Home » අල්ලස හා දූෂණය පිටුදකින්න ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා

අල්ලස හා දූෂණය පිටුදකින්න ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන හා සමාජ මාධ්‍ය කළමනාකරු ජී.කේ. මලීන් දනුෂ්ක

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ආරම්භ කෙරෙන්නේ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට පත් කිරීමේ අරමුණෙනි. වසර 22කට ආසන්න කාලයක් තුළදී මෙරට අල්ලස හා දූෂණයට එරෙහිව කටයුතු කරනු ලබන ආයතනයක් ලෙස දෙසැම්බර් 09දාට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව එහි අරමුණු හා ශ්‍රී ලංකාවේ ගමන් මඟ පිළිබඳ සිදු කරන ලද සාකච්ඡාවකි මේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන හා සමාජ මාධ්‍ය කළමනාකරු ජී.කේ. මලීන් දනුෂ්ක මේ සංවාදයට එක් විය.

ශ්‍රී ලංකාව තුළ සමාජ සාධාරණත්වයෙන් යුත් සමාජයක් බිහිකිරීමේ අරමුණින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වසර 2002දී ස්ථාපිත කරනු ලැබුවේය. එහි ප්‍රධාන අරමුණ වූයේ දූෂණය හා අල්ලස පිටු දැකීමය.

ඒ උදෙසා විවිධ පාර්ශ්ව හා සම්බන්ධිතව කටයුතු කරන්නට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කරන ලදී. එහිදි රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය, පෞද්ගලික අංශය හා ප්‍රජාව යන අංශ 4ම කෙරෙහි වෙන් වශයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලදී.

පෞද්ගලික අංශය කෙරෙහිද අවධානයෙන්

විශේෂයෙන්ම ජනතාව දැනුම්වත් කිරීම ආයතනයේ ප්‍රධාන භූමිකාවය. බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන පෞද්ගලික අංශයේ අල්ලස හා දූෂණය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරන්නට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කර ඇත. වසර 22කටත් අඩු කාලයකදී ආයතනය හොඳ ප්‍රගතියක් ලබා ඇති අතර අල්ලස හා දූෂනයට එරෙහිව සැලකිය යුතු ලෙසින් වැට බඳින්නට හැකියාව ලැබී ඇත. අල්ලස හෝ දූෂණය සමස්ත ලෙසින් නවතාලන්නට හැකියාවක් නොමැති වුවත් ජනතාවගේ දැනුම්වත්වීම අනුව මේ තත්ත්වය බොහෝදුරට පාලනය කර ගත හැකිවනු ඇත. ඒ උදෙසා සැලකිය යුතු ප්‍රගතියක් ලබා දෙන්නට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට හැකියාව ලැබී ඇත.

ඒ හරහා ජනතාවගේද සැලකිය යුතු ලෙසින් උනන්දුවක් අල්ලස හා දූෂණය පිටුදකින්නට ඇතිව තිබේ. මීට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ 2022 වසරේ ආරම්භ වුණු අරගලයයි.අල්ලස හා දූෂණය නිසා රටට ආර්ථික විපත්තිය ඇතිවුණු සාධකය එම අවස්ථාවේදී කරළියට පැමිණියේය. එම නිසා පාලකයන් විසින් සොරා ගත් ධනය ආපහු ගත යුතු බවට මතයක් නිර්මාණය වුණි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් කළ දැනුම්වත් කිරීම් මෙන්ම මාධ්‍ය හරහා සිදු කෙරුණු දැනුම්වත් කිරීම් හේතුවෙන් ‘අල්ලස දූෂණයට වහාම වැට බැඳිය යුතුයි‘ යන මතය ඉස්මතු විණි. ඊට අවශ්‍ය පදනම යහපාලන ආණ්ඩුව සමයේ ස්ථාපිත කළ තොරතුරු දැනගැනීමේ පනත හරහා විවෘත විණි. එම ආණ්ඩුව විසින් සිදු කළ වැදගත්ම කටයුත්තක් ලෙස එය හඳුන්වා දිය හැකිය. මේ නිසා ජනතාවට තමන් නොදන්නා විස්තර ලබා ගත හැකි බව ඔවුන් හොඳාකාරවම දනී.

අල්ලස් හා දූෂණයන් වැඩි ප්‍රසම්පාදන කටයුතු

ඒ උදෙසා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් විසින් විශාල දායකත්වයක් ලබා දෙනු ලැබේ. ඒ උදෙසා දිවයින පුරාම කටයුතු කරමින් ජනතා ප්‍රශ්න විසඳීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම මෙහිදී පෙන්වා දිය යුතු ප්‍රධාන කරුණක් වන්නේ අල්ලස් හා දූෂණයන් වැඩියෙන්ම සිදුවන්නේ ප්‍රසම්පාදන කටයුතුවලදී බවයි. ඒ උදෙසා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් අධිකරණ කටයුතු කරා යොමුව තිබේ. මෑත කාලයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තවත් අය හා එක්ව අධිකරණමය ක්‍රියාමාර්ගවලට යොමු වූ එවන් දූෂිත ගනුදෙනුවක් වන්නේ ඔන්ලයින් වීසා ගැටලුවයි.

එහිදී නොකැඳවූ ප්‍රසම්පාදන යෝජනාවලියක් වෙනුවෙන් සිදු කළ ගනුදෙනුවක් හරහා මෙරට ආර්ථිකයට, ජාතික ආරක්ෂාවට හා සංචාරක ව්‍යාපාරයටත් එම ගනුදෙනුව හා හරහා විශාල පාඩුවක් සිදුව තිබුණි. එම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී. එම අතිවිශාල මූල්‍ය අවභාවිතය ගැන විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාග කර අවසන් වන තුරු පැරැණි ලෙසින්ම වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස දැනුම් දී ඇත. එසේම ආගමන හා විගමන පාලකවරයා මේ වන විට මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ ගනුදෙනුව අනුව ඉන්දීය සමාගම විසින් එක් සංචාරයකුගෙන් අමතර ඩොලර් 25.77ක් අය කිරීම සිදු කරනු ලැබේ. එය එම වීසා නිකුත් කළ මොබිටෙල් සමාගම විසින් කිසිසේත්ම අය නොකළ මුදලකි. සාමාන්‍යයෙන් මේ වසරේ සංචාරකයන් මිලියන 23ක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව රටින් විදේශ සමාගමකට යැවෙන මුදල ඩොලර් මිලියන 600කට ආසන්නය. එමෙන්ම එම ගිවිසුම වසර 16කට අත්සන් කර තිබේ. ඒ හරහා ගලා යන මුදල අපට සිතා ගත හැකිය.

එමෙන්ම සෞඛ්‍ය අංශය විසින් හිමග්ලොබින් මිලදී ගැනීම කොවිඩ් සමයේ හදිසි මිලදී ගැනීම් යැයි දක්වා සිදු කළ මිලදී ගැනීම් සම්බන්ධයෙන්ද නීතිමය කටයුතු උදෙසා යොමු කරන ලද්දේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයයි. එම කරුණු විභාග වෙමින් පවතින අතර අදාළ අධිකරණ කටයුතු අවසන් වන තුරු එම සැපයුම්කරුවන්ට මුදල් නොගෙවන ලෙස අධිකරණය දැනුම් දී තිබේ.

බලයට පත් නව රජය දූෂණ විරෝධීතාව ගැන නිරතුරුවම හඬ නඟන හෙයින් ජනතාවට සාධාරණ සමාජයක් හෙවත් අල්ලසින් හා දූෂණයෙන් තොර සමාජයක් බිහිවනු ඇති බවට විශ්වාසය පළ කෙරේ. රජය විසින් ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් නව නිර්ණායක නිකුත් කර තිබීමද ප්‍රශංසා කටයුතුය.

එසේම මෙහිදී පෙන්වා දිය යුතු තවත් විශේෂිතම කරුණක් වන්නේ 2022 වසරේ රට ආර්ථික වශයෙන් අගාධයට පත්වීමට වගකිවයුත්තේ කවුරුන්ද යන්න රටට හෙළි කිරීමය. ඒ උදෙසා තවත් සංවිධාන කටයුතු කළත් එහි එක් ප්‍රධාන පාර්ශ්වයක් ලෙසින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කරන ලදී. ඒ අනුව එම අර්බුදයට එවකට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති, මහ බැංකුවේ අධිපති වගකිවයුතු බවට නිගමනය කර ඇත. එහි ජනතා ප්‍රතිචාරද ලැබුණි. ඒ එකදු අයකුටවත් මහජන නියෝජිතයන් ලෙසින් එන්නට වරම් ලැබී නැත.

එසේම ජනතාවගේ අගතියට හේතුවන කරුණු උදෙසා ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙනී සිටියි. එහිදී ප්‍රතිත්‍රස්ත පනත මෙන්ම සමාජ මාධ්‍ය නියාමන පනත ජනතාවගේ අගතියට හේතුවන බව පෙන්වා දී තිබුණි. එමෙන්ම මැතිවරණ සමයේදී රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන්ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය දැඩි සේ අවධානය යොමු කරනු ඇත. වෙනත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් මෙන් නොව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා අවධානය යොමු කරන්නේ අවභාවිත කිරීම් සම්බන්ධයෙනි.

රාජ්‍ය දේපළ අවභාවිතය

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී එවන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් 1163ක් වාර්තා වී තිබුණි. එහිදී හෙලිකොප්ටර් භාවිතය වැනි බරපතළම අවභාවිතා ගැන වාර්තා වුණි. එසේ වුවත් පසුගිය මහ මැතිවරණයේදී අවභාවිත වාර්තා වූයේ 736ක් පමණි. මහ මැතිවරණයේදී පැමිණිලි හා අවභාවිතා ගැන සලකා බැලීමේදී පෙනී ගියේ රාජ්‍ය ආයතනයක පෝස්ටරයක් ඇලවීම, බැනරයක් දැමීම වැනි අවභාවිතා පැමිණිලිය. එහෙත් ජනාධිපතිවරණයේදී පෙර සඳහන් කළාක් මෙන් රාජ්‍ය සේවාව මෙන්ම සහන ලබාදීම් වැනි අවභාවිත ගැන අවධානයට ලක් විය.

විශේෂයෙන්ම මෙරට මැතිවරණ සමයන්හිදී නව මංමාවත් තැනීම, සහනාධාර බෙදා දීම, නව පත්වීම් ලබාදීම, සේවා මාරුකිරීම් වැනි අවභාවිත සිදුවන අතර එම සිදු කිරීම් මැතිවරණ ප්‍රතිඵලයන්ට ඍජුවම බලපානා බව නිරීක්ෂණය වී ඇත.

සියලු මැතිවරණ නිරීක්ෂණය කිරීමට ප්‍රධාන කාර්යාලයත් මහනුවර, ගාල්ල හා වවුනියාවේ ඇති ශාඛා කාර්යාල 3 හා දිවයිනේ පිහිටුවා ඇති තොරතුරු මධ්‍යස්ථාන 21ක් හරහා සියලු නිරීක්ෂණ හා ජනතා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරනු ලැබේ. ඒ අනුව පසුගිය මැතිවරණ දෙකෙහිදීම විශේෂ නිරීක්ෂකයන් 200කට අධික පිරිසක් අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

ඇතැම් ජනතාව නොදන්නා වන නමුත් අල්ලස්, දූෂණ මෙන්ම අවභාවාතාවන් රාජ්‍ය යන්ත්‍රණය හරහා සිදුවන අසාධාරණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ආයතනය පෙනී සිටී. ඒ උදෙසා තොරතුරු මධ්‍යස්ථාන වෙත දැනුම් දීම මෙන්ම www.apesalli.lk ඔස්සේ දැනුම්වත් කළ හැකිය.

වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇත්තේ මෙය ‘ජනතාවගේ ආණ්ඩුවක්‘ යන්න බැවින් අප රජයට දන්වා සිටින්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් සමස්ත ජනතා සැලසුමක් සකස් කරන ලෙසයි. එහි අල්ලස හා දූෂණය යන්නට වැට බැඳෙන අයුරින් නීති සම්පාදනය විය යුතුය.

ඉදිරි සැලසුම් ලෙස ආයතනය බලාපොරොත්තු වන්නේ රජයට නිසි ගමන් මාර්ගයක් උදෙසා යාමට අවශ්‍ය පසුබිමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීමටයි. ඒ උදෙසා අල්ලස දූෂණයට වැට බැඳෙන අණපනත් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සහාය ලබාදීමත්, ඒ වෙනුවෙන් විශේෂඥ දැනුම ලබාදීමත් සිදු කරනු ඇත. විශේෂයෙන්ම රජය මඟින් පසුගිය දේශපාලකයන් විසින් සඟවන ලද මුදල් ගෙන ඒම වෙනුවෙන් සිදු කරනු ලබන ක්‍රමවේදවලට සහාය ලබාදීමට කටයුතු කරනු ලැබේ.

විශේෂයෙන්ම ප්‍රසම්පාදන සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි විනිවිද ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. එම ප්‍රසම්පාදනවල ඇති නීතිමය සිදුරු ආවරණය කළ යුතුය. ඒ උදෙසා හිටපු විගණකාධිපතිවරු මෙන්ම රාජ්‍ය සේවයේ එවන් විශේෂඥ දැනුමැති අයගේ සහායෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට නියමිතය. රජයකට හෝ ආයතනයකට සියලු අවභාවිත අල්ලස් දූෂණ නැවැත්විය නොහැකිය. ජනතාවද ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුතුය. ඔවුන් දැනුම්වත්ව අවශ්‍ය පියවර ගත යුතු වේ.

ඇතැම් දේශපාලඥයන්ගේ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි අවස්ථාද ඇත. යහපත් රාජ්‍ය තාන්ත්‍රණයක් මෙන්ම දූෂණයෙන් තොරව සිදු කරනු ලබන දේශපාලනය සම්බන්ධයෙන් පවත්වන ලද වැඩමුළුවකදී ඇතැම් මැති ඇමැතිවරු ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර පවසා ඇත්තේ එවන් දූෂණ වැළැක්විය නොහැකි බවයි. එසේ පැවසූ අය සියලු දෙනා පසුගිය මැතිවරණයෙන් අන්ත පරාජිතයන් බවට පත් වූහ.

රාජ්‍ය මට්ටමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට යම් යම් බලපෑම් වරින් වර එල්ල වී ඇතත් සැලකිය යුතු ලෙසකින් ඒවා සලකන්නට ආයතනය කටයුතු කර නැත. සැම විටම ධනවාදීව සිතා කටයුතු කරන්නට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හුරුව ඇති නිසා අල්ලස හා දූෂණයෙන් තොර රටක් බිහි කරන්නට ආයතනය නිරතුරුවම කැප වී සිටී.

විශේෂයෙන්ම අපේ රටේ නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාත්මක කළ හැකි නීති පද්ධතියක් ඇත. එහෙත් එම පද්ධතිය නිසි ලෙසින් ක්‍රියාත්මක නොවීම හෝ සාධාරණව ක්‍රියාත්මක නොවීම අපේ රටේ ඇති ගැටලුවයි.

සේයාරුව – දුෂ්මන්ත මායාදුන්නෙ

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division