හේ සම්භාවනීය ශාස්ත්‍රීය සමාජයේ ගෞරවයට පාත්‍ර වූ විද්වතෙකි. මහැදුරුවරයෙකි. එක්තරා සංවිධානයක නියෝජිතයෙක් දිනෙක ඔහු අමතන්නේය. ඒ ඔහුගේ දේශනයක් සඳහා කාලය වෙන් කරවාගැනීමේ අභිලාෂයෙනි. දේශනය අන්තර්ජාලය ඔස්සේ සැලසුම් කිරීමට යෝජනා වී තිබිණි. මහැදුරුවරයා යෝජනාවට එකඟ වන්නේ දේශනය සඳහා ආරාධනා කළ පුද්ගලයා එම අවස්ථාව කළමනාකරණය කළ විදග්ධ ස්වරූපය පිළිබඳ පැහැදීමෙනි.
දේශනය සඳහා දිනය සහ වෙලාව නියම වන්නේය. මේ වන විට දේශනය සඳහා මහාචාර්යවරයාට ආරාධනා කළ පුද්ගලයා වෙනත් දුරකතනයකින් මහාචාර්යවරයාගේ වට්ස්ඇප් අංකය වෙත ප්‍රවේශ වී සිටියේය. ඔහු මහාචාර්යවරයාට පවසන්නේ දේශනය සඳහා සියල්ල සූදානම් බවත් එයට සම්බන්ධ වීම සඳහා වට්ස්ඇප් මඟින් ලැබෙන OTP අංකය ලබා දෙන ලෙසත්ය. දේශනය සඳහා සැලසුම්සහගතව අවධානය යොමු කරමින් සිටින මහාචාර්යවරයාට සිදුවන දේ ගැන අවබෝධයක් තිබුණේ නැත. ඔහු OTP අංකය දේශනය සැලසුම් කළ පුද්ගලයාට ලබා දෙන්නේය.
ඊළඟ මොහොතේ සිදුවන්නේ ඔහුගේ වට්ස් ඇප් යෙදවුමේ හැසිරවීම මුළුමනින්ම තමන් මෙතෙක් රැවටූ සයිබර් අපරාධකරු අතට පත්වීමය. තවත් මොහොතකින් මහාචාර්යවරයාගේ වට්ස් ඇප් ලයිස්තුවේ සිටිනා සියලුම දෙනා වෙත පණිවිඩයක් යැවෙන්නේය. ඒ හදිසි මුදල් අවශ්‍යතාවක් හේතුවෙන් වහාම මුදලක් ලබා දෙන ලෙසත් දින කීපයක් තුළ එය යළි ලබා දෙන බවටත් දන්වන පණිවිඩයකි. මේ වට්ස් ඇප් පණිවිඩය දකින බොහෝ දෙනෙක් මේ සම්බන්ධව කිසිඳු සැකයක් ඇති කරගන්නේ නැත. ඇතැම් පුද්ගලයන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සිය මිතුරා කී ගිණුමට බැර කරන්නේය. මහාචාර්යවරයාට මෙන්ම ඔහුගේ හිතවත් මිතුරන්ටද ඔවුන් ලොවෙත් නැති වංචාවක පැටළී ඇති බව වැටහෙන විට බොහෝ ප්‍රමාදය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපට මේ කියන්නේ පරිගණක අපරාධවල අලුත් කතාවකි. ඒ වට්ස්ඇප් හැක් කරගෙන පැල් බැඳන් කරන අපරාධයක් ගැනය. දැන් තත්ත්වය වෙනස් වී ඇති බව මේ අපරාධ රැල්ල කියා දෙන්නේය. මෙතෙක් කල් පරිගණක අපරාධ හරහා වංචාවට හසුවුණේ පරිගණක සාක්ෂරතාවක් රහිත හැඟීම් සහ ආකල්පවලින් පරිණත නොවූ සමාජ කාණ්ඩයකි. එහෙත් අපරාධ සමාජ තල විනිවිද යමින් තිබේ. අපට පරිගණක අපරාධ සම්බන්ධව යළිත් සංවාද ප්‍රවේශයක් ඇති කරන්නේ මේ අලුත් ප්රවණතා ය.
හෙණ සේ පතිත වන සයිබර් අපරාධ
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද අපට කියන්නේ දැනට මතුවී ඇති මෙම වට්ස්ඇප් ජාලය හැක් කරගෙන සිදුකරන අපරාධ ප්‍රමාණයෙන් අඩු වුව ද ඉන් සිදුකරන මූල්‍ය අපරාධවල බර දැනෙන සුළු බවය.
දිනෙන් දින විවිධ මුහුණුවරින් හෙණ සේ පතිත වන සයිබර් අපරාධ මෙහෙයවන්නන් අපේ විචාර බුද්ධිය සියුම් ලෙස වසා දමා සිය ජාවාරම්වල හැඩතල වෙනස් කරගනිමින් සිටියි. මේ අලුත් හැඩ මතුවන්නේ පරණ ආකාරයට ඒ බරින්ම වෙනත් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සිදුවන අපරාධ පවතින අතරය. අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදු කරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දී තිබේ.
” තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ ‘ෆේස් බුක්‘ සහ ‘ටික් ටෝක්‘ හරහා. නිරුවත් දර්ශන සහ ලිංගික සිද්ධි සම්බන්ධව වැඩිපුරම බෙදා ගන්න ‘ටෙලිග්‍රෑම්‘ භාවිතා වන බව පෙනී ගිහින් තිබෙනවා. ඒත් ඒ සම්බන්ධව කටයුතු කරන්න අපට සම්බන්ධතා නෑ. හිරිහැර කිරීම්, තර්ජනය කිරීම්, පුද්ගලයන් නිග්‍රහ සහගත ලෙස පීඩාවට පත්කිරීම් සිදුවන අවස්ථා තිබෙනවා. අප තක්සේරු නොකළට මෙවැනි අවස්ථා කෙළවර වෙන්නේ සිය දිවි නසාගැනීම්වලින්. එය අප අවධානය යොමු නොකරන සයිබර් අපරාධ කාණ්ඩයක්.
අද අන්තර්ජාලය හරහා මුදල් ගෙවා අපට පිටරටක දුරකතන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ හින්දා කිසිම අවස්ථාවක පිටරට අංකයකින් එන ඇමතුම් සහ පණිවිඩ ඒ බරින්ම විශ්වාස කළ යුතු නෑ. කිසිම අවස්ථාවක තමන්ගේ බැංකු ගිණුම් අංක ලබා දීම වගේම මුදල් තැන්පත් කිරීම නම් යළි යළිත් කරන දැඩි තහවුරුවකින් මිස නොකළ යුතු දෙයක්. ඔන්ලයින් හරහා සිදුවන සමහර මුදල් වංචා වෙන්නේ මිලියන ගණන්වලින්. එක් පුද්ගලයෙක් ඔන්ලයින් ට්රේඩින්වලට මුදල් ආයෝජනය කරලා රුපියල් මිලියන 08ක් නැතිකරන් අපි ළඟට ආවා. අපරාධයට අහුවුණාට පස්සේ මේක අග මුල ලිහා ගන්න හරිම අමාරුයි. එය ඉතා සංවිධානාත්මක ජාලයක්. අපේ පැත්තෙනුත් ගැටලුවක් තිබෙනවා මේ අපරාධවලින් ගැලවී සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ දැනුම මිනිස්සු අතරට අරන් යෑමේදී. සමාජ මාධ්‍ය යොදාගෙන මේ දැනුම ජනගත කරන්න හැදුවත් ඒක රීච් වෙන්නේ නැති ස්වරූපයක් තිබෙන වග පෙනෙනවා.
ස්කෑම් ෆාම්
මේ වන විට විදේශවල සයිබර් වහලුන් ලෙස යොදවා ඇති කණ්ඩායම් මෙන්ම ලංකාවේ ද තැන් තැන්වලදී විදේශ ජාතිකයන් විසින් මෙහෙයවද්දී කොටු වුණු සයිබර් අපරාධ කඳවුරු හෙවත් “ස්කෑම් ෆාම්” ප්‍රකාශ කර ඇත්තේ ලෝකය අනාගතයේදී මුහුණ දීමට නියමිතව ඇති දේශ සීමා රහිත බිහිසුණු ත්රස්තවාදයක වියරු සලකුණුය. පරිගණක අපරාධ කොට්ඨාසයේ දත්ත අනුව ගෙවී ගිය මාස 11 තුළ වාර්තා වී ඇති පරිගණක මුදල් වංචා ප්‍රමාණය 2910කි. ලිංගික අපරාධ ප්‍රමාණය 1,256කි. දරුවන් විෂයෙහි සිදුවූ ලිංගික අපරාධ ප්‍රමාණය 54කි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම පවසන්නේ සුපුරුදු ඉතිහාසයට අනුව මේ වන විටත් වැඩි වශයෙන්ම පරිගණක අපරාධ ලෙස වාර්තා වන්නේ කාන්තාවන් සම්බන්ධ ලිංගික හිරිහැරය. වින්දිත කාන්තාවන් තමන් සිය පෙම්වතාට ලබා දුන් පෞද්ගලික ඡායාරූප ඔවුන්ගේ සබඳතා විසිරීමත් සමඟ නැවතී ඇත්තේ අන්තර්ජාලය. කෘත්‍රිම බුද්ධිය (AI) හරහා සංස්කරණය කළ ඡායාරූප ගැන පැමිණිලි ඇතත් වැඩි වශයෙන්ම එම කාන්තාවන් වින්දිතයන් වී ඇත්තේ තමන් විසින්ම ලබා දුන් ඡායාරූපවල ප්‍රතිඵල ලෙසය.
මෑතක දී ලංකාවේ කොටුවන සයිබර් ෆාම් සිදුවීම් තවමත් විමර්ශන මට්ටමේ පවතින අපරාධ වූවත් ක්‍රිප්ටො කරන්සි හරහා රටෙන් එළියට යන මුදල් ප්‍රමාණය විශාල බව සහකාර පොලිස් පරීක්ෂකවරිය කීවාය. ඒ සියල්ල අතර ඇය අවධාරණය කරන්නේ ඔන් ලයින් රැකියා සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන් ඒ සම්බන්ධව දැඩි අවබෝධයකින් කටයුතු කළ යුතු බවය.
“ගොඩාක් සයිබර් අපරාධවල සැකකරුවන් බවට පත් වෙන්නේ කරපු කෙනා නෙමෙයි. මේ වගේ පාර්ට් ටයිම් ජොබ්වලට සම්බන්ධ වෙන අය. ජොබ් එක දන්නේ නැතිව ගිහින් ගිණුම් විවෘත කරලා දෙනවා. ඒ ගිණුම්වලට වැටෙන සල්ලි කොමිස් මුදලක් සහිතව වෙනත් ගිණුම්වලට හුවමාරු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ මුදල් ලැබෙන ආකාරය ගැන කිසිම කෙනකුට අවබෝධයක් නෑ.
ස්මාර්ට්ෆෝන් තරම්වත් ස්මාර්ට් නැති පරිශීලකයන්
මාධ්‍යවේදියෙක්, ප්‍රකට විද්‍යා ලේඛකයෙක් මෙන්ම සමාජ මාධ්‍ය විශ්ලේෂකයෙක් ලෙස ප්‍රාමාණික දැනුමක් සහිත නාලක ගුණවර්ධන මෙම සමාජ තත්ත්වය සම්බන්ධව විද්‍යාත්මක ප්රවේශයකින් කරුණු දක්වන්නේය. ඔහුට අනුව සයිබර් අපරාධ මෙන්ම සයිබර් අපරාධ රැල්ලක් පිළිබඳ අපගේ නිගමනය මීට වඩා විද්‍යානුකූල විය යුතුව තිබේ.
“සයිබර් අපරාධ (Cyber Crimes) යන යෙදුම ශ්‍රී ලංකාවේ බොහෝ දුරට වරදවා තේරුම් ගනු පෙනෙනවා. ශ්‍රී ලංකාවද ඇතුළු රාජ්‍යයන් 76ක් අත්සන් කොට බැඳී තිබෙන සයිබර් අපරාධ පිළිබඳ ලෝක සම්මුතිය (Budapest Convention) මේ සඳහා තිබෙන හොඳම මාර්ගෝපදේශනයයි.
එහි විස්තරාත්මකව දක්වා ඇති සයිබර් අපරාධ සම්පින්ඩනය කළොත් පරිගණක දත්ත සහ පද්ධතිවල රහස්‍යභාවය පළුදු කිරීම, ඒවාට අනවසරයෙන් ඇතුළුවීම (Hacking) සහ හානි කිරීම, අනිෂ්ට මෘදුකාංග (Malware), කප්පම් මෘදුකාංග (Ransomware), පරිගණක සහ වෙබ් ආශ්රිත මූල්‍ය වංචා සහ ව්‍යාජ ලේඛන, වෙබ් අන්තර්ගතය සම්බන්ධ වැරදි මෙන්ම ප්‍රකාශන හිමිකම සහ බුද්ධිමය දේපළ අයිතීන් පරිගණක හා වෙබ් හරහා උල්ලංඝනය කිරීමත් අයත් වනවා.
මේ අනුව පෙනී යන්නේ සයිබර් අපරාධ පුළුල් පරාසයක පවතින බවයි. මෙහි එක් කොටසක් පමණක් වන සමාජ මාධ්‍ය අවභාවිතය සහ ඒ හරහා හිංසන හෝ වංචා කිරීම පිළිබඳ තොරතුරු පමණක් පදනම් කර ගෙන මෙරට සයිබර් අපරාධ ගැන විග්රහ කිරීම නොමඟ යවන සුළුයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන වෙබ් අඩෙවිවලට අනවසරයෙන් පිවිසී (Hacking) අන්තර්ගතය කෙලෙසීම සහ මකා දැමීම විටින් විට වන බරපතළ සයිබර් අපරාධයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය 2024 දී තුන් වරක්ම හැක් වී තිබෙනවා. හැම වසරකම මැයි මස මැද වන විට හැක් කිරීම් සහ ප්‍රහාර උත්සන්න වන බවත්, හේතුව සිවිල් යුද්ධයේ අවසන් වීමේ සංවත්සරය බවත් ප්‍රකට කරුණක්. එසේ දැන සිටියදීත් බොහෝ රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂාව පිළිබඳ නිසි අවබෝධයක් හෝ සූදානමක් නැති නිසා එම වෙබ් අඩවි යළි යළිත් හැක් වෙනවා. රාජ්‍ය බැංකු හෝ ආගමන විගමන හෝ සිවිල් ගුවන් සේවා වැනි ආයතනවල පරිගණක පද්ධතීන් කොතරම් ආරක්ෂිතදැයි පැහැදිලි නෑ.”
වසරක් පාසා අපරාධ වර්ධනය වීමේ ප්‍රවණතාව සම්බන්ධවත් ඔහු දරන්නේ සාධනීය මතයකි.
අපරාධ ඇතුළු ඕනෑම සිදුවීම් සමූහයක් සමාජයක වැඩි වෙනවාද යන්න පිළිබඳ දත්ත විශ්වසනීය ලෙස ලබා ගෙන ඒවා සීරුවෙන් විශ්ලේෂණය කළ යුතුයි. බැලූ බැල්මට කරන ඉක්මන් නිගමන බොහෝ විට වැරදියි.
විශේෂයෙන්ම සයිබර් අපරාධ පිළිබඳ දත්ත පිරික්සීමේදී සිහි තබා ගත යුත්තේ ඩිජිටල් මෙවලම් සහ ඉන්ටර්නෙට් භාවිත කරන ලාංකේයන් සංඛ්‍යාව පසුගිය දශකයක කාලය තුළ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි. එනිසා සමාජ මාධ්‍ය අවභාවිත සහ සයිබර් අපරාධ සංඛ්‍යාත්මකව වැඩි වීම පරිශීලකයන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයට සමානුපාතික ද, නොඑසේ නම් ශුද්ධ වැඩිවීමක්ද එය කොපමණ ද යන්න නිර්ණය කළ යුතුයි.
මේ පිළිබඳ නිල වගකීම් දරන ආයතන දෙකෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ෂණ අංශය සිදුවීම් පිළිබඳ සංඛ්‍යා ලේඛන පොදු අවකාශයට මුදා හැර නැහැ. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) අවසන් වරට ප්‍රකාශිත 2022 වාර්ෂික වාර්තාවට අනුව සමාජ මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 15,509 ඔවුන්ට වාර්තා වී තිබෙනවා. එහෙත් ඒ පිළිබඳ වැඩි විස්තර හෝ දත්ත විශ්ලේෂණයක් ඔවුන්ගේ වාර්තාවේ නොමැති අතර, මාස කිහිපයකට පෙර මා විමසීම් කළ අවස්ථාවේ දැන ගත්තේ සංඛ්‍යා ලේඛන හෝ පර්යේෂණ අංශයක් CERT ආයතනයේ නොමැති බවයි. මෙය විශාල හිඩැසක්. ” නාලක ගුණවර්ධනයන් රටේ සමාජ අන්තර්ජාල අපරාධවල පැවැත්ම වැළැක්වීමට ඇති යන්ත්රණයේ බරපතළ අවුල හෙළි කරයි.
“සමාජ මාධ්‍යවලට කිසිදු නීති හෝ නියාමන නැතැයි’ කෙරෙන ප්‍රකාශන වැරදියි. ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා බහුතරයක් අමෙරිකාවේ හෝ යුරෝපීය රටවල ලියාපදිංචි සමාගම්වලට අයත්. මේ සමාගම්, සිය ව්‍යාපාරික ලියාපදිංචිය තිබෙන රටවල සියලුම නීති හා නියාමනවලට අනුකූලව ක්‍රියා කරනවා. මීට සමාන්තරව සමාජ මාධ්‍ය වේදිකාවල සිදුවන සන්නිවේදන ස්වයං නියාමනයට (Self-Regulation) ද එම සමාගම් පියවර ගන්නවා.
“මේ වන විට ලක් ජනගහනයෙන් අඩකට වඩා අන්තර්ජාලය භාවිත කළත්, ආරක්ෂිත සහ වගකීම් සහිත භාවිතය පිළිබඳ බොහෝ දෙනකුට තවමත් අවබෝධයක් නෑ. මෙම ආකල්ප සහ කුසලතා සමුදාය ප්‍රවර්ධනය කිරීම ඩිජිටල් සාක්ෂරතාව යනුවෙන් හඳුන්වනවා. මේ ඩිජිටල් සාක්ෂරතාව අපේ රට තුළ ඇත්තේ පහළ මට්ටමකයි. සමාජ මාධ්‍ය ගිණුමක මුරපදය (Password) හෝ ඩිජිටල් බැංකුකරණය සඳහා බැංකුවෙන් නිකුත් කරන එක්වරක් පමණක් වලංගු අංක සමුදාය (OTP) අතිශය රහස්‍ය ලෙස තිබිය යුතු බව බොහෝ දෙනා තේරුම් ගෙන නෑ. නාඳුනන පුද්ගලයෙක් ටෙලිෆෝනයෙන් සම්බන්ධ වී වට්ටමක්, තෑග්ගක් හෝ වාසියක් දෙනවා කියූ පමණට කලබල වන අපේ සමහරු OTP නොසිතාම ඔවුන් අතට පත් කරනවා.
“කොටින්ම කිවහොත් තමන් අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති සමාජ මාධ්‍ය සහ ඩිජිටල් සේවා පරිශීලකයන් ඕනෑ තරම් අප අතර ඉන්නවා. මෙය හුදෙක් තාක්ෂණික හෝ නීතිමය ගැටලුවක් පමණක් නොවෙයි. අධ්‍යාපනික සහ සමාජ විද්‍යාත්මක විසඳුමක් අවශ්‍ය සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් බව අවධාරණය කළ යුතුයි.” නාලක ගුණවර්ධන කියන්නේය.
ඔහු හුවා දක්වන මේ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය සම්බන්ධව හෙළි කරන්නී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ, අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කෞෂල්‍යා හේවාවසම්ය. පරිගණක අපරාධයක අපරාධ විද්‍යාත්මක ස්වරූපය ගැන පැහැදිලි කරමින් ඇය පවසන්නේ ප්රචණ්ඩ අපරාධයකට පෞරුෂයක් අවශ්‍යය බවය. ප්රචණ්ඩත්වය පළ කරන ස්ථානයට යා යුතුයි. අදාළ පුද්ගලයා අභිමුඛ විය යුතුයි. තමන්ට එන ශාරීරික පීඩාව පිළිගත යුතුයි. නමුත් එහෙම පෞරුෂයක් නැති කෙනකුට වුණත් පැත්තකට ගිහින් පරිගණ අපරාධයක් කළ හැකියි. අවදානමක් නැතිව පහසුවෙන්ම එම අපරාධ සිදුවෙනවා.
“අපරාධයක් සිදුකිරීමට ඕනෑම පුද්ගලයකුට අවස්ථාව තිබෙනවා යන්න වැදගත් සාධකයක්. පරිගණක අපරාධයක් කරන්න අවස්ථාව සුලබයි. දැනුමක් සහිත තාක්ෂණික හැකියාවක් ඇති තරුණ අය මේ අපරාධවලට යොමු වෙනවා. මෙම අපරාධ වළක්වා ගැනීමට අපරාධකරුවන්ට වඩා වැඩි දැනුමකින් වේගයකින් අපරාධ විමර්ශකයන් තාක්ෂණයත් සමඟ යාවත්කාලීන විය යුතුයි. ඔවුන් විතරක් නොවෙයි. අන්තර්ජාලය භාවිත කරන්නන් එම සාක්ෂරතාව ප්‍රගුණ කළ යුතුමයි.“ආචාර්යවරිය කීවාය.
ඉංග්‍රීසි පනතට වඩා වෙනස් සිංහල පනත
අන්තර්ජාල අපරාධ සම්බන්ධව අපරාධකරුවන්ට එරෙහිව රටේ ඇති නෛතික රැකවරණය පිළිබඳ අප විමසන්නේ ආචාර්ය තුසිත අබේසේකරගෙනි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ නීති අධ්‍යයන ඒකකයේ අංශ ප්‍රධානී ය. පරිගණක නීතිය පිළිබඳ සිය ආචාර්ය උපාධිය කළ විශේෂඥයෙකි. එමෙන්ම පරිගණක හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් නීති උපාධිය සම්පූර්ණ කළ විද්වතෙකි. ඔහු අපට පෙන්වා දෙන්නේ පරිගණක අපරාධ සම්බන්ධව දැනට රටේ බලාත්මක නීතිය ඉතාම ගැටලුසහගත මෙන්ම දුර්වල එකක් බවය.
“දැනට පවතින පරිගණක අපරාධ සම්බන්ධ නීතිය නිකුත් වෙන්නේ 2007 දී. ඒ නීතිය බලාත්මක වන අවස්ථාවේත් අඩුපාඩු ගණනාවක් තිබුණා. අර්ථ නිරූපණයට ගියාම ඉංග්‍රීසි පනතට වඩා සිංහල පනත සෑහෙන වෙනස්කමක් දරනවා. නමුත් බලාත්මක පනත ලෙස අපි නීතියෙන් පිළිගන්නේ සිංහල පනතයි. ඒ තත්ත්වය තුළ අප වැරදි පනතක් තමයි අර්ථ නිරූපණය කළ යුත්තේ බලාත්මක භාවයෙන් යුක්තව. ඒක ප්‍රධානතම ප්‍රශ්නයක්. මෙච්චර කාලයක් මේ පනත තුළ ගමන් කරලත් ඒ ගමන නිවැරදි කරලත් නෑ.”
මේ පනත සම්බන්ධව ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිරණය සහ අභියාචනාධිකරණය) තීන්දුවක් ලැබිලත් නෑ. මේ නිසා පනතේ තිබෙන වචනවල සත්‍ය තේරුම් ගත හැකි අර්ථ නිරූපණයක් ඉහළ අධිකරණවලින් මේ දක්වා සිදු වී නෑ. ඒ නිසා පනතේ තිබෙන ඇතැම් වගන්තිවල, ඇතැම් යෙදුම්වල තේරුම සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරු පිළිබඳ කියන්න දන්නේ නෑ. අපේ පනතේ ඇතැම් වචනවල අර්ථය තේරුම් ගත හැක්කේ අධිකරණ අර්ථ නිරූපණයක් මඟින්. නමුත් අධිකරණ අර්ථ නිරූපණයක් ලැබී නොමැති වීම අඩුපාඩුවක්. ඊළඟට විමසිය යුත්තේ මේ පනත ක්‍රියාත්මක කිරීමට අපේ රටට තාක්ෂණික සහ අධ්‍යාපනික දැනුම සහිත නිලධාරින් සහ අදාළ සම්පත් තිබෙනවාද යන කාරණයයි. AI සහ වට්ස් ඇප් වැනි මාධ්‍ය හරහා සිදුවෙමින් ඇති වෙනස්කම්වලට මේ නීතිය ප්‍රමාණවත් ද යන්න අනෙක් ගැටලුවයි.
පනතක් සකස් වෙන්නේ දීර්ඝ කාලයක් ගමන් කළ හැකි ආකාරයටය. මෙහි මූලික ස්වරූපයෙන් තමයි අපරාධයක් විස්තර කරන්නේ. විස්තරය තුළ ඉදිරි කාලයත් ආවරණය කළ හැකි වචන ඕන තරම් යොදනවා. තොරතුරු තාක්ෂණය හා පනත්වලදි පනත එළිදක්වන වෙලාවෙදි ඉදිරියට ඇතිවන අවස්ථා සැලකිල්ලට අරන් මේ ලක්ෂණය ඉතා වැඩියෙන් පවත්වාගෙන යනවා. නමුත් ඒ තත්ත්වය අපේ පනතේ නෑ. විටෙන් විට අප වෙනත් පනත්වලිනුත් මේ පනතේ යම් යම් දේවල් ආවරණය කර තිබෙනවා. උදාහරණයක් ලෙස 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ රොබෝවරුන් යොදාගෙන කරනු ලබන අසත්‍ය ප්‍රකාශ ජනිත කරවීම සහ අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැනි දේ ආවරණය කරන්න උත්සාහ කර තිබෙනවා. එය ඉතා සාධනීය තත්ත්වයක්. නමුත් මේ මොනයම් තත්ත්ව නීතිය තුළ තිබුණත් එය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වීමට නම් ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි.
“පරිගණක අපාරාධයක් පිළිබඳ පැමිණිලි කරන්න පොලීසියට ගිය විට ‘පරිගණක‘ නම ඇහුණු සැණින් ඔවුන් කියන්නේ සීඅයිඩී එකට යන්න කියලා. මේ ක්‍රියාවලිය කොතරම් අකාර්යක්ෂම ද බව එතැනින්ම අවබෝධ කර ගත යුතුයි.“ නව නීති ගෙන ඒමට කලින් පවතින අකාර්යක්ෂමතාව නැති කිරීමට ප්‍රතිපාදන සකස් කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ද ආචාර්යවරයා ඉස්මතු කරන්නේය.
දැන් අප තේරුම් ගත යුත්තේ වගකීම් රහිතව අත ඇති ජංගම දුරකතනය හැසිරවීමේ බිහිසුණුකමය. අන්තර්ජාල වංකගිරියේ හැසිරෙන විට සිදුවන ව්‍යසන අප විසින්ම විඳ ගත යුතුව ඇත. අප රක්ෂා කරගැනීමට තරම් දියුණු නීති පද්ධතියක් මඟපෙන්වීමක් මේ අනාරක්ෂිත සමාජ වටපිටාව තුළ නැත. සමාජ මාධ්‍ය වේදිකාව නිවෙසේ නිදන කාමරය සේ පෞද්ගලික තැනක් නොව මහ පාරේ පේව්මන්ට් එක තරම් අනාවරණිත තැනක් බවට වූ මූලික අවබෝධය අවම වශයෙන් හෝ අප තුළ තිබිය යුතුය.
ඇරියස් පිරුණු සමාජයකට සදාචාරය මනුෂ්‍ය සංවේදනා, සහ මානුෂික බැඳීම් පිළිබඳ අදහසක් නොවේ. ජංගම දුරකතනය අතට ගන්නා සෑම මොහොතකම මේ අවදානම සිහිකර ගත යුතු වන්නේ එබැවිනි.
ටානියා මෝසස්