සන් කළත් සම්පූර්ණ ඉලෙක්ට්‍රික් බයිසිකල් ආනයනය ගැන නීති පද්ධතිය සකස් කළ යුත්තේ ආනයන අපනයන පාලකවරයා විසින් බවත් රටක නීති පද්ධතිය සකස් විය යුත්තේ දේශීය කර්මාන්ත රැක ගැනීමටත් බවයි.”
මේ නව ආණ්ඩුව තම බහුතර බලයෙන් ප්‍රායෝගිකවම කළ හැකි කටයුත්ත වන්නේ දේශීය ව්‍යාපාරය රැක ගැනීමට අවශ්‍ය නීති පද්ධතිය සකස් කොට ලංකාවේ මෝටර් සයිකල් සන්නාමයකට ලෝක වෙළෙඳපොළ ජයගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමය. මෙම අයෝජකයා පවසන්නේ රාජ්‍ය නිලධාරින් දේශීය කර්මාන්ත රැකගැනීම පසෙකලා වරප්‍රසාද තකා ආනයනකරුවන්ට ආවැඩීම ඛේදවාචකයක් බවය.
“දැන් අලුත් ආණ්ඩුව ගැන මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. සාම්ප්‍රදායික දේශපාලකයින් ගෙදර යවලා අලුත්ම මුහුණු ටිකකට බලය දීලා තියෙන්නේ. ඔවුනගේ යුතුකමක් මේ වගේ දේශීය කර්මාන්ත රැකගැනීම. ඒක මේ රටට ඩොලර් ගේන උල්පතක්. මම හිතනවා මේ අලුත් ආණ්ඩුව මේක තේරුම් ගනියි කියලා. මේ දේශීය කර්මාන්තය රැක ගැනීමට අවශ්‍ය නීති පද්ධතිය සකස් කරලා ලෝක වෙළෙඳපල ජයගන්න අවස්ථාව ලබා දෙන්න කියලා.”
දැන් ඉතින් මේ දේශීය කර්මාන්තය රැකගැනීමට කඩිනමින් පියවර ගත යුතුව ඇත්තේ මෙම කර්මාන්තශාලාව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඩුබායි රාජ්‍යයේ පිහිටුවීමට ආරාධනයක් ලැබී තිබීම නිසාය. පසුගිය මාසයේදී ඩුබායිහි පැවති වෙළෙඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මේ ජාත්‍යන්තර CE (Compliane Certificate) සහතිකය සහිත ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ප්‍රදර්ශනය කෙරුණු අතර එම ආරාධනය ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයේදීය.
අපි අවසන් වශයෙන් ධම්මික පෙරේරාගේ ඉල්ලීමට සවන් දුන්නෙමු.
“නව ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බහුතර ආණ්ඩුවටත් මේ මැදිහත්වීම පැහැදිලිවම කරන්න පුළුවන්. තවමත් ප්‍රමාද නැහැ. නීති පද්ධතිය සකස් කරලා ලෝක වෙළෙඳපොළ
ජයගන්න අපට අවස්ථාව දෙන්න. එය රටේ ඩොලර් ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක්.”
ඡායාරූප – දුෂ්‍යන්ත මයාදුන්න
වජිර ලියනගේ