සමාජ මාධ්‍ය සහ සමාජය අතර ඇත්තේ ගහට පොත්ත මෙන් වෙන්කළ නොහැකි බැඳීමකි. ඉන් සමාජයට වන සමාජ බලපෑම එය භාවිත කරන්නාගේ සිතුවිලි මත තීරණය වෙයි. එය විටෙක මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට මෙන්ම ආත්ම ගරුත්වයට ද අභියෝග කරයි. තවත් විටෙක සාවද්‍ය තොරතුරු පතුරවමින් සමාජය නොමඟ යවයි.
සමාජ මාධ්‍ය හි මෙකී හිතුවක්කාර හැසිරීම නිසා මතුවන ප්‍රශ්න බොහෝය. කේවල පාලනයකට නතු වූ වේදිකාවන් මත දිගහැරෙනා බැවින් සහ පහසු ප්‍රවේශයන් නිසා මාධ්‍ය ඉක්මවා ගිය බලපෑමක් සමාජයට කරන්නට සමාජ මාධ්‍යට හැකියාව ඇත. විටෙක එය පුද්ගල දිවිනසා ගැනීම් තරමටම දුර ගිය අවස්ථා ද නැත්තේ නොවේ. මාධ්‍ය නියාමනයේදී සමාජ මාධ්‍යට ද නිසි බරක් තබමින් ඉකුත් රජය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගෙන එන්නට ආසන්නම හේතුවද එයය.
එහෙත් සමස්ත විපක්ෂයම එකී උත්සාහය කියවා ගත්තේ මුළුමනින්ම වැරදි ආකාරයටය. එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇසිරීමක් ලෙස දුටු ඔවුහු පනත කෙටුම්පත් කරන්නටත් පෙර ඊට එරෙහිව විරෝධය පළ කරන්නට වූහ. ඉන් නොනැවතී අධිකරණය තෙක් ගමන් කරන්නටත් මහ නා හිමිවරුන් වෙත ගතු කියන්නටත් ඇතැම්හු කටයුතු කළහ. සමාජයේ බහුතරයකට ආණ්ඩුව ගැන කලකිරෙන්නට මෙම තත්ත්වය හේතු විය. අවසානයේ කෙසේ හෝ පනත සම්මත කර ගන්නට හැකි විය. එදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත බිල්ලෙක් සේ දුටු විපක්ෂයේ සිටි පක්ෂයක් අද ආණ්ඩු බලය හොබවයි. ඒ අනුව එකී පනත අහෝසි කිරීම කෙසේ වෙතත් ඊට විශාල සංශෝධන ප්‍රමාණයක් එකතු කරනු ඇතැයි බොහෝ පාර්ශ්ව බලාපොරොත්තු විය. එහෙත් මේ වන විට සිදු වෙමින් පවතින්නේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි.
බලයට පත්වී මාසයක් යන්නටත් පෙර ආණ්ඩුව සමාජ මාධ්‍ය භාවිත කරන්නන් දඩයම් කරන්නට කටයුතු කරමින් තිබේ. කොටි මහවිරු සමරුවට අදාළව සමාජ මාධ්‍ය භාවිත කරන්නන් කිහිප දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා ද වෙයි. මෙලෙස අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට අධිකරණය ඇප ලබාදී ඇත. එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇතැමුන්ට එරෙහිව සාක්ෂි පවා ඉදිරිපත් කර නැති බව වාර්තා වෙයි. යම් සමාජ මාධ්‍ය පරිශීලකයකු රටේ පවතින නීතිය උල්ලංඝනය කර ඇතිනම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහි කිසිම වරදක් අප දකින්නේ නැත.
සැබැවින්ම මීට වසරකට පෙර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හඳුන්වා දීමට අප කටයුතු කළේ ද ඒ අරමුණිනි. මිනිසුන්ගේ පෞද්ගලික ගෞරවය සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ අයිතිවාසිකම් යන දෙකම එකම මල්ලකලා ආරක්ෂා කිරීම එම පනතේ අරමුණ විය. එහෙත් විපක්ෂයේ අනුවණ හැසිරීම නිසා සමාජයේ බහුතරයක් එම පනත දැක්කේ ”කට බඳිනා” පනතක් ලෙසය. එහෙත් එහි සෑබෑ අරමුණ ඉන් බොහෝ සේ වෙනස් විය. සමාජයේ සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින්, කාන්තාවන් සහ ළමුන් පීඩාවට පත් කරනා පාර්ශ්වයන්ට වැට බඳිනු රිසින් ගෙන ආ එකී පනතට එරෙහිව සමාජය පෙළ ගස්වන්නට කටයුතු කළ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය ගෙන මාසයක් යන්නට පෙර මේ පෙන්වන්නේ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාව නොවේද?
ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ ජය තහවුරු කර ගන්නට සමාජ මාධ්‍ය කළේ මහා මෙහෙයකි. සැකැවින් පවසතොත් ආණ්ඩුව බිහිකරන්නට රැල්ල හැදුවේ සමාජ මාධ්‍ය වුවද මේ වන විට ආණ්ඩුව සිටින්නේ සමාජ මාධ්‍ය මර්දනය අරඹමිනි. එය එක විදියකින් කිවහොත් ඉනිමඟට පයින් ගැසීමකි. තවත් ආකාරයකින් කිවහොත් ආණ්ඩුව සිටින්නේ එදා තමන් පෙනී සිටි තොරතුරු දැන ගැනීමේ අයිතිය, මාධ්‍ය නිදහස වැනි දේට එරෙහි වෙමිනි. මේ සියලු කරුණු කාරණා පවසන්නේ දේශපාලන වාසි තකා ආලවට්ටම් කොතරම් දැමූවත් සමාජ මාධ්‍ය නියාමනයට ලක්විය යුතු අවස්ථාවක් ඇති බව නොවේද?
ආණ්ඩුව මහවිරු දිනය ගැන බොරු ප්‍රකාශ කළ පිරිස් හඹා යමින් සිටී. ඒ, එවැනි ප්‍රකාශ මඟින් සිවිල් සමාජයට එල්ල වන බරපතළ තර්ජනය මග හරිනු රිසියෙනි. මතුයම් දිනෙක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කරමින් හෝ වෙනත් පනතක් ගෙන එමින් දේශපාලන වාසිය තකා බොරු කියන පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නෛතික රාමුවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවකි.