Home » ලාල්ගේ ඇඳුම ගැන පාඨලී – විමල් අකමැත්තෙන්

ලාල්ගේ ඇඳුම ගැන පාඨලී – විමල් අකමැත්තෙන්

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

සුගිය සතිය පාර්ලිමේන්තුව පැවැත්වූ නිසා කාලයකට පසුව ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද යම් යම් උණුසුම් කතාබස් මැති සබයෙන් අසන්නට ලැබුණි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සතියේත් දැඩි ලෙස කාර්ය බහුල වූයේ විවිධ ක්ෂේත්‍රවල සාකච්ඡා කිහිපයකටම සහභාගි වූ නිසාය.

ජනපති ඩිජිටල් ආර්ථීකයට අතගහයි

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර, ඒ සඳහා සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, පසුගිය (05) වැනිදා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් අමතමනි.

ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩිකර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිළිඳු බව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඉපැයීමට ද සැලසුම් කර තිබේ.

ඩිජිටල් ශ්‍රම බළකාය ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණය ඉදිරි වසර පහ තුළ ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කෙරිණි.

පුනර්ජනනීය බලශක්ති ගැන ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පසුගිය 05දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විශේෂ අවධානය යොමු වූ අතර, සූර්ය පැනල ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. මේ වන විට ගිවිසුම්ගත ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙසත්, ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දුන්නේය. එසේම ගිවිසුම්ගත වුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොට්ඨාස සභාවලට බලය

මහාමැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය විසින් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති ජාජබ කොට්ඨාස සභාවලට පාර්ලිමේන්තු පනතකින් බලය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ග්‍රාම නිලධාරී වසමේ පවතින අඩුපාඩු හා ඉදිරියේදී කළයුතු සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාජබ විසින් පත්කර ඇති සම්බන්ධීකාරකවරයකු විසින් මේ දිනවල සටහන් කර ගනිමින් සිටී. ඒ අනුව කොට්ඨාස සභාවට පාර්ලිමේන්තු පනතකින් බලය ලැබීමෙන් පසු කොට්ඨාස සභාවට ඉදිරියේදී පූර්ණ බලතල හිමි වීමට නියමිතය.

මුළු රටටම පන්ති

ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා කොට්ඨාස සභාවට ග්‍රාම නිලධාරී වසමේ සියලු ජනතාව පක්ෂ බේදයකින් තොරව සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව වසර 76 ක කාලයක් ධනපතීන් සතුව තිබුණු බලය මේ වන විට නිර්ධන පන්තියට ලැබී ඇති බව පෙන්වා දෙමින් කොට්ඨාස සභාවලට අධ්‍යාපන පන්ති පැවැත්වීමටද ‌තීරණය කර තිබේ. 1960 දශකයේදී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් සෝවියට් දේශයේ පිහිටුවන ලද කොට්ඨාස සභා ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා ‘“ජනතාව අතරට යායුත්තේ කෙසේද?” යනුවෙන් පොත් පිංචක් මුද්‍රණය කරන ලදි. එම පොත් පිංචේ අඩංගු ඇතැම් කරුණු ජාජබ කොට්ඨාස සභාවලටද අනුගත කර ඇතැයි ද වාර්තා වේ.

ලාල්ගෙන් විමල්ට ඇමතුමක්

මේ දිනවල ඇඳුමක් පිළිබඳව විශේෂ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ කවදත් පුවත් මවන්නකු වන කේ.ඩී. ලාල්කාන්තගේ ඇඳුම සම්බන්ධයෙනි. ලාල්ගේ නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වැඩ භාර ගැනීමට පැමිණියේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙනි. එහෙත් ඇමැති ලාල්කාන්ත එයට සහභාගි වූයේ ටීෂර්ටයකින් සැරසීගෙනය.

“ඒ ටීෂර්ට් එකක් නොවෙයි මනුස්සයෝ. ටීෂර්ට් රෙද්දට සමාන රෙද්දකින් මහපු අත්කොට ෂර්ට් එකක්. මිතුරන්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම්වලට අවසානයේදී ඇමැති ලාල් උත්තර දුන්නේ එසේය.

ඇමැති ලාල්කාන්ත එසේ සරලව හිතුවත් වැඩේ බරපතළ ය. හිටපු මන්ත්‍රී චම්පික රණවක ඇමැති ලාල්කාන්තට දුරකතන ඇමතුමක් ගත්තේය.

“ මචෝ ඔය ඇඳුම නම් උඹට ගැලපෙන්නේ නෑ. චම්පික කීවේය. “මේක හරියන්නේ නැත්නම් උඹ ඔය අඳින අඩි 6ක් විතර උස කමිසයයි සුදු සරමයි මට එවපන්. ඇමැති ලාල්කාන්ත කීවේ සිනහසෙමිනි.

චම්පික රණවක ද අතහැරියේ නැත.

“එහෙම නොවෙයි. උඹේ මැෂිමන්ට් එක මට එවපන්. මම ඇඳුම් කිහිපයක් මහලා එවන්නම්“ චම්පික කීවේ ද සිනාසෙමිනි.

ඇමැති ලාල්කාන්තගේ ඇඳුම් ප්‍රශ්නය එතැනින් නතර වූයේ නැත. පසුගිය දිනෙක හිතවත් ස්වාමීන් වහන්සේ නමක් හමුවීමට ඇමැති ලාල්කාන්ත ගියේය.

“ඇමැතිතුමා ඔබතුමාගේ සරල ඇඳුමට මම හරි කැමතියි. සමහරු ඇඳුම්වලින් ප්‍රභූත්වය රැක ගන්න හදනවා. තවත් සමහර අය තමන් ඉඳගන්න පුටුවෙනුත් ප්‍රභූත්වය රැකගන්න හදනවා. ඒ හැමදේම කණපිට පෙරළුණ ප්‍රභූත්වය රැක ගන්න හදන ලාල්කාන්තට මම කැමතියි“.

“ ඒක නම් ඇත්ත තමයි ඇමැතිතුමා. දැන් විමල් වීරවංශ අරගෙන බලන්න. එයා ඇඳුමෙන් තමයි ප්‍රභූත්වය රැක ගන්න හදන්නේ.“ එතැන සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කළහ.

ඇමැති ලාල්කාන්ත ඒ මොහොතේම විමල් වීරවංශට දුරකතන ඇමතුමක් ගත්තේය.

“හලෝ “කියා උත්තර දුන් සැණින් විමල් කියා සිටියේ “ලාලෝ උඹේ ඇඳුම නම් හරියන්නෑ“ යනුවෙනි.

“විමලෝ උඹ විමල් වීරවංශ. මම ලාල්කාන්ත. උඹ උඹේ විදයට ඉඳලා නැතිවුණා. මම හැමදාම ඉන්නේ මගේ විදියට. උඹ ඒක මතක තියාගනින්” ලාල්කාන්ත එසේ පිළිතුරු දුන්නේ කොක්හඬලා සිනාසෙමිනි.

මාලිමාව හෙළිකළ වරප්‍රසාද

දෙසිය විසිපහම එපා කියලා රටේ ඡන්දදායකයින් අලුත් 225කට පාර්ලිමේන්තුවට එන්නට පාර කියා තිබේ. ඇත්තටම ගත්තොත් ඉන් බහුතරයක් අලුත්ම අය වෙති. පාර්ලිමේන්තුවට ආපු අයගේ වරප්‍රසාද ගැන අලුත්ම කතාබහක් ඇති වී ඇත. එයට හේතුව පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු වේදිකාවල ඇමැති සැප හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින සැප පහසුකම් ගැන මාලිමාවේ අය විවිධ පොරොන්දු දීමයි. ඒක පොරොන්දුවක්ම පමණක් නෙවෙයි. මාලිමාවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ ගැන නිශ්චිත සඳහනකුත් ඇතුළත් කර තිබේ. මලිමාවේ අය කිව්වේ ඇමැතිලාගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ, ජනාධිපති බිරින්දෑවරුන්ගේ සැප ගැනය.

හිටපු ඇමැතිලාට කොළඹින් ගෙවල්ය. ගෙවල් කොළඹ පහේය. ඒ ගෙවල් කුඩා හෝටල් වැනිය. ඒ ගෙවල් ඇතුලේ සේවකයින්ට ඉන්නට තවත් පොඩි පොඩි කූඩාරම්ය. පිහිනුම් තටාකය. බල්ලන්ට ඉන්නට තවත් සැප කාමරය. මාළු ටැංකිය. අමාත්‍යාංශයේත් තවත් සුඛෝපබෝගී කාමරය. ඒ කාමර ඇතුලේ ඇඳන්ය. අධි සුඛෝපභෝගී වාහන හත අටය. තෙල් වැඩ කරන්නේ ලීටරයට කිලෝමීටර දෙක තුනය. ආරක්ෂකයෝ හතර පහය. හිටපු ජනාධිපතිවරුන්ට වාහන හත අටය. ආරක්ෂකයෝ එකසිය දෙසීය ගණන්ය. නිල නිවාසය. නිල කාර්යාලයය. කෝකියෝය. ප්‍රින්ටර්ය. පෑන්ය. මේ හැම දෙයක්ම වෙනුවෙන් ජනතා මුදල් කාබාසිනියා කරන්නේය. මාලිමාව කතා කළේ මේ දේවල් ගැනය.

වරප්‍රසාද කප්පාදු කිරීම

ජනාධිපති නිල නිවාස එකකට පමණක් සීමා කිරීම, විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කාලත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රරසාද අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පවුලේ ඥාතීන් බඳවා නොගැනීම වැනි දේ අඩංගු ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැසිවාරයට සහභාගී වීම වෙනුවෙන් ගෙවන දීමනා අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05කින් පසුව ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම, මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවතට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය තුළදී එක් වාහනයක් පමණක් ලබාදීම වැනි කරුණු මාලිමාවේ ප්‍රතිපත්තියේද සඳහන්ය.

මේ අතර ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව මන්ත්‍රී, ඇමැති, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන වාර්තාවක් හදන්න හිටපු මහාධිකරණ විනිසුරු කේ. ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් හිටපු අමාත්‍යංශ ලේකම් ඩී. දිසානායක සහ හිටපු දිස්ත්‍රීක් ලේකම් ජේ. සී. ටී. බුලුමුල්ල යන අයගේ සාමාජිකත්වයෙන් යුත් කමිටුවක් පත් කළේය. එම වාර්තාව පසුගිය සඳුදා ජනාධිපතිවරයාට භාර දී ඇත. වාර්තා වන අන්දමට එහි පිටු දෙදහසක් පමණ අඩංගු වන අතර වරප්‍රසාද පිළිබඳව මෙතෙක් කලක් තිස්සේ ප්‍රකාශයට පත් ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් අමුණා ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත් එම කමිටුව මඟින් මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදිය යුතු අවම පහසුකම් ගැන නිර්දේශ කිහිපයක්ද යෝජනා කර ඇත. එම යෝජනා බොහෝ දුරට මාලිමාව විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිවලට සමාන බව වාර්තා වෙයි. එම යෝජනා පිළිබඳව ඉදිරියේදී විධිමත් ලෙස සාකච්ඡා කර ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව මේ වන විටත් කටයුතු කරමින් තිබේ.

වියදම් බුලත් හුරුල්ලට පමණි

පසුගියදා මාලිමාවේ ඇමැති මණ්ඩලය පත් කිරීමත් සමඟම හරි හරියට ඔවුන් සියල්ල රාජකාරි පටන් ගත් අතර, සරල වැඩ භාර ගැනීමේ අවස්ථා ජනතාවට දැකගන්නට හැකි විය.

ඒ ලෙසින්ම වසන්ත ඇමැතිතුමාත් රටේ ආන්දෝලනාත්මක, නිතර ජනතාව අතර කතාබහට ලක්වන අමාත්‍යාංශයක් වන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ දී තම වැඩ භාර ගන්නා ලදි. උත්සව නැත. මල් පාවඩ නැත. කොටින්ම කියතොත් එම අවස්ථාවට වියදමක් කියා යන්නට ඇත්තේ ඔහුව පිළිගන්නට ගෙනා බුලත් හුරුල්ල පමණි..

හිටපු ඇමැතිගේ වැඩ

මේ අතර වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ඇමැති ගැනත් හොඳ හොඳ කතා කනින් කොනින් ඇහෙන්නට පටන් ගෙන ඇත. සාමාන්‍යයෙන් හිටපු ඇමැති අමාත්‍යාංශයට එන විට, ඔහුට කලින් ඇමැති ආරක්ෂක අංශයේ අයෙක් පැමිණ, අමාත්‍යාංශයේ විදුලි සෝපානය තම භාරයට ගනී. කොටින්ම කියතොත් “ඇමැති එනවා, ඇමැතිට මේ ලිෆ්ට් එක ඕන දැන්” එදා වෙළෙඳ අමාත්‍යාංශයේ විදුලි සෝපානය හිටපු ඇමැතිගේ බලයට යටත් වූයේ එසේය.

අලුත් ඇමැති‍‍ගෙන් පුදුම වැඩක්

එකල එසේ වෙද්දී මෙකල මෙසේය. මීට දින කිහිපයකට පෙර අමාත්‍යාංශයේ විදුලි සෝපානයට කිහිප දෙනෙක් ගොඩ වුහ. ඉන් පසු සෝපානයේ දොර වැසෙනවාත් සමඟම එය යළිත් විවෘත විය. මෙන්න අලුත් ඇමැති වසන්ත සමරසිංහ විදුලි සෝපනයට ගොඩ විය. විදුලි සෝපානයේ සිට අය තුෂ්ණිම්භූත විය. පරණ ඇමැතිගේ කෙරුවාව නිසා අලුත් ඇමැතිත් එලෙසින්ම ඇතැයි කියා සිතන්නට ඇත. සිදු වූයේ මෙසේය. ඇමැති වසන්ත, ඔවුන් සමඟ හොඳින් සිනා සී කතාබහ කොට තම කාර්යාලය වෙත යන්නට විය. මාලිමාවේ අයගේ වෙනස, නිර්ව්‍යාජ බව, සරල බව, ආයතනයේ කාර්යමණ්ඩලයට සැබවින්ම දැනෙන්නට ගියේ සුළු මොහොතකි.

බාබරුත් හිටපු ඇමැතිගේ කාමරයට

හිටපු ඇමැති කාර්යාලයේ සිටින විට කාර්ය මණ්ඩලය ඒ පැත්තටවත් යන්නට බිය වෙති. ඒ තරම් ඒ හිටපු ඇමැතිට අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ගැනවත් කිසිම තැකීමක් නැත. සුළු සේවකයින් එකල ඇමැති නිසා වැඩිපුරම පීඩා වින්දවුන් බව සේවකයින්ගේ කතාබහය.

හිටපු ඇමැතිට නම් අමාත්‍යාංශය විටෙක බාබර් සාප්පුවකි. තමන්ගේ කොණ්ඩය කපන්නත් බබාර් කෙනෙක් අමාත්‍යාංශයේ තම කාර්යාලයට ගෙන්වා ඇත.

පෙර විකාර නටපු තැනක්, දැන් නම් හරිම ප්‍රියජනකය. වැඩ භාරගත් දිනයේ පටන් ඇමැති සිය රාජකාරියට එහා ගිය යුතුකම රැයක් දවාලක් නැතුව ඉටු කරනනේය. රටකට කන්න දෙන එක ලේසි නැත. හැම පැත්තෙන්ම ප්‍රශ්න එක දිගටය. ඒ සියල්ලට බෙල්ල තියන්නේ ඔහුය. අමාත්‍යාංශයට අදාළ ආයතන සමඟ එක දිගට සාකච්ඡාය. මොනවද වෙනනේ, මොනවද කරන්න ඕන, මේ හැමදේම පිළිබඳව නියමාකාරයෙන් තීරණ ගනියි. “වැඩ කල් දැමීමක් නැත.” ඇමැති ගැන සේවකයින් දැන් කතා වෙන්නේ එලෙසය.

බාර් ලයිසන් දුන් හේතුව රනිල් කියයි

“හාල් පොල් නැතුව මිනිස්සු දුක් විඳින එක බාර් ලයිෂන් ටිකකින් වහන්න පුළුවන්දැයි “නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති විශේෂ හමුවකට සහභාගී වූ නීතිඥවරයකු විමසූයේ ලොකු කතාවකට පොටක් පාදමිනි.

නීතිඥවරයා කීවේ බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභාගත කළ මත්පැන් බලපත්‍ර 361ක ලේඛනය ගැනය.

“මේකේ චෝදනාව එල්ල කරලා තියෙන්නේ සර්ට. “වජිර කීවේ රනිල් දෙස බලමිනි.

” ඔව් ඉතින් කන්න බොන්න නැතුව ඇඳිවත නැතුව පෝලිම්වල දුක් විඳපු රටවැසියෝ බේරගත්තා කියලත් මට තව ටික දවසකින් චෝදනා කරාවි. ඔය බාර් ලයිෂන් මම නිකන් දුන්නේ නෑ. මිලියන 10,15,20 බැගින් මුදල්වලට විකිණුවා. එයින් රාජ්‍ය ආදායමට හොඳ ගානක් එකතු කරගත්තා. මේවා ඍජු බදු නැතිව ආදායම් එකතු කරන මාර්ග. මේ බාර් ලයිෂන් ටිකෙන් බිලියන හතරක් පහක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඇති, “රනිල් කාරණය පැහැදිලි කරන්නට මුලපිරුවේය.

“ඒ උනාට මේ අය කියන්නේ සර් අල්ලස් විදියට මේ බාර් ලයිසන් දුන්නා කියලා,“ රුවන් එසේ කීවේ බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී කී කතාව මතක් කර දීමටයි.

“සුරාබදු ආදායම් කියන්නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක්. මේවා හංගගෙන බොරු සුචරිතවාද පෙන්නගෙන ඉන්න අවශ්‍ය නෑ.“ කාංචනද එම කතාවට හවුල් විය.

“මේ බාර් ලයිෂන් හොර රහසේ දීපුවා නෙමෙයි. මගෙන් ඉල්ලුවා නම් මම මීටත් කලින් මේ ලැයිස්තු දෙනවනේ.“ රනිල් කීවේ ඇඟට පතට නොදැනීය.

“අනෙක ඔය බාර් ලයිසන් තුන්සිය ගණනට සංචාරක හෝටලත් අයිතියි. මේ සියලු කරුණු ඇතුළත් කරලා මේ සති අන්තයේ නිවේදනයක් නිකුත් කරන්න. “රනිල් පක්ෂ නිලධාරීන්ට එම වැඩ කටයුත්ත පැවරුවේය.

අනුරාධට හා හර්ෂට වගකීම්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සැලකිය යුතු කාර්යභාරයක් කරන අතර එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් නායකත්වය අනුරාධ ජයරත්නට ලබා දීමට පෙරමුණේ එකඟතාවය හිමි විය. මුදල් කාරක සභාවේ සභාපති ධුරයට හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කළ යුතු යැයි ද සිලින්ඩර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබිණි.

කෙසේ වුවත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ගයන්තගේ නම යෝජනා කිරීම ගැන සජබයේ බෙදීමක් තිබෙන බව සිලින්ඩර කාර්යාලයට ආරංචි ලැබී තිබිණි.

” සජබෙ ගොඩක් අය කියන්නේ විපක්ෂ ප්‍රධාන සංවිධායකකමට හර්ෂ දැම්ම නම් හොඳයි කියලා. අනෙක දැන් සජිත් විපක්ෂයේ කාර්යභාරයෙන් කර ඇරලා වගේ. පහුගිය පාර්ලිමේන්තුවේදී වාඩි කරවා ගන්න බැරුව හිටපු සජිත් දැන් ආසනෙන් නැඟිටින්නෙ නැති තරම්” සජිත්ගේ විපර්යාසය ගැන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම රනිල්ට එලෙස ගතු කීහ.

සජිත් ගැන වජිර කිව්වේ මොනවාද?

“අපේ මන්ත්‍රීවරු ජනාධිපතිගේ රාජාසන කතාවට ඡන්දය නොදී ඉන්න තීරණය කරලා තිබුණේ. දෙමළ පක්ෂ මන්ත්‍රීවරුත් ඒකට එකඟ වෙලා හිටියා. සජිත් එයාගේ කට්ටියත් අරගෙන සභා ගැබෙන් පිට වෙලා ගියා. ඒ කළ වැඩේ නිසා. අන්තිමට රාජාසන කතාව ඒකමතිකව සම්මත වුණා” වජිර සිදූ වූ දෙය ගැන සැකෙවින් විස්තර කළේය.

“වෙන නායකයො කල් යනකොට පරිණත වෙනවා. ඒත් මේ සජිත් කියන නායකයා කල් ගත වෙනකොට අනිත් පැත්තට නේ යන්නේ” චාමර කී දෙයින් රනිල්ටත් සිනහ නවතා ගන්නට නොහැකි විය.

ඉන්දීය සංචාරය නිමවා පැමිණි රනිල් හමුවන්නට පක්ෂ නිලධාරීහුද තරුණ නායකයෝද පැමිණියහ. ඔවුන් අමතමින් රනිල් කීවේ වෙනස් විදියේ කතාවකි.

” මේ ඡන්ද දෙකේ ප්‍රතිඵල අනුව පේන්නේ පක්ෂ ක්‍රමය මිනිස්සු ප්‍රතික්ෂේප කරල තියෙන බව. ඒකෙ පුදුමයකුත් නෑ. 2020 ඉඳන් කවුරුවත් වගකීමක් භාරගත්තේ නෑ. ඇත්තෙන්ම බැලුවොත් තනි මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවක් හදන එකත් සිදු නොවිය යුතු දෙයක්. පක්ෂ ක්‍රමය වැඩ කළා නම් මෙවැනි දෙයක් සිදුවෙන්නෙ නෑනේ. අනෙක දැන් තරුණයන්ට ඉස්සර වගේ පක්ෂවලට ළැදියාවක් නෑ. ඒ නිසා ඔබලා මේ අලුත් කණ්ඩායම් දෙස බලලා අලුත් විදියට පක්ෂය හදන්න. ප්‍රාදේශීය සභා, පළාත් සභා ඔක්කොටම මුහුණ දෙන්න වෙන්නේ ඒ ක්‍රමයට තමයි.“

“මේ අලුත් ක්‍රමයට පක්ෂය ගොඩනඟන්න මේ සතියෙන් පස්සේ ප්‍රධාන අයගෙන් සමන්විතව කමිටුවක් පත් කරනවා. ඒ වගකීම් ඔබ බාරගන්න” රනිල් තරුණ නායකයන් දෙස බලමින් පැවසීය.

තරුණයින්ගෙන් රනිල් වෙත ඉල්ලීමක්

නමුත් එජාප නිලධාරීන්ගේද තරුණ නායකයන්ගේ ද ඒකමතික ඉල්ලීම වූයේ රනිල් තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවයි.

” සර් මේ වෙලාවේ මෙතන නොහිටියොත් පක්ෂය සීසීකඩ යාවි. සර් හොඳ නායකයෙක් කියලා දැන් ඔප්පු කරලා පෙන්වලා ඉවරයි. රටේ බුද්ධිමත් මිනිස්සු සියලුම දෙනාගේ ඔලුවේ ඒ අදහස තියෙනවා” රුවන් ඇතුළු සියලු දෙනා ඒකමතිකව කීහ.

” මෙහෙමයි, මම අඩියක් පිටුපසට අරගෙන ඉන්නම්. ඔබ වැඩකටයුතු කරගෙන යන්න. ඒ වගේම මම නායකත්වයේ ඉන්නවා නම් මගෙන් කොන්දේසි කිහිපයක් තිබෙනවා. හැම මිනිහටම නිලතල දෙන්න බෑ. එතකොට නිලතල වැඩි වෙනවා. සාමාජිකයෝ අඩුවෙනවා. ඒ වගේම හැමෝම කාමර වෙන් කරගෙන ඒවට වෙලා ඉන්න අවශ්‍ය නෑ. පරණ ක්‍රමයට කැපවීමෙන් වැඩ කරලා පක්ෂය ගොඩනඟන්න” රනිල් තමන්ගේ කොන්දේසි විස්තර කළේය.

කිසිවකුත් ඒ කොන්දේසිවලට විරුද්ධ බවක් නොපෙනිණි.

“අලුත් කමිටුව හැදුවාම ඒ අයට සිලින්ඩරේ සෙසු පක්ෂ සමඟත්, සජබේ එක්කත්, එන්.පී.පී එක සමඟත් වැඩ කරන්න පුළුවන්. මීට කලින් අපි ජේ.වී.පී. එක එක්ක ළඟින් වැඩ කළා වගේ.“

රනිල් විජිතට කියපු රහස

කොළඹ අමාරි හෝටලය විවෘත කෙරුණේ හිටපු ජනපති රනිල්, ඇමැති විජිත මෙන්ම විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි.

“මගේ වැඩපිළිවෙළ, ඒ කියන්නේ අයි.එම්.එෆ් වැඩසටහන ඉදිරියට ගෙනයාම ගැන මගේ සුබ පැතුම්, “රනිල් විජිතගේ කනට කර කීවේ සිනහවක්ද නඟමිනි. විජිත කිසිත් නොකියා ඊට සිනාසුණේය. රනිල් සිය කතාවේදීත් ඒ කාරණයම පැවසීය.

ගෑස් සිලින්ඩරයට හිමි ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයක් සඳහා කංචනගේ නම යෝජනා වී තිබුණත් අවසන් තීරණයක් ගැනීම තවත් පමාවන ලකුණු පහළ වී තිබිණි. දිනේෂ්ගෙන් වගේම ෆයිසර් මුස්තාපාගෙනුත් ජාතික ලැයිස්තුවට ඉල්ලීම් ලැබී තිබෙන බව දැනගන්නට ඇත.

හේෂාගේ යෝජනාව

මේ අතර පසුගිය සතියේ සඳුදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. එහිදී හේෂා විතානගේ කීවේ, ‘‘මාලිමාවේ මන්ත්‍රීවරු වේදිකාවල මහා හඬින් කිව්වනේ පාර්ලිමේන්තු වරප්‍රසාද ගන්නේ නෑ කියලා. ඒ යෝජනාව පාර්ලිමේන්තුට ගෙනෙයි කියලා හිතෙනවා. පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එද්දි පළමු යෝජනාව මගේ යෝජනාව වෙන්න ඕන. මම තමයි ඉස්සල්ලාම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දුන්නේ. ඒක මම ආණ්ඩුවට ලබාදෙන සහයෝගයක්. හඳුන්නෙත්ති ඇමැතිවරයා කිව්වා ඒක රෙකෝඩ් කරලා තියා ගන්න කියලා. ඒ රෙකොඩ් කරලා තියා ගත්ත ටික තමයි මම යෝජනාවක් විදිහට ඉදිරිපත් කළේ. ජාතික ජන බලවේගයේ පිරිස අවංකනම් මගේ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සහාය දෙන්න සිදුවෙනවා. මේ වගේ නොගැලපෙන කාරණා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ජනතාව අන්දවන්න තමයි මාලිමාවේ උදවිය කටයුතු කරන්නේ. ‘‘

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත්කිරීමට විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තීරණය කර තිබුණි. එම සාකච්ඡාවෙන් පසු ගයන්ත කරුණාතිලක කීවේ – ‘‘අපි කණ්ඩායමක් විදිහට සමගි ජන බලවේගය විපක්ෂයේ කාර්යභාර්ය උපරිමයෙන් ඉටු කිරිමට කටයුතු කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස විපක්ෂයේ සියලුම බලවේග එකතු කරගෙන සමගි ජන බලවේගයේ කණ්ඩාමත් සමඟ ඒ වැඩ කටයුතු සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා.‘‘

සංචාරක කර්මාන්තය ඉහළට ගෙන ඒමට විජිතගේ අවධානය

මෙරට ජාතික ආර්ථීකයට සංචාරක කර්මාන්තය හරහා විශාල දායකත්වයක් ලබාදීමට විජිත හේරත් අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division