අතීතයත්, සම්ප්‍රදායත් සමඟ බැඳි එන බොහෝ දේ අතර මංගල චාරිත්‍රවලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ එ් හා බැඳුණ චාරිත්‍ර වාරිත්‍ර අපටම අපේ රටටම සුවිශ්ෂීය. මවකට පියකුට තම දරුවන් ඉතා වටින්නේය. උපන්දා සිට බොහෝ ආරක්ෂා කර උගන්වා හදන වඩන දරුවන්ගේ කටයුතු දරුවන්ගේ යුතුකම් සියල්ල ඉටු කළා යැයි හිත හදාගන්නට හදන්නේ ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු සිදුකිරීමත් සමඟය. එය එසේ වුව ද මවක තම දරුවන් ගැන දකින සිහින එහෙම ලේසියෙන් අවසන් වන්නේ නැත.
ඒ කෙසේ වුවත් දෑස මෙන් රැක ගත් දියණිය විවාහ දිවියට එළෙඹෙන දා වැඩියෙන්ම සතුටට පත්වන්නේත් වැඩියෙන්ම දුකට පත් වන්නේත් මව හා පියාය.
විවාහ මංග්‍යයකදි චාරිත්‍ර වාරිත්‍රවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
අපේ පුරාණ මංගල සිරිත් විරිත් පැවත එන්නේ දඹදිව හරහා යැයි කතාවක් පවතී. විවාහ උත්සවයකදී පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරිමේදී විශේෂයෙන්ම කිරිකඩ සේලය පිදිමේ චාරිත්‍රය එන්නේ දඹදිවෙනි.
ඔක්කාක රාජ සමයේදී ඔහුගේ පුරෝහිත බමුණා සුබ්‍රහ්ම නම් අයෙකි. සුබ්‍රහ්මගේ බිරිය මාලනීය. දුව සෝමසීලිය. සෝමසීලි දියණිය විවාහ කර දෙන දා බෑනා කෙරෙහි යම් අකමැත්තකින් සිටි මාලනී ඔහු රිදවීමට සිතුවාය.
“මගෙන් බීපූ කිරිවලට ගැළපෙන වන්දියක් මට දැන් ඕනෑය“ ඇය මංගල සභාවේදී ශබ්ද නඟා කියන්නට විය. මංගල සභාවේ සිටි පණ්ඩිත බ්‍රහ්මණයකු කීවේ දරුවකුට තම මවගෙන් බොන කිරිවලට කිසිසේත් වන්දි ගෙවිය නොහැකි බවය. එනමුත් දරුවකු බොන කිරි ප්‍රමාණය රෙදි විසි රියනක් පෙඟෙන්නට තරම් විය හැකි යැයි එතැනදී ඔහු කීවේය. ඒ අනුව සෝමසීලිගේ විවාහ කර ගැනීම සඳහා සුදු රෙදි රියන් විස්සක් ඇගේ මවට ලබා දෙන්නට මනාලයාට සිදු විය.
එදා පටන් අඩු වැඩි වශයෙන් තව තව දෑ එක්වී මේ චාරිත්‍රය අද දක්වා පැවත එන්නට විය. මනාලයා විසින් මේ කිරිකඩ සේලය ලබා දෙන්නේ මනාලියගේ මවටය. අද වන විට එයට බුලත් අතක්, ගිරයක් ආදී දේ ද එක්වී ඇත. මෙය පිරි නමන්නේ බුලත් හෙප්පුව මත තබාය. බෑනා විසින් කිරිකඩ හේලය නැන්දම්මාට ලබා දුන් පසු ඇය එය හිසේ තබා ගෙන පෝරුව අසලින් ඉවත් විය යුතුය.
මේ තේමාවත්, තම පුද්ගලික අත්දැකීමක් ද එක්කර ගනිමින් අපේ කාලයේ ගී පද රචිකාවියක වන චන්දි කොඩිකාර හරි අපූරු ගීතයක් ලියන්නීය. එය දියණියක විවාහ වන දා මවකගේ සංවේදී අත්දැකීම් කැටි වූ පද පෙළකි.
ගීතය ගයන්නේ දක්ෂ ගායන ශිල්පිනියක වන නිපුනි නයනතාරාය. ගීතයේ සංගීත නිර්මාණය කරන්නේ ප්‍රවීණ සංගීතවේදි අනුරාධ අබේසිංහය.
ගී පද ගැළපීම ගැන චන්දි කියන්නේ මෙවන් කතාවකි.
“සිංහල විවාහ චාරිත්‍රවල සංවේදීම අවස්ථාව තමයි කිරිකඩ හේලය දියණියගේ මවට පිරිනමන අවස්ථාව. පෙවු කිරිවලට ණය ගෙවීමක් ලෙසයි මෙය පිරිනමන්නේ. මට මගේ දුව විවාහ කරලා දෙන මොහොතෙත් හිතුණ දෙයක් තමයි මවකගේ දුවකගේ බැඳීම එහෙම හිලව් කරන්න පුළුවන් ද කියලා. අම්මා කෙනෙකුට දුවක් කියන්නේ පුදුම ශක්තියක්. මගේ හොඳම යාළුවා මගේ දුව. මම විවාහ වෙලා දරුවන් පිළිබඳ බලාපොරොත්තු අතහැරලා හිටපු කාලයක් තිබුණා. නමුත් දුව මට ලැබෙන්නේ දේදුනු දරුවෙක් ලෙස. මගේ පවුලේ මට බාල සොයුරන් හතක් . මම තමයි එකම ගැහැනු ළමයා. ඒ කාලේ ඉඳලම මම හරි කැමැතියි මට සොයුරියක් හිටියා නම්. විවාහ වුණාට පස්සෙත් මම බලාපොරොත්තු වුණේ දුවක්. මට මගේ දුව ලැබුණා. අපි දෙන්නා අදටත් හොඳ යාළුවෝ. මගේ දුව මටත් වඩා හොඳට මා ගැන දන්නවා. මම යම් අවුලක නම් ඇයට එය දැනෙනවා. “ අම්මේ මොකද වෙලා තියෙන්නේ“ කියලා ඇය අහනවා.
දුවත් එක්ක ඈ උපන්දා සිට ගෙවන මේ කාලය හරිම සුන්දරයි. මට කීර්තිය ප්‍රශංසාව හැම දෙයක්ම අඩුවක් නැතිව ලැබුණේ දුව හම්බ වුණාට පස්සේ. ඇය මට දුන් සතුටට ඇයට මම ණයයි. ඇය විවාහ කර දෙන දවසේ මම ඇඬුවේ නැහැ. මම මේක ලිව්වේ දුවගේ උපන්දිනයට තෑග්ගක් හැටියටයි. නිපුනි දුව මේ ගීතය හරි ලස්සනට ගායනා කරනවා. අනුරාධගේ සංගීතයත් හරිම අපූරුයි. ගීතයේ අත්දැකීම මගේ වුණාට මේක හැම අම්මා කෙනෙකුටම පොදු දෙයක්“
කිරිකඩ හේලේ එපා දුවේ මට
පොවාපු කිරිවල ණයට හිලව්වට
මගේ කුසට ආ පිනම නුඹට ඇති
මමයි නුඹට ණය භවය පුරාවට…
මවක ලෙසින් ලොව කිරුළ දරන්නට
දෙවියන් දුන් තුටු පඬුරයි නුඹ මට
ඒ පඬුරම අද දෝතින් දෙන්නෙමි
නුඹම පතාගෙන ආ කුල කුමරුට
කිරිකඩ හේලේ එපා දුවේ මට…
දෙවොලත් පාළුයි දෙවියන් නැති විට
මවු සිත වැලපෙයි දුව ළඟ නැති විට
අප බැඳි සෙනෙහස් රැහැනේ මහිමෙට
ණයක් නොවේ නුඹ කිසිදා කිසි විට
කිරිකඩ හේලේ එපා දුවේ මට…
ගායනය – නිපුනි නයනතාරා
සංගීතය – සංගීතවේදී අනුරාධ අබේසිංහ
පද රචනය – චන්දි කොඩිකාර