– දංකුඩ බණ්ඩා රූගත කිරීම්වලදි දිමියෙක් කාලා මගේ බෙල්ල ඉදිමුණා
– රූ ගත කිරීම්වලට ගියාම අතපසු වෙන සටහන් ලියා ගන්න ගුරුවරු ගොඩක් උදව් කරනවා
විශ්මය චිත්‍රපටයෙන් ඔබ හමුවට එන ඔනෙල් දම්සත් රිදී තිරයට පායපු තවත් ළමා තරුවක්. රංගනය, ගායනය, වාදනය වගේම නර්තනයටත් ඔහුට මනා දක්ෂතාවයන් තිබෙනවා. ඔහු දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයේ දංකුඩ බණ්ඩා ලෙසද ඔබ හමුවට පැමිණියා. ඔහු දැන් හුරුබුහුටි යෞවනයෙක්.
ඉතින් ඔනෙල් කොහොමද ඔයාගේ වැඩ කටයුතු ?
අධ්‍යාපන කටයුතු එක්ක තමයි කාලේ ගෙවෙන්නෙ. මම කොළඹ රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා. ඉගෙන ගන්නේ 13 ශ්‍රේණියේ.
ඔබ රංගනය පැත්තට යොමු වෙන්නේ කොහොමද ?
විශ්ම චිත්‍රපටය තමයි මම සම්බන්ධ වුණු පළවැනි නිර්මාණය. ඒ කාලේ මම 7 ශ්‍රේණියේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම සම්බන්ධ වුණා දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයේ දංකුඩ බණ්ඩා චරිතයට. ඒ වගේම ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම්වලට මම සම්බන්ධ වුණා. මයිලෝ, කොමර්ෂල් බැංකුව, රත්තී, Knorr වගේ වෙළඳ දැන්වීම්වලට.
මෑතකදී ඔනෙල් සම්බන්ධ වුණු නිර්මාණ තියෙනවද ?
වෙළඳ දැන්වීම් කීපයකට මට ආරාධනා ලැබුණා. උසස් පෙළ විභාගය නිසා මම මූලික අවධානය දෙන්නේ ඒ වෙනුවෙන්. ඉදිරියේදී මම තේමා ගීත ගායනයෙන් මම සම්බන්ධ වුණු චිත්‍රපටයක් තිරගත වෙන්න නියමිතයි.
ඔබේ ගායන කටයුතු ගැන මතක් කළොත්?
සමස්ත ලංකා ජන ගායනා තරඟවලට මම සහභාගි වෙලා තියෙනවා. දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නෙත් මම. පාසලේ පවත්වන සංගීත කටයුතුවලටත් මම ලොකු සහයෝගයක් දෙනවා.
ඔබට ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය ගැනත් කියමුද?
මට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. සමහර වෙලාවට එක ටේක් එකකින් ගන්න ඕන සීන් අපිට වරදිනවා. ඒ වෙලාවට කාලය ගොඩක් ගත වෙනවා. එහෙම වුණාම බොහොම ඉවසීමෙන් මේක මෙහෙම කළොත් හොඳයි කියලා උපදෙස් දීලා අධ්‍යක්ෂතුමන්ලා ඇතුළු රංගන ශිල්පීන් ලොකු සහයෝගයක් මට දුන්නා. ඒ වගේම විශ්මය චිත්‍රපටයේ මගේ චරිතයේ වැඩිහිටි චරිතය රඟ දැක්වුවේ සාරංග දිසාසේකර අයියා. එතකොට අපි දෙන්නගෙ ඇක්ටින් සමාන වෙන්න ඕන. එයාගේ චලන ඉරියව් මම පුරුදු වෙන්න ඕන වගේම මගේ චලන ඉරියව් එයා පුරුදු වෙන්න ඕන. සාරංග අයියා මගේ අංග චලන ගොඩක් වෙලාවට පුරුදු වෙලා රඟපෑවා. මට හොඳ සහයෝගයක් ඔහුගෙන් ලැබුණා.
විශ්මය සහ දංකුඩ බණ්ඩා නිර්මාණ දෙකේදී ඔබ සම්බන්ධ වුණු චරිත දෙක ගැන කතා කළොත් ?
ඒ චරිත දෙක එකිනෙකට වෙනස් චරිත දෙකක්. විශ්මය චිත්‍රපටයේ ඉන්නේ නාගරික පරිසරයේ හැදී වැඩුනු ළමයෙක්. දංකුඩ බණ්ඩා චරිතය අභියෝගවලට මුහුණ දෙන ගමේ ළමයෙක්ගෙ නිරූපණයක්.
ඔනෙල් රඟපාන්න ආස කරන චරිතයක් තියෙනවද ?
මම කැමතියි විලන් කෙනෙක්ගේ චරිතයක් රඟපාන්න. ඒක මට අභියෝගයක්. ඒ වගේම මම ආසයි අභියෝග භාර ගන්න.
රූගත කිරීම්වලදි මුහුණ දුන්න අමතක නොවෙන සිදුවීම් ගැන මතකද?
දවසක් වැවක් ළඟ රූගත කිරීම් වලදී පා පැදියකින් වැටිලා මගෙ දනිස් තුවාල වුණා. දංකුඩ බණ්ඩා රූගත කිරීම්වලදි දිමියෙක් කාලා මගේ බෙල්ල ඉදිමුණා. එදා සම්පූර්ණ රූපගත කිරීම් නතර කරන්න වුණා. ආයේ දවසක කුඹුරේ මඩේ බැහැලා ඉන්න තිබුණා. පොලොන්නරුව ප්‍රදේශයේ තමයි දංකුඩ බණ්ඩා රූගත කිරීම් තිබුණේ. ඒ ප්‍රදේශය හරිම ලස්සනයි.
ඔනෙල්ගේ අනාගත බලාපොරොත්තුව?
මගේ අරමුණ නම් භෞතික විද්‍යා අංශයෙන් ඉදිරියට යන්න. ඒ වගේම මම ශබ්ද පරිපාලන ඉංජිනේරුවෙකු වීමටත් කැමැත්තෙන් ඉන්නවා. ඒ අතරතුර කලා කටයුතු වලට සම්බන්ධ වීමත් බලාපොරොත්තු වෙනවා.
රඟපාන්න ගියාම පාසල් මඟහැරෙන ඉගෙනීම් කටයුතු කොහොමද කර ගන්නේ?
රූ ගත කිරීම්වලට ගියාම අතපසු වෙන පාඩම්වල සටහන් ලියා ගන්න ගුරුවරු මට ගොඩක් උදව් කරනවා. එයාලා මගේ නිර්මාණ බලලා මාව අගය කරනවා. ගුරුවරු මට ගොඩක් ආදරෙයි. පාසලේ තියෙන සංගීත, රංගන වැඩකටයුතුවලදී ටීචර්ලා මාව බය නැතුව ගන්නවා. හේතුව මට ඒ දේවල් ගැන පුහුණුවක් තියෙන නිසා. යාලුවෝ මා එක්ක කීප සැරයක්ම විශ්මය ෆිල්ම් එක බලන්න ආවා.
මං මේ වෙලාවේ ස්තූති කරන්න කැමතියි විශ්මය චිත්‍රපටයේ අධ්‍යක්ෂ රන්දික විජේමාන්න සර්ට, තිර රචනයෙන් එක් වුණු ශිරාජ් රසීන් සර්, රුහුණගේ සඳමාලි මිස් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වුණු සමීර වීරසිංහ සර්ට. සර් තමයි මගේ සංගීත ගුරුතුමා වගේම මේ චිත්‍රපටයේ ඔඩිෂන්වලට යන්න මට මඟ පෙන්වපු ගුරුවරයා. අධ්‍යක්ෂ රන්දික සර් ගැන කීවොත් ලොකු සහයෝගයක් දුන්නා. ඔහු හරි වෙනස් විදියේ අධ්‍යක්ෂකවරයෙක්. ළමයි එක්ක හරි සමීපව වැඩ කරනවා. මගේ චරිතය හොඳින් කරන්න එතුමාගේ සහාය ගොඩක් වැදගත් වුණා.
කුමුදිකා ඩී. සපුතන්ත්‍රි