අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ සේවය කළ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි. හෙතෙම මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇත. පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන ඔහු වත්මන්හි විද්‍යාව හා තාක්ෂණය ක්ෂේත්‍රයට අදාළව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සේවය කරයි. මේ ඔහු හා කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි.
අමෙරිකානු රාජ්‍ය සේවය හා ලංකාවේ රාජ්‍ය සේවය අතර පවත්නා වෙනස පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ලක්ෂණ කිහිපයක්ම හඳුනාගත හැකිය. අනෙක් අතට එය අමෙරිකාවට පමණක් නොව පොදුවේ දියුණු රටවල ලක්ෂණ ලෙස හඳුනා ගැනීම ද සුදුසුය. එනම් එකී රාජ්‍ය සේවයට දිගුකාලීන සැලසුමක් තිබීමයි. කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන ලෙස අඛණ්ඩව ගලා යන වැඩපිළිවෙළක් තිබීමයි. අමෙරිකානු ජනාධිපතිවරයකු අලුතෙන් පත්වුව ද, ඔහුට සිදුවන්නේ එකී අඛණ්ඩ වැඩපිළිවෙළේ තමන්ට හිමි තැන සිටගැනීම පමණයි. ජනාධිපතිවරයකුට සුවිශේෂී බලතල කිසිවක් නොවේ යැයි හෝ ඔහුට සුවිශේෂී කාර්යභාරයයක් නොපැවරේ යැයි මෙයින් අදහස් නොකෙරේ. එහෙත් නිශ්චිත ජාතික වැඩපිළිවෙළක අනිවාර්ය පංගුකාරයකු මිස ආරම්භකයකු නොවන බව නම් පැහැදිලිය.
දෙවෙනි කාරණය නම් කාර්යක්ෂමතාවයි. අමෙරිකාවේ පුද්ගලික අංශය හා රාජ්‍ය සේවය අතර කාර්යක්ෂමතාව පිළිබඳ සලකන්නේ නම් ලොකු වෙනසක් දැකිය නොහැකිය. දෙපාර්ශ්වයම තරගකාරී ලෙස කටයුතු කරයි. එහෙත් ලංකාවේ තත්ත්වය නම් සවස 4-30 හෝ 5 පමණ වන විට නිවෙසට යාමට සවස 3 පමණ සිට ලකලෑස්තිවීමයි. එය බොහෝ රාජ්‍ය ආයතනවලට පොදු ලක්ෂණයක් වුව ද, දැන් දැන් නවමු වෙනසක් අත්දකින්නට ලැබෙන බව ද කිව යුතුමය. එය මා දැනට සේවය කරන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට පමණක් අදාළ කරුණක් ද, මෙය සෘජුවම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අංශයක් බැවින් වන සුවිශේෂත්වයක් ද, යන්න එකහෙළා පැවසිය නොහැකි වුව ද, එම වෙනස මා මේ මොහොතේ අත්දකිමින් සිටින බව කිවයුතුමය. නිදසුනක් ලෙස ඉකුත් සෙනසුරාදා දිනයේ එප්පාවල පොස්පේට් නිධිය පිළිබඳ පැවති සාකච්ඡාව සලකා සිහිපත් කළ හැකිය. අමාත්‍යංශ තුනක ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් එක්ක සති අන්තයේ නිවාඩු දිනයක දීර්ඝ සාකච්ඡාවකට ඉඩ ලැබීම ඉතා වැදගත් අවස්ථාවකි. එය ඉතා ඵලදායි, සුබවාදී සාකච්ඡාවක් විය.
සමස්ත පද්ධතියම සැකසීම
මෙම ක්ෂේත්‍රය දියුණු කරන්නට සැබෑ වුවමනාවක් තිබුණු මැති ඇමැතිවරුන් හෝ නිලධාරීන් මීට පෙර ද සිටියා විය හැකිය. එහෙත් මෙය සමස්ත පද්ධතියක් ලෙස අර්බුදයට ගොස් තිබියදී කවුරු වුව ද, පුද්ගලිකව තමන්ගේ උනන්දුව සහිතව තම කාර්යභාර්ය කළ පමණින් ගැටලුව විසඳිය නොහැකිය. ඒ නිසාම පසුව එය අත්හැර දැමුවාද විය හැකිය.
සමස්ත පද්ධතියම සැකසිය යුත්තේ ඒ නිසාමය. ජාතික ජන බලවේගය බලයට පැමිණියේම එය කරන බවට පොරොන්දුවක් ලබාදීමෙනි. ඉතා විශාල ජනවරමක් ලැබුණේ ඒ සඳහා බැවින් මෙය කළ හැක්කේ ද, මෙම ආණ්ඩුවටම පමණි.
ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු නොවීමට එක් හේතුවක් වූයේ රාජ්‍ය අනුග්‍රහයක් නොලැබීමයි. දෙවැනි කාරණය නම් සිදුකෙරෙන පාර්යේෂණ ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධයක් නොදැක්වීමයි. ඒවා සම්බන්ධ කර ගැනීමට වැඩපිළිවෙළක් නොතිබීමයි. ඕනෑම දියුණු රටක පර්යේෂණ සිදුකොට ඒවා ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම අනිවාර්යයි. පර්යේෂණවලින් තොරව අගය එකතු කළ භාණ්ඩ ( Value added goods) නිපදවීමක් සිදුකළ නොහැකිය. මෙරට එය කිසිසේත්ම සිදු නොවේ. දැනට සිදුකළ හෝ සිදු කෙරෙමින් පවතින බොහෝ පර්යේෂණ සිදුකරන්නේ කුමකට ද යන්න පිළිබඳ හෝ අදහසක් නොමැත. ඒ නිසාම මුලින්ම රටට අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ මොනවා ද යන්න හඳුනාගත යුතුය. ඒවා තීරණය කළ යුතුය. ඒ අනුව මුදල් යෙදවිය යුතුය.
වත්මන් රජයේ වැඩපිළිවෙළ තුළ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තියට නිශ්චිත ‘මූලධර්ම‘ තිබේ. විෂයන් කොටස් 6ට පමණ වර්ගීකරණය කර ඇත. එයින් ආවරණය වන තවත් විෂය ක්ෂේත්‍ර 20ක් පමණ වෙනම හඳුනාගෙන තිබේ. ඒවාට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් සකස් කරමින් තිබේ. රට පවතින්නේ ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක බැවින් පර්යේෂණ සඳහා විශාල මුදලක් වෙන් කරන්නැයි ඉල්ලීම සාධාරණ නොවේ. එහෙත් ඒ සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් නිශ්චිත මුදලක් වෙන් කිරීම අපගේ අපේක්ෂාවයි. සංවර්ධනය වෙමින් පවතින රටවල පර්යේෂණ සඳහා 1%-2% වැනි සුළු මුදලක් වෙන් කෙරෙන විට සංවර්ධිත රටවල එම අගය 3%-4% දක්වා ඉහළ අගයක පවතී. මුල් අදියරේදී එවැනි අවම මට්ටමකින් හෝ එතැනට යාම ආරම්භ කළ යුතුය. කෙටිකාලීනව ඊට රජයට සහාය දැක්වීමට සිදු වේ. මෙරට විද්වතුන් බොහෝ පර්යේෂණ කර ඇතත්, ඒ දේවල් ආර්ථිකයට සම්බන්ධ කර නොගැනීම ගැන අපගේ අවධානය යොමුව තිබේ.
පර්යේෂණ කළත් සංවර්ධනයක් නෑ
පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය සලකා බලනවිට ‘පර්යේෂණ‘ සිදු කළද, ‘සංවර්ධනය‘ සිදුවී නැත. එබැවින් දැනට සිදුකෙරුණු පර්යේෂණ එක තැනකට එකතු කොට එය වාණිජකරණය කිරීම කළ හැකිය. එප්පාවල පොස්පේට් නිධිය එවැනි උදාහරණයකි.
මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම ඇතුළු පිරිසක් පොස්පේට් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබේ. ඒක රටට අවශ්‍ය කරන පොහොර බවට පත් කිරීමට නම් වාණිජකරණය කළ යුතුය. එය කිරීමට දැනටමත් ආයෝජකයන් ඉදිරිපත්ව තිබේ. ඒ නිසාම රජයට ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හෝ කරදරවීමට අවශ්‍යතාවක් නොමැත. එවැනි පර්යේෂණ රැගෙන ආර්ථිකයට, සංවර්ධනයට ඒකාබද්ධ කිරීම මූලික අදියරේදී කෙටිකාලීනව සිදුකළ හැකිය.
සියල්ල විනිවිදභාවයෙන් යුුතුව කළ යුතුය. විශේෂයෙන්ම ස්වභාවික සම්පත් සමඟ කෙරෙන ගනුදෙනුව ඉතාමත් සුවිශේෂය. නිදසුනක් ලෙස පොස්පේට් නිධියේ පොස්පේට් එළියට ගැනීම සිදුකරනු ලබන්නේ රජයේ ආයතන විසින්මය. ඒ ‘ලංකා පොස්පේට්‘ නමිනි. ඒ පරිසරයට හානි නොවන සේ ක්‍රමිකව ලබා ගැනීමේදී වසර 200ට පමණ ප්‍රමාණවත්ය. ආයෝජකයන් මැදහත්වීම සිදුවන්නේ එතැනින් එහාටය. ආයෝජකයන් ලබා ගැනීමේදී ආදර්ශයේ කිහිපයේ තිබේ. දියුණු රටවල් විසින් සිදු කරන්නේ මූලාරම්භයේ රජය විසින් ඒ සඳහා මුදල් වියදම් කිරීමය. පර්යේෂණ සඳහා සහ යටිතල පහසුකම් සකස් කරදීමය. විශ්වවිද්‍යාල හෝ අනෙකුත් පර්යේෂණ ආයතන හරහා මුලාරම්භයේ කටයුතු සිදුකරවා ගනු ලබයි. අනතුරුව අගය එකතු කළ භාණ්ඩයක් සැදුණු විට ඊට නියමිත පේටන්ට් බලපත්‍රය ලබා ගත යුතුය. එය ලබාගත් පසු වටිනාකමේ වැඩිවීමක්, හිමිකමක් එකතු වීම සිදු වේ. ඒ වෙද්දි අවදානම අඩු නිසාම පුද්ගලික අංශයේ ආයෝජකයන් පැමිණ එය ලබාගනු ලබයි. එනම් මෙම මේ පේටන්ට් එක පුද්ගලික අංශයට මිලට ගැනීමට අවස්ථාව සලසාදීමයි. එහිදී රජය විසින් වැය කළ මුදල් නැවත අය කර ගැනීම සිදු වේ. ආයෝජකයන් තමන්ගේ ලාභයත් තබාගෙන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයයි. රජය විසින් මුලදී මුදල් වියදම් කොට එක තැනකට පසුව සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට දෙනු ලැබුවහොත්, එයින් ඵලක් නොවේ. එසේම එය තවදුරටත් රජය විසින් තබාගෙන සියලු වියදම් දැරීම ද කළ නොහැකිය. ඒ නිසාම මෙම ද්විත්ව බලහුවමාරුවකට යාම අතිශය වැදගත්ය. පුද්ගලික අංශය බටහිර රටවල පර්යේෂණ කරන අදියරේ සිට එක්ව කටයුතුකරනු ලැබුවත්, අප වැනි රටක එය ක්‍රියාත්මක කළ නොහැකිය.
පර්යේෂණවල උපයෝගීතාව
පුද්ගලික අංශයේ කාර්යභාරය කුමක්ද, රාජ්‍ය අංශයේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව නිවැරදිව හඳුනාගත යුතුය. පුද්ගලික අංශය බලාපොරොත්තු වෙන්නේ ලාභය පමණි. එහි දෝෂයක් නැත. එහෙත් රජයකට ලාභ ලැබීමෙන් පමණක් සෑහීමට පත්විය හැකි නොවේ. මන්ද යත් ජනතාවගේ ආරක්ෂාව, සුබසාධනය, ඔවුන් රැකබලා ගැනීම, ගැටලු කළමනාකරණය කිරීම සඳහා රජය මැදිහත් විය යුතුමය. වගකීමෙන් සහ වගවීමෙන් බොහෝ දේ කළ යුතුය. පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව වුවද, අවදානම ගත යුත්තේ රජයයි. පුද්ගලික අංශය අවදානමක් නොගනී. එහෙත් පුද්ගලික අංශයට මෙය පවරාදීමෙන් පසු රජයේ භූමිකාව සම්පූර්ණයෙන් ඉවත් නොවේ. බටහිරදී නම් පේටන්ට් මිලදී ගැනීමේදී එකවර ගාණක් ලැබේ. අගය එකතු කළ භාණ්ඩයක් බවට පත්වී වෙළෙඳපොළ තුළ සංසරණයවීමේදී යම් කර්තෘ භාග ( loyalties) ලැබීමේ ක්‍රමවේදයක් සඳහා එකඟතාවකට එළඹිය හැකිය. සුදුසු මොඩලයකට යා හැකිය. ඇතැම් දේ පුද්ගලික අංශයට ලබාදුන්න ද, රජය විසින් නියාමනය කරගෙන යා යුතුය. අමෙරිකාවේ වුණත් මෙම ක්‍රමය තිබේ. රජය කළ ද, පුද්ගලික අංශය කළ ද, නියාමනයක් තිබිය යුතුමය. යම් ප්‍රතිශතයක් රජයට බෙදීයාම අඛණ්ඩව සිදු වේ. ලාභාංශ මත පදනම්ව අගය තීරණය කළ හැකිය.
අප රටේ පර්යේෂකයන්ට බැණ වැදී ඵලක් නැත. ඒ මූලාරම්භයේ සිටම රජයක් ලෙස කළ යුතු දේ පැහැදිලිව කියා නැති බැවිනි. දෙවැන්න නම් සිදු කළ පර්යේෂණ ආර්ථිකයට සම්බන්ධ කර නොමැති වීමය. මෙරට ඉතා ගරු කටයුතු පර්යේෂකයන් සිටී. පද්ධතියක් ලෙස බලා මෙහි කියමිත කොටස් නියමිත තැන්වල ස්ථානගත නොකිරීම මිස එම තත්ත්වයට පර්යේෂකයන් වගකිව යුතු නොවේ. ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවලට පර්යේෂණ කිරීම මෙන්ම නියාමනය කිරීමද විය යුතුය. කොටස් වශයෙන් දී ඒවා අධීක්ෂණය කරමින් අඛණ්ඩව ගමන් කළ යුතුය.
1. ආර්ථිකයට සම්බන්ධ කිරීම
2. මානව සංවර්ධනය
3 පාරිසරික සාධක
යන කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය යුතුය. රොකට් එක ගැන ලංකාවට ඉගැන්මට වඩා සෞඛ්‍යාරක්ෂිත ආහාර හා සෞඛ්‍ය පුරුදු ඇති කළ යුතුය. රෝගීවීමෙන් වැළකී සිටීම රටක ජනයාට අතිශය වැදගත්ය. රටේ පුරවැසියන්ගේ මානසික සෞඛ්‍යද එසේමය. ආතතිය වැනි දේට හේතු සාධක පර්යේෂණවලින් සොයා ගත හැකිය. කාලගුණය, ප්‍රවාහනය, අධ්‍යාපනය ආදී සියල්ල මෙන්ම මිනිසුන් දැනුම්වත් කිරීමද මීට අදාළය. අධ්‍යාපනය හා දැනුම්වත්වීම දෙකකි. ප්‍රචාරණ හා මාධ්‍ය සෘජුවම මෙහිදී දායක කරගත හැකිය. පර්යේෂණ හරහා එන දැනුම සමාජගත කළ යුතුය. ප්‍රචාණය කළ යුතුය. විද්‍යා දැනුම සමාජගත කරන්නේ අනවශ්‍ය වැරදීම් නොකර ජීවිතය ගෙනයාමටය. මේ සඳහා යොදවන්නේ කාගේ මුදල්ද? මිනිසුන්ගේ ම මුදල් නිසා වගවීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. කාලය සමඟ ප්‍රගති වාර්තා ජනගත කිරීමට අප මෙහිදී බලාපොරොත්තු වේ.
විද්‍යාවේ සැබෑ අරුත
පර්යේෂණ හා සංවර්ධන විෂය ක්ෂේත්‍රයේ එන ප්‍රමුඛතම කාරණය නම් විද්‍යාත්මක ක්‍රමවේදයකට කටයුතු කිරීමය. ‘විද්‍යාව’ යන වචනය අප විසින් පටලවා ගෙන තිබේ. බුදුදහම තුළ ද විද්‍යාව තිබේ. එනම් නිවරදි දේ, එනම් සැබෑව විද්‍යාත්මකය. නිදසුනක් ලෙස පිළිකා හැදීමට හේතු සෙවීමේදී වටපිටාව, පරිසර දූෂණය, දුම්බීම, වැරදි ආහාර පුරුදු ආදිය ගැන තිබුණු සාධක පැරණිය. මේ වන විට පිළිකා සඳහා ප්‍රමුඛතම සාධකයක් ලෙස ආතතිය පිළිගනු ලබයි.
එසේනම් ආතතිය නැති කර ගැනීමට කළ හැක්කේ කුමක්ද? යෝග ක්‍රම, භාවනා (ආගමික ආර්ථයෙන් නොව) සංගීතය ආදිය මනස සැහැල්ලු කර ගැනීමට භාවිත කරන උපකරණ ලෙස සැලකිය හැකිය.
නිවැරදි දේ නිවැරදි වේලාවට සිදුකිරීම මිස ‘විද්‍යාව‘ යනු අමුතු දෙයක් නොවේ.
මානසික සුවය වෙනුවෙන් කළ හැකි බොහෝ කලාවට කළ හැකිය. ටැබ්ලට් පමණක් ඊට ප්‍රමාණවත් නොවේ. එබැවින් කලා, සංස්කෘතික අංශ වෙනුවෙන් ද, පර්යේෂණාත්මකව ක්‍රියා කිරීම විද්‍යාවට අදාළය. පාරම්පරිකව අපට පවත්නා උරුමයන් තිබේ. අතීතයේදී ‘පෙරදිග ධාන්‍යාගාරය‘ වී සිටි බව කියන කාරණය ගැන පවා අවධානය යොමු කිරීමේදී, සරු බීජ, තාක්ෂණික ක්‍රම, අද අර්ථයෙන් නොවුණද, වෙළෙඳපොළ විශ්ලේෂණ අතීතයේ ද, සිදුකෙරෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. අනෙක් අතට විද්‍යාව යනු දෙපිට කැපෙන ආයුධයකි. හොඳ ප්‍රතිඵල මෙන්ම හානිදායක අතුරු ප්‍රතිඵල ද තිබිය හැකිය. නිදසුනක් ලෙස යම් යම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමේදී බටහිර විද්‍යාව හා තාක්ෂණය අනුව නිපදවූ ටැබ්ලට් භාවිතය දිගු කාලීනව වෙනත් රෝගබාධයන්ට හේතුවිය හැකිය. එහෙත් අතීත තාක්ෂණය සොබාදහම සමඟ බැඳුණු තාක්ෂණයකි. ඒවායේ මුල් සොයා ගියහොත් අද තිබෙන බොහෝ ගැටලුවලට පිළිතුරු ලැබෙන්නට හැකියාවක් තිබේ. එයද නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කළ යුතුය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර