ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරම්භක නායකයා වූ නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවිර සහෝදරයා 1965 මැයි මස 14 වැනි වෙසක් පුන් පෝය දිනකදී ඔහුගේ ව්‍යාපාරය අරම්භ කළේ දේශපාලන ක්‍රියාකාරීන් එකොළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙනි. ගාල්ල අක්මීමන දී ආරම්භ වූ ව්‍යාපාරය ක්‍රම ක්‍රමයෙන් දැවැන්ත දේශපාලන සංවිධාන ජාලයක් වී 2024 නොවැම්බර් 14 වැනිදා මෙරට රාජ්‍ය බලය හිමිකර ගත්තේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමිනි. එහෙත් එදා එකී මුල් සාමාජිකයන්ගේ ප්‍රාරම්භක රැස්වීම මෙන්ම එය සංවිධානය කළ පුරෝගාමි විජේවීර සහෝදරයාගේ ආරම්භක නායකත්වය ද නොවුයේ නම් ඉතිහාසය මෙසේ ගලා නොයනු ඇත.
1965 මැයි මස 14 සහ 15 දෙදින තුළ පැවැති මේ සාකච්ඡාවට සහභාගි වූ පිරිස අතර විදුහල්පතිවරයකු වූ හික්කඩුවේ ජයසේන විතාන හෙවත් සනත් බොරළුකැටිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය දෙවුන්දර මුතුමාල, මාබෝල පදිංචි ව සිටි එම් මිල්ටන් ප්‍රනාන්දු, රුවන්වැල්ලේ පදිංචිව සිටි එම්. විල්සන්, දැදැගම. සතොස කාර්මික අංශයේ ටී. ඩී. වොල්ටන්, තිස්සමහරාමයේ ලංකා රියදුරු සිරිපාල අබේගුණවර්ධන නාවික හමුදාවේ එම්. එම්. තිලකරත්න, දෙල්ගොඩ රාජා හෙවත් ඩබ්ලිව්. ටී. අමරතුංග ලංකා කොමියුනිස්ට් පක්ෂ තරුණ සමිති සම්මේලනයේ පූර්ණකාලීන පක්ෂ සාමාජික නන්දසිරි විජේවීර හෙවත් පසුව රෝහණ විජේවීර සහ පානදුරේ පදිංචිව සිටි පක්ෂයේ මධ්‍යම සතිපතා පුවත්පත වූ කම්කරුවා කර්තෘ මණ්ඩලයේ සේවය කළ ටීබීසී ප්‍රනාන්දු නොහොත් රණසිංහ ආරච්චිගේ චන්ද්‍ර රණසිංහ යන පක්ෂ ක්‍රියාකාරීහු වූහ.
මෙම පුරෝගාමී තරුණයන් එකොළොස් දෙනාම ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කළ ක්‍රියාධරයෝ වූහ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඩබ්. කරුණාරත්න ගාල්ලේ අක්මීමන පිහිටි නිවෙසේ දෙදිනක් පුරා මෙම සාකච්ඡා පවත්වන ලදී. මෙය හුදෙක් විජේවීර සහෝදරයා තුළ පැවැති දේශපාලන විශ්වාසය හේතු කොට ගෙන පැවැති සාකච්ඡාවකි.
රදළයන්ගෙන්, ප්‍රභූන්ගෙන් බලවතුන්ගෙන් තොර සාමාන්‍ය වැඩ කරන ජනතාව අතුරින් බිහිවූ පීඩිත පන්තියේ තරුණයන් එකොළොස් දෙනකු විසින් එම ඓතිහාසික ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ සංවිධාන නාමයකින්, ව්‍යවස්ථාවකින් සහ නිලධාරින්ගෙන් තොරවය. එදා එසේ ආරම්භ වී ආයුධ සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වීමෙන් එයින් පරාජිතව තම පුරෝගාමී නායකයා වූ රෝහණ විජේවීර සහෝදරයා ද ඉන් පසුව පත්වූ නායකයන් තිදෙනෙකුගේද මරණයෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිස එම ව්‍යාපාරය රටේ ආණ්ඩු බලය ලබා ගනී යැයි ආරම්භක සාමාජිකයන් පවා ඇතැම් විට නොසිතන්නට ඇත.
ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ මතභේදයට අනතුරුව ලංකා කොමියුනිස්ට් පක්ෂය දෙකඩ වූයේ 1964 ජනවාරි මස පක්ෂයේ හත්වැනි සම්මේලනයේදීය. මේ සියලු තරුණයන් එකට එක්ව සිටියේ තම පක්ෂ මාක්ස් ලෙනින්වාදී න්‍යාය මත ක්‍රියාත්මක වන වඩාත් නිවැරැදි මාවතක් කරා යොමු කරන පක්ෂ අභ්‍යාන්තර රහස් කණ්ඩායමක ගොඩනැඟීම උදෙසාය. චීන කොමියුනිස්ට් පක්ෂය, අල්බේනියානු කම්කරු පක්ෂය, කොරියානු කම්කරු පක්ෂය, වියට්නාම කොමියුනිස්ට් පක්ෂය නම් රාජ්‍ය බලය හොබවන පක්ෂය අන්ත දැවැන්ත පක්ෂ වූ ඉන්දියානු කොමිනියුනිස්ට් පක්ෂය ජපානයේ කොමියුනිස්ට් සහ ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය ද එක පිළකට පැමිණ සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය ද ප්‍රතිවිරුද්ධ එක් කඳවුරක සිටියහ.
ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හත්වැනි ජාතික සම්මේලනය ඒ වන විට ද ප්‍රසිද්ධව සිටියේ චීන පිලේ කොමියුනිස්ට් පක්ෂය වශයෙනි. විජේවීර සහෝදරයා විසින් සංවිධානය කරන ලද පළමු වැනි සාකච්ඡාවේදී එක්ව සිටි එකොළොස් දෙනා එකට එක්වී සිටියේ ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් නිවැරැදි විප්ලවවාදී නායකත්වයක් ගොඩනඟා ආයුධ සන්නද්ධ අරගලයක් මඟින් සමාජවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම පිණිසය. මොවුන් නිරන්තරයෙන් ටීබීසීගේ නිවසේ ඔවුන්ගේ සාකච්ඡා කළ සිදු කර ඇති බවද පසුකාලීනව මා හට දැනගන්නට ලැබිණි.
නීතිරීති සහ විනය
මේ සඳහා රෝහණ විජේවීර සහෝදරයා උපයෝගි කර ගැනීමට අදහස් කළේ තමා සමඟ රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිට ආපසු තම මවුබිම වු සැන්සිබාර් දුපතට ගොස් තරුණ කණ්ඩායමක් එක්රොක් කරගෙන එක රැයක් තුළ සැනිසිබාර් දුපතේ ආණ්ඩු බලය අල්ලා ගත් සටන්කාමි නායකයා වන Abdulla Kassim Hanga ගේ ක්ෂණික ප්‍රහාර අරගලය ස්වරූපයට විය හැකිය.
ලංකා කොමියුනිස්ට් පක්ෂය තුළින් ගොඩනඟන නව විප්ලවවාදි රහස් සංවිධානයක් උදෙසා මෙම තරුණ කණ්ඩායම් එකොළොස් දෙනා එකට එකතු කරන ලද්දේ රෝහණ විජේවීර සහෝදරයා විසිනි. එහෙයින් මෙම ඓතිහාසික පුරෝගාමින් අතුරින් සංවිධායකයා ද නායකයාද වූයේ විජේවීර සහෝදරයා පමණකි. ඔවුන් අතුරින් මාක්ස්වාදී කෘති අධ්‍යයනය කරමින් සිටි ගැඹුරු ක්‍රියාකාරීකයා වූයේ පක්ෂයේ පූර්ණ කාලීනයන් වූ රෝහණ විජේවීර සහ කම්කරුවා පුවත්පතේ උපකර්තෘ ටීබීසී ප්‍රනාන්දු සහෝදරයා පමණි. මෙම කුඩා රහස් කණ්ඩායම සංවිධානය කිරීමෙහිලා මූලිකත්වය ගත් මෙන්ම ඒ වන විට කිසිදු සාමූහික නායකත්වයක් නොවීම මත විජේවීර පමණක් මඟ පෙන්වන්නා වූයේය.
මේ දැවැන්ත අසීරු අරමුණ කරා යන ගමන විජේවීර සහෝදරයා තමන් ගොඩනඟන්නට යන රහස් සංවිධානයේ සාමාජිකයන්ගෙන් අපේක්ෂා කළ ඉතා තදබල විනය රීති මාලාවක් විය. මත්පැන්, දුම්පානය නොකිරීම හා ප්‍රේම සම්බන්ධතාවලට කොහෙත්ම සම්බන්ධ නොවීම වැනි නීතිරීති ඒ අතර විය. එවැනි චර්යාවන්වලට නැඹුරු වූ සාමාජිකයන් මෙම රහස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඔහු ක්‍රියා කළේය. දුම්පානයට ඇබ්බැහි වී සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ මුතුමාල ද තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමට හසුන් පතක් දීම නිසා පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයකු වූ ටීබීසී ද දැවැන්ත විනය පරීක්ෂණයකට ලක් විය. මේ ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට පවා එවැනි වැරදි හේතු යැයි විජේවීර තීරණය කළේය. එහෙත් ඒ බව නොකියා නොදන්වා ඔවුන් සමඟ ද සමීප දේශපාලන සම්බන්ධතා පැවැත්වීමට විජේවීර සහෝදරයා දිගටම කටයුතු කළේය. මගේ කල්‍යාණ මිතුරා වන ටීබීසී පිළිබඳව මා පැහැදිලි කිරීමක් කිරීම අතිශයන්ම වැදගත් යැයි සිතමි.
ටිබිසිගේ පක්ෂ ක්‍රියාකාරීත්වය
කම්කරුවා පුවත්පතේ උපකතුවරයකු වූ පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයකු වූ ටීබීසී සහෝදරයා පක්ෂයේ පානදුර ශාඛාවේ සාමාජිකයෙකි.රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රදේශයේ රණසිංහ ආරච්චිගේ චන්ද්‍රා රණසිංහ නමින් උපත ලැබූ ඔහු රත්නපුර ෆර්ගසන් විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබුවේය. පියාගේ වියෝවෙන් අනතුරුව ඔහු පානදුරේ නල්ලූරුව ප්‍රදේශයේ පදිංචියට පැමිණ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ උසස් පෙළ දක්වා උගත්තේය. ඔහු පාසලේ විවාද කණ්ඩායමේ නායකත්වය ලබා ඇති අතර, විවාද තරගවලින් රන්පදක්කම් ලබමින් සමස්ත ලංකා පළමු වැනි ස්ථානය ද හිමිකර ගෙන ඇත. දඟ පන්දු යවන්නකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද ප්‍රසිද්ධ වී සිටි ඔහු සැහැලු පන්දු ක්‍රීඩාවටත් විශාල දක්ෂතාවක් දැක්වීය. ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන පෙළේ ශිෂ්‍ය ක්‍රියාකාරියකු ලෙස පාසල් අවධියේ සිටම ක්‍රියා කළේය. දිනේෂ් කීර්ති නන්ද සහෝදරයාගෙන් සහ පාසලෙන් ලද ආභාසය නිසාත් ඉංග්‍රීසි භාෂාවෙන් වාද විවාද කර ජයගැනීමට චතුර ලෙස භාෂාව හසුරුවන්නට හැකිවීම ද ඔහු සතු සුවිශේෂ දක්ෂතාවකි. මාක්ස් ලෙනින්වාදය කෘති පරිශීලනයට වඩාත් හුරු වීමෙන් අනතුරුව පක්ෂයේ ප්‍රධාන ශාඛාවට ඔහු බැඳුණේය. ඔහු පාසල් ශිෂ්‍යයකු වීම හේතු කොට ගෙන සමාජය තුළ ඔහු ප්‍රසිද්ධියට පත් වූයේද ටීබීසී යන කෙටි නාමයෙනි.
ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම සතිපතා සිංහල පුවත්පතක් වන කම්කරුවා පුවත්පතට ටීබීසී එක් වූයේ 1965 මුලදීය. පානදුරයේදී සැහැල්ලු පන්දු ක්‍රීඩා කිරීමෙන් ඔහුත් මාත් මිත්‍රව සිටියේ ඊට තරමක කාලයකට පෙර සිටය. 1985දී ඔහුත් මාත් කම්කරුවා පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැඳී පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයන් වීම නිසා අප අතර ගොඩනැඟුණ අභ්‍යන්තර සහෝදර ප්‍රේමය 1997 නොවැම්බර් 26 වැනිදා සිදුවු ඔහුගේ මරණය තෙක් දීර්ඝ විය.
පක්ෂ මූලස්ථානයේදී තරුණ පූර්ණකාලීන සාමාජිකයන් වූයේ අප දෙදෙනා, කොලින් සිල්වා, චන්ද්‍රසිරි මායාදුන්නේ සහ විජේවීර යන සහෝදරවරුන් පස් දෙනාය. එහෙයින් පක්ෂය තුළ ටීබීසී හා විජේවීර සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් පැවැති අතර, ඔවුහු නිතිපතා වාද විවාද කරමින් කටයුතු කළහ. විජේවීර ප්‍රමුඛව වෙනම රහස් කණ්ඩායමක් අප අතර ක්‍රියාත්මක වන බව මා එවක දැන සිටියේ නැත. ටීබීසී හෝ විජේවීර මට ඒ බව එකී මුල් යුගයේ දන්වා තිබුණේද නැත. එසේ වුවද පක්ෂය තුළ අප එකට ගෙන ගිය ව්‍යාපෘතින් සිදු වූයේ අන්‍යන්‍යේන්‍ය සහයෝගයකිනි.
පක්ෂයේ අභ්‍යන්තර අර්බුද
1966 ජනවාරි 8 වැනිදා කොළඹ වැඩ කරන ජනතාව දේශපාලන පක්ෂ භේදවලින් තොරව එජාප ආණ්ඩුව ඉදිරිපත් කළ භාෂා පනතට විරුද්ධව පෙළපාලියක් සංවිධානය කර තිබිණි. ලංකා කොමියුනිස්ට් පක්ෂය එයට එක්ව සිටියේ නැත. යුඑන්පි විරෝධී පොදු පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා රුසියන් පිලේ කොමියුනිස්ට් පක්ෂය මෙම පෙළපාලිය සංවිධානය කිරීමේදී මූලිකව ක්‍රියා කළ අතර, පොලිසිය විසින් කොල්ලුපිටියේ ඇමරිකානු තානාපති කාර්යාලය අසලදී ඊට වෙඩි තැබීමෙන් දඹරාවේ රත්නසාර නම් භික්ෂුවක් අපවත් විය. එහෙයින් මෙම පෙළපාලිය එකල දේශපාලන ක්‍රියාකාරීන් අතර ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධියක් විය. රෝහණ විජේවීර සහෝදරයා ද මෙයට සහභාගි වූ අතර, ඒ හේතුවෙන් විජේවීර සහෝදරයාට කම්කරුවා පුවත්පතේ කර්තෘගෙන් එල්ල වූ යම් චෝදනාවක් නිසා එම සිද්ධියෙන් අනතුරුව ටීබීසී වාද්දුවේ අපේ නිවෙසට පැමිණ මා ද කැටුව විහාර මහාදේවි උද්‍යානයට පැමිණියේය. එතැන කළ සාකච්ඡාවේදී විජේවීර, ටීබීසී හා මා තීරණය කළේ කම්කරුවා පුවත්පතේ කර්තෘට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ විවේචනය කර්තෘ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයක් කෙටුම්පත් කර පක්ෂ නායක එන්. ශන්මුගදාන් සහෝදරයාට භාර දිය යුතු බවය. එදා සිට දින හතරක් පහක් පමණ ටීබීසී ගේ පානදුරේ නල්ලුරුවේ ඇති නිවෙසේ එකතු වූ විජේවීර, කොලින් සිල්වා හා මා විසින් ඉතා දීර්ඝ ලේඛනයක් සකස් කරන ලදී. මෙම ලේඛනයට අත්සන් කළේ ටීබීසී, කොලින් සහ මා විසිනි. පක්ෂ නායකත්වයේ අදහස වූයේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීන තනතුරුවලින් විජේවීර, කොලින්, ටීබීසී හා මම ‘කම්කරුවා’ කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමය.
මේ සමඟ ඇතිවූ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ගැන සාකච්ඡා කිරීමට 1966 අප්‍රේල් මස පළමු සති අන්තයේ පක්ෂ කාර්යාලයේ පැවැත්වූ දීර්ඝ සාකච්ඡා සම්මේලනයට පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභිකයන් සහ සියලු දිසා සභාවල සභිකයන් හා පක්ෂ ශාඛාවල ලේකම්වරුන් සහභාගි වූහ. විජේවීර හා ටීබීසී සහෝදරවරු දෙදෙනා, කොළඹ සරසවි ශාඛා ලේකම් වශයෙන් මම ද, පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාඛාවේ ලේකම් නිහාල් ඩයස් සහෝදරයා ද පක්ෂ නායකත්වයේ දේශපාලන හා සංවිධාන වැරදි විවේචනය කරමින් කරුණු දක්වන ලදී.
ලංකා කොමියුනිට්ස් පක්ෂය තුළ විජේවීර සහෝදරයා ක්‍රියා කළ අවසාන අවස්ථාව වූයේ1966 අප්‍රේල් 3 වැනිදාය. කොළඹ 124 දරන ස්ථානයේ පිහිටි පක්ෂයේ සහ ලංකා කම්කරු සමිති සම්මේලනයේ රැස්වීම් ශාලාව තුළ එම සම්මේලනය පැවැත්විණි. ඒ රැස්වීමෙන් පසුව විජේවීර සහෝදරයා හා මා වාද්දුවේ මගේ නිවෙසට පැමිණ එදින අප නිවසේ රැය පහන් කරන ලදී. පසුවදා එනම්, 1966 අප්‍රේල් 4 වැනිදා විජේවීර තවත් සහෝදරවරු දෙදෙනකු සමඟ අපෙන් සමුගෙන පිටත්ව ගියහ.
මා ඔහුට දුන් ඉතා වැදගත් පොතක් ද ඔහු රැගෙන ගියේය. විජේවීර සහෝදරයාගේ වෙන්වීම දුෂ්කර වූ අතර, ඒ වෙන්ව යෑමෙන් පසු විජේවීර සහෝදරයා හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවල සිටින බව ආරංචි විය. ඉන් අනතුරුව ඔහු අප මුණ ගැසුණේ කාලයකට පසුවය. මෙසේ අප කණ්ඩායම බෙදී යාම නිසා ටීබීසී, කොලින් හා මා ද යළිත් දිගටම ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ක්‍රියාවල නිරත වූයෙමු. පක්ෂ අභ්‍යන්තර අර්බුදය විසඳී නොතිබූ නිසා කැලණියේ හෙට්ටිගේ සහෝදරයාගේ නිවසේ රැස්වී මම, කොලින්, ටීබීසී හා තවත් සහෝදරවරු කණ්ඩායමක් යළිත් වරක් රහස් විප්ලවීය දේශපාලන සංවිධානයක් ආරම්භ කළෙමු.
1968 මැයි දිනයේ සමගි පෙරමුණු නගර සභා මහ රැලියේ අපගේ කණ්ඩායමේ සහෝදරවරුන් පනස් එක් දෙනෙක් ලංකා විමුක්ති ව්‍යාපාරය එළි දැක්වීම උදෙසා දේශපාලන විග්‍රහයකින් යුත් පත්‍රිකාවක් බෙදා හැරියෙමු. එතැන් සිට අපට සම්බන්ධ සියලු ප්‍රදේශ හා විශ්වවිද්‍යාල තුළ කණ්ඩායම් සංවිධානය කරමින් සාකච්ඡා පවත්වමින් මාක්ස් ලෙනින්වාදය වැඩ කරන ජනයා හා ශිෂ්‍යයන් අතර බෙදා හැරියෙමු. ඉන්පසුව 1971 අප්‍රේල් කැරැල්ල තෙක් ගත වු පස් අවුරුදු කාලය තුළ අපේ ලංකා විමුක්ති ව්‍යාපාරයේ සහෝදරවරු දේශපාලන පන්ති පැවැත් වූ සෑම ස්ථානයකම මෙන් විජේවීර සහෝදරයාගේ සංවිධානයේ වැඩ කළ සහෝදරවරු ද විවිධ දේශපාලන කටයුතුවල නිරත ව සිටියහ. ලංකා කොමියුනිස්ට් පක්ෂය තුළ සිටි අපේ කණ්ඩායම එයින් තීරණාත්මකව බිඳී වෙන්ව ගියේ 1968 දෙසැම්බරයේදීය.
මේ අතරතුර චේගුවේරා ඝාතනයට විරුද්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පෙළපාලිය පැවැත්වූ 1967 ඔක්තෝම්බර් මස එය සංවිධානය කරමින් සිටි අප කොළඹ පිහිටි කියුබානු තානාපති කාර්යාලයට ගිය විට එහි කාමරයක් තුළ වාඩිවී සිටි විජේවීර සහෝදරයා යළිත් හමු විය. එහිදී අපි කිසිදු දේශපාලනික සාකච්ඡාවක නිරත නොවිමු. යළිත් 1968දී මැයි දිනයේදී කොළඹ නගර ශාලා භූමියේ සමගි පෙරමුණු මහ සභා රැස්වීම තුළ ලංකා විමුක්ති ව්‍යාපාරයේ අත්පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවකදී ඩී. පී. විමල සහෝදරයා සහ විජේවීර සහෝදරයා බිම වාඩිවී අප සමඟ සුහද කතා බහක යෙදුණේය. නැවත වරක් 1969 දී දිනක බොරැල්ලේදී අපි මුණ ගැසුණෙමු.
මේ අතරතුර 1971 අප්‍රේල් කැරැල්ල ආරම්භ වූ පසු රහස් පොලිසිය විසින් මා සිරභාරයට ගෙන අට මසක් සහ දින දහයක් හිර භාරයේ තබාගන්නා ලදී. මා හිරෙන් නිදහස් වූ වහාම ටීබීසී මා සොයා පැමිණි අතර එම කාලයේදීම ඔහු ද හිර භාරයට ගෙන තිබිණි. ඉන් පසුව අපේ ව්‍යාපාරය අක්‍රිය වී අපි හුදෙකලා දේශපාලන ක්‍රියාකාරීන් බවට පත්වූයෙමු.
ටිබිසිගේ ගුරු භූමිකාව
ඒ වන විට ගුරු වෘත්තියේ නියැළුණු ටීබීසී සහ මම වාමාශික දේශපාලනය හා බද්ධ වූ ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වැඩ කළෙමු. අධ්‍යාපනය ලබන අතරතුරම 1966 මැයි මස 2 වැනි දා ටීබීසී රජයේ ගුරු වෘත්තියට ඇතුළු විය. මතුගම ප්‍රදේශයේ පැලවත්ත කෙළින්කන්ද නම් අති දුෂ්කර කනිෂ්ඨ විද්‍යාලයට ඔහු ප්‍රථම පත්වීම ලැබුවේය. ඉංග්‍රිසි ගුරුවරයකු වූ ඔහු එම ප්‍රදේශයේ අන්ත දුගී ජනතාව සමඟ ජීවත් වෙමින් පාසල් කාලයෙන් පසු දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීම පුරුද්දක් කොට ගත්තේය. ටීබීසී ගේ මානව හිතවාදී ගුණය එහි වැඩිහිටියන්ගේ ද දරුවන්ගේ ද මහත් ආදර ගෞරවයට ලක් විය. එදා මතුගම කෙලින්කන්ද දිළිදු දුෂ්කර ගම්මානයේදී පටන් ගත් ටීබීසී ගේ වෘත්තීය ස්වභාවය ඔහු ඊළඟට ගෙන ගියේ තීනියාවල නම් දුෂ්කර සිංහරාජය වනයට ආසන්න ප්‍රදේශයටය. එහිදීද දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීම අත නොහැරියේය.
80 දශකය මැද භාගය වන විට අපේ ලංකා විමුක්ති ව්‍යාපාරය මුළුමනින්ම අකර්මණ්‍ය තත්ත්වයට පත්වී තිබූ බව කිව යුතුය. කෙසේ වුවත් ලංකා ගුරු සංගමය ජවිපෙ සමඟ සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියේ විශාල වැඩ කොටසක් ඉටු කළ විජේවීර සහෝදරයාගේ මස්සිනා එච්.එන්. ප්‍රනාන්දු සහෝදරයා ටීබීසී ගේ සහ මගේ ඉතා සමීපතම මිතුරෙකි. අප හා සම්බන්ධ වූ වෘත්තිය සමිති නායකයකු වූ ඔහුගේ හදිසි අභාවයෙන් පසු ටීබීසී විසින් ශ්‍රී ලංකා ඒකාබද්ධ ගුරු සංගමය පිහිටු වූයේය. මේ මුළු කාලය තුළම ඔහු වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට සම්බන්ධ වූයේ නැත.
70 දශකයේ අගභාගයේ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත කණ්ඩායමක් සමඟ මා හම්බන්තොට සමූහ ගොවිපොළකට ගිය විට සිත් ඇදගන්නා පිළිගැනීමක් කළ තරුණ ගුරුවරයකු වු විජේදාස ලියනආරච්චි සහෝදරයා මට යළිත් හමු වූයේ නීති විද්‍යාලයේ මා අධ්‍යාපනය හදාරණ කාලයේදීය. ඒ හරහා මා ද යළිත් ජවිපෙට සම්බන්ධ විය. එක්සත් ජාතික පක්ෂයේ මිනීමරු ඝාතකයන් විසින් බටලන්දේදී 1988 සැප්තැම්ර් දෙවැනිදා විජේදාස ලියනආරච්චි සහෝදරයා මරා දමන ලදී. ඉන්පසු සෝමවංශ අමරසිංහ හා කිතුලේගොඩ සාහෝදරයා මගේ ආරක්ෂාව අවධාරණය කළහ. එහෙත් 1989 අගෝස්තු මස 22 වැනිදා නීති විද්‍යාලයේ ප්‍රා කණ්ඩායම විසින් මා පැහැර ගෙන ගොස් මරා දමන්නට ගත් උත්සාහයෙන් පසු අප නිවෙස අතහැර දමා වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගියෙමු. එම කාලයේදී ද ටීබීසී මා බැලීමට නිතර මගේ නිවෙසට පැමිණියේය.
වෘත්තිය සමිති තුළින් අසාධාරණ පලිගැනීම්වලට ලක්වූ ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටි මා මිතුරු ටීබීසී මේ කාලවකවානුව තුළ විශාල ලෙස දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිටි දිවයිනේ විශාල ප්‍රදේශ ගණනාවකට මාරුවීම් ලබා සිටියේය. ඔහු ගුරු වෘත්තිකයන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළේය. එසේම ගුරු ශ්‍රේණි ක්‍රමය ස්ථාපිත කිරීමට එච්. එන්. සහෝදරයා ( විජේවීර සහෝදරයාගේ මස්සිනා) සමඟ එකතු වී විශාල මෙහෙවරක් කරන ලදී.
1980 ජුලි වැඩ වර්ජනය මෙහෙය වූ ගුරු සංගම් නායකයකු ලෙස වසර හතරක කාලයක් රැකියාව අහිමි වී සිටි ඔහුට 1984 ජුලි මාසයේදී නැවත රැකියාව හිමි විය.
ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීම නිසාම ඔහු දඩුවම් මාරු කිරීම් රැසකට ලක් විය. ඒ අසීරු කාර්යන් ඔහු සීරුවෙන් ඉවසා කටයුතු කළේ තම ගුරු වෘත්තික සහෝදර සහෝදරියන් වෙනුවෙනි. ගුරුවරුන් යම් නීති ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවලදී ඒ වන විට නීතිඥවරයකු ලෙස කටයුතු කළ මගෙන් නීති උපදෙස් ලබා ගැනීමට ඔහු නිතර මා හමු වීමට පැමිණියේය. ශ්‍රී ලංකා ඒකාබද්ධ ගුරු සංගමය පිහිටු වීමෙන් පසුව ඔහු පූර්ණකාලීන, නිදහස් වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියැළුණේය. දේශපාලන පලිගැනීම්වලට ලක්ව උසස් වීම් අත්හිටුවා තිබූ ගුරු වෘත්තිකයන් පිරිසකට එම තනතුරු ලබා දීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් කටයුතු කළාය. ටීබීසී ඇතුළු තිස් දෙනෙකු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත් වූ පසු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට උසස් කරමින් පත්වීම ලබා දීමට කටයුතු කෙරිණි.
කෙසේ වුවත් මගේ ප්‍රාණ සමාන මිත්‍ර ටීබීසී 1997 නොවැම්බර් මස 26 වැනිදා හෘදය රෝගයකින් පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවසන් සුසුම් හෙළුවේය.
ටීබීසී මිය යාමෙන් පසුව එවක ලක්බිම පුවත්පතේ ඔහුගේ පුත් සම්පත් දේශප්‍රියගේ කර්තෘ මණ්ඩලයේ සේවය කළ කීර්තිමත් මාධ්‍යවේදියකු වන මහින්ද ඉලේපෙරුම මාධ්‍යවේදියා මා සොයා ආවේ ටීබීසී පිළිබඳ ලිපියක් සැපැයීමට මගෙන් ද තොරතුරු සපයා ගැනීමටය. ටීබීසී පිළිබඳ සිංහල ඉංග්‍රිසි පුවත්පත්වල සම්පාදනය වූ ලිපි අතර, මගේ වඩා සිත්ගත් ලිපිය ලක්බිම පුවත්පතේ මහින්ද ඉලේපෙරුම විසින් සම්පාදනය කරන ලදී.
1997 දෙසැම්බර් 7 වැනි ඉරිදා පුවත් පතට “ජවිපෙන් නෙරපු මුල්ම සාමාජිකයාගේ මරණය” යන ශීර්ෂ පාඨය යටත් සම්පාදනය වූ මේ ලිපියේ මෙසේ පළ කර තිබිණි. “මහ මඟ අයිනේ ඇති ඇතැම් ආගමික මධ්‍යස්ථානවල දොරටුවට ඉහළින් මෙබදු වැකියක් ලියා ඇත්තේ ය. “පීඩාවට පත් වූවනි, මා වෙත එව. මම නුඹලාට ශාන්තිය දෙමි “, මා මේ කියන්නට යන නිවෙසේ දොරටුවට ඉහළින් මෙම වාක්‍යම ලියා තැබිය යුතු යැයි මට සිතේ. මක්නිසාද යත් සිය ජීවිත කාලය තුළම පීඩාවටත් සුරා කෑමටත් මර්දනයටත් ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසෙක් ඒ නිවසේ සිටි නිසාය” .
ඔහු සම්පත්ලාගේ තාත්තා හෙවත් ටීබීසී ප්‍රනාන්දු ය. පීඩාවට පත් වූ මිනිසුන් වෙනුවෙන් කිසිදු පූජකයකු ළඟවත් නැති අන්දමේ කරුණාව ඇති සීතල හදකින් යුතුව පීඩාවට පත් වුවන් වෙනුවෙන් කරුණාව දැක්වීමට පමණක් නොව ඒ මිනිසුන් ඉන් ගොඩගැනීමට වුවමනා සාර දර්ශනයක් ද ඔහු සතු විය. ඔහු හාන්සි පුටුවට නැඟ පොත බලාගෙන ඒ සාර දර්ශන මුමුණ මුමුණා සිටියේ නැත. පීඩිතයන් සමාජවාදී රාජ්‍ය ගොඩනඟන තුරු කුසගින්නේ උක්කුටිකයෙන් වාඩි වි බලා සිටිය යුතු යැයි ඔහු ඇදහුයේ නැත. පීඩාවට පත් වුවන් වෙනුවෙන් සමාජවාදී රාජ්‍ය ගොඩ නැඟීමට පෙරාතුව අද කළ යුත්තක් වේද එය අදම ඔහු ඉටු කර දුන්නේය. ” මගේ ප්‍රාණ සමාන සහෝදරයා මිය ගොස් වසර 27ක් වන තැන මහින්ද ඉලේපෙරුමගේ ටීබීසී පිළිබඳ ඒ කියැවීම කොතෙක් සත්‍යයක් දැයි සිහි කරමි.
නීතිඥ ආනන්ද ගුණතිලක