Home » පුරවැසියා සමාජය පාරිභෝගිකයා සහ සමුපකාරය

පුරවැසියා සමාජය පාරිභෝගිකයා සහ සමුපකාරය

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ලංකාව ‘ශ්‍රී ලංකාව’ බවට පත්ව කාලයක් ගතවන තෙක් අප රටේ පුරවැසියන් සිටියේ නැත. සිටියේ ම ‘සෙනග’ය. ඕනෑම පාලකයකුට ඕනෑම වෙලාවක කැඳවිය හැකි ‘සෙනග’ක් එදා ලංකාවේත්, ශ්‍රී ලංකාවේත් සිටියහ.‘සෙනග’ යනු යටත්වැසියන්ය. ‘දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනා’ කැටගරියේ මිනිස්සු හෙවත් ‘සෙනග’ 1976 පමණ වන තෙක් මේ රටේ බහුලව සිටියහ.

1976න් පසු ‘පාරිභෝගිකයා’ නිර්මාණය වීමට පටන් ගත්තේ ය. එනමුදු 1978න් පසු යළිත් යටත්වැසියන් හෙවත් ‘සෙනග’ නිර්මාණය වීම අලුත් වටයකින් ආරම්භ වන්නට විය. එහිදී ‘සෙනග’ යනු යටත්වැසි පාරිභෝගිකයන්ය. 1978 න් පසු අපට ‘දියුණු පුරවැසියන්’ හෙවත් දියුණු සංස්කෘතියක් තිබෙන පුරවැසියන් අහිමි වන්නට පටන් ගත්තේ ය. මේ රටට සිදු වූ මූලිකම වින්නැහිය එය වේ. ඒ නිසාම බස් කොන්දොස්තරගේ අකටයුතුකම ඉදිරියේ පවා නිහඬව කරබාගෙන සිටින කොඳු කැඩුණු ජනතාවක් බිහිවන්නට පටන් ගත්තේය. එහෙයින් දියුණු පාරිභෝගික අවශ්‍යතා සිහිනය ඉච්ඡානුගතවම, සසංඛාරිකවම, හිතාමතාම දේශපාලකයින් විසින් සූක්ෂ්ම ලෙස ජනතාව කෙරෙන් පැහැරගනු ලැබී ය.

මීට විකල්පයක් නොමැති බැවින් තැනෙක පාරිභෝගික සමිති – සංවිධාන බිහි වුවද ඒවාට ජනතාව වෙනුවෙන්, පාරිභෝගිකයා වෙනුවෙන් කළ හැකි දෙයක් නොවී ය. ඒවා හුදු නාමික සමිතිවලට පමණක් සීමා විය.

ඒ සඳහා පාරිභෝගික අණ පනත් ද සම්මත කර ගත්තද ඒවා “සාවුන් සමඟ දුවමින් කොටින් සමඟ දඩයමේ යාමක් වැනි” වූ ක්‍රියාමාර්ග විය. එය ජනතාව ගොනාට ඇන්දවීමක් මිස අනෙකක් නොවේ. දේශපාලකයෝ මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා වෙළෙඳුන් සමඟ රහසේ ගනුදෙනු කළහ. ඇතැම් විට ඔවුන්ගේ ව්‍යාපාරවලට හවුල් වූහ. පාරිභෝගික අණ පනත් දේශපාලන සුළඟේ ගසාගෙන ගියේ ය.

සාමූහික යහපත වෙනුවෙන් නැඟී සිටිමින් විචාරාත්මකව සමාජය ප්‍රශ්න කෙරෙන ‘දියුණු පුරවැසියා’ කරළියට පැමිණි නිශ්චිත මොහොත උදා වුණේ ඉකුත් ‘අරගලය’ සමයෙහිය. එසේ වුව ඒ ස්වර්ණමය පුරවැසි ජයග්‍රහණය යළිදු අයිස් වතුරේ ගිල්වනු ලැබිණ.

මෙනිසා ‘ආහාර සුරක්ෂිතතාව’ පිළිබඳ කාරණාවේදී පුරවැසියන් ගැඹුරු නිද්‍රාවක ගිලී සිටින බව පෙනී යයි. සැබවින් ම දැන් ‘සෙනග’ නිහඬය. වෙළෙන්දෝ හාල් මිල ගණන් කියමින් මාධ්‍ය සාකච්ඡා පවත්වති. පුරවැසියන් දක්නට නොමැත. සිටිනුයේ ‘සෙනගය’. ආණ්ඩුව රටින් හාල් ගෙන්වීම හොඳය. එහෙත් ඒ තාවකාලික, පැලැස්තර විසඳුමක් පමණි. පැලැස්තරය තුවාලයේ වේදනාවට තාවකාලික, කෙටිකාලීන සුවයක් ලබා දෙයි. එහෙත් එය ‘සෞඛ්‍ය’ නොවෙයි. සංස්කෘත වචනයක පදරුත්, නිරුත් විමසන කල, සුවය ඉහළට එසැවීමෙන් ‘සෞඛ්‍යය’ ඇතිවන බව දත හැකිය. බත් කන මිනිසුන්ගේ ‘පාරිභෝගික සෞඛ්‍ය‍ය’ත් එපරිදිම ඉහළට එසැවිය යුතුය. සාපේක්ෂ වශයෙන් පාරිභෝගික සෞඛ්‍යය තිරසර කළ යුතුය.

ඒ සඳහා මූලික වශයෙන් වී ගබඩා සහ සහල් ගබඩා ප්‍රමාණවත් පරිදි ඇති කළ යුතුය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගැනීමෙහි ලා ප්‍රවාහන සේවය ශක්තිමත් කළ යුතුය. මේ සියලු දේ සඳහා 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සඳහන් කළ ‘සමුපකාර ක්‍රමය’ වෙසෙසින් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුමය. (අවශ්‍ය නම් සඳලංකාවෙන් ඔහුගේ නිලධාරීන්ටත්, බලධාරින්ටත් අතීත සමුපකාර ක්‍රියාකාරකම් පිරික්සීම ඔස්සේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ගළපා ගත හැකි වනු ඇත.) ඒ ආහාර සුරක්ෂිතතාව කවර ආණ්ඩුවක් විෂයයෙහි වුව තීරණාත්මක වගකීමක් වන බැවිනි.

හාල්මෝල් හිමියන් ජනතාව සමඟ කරන මේ කැත පන්නයේ සෙල්ලමට එරෙහි ව නැඟී සිටිය යුතුමය. එසේම ආණ්ඩුව මේ අවස්ථාවේ දී ජනතාව සමඟ එක්ව සහල් මාෆියාවේ සෙල්ලම විධ්වංසනය කිරීම ප්‍රමුඛ කාර්යයක් සැලකිය යුතු ය. දියුණු පාරිභෝගික සමාජයක්, දියුණු පුරවැසි සමාජයක් බිහිකර ගැනීම හරහා ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට එල්ල විය හැකි අභියෝග තුරන් කළ හැකිවනු ඇත්තේ එවිටය.

තුසිත් සාගර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division