Home » අලුත් අත්දැකීමට මම මාර විදිහට ආදරේ කරනවා

අලුත් අත්දැකීමට මම මාර විදිහට ආදරේ කරනවා

හර්ෂි මධු

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– ගෙදර අය ඩ්‍රාමා එක බලන දිහා මම පැත්තක ඉදන් බලාගෙන සතුටු වෙනවා
– නොතේරෙන කාලේදිම වගේ මේ කලාවට කැමැත්තක් තිබිලා තියෙනවා

රංගන ශිල්පිනියක් ලෙස මේ වනවිට කාගෙත් ආදරය දිනා සිටින හර්ෂි මධු මේ දිනවල අපිට සමීප වන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන “විසේකාරි” හි රීතු ලෙසිනි. හර්ෂි මධු සමඟ රසඳුන කළ සොඳුරු කතාබහයි මේ.

කොහොමද ජීවිතේ?

ජීවිතේ…. ගල් මුල් අතරින් ලස්සනට සරලව නිදහසේ ගලාගෙන යනවා. දිය පාරත් ගල් මුල්වල හැප්පේද්දි තමයි හැඩවෙන්නේ. මාත් හිතනවා මගේ ජීවිතේට එන සමහර කටුක සහ සුන්දර අත්දැකීම් නිසා ජීවිතේ ලස්සන වෙනවා කියලා. ඒ නිසා මට නම් ජීවිතේ සුන්දරයි.

හර්ෂි කියන්නේ මොන වගේ චරිතයක් ද?

හර්ෂි මධු… කියන්නේ සුන්දර, ආදරණීය, නිහතමානී චරිතයක් සහ ඉක්මනට තරහා ගිහින් ඉක්මනින් හිත උණුවෙන චරිතයක්. සරලව අඳින්න පලදින්න කැමැති සරලව ජීවත් වෙන හිතෙන, හිතෙන වෙලාවට ඇවිදින්න යන, ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් ඕන ගේමකට ඔට්ටු කෙල්ලෙක් කියලා මම හිතනවා.

කලාවට එන්න ඕනේ කියලා හිතුණේ කොයි කාලෙදි ද? ඇයි එහෙම හිතුණේ?

පොඩි කාලේදීම වගේ මම ආස කළේ කලාවට. අදටත් මතකයි මට මගේ ලොකු මල්ලි ෆෝන් එක අරගෙන සාරියක් පටලවගෙන ඉන්න මාව අපි ෆොටෝස් ගන්නවා. මම ඒ නොතේරෙන කාලේදිම වගේ මේ කලාවට කැමැත්තක් තිබිලා තියනවා. ඒක තේරුම් ගියේ අවුරුදු 6,7කට උඩදී.

මුල්ම නිර්මාණය සහ ලැබුණු අත්දැකීම කොහොමද?

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු ජනක සම්පත් තඹරවිල නිෂ්පාදනය කළ “මැස්සා” ටෙලි නාට්‍යයේ නදීගේ චරිතය තමයි මගේ මුල්ම නිර්මාණය. බොහෝ දර්ශන කට්වලට නොයා රොනින් එක භාවිතයෙන් රූගත කරපු නිසා මුළු දර්ශනයම එක දිගට ප්ලේ කරන්න සිද්ධ වුණා. ඒක මට පළමු නිර්මාණයෙන්ම ලැබුණු ලොකු අත්දැකීමක්.

මේ දවස්වල කලා නිර්මාණ මොනවද?

විදේශිනී රත්නායක ලියූ පිටපතක් අනුව ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ, ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ දෙපලගේ නිෂ්පාදනයෙන් ITN නාළිකාවෙන් රාත්‍රී 9 ට සතියේ දින 5ම විකාශය වන “විසේකාරි” ඩ්‍රාමා එකට තමයි මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ. රිතුගේ චරිතය හැඩ කරන්න “විසේකාරි” ටීම් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මට ලබා දෙන සහයෝගයට.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ගැන නම් ඇත්තටම සතුටුයි. ඒ සතුට දන්නේ අම්මායි, තාත්තායි, එයයි තමයි. මොකද ඒ ප්‍රතිචාර ලැබුණ ගමන් මම කතා කරන්නේ ඒ අයට. ඒ සතුට බෙදාගන්න. ඒ දේවල් කිවුවාම එයාලා මට වඩා සතුටු වෙනවා. ගෙදර අය ඩ්‍රාමා එක බලන දිහා මම පැත්තක ඉඳන් බලාගෙන සතුටු වෙනවා. තාත්තා මෙහෙම කරන්න, තව ලස්සනට කරන්න පුතේ කියලා කියනවා. යාළුවෝ කතා කරලා ශක්තිමත් කරනවා. කතා නොකරපු යාළුවෝ කතා කරනවා. මිනිස්සු රිතුගේ චරිතේට ගොඩක් ආදරේ කරනවා. මගෙන් අත හොඳයි ද දැන් කියලා අහන්න තරමට ප්‍රතිචාර තියෙනවා. ඒ අලුත් අත්දැකීමට මම මාර විදියට ආදරේ කරනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

ඉදිරියට “යාදින්නි” කියලා වැඩක් සහා නිෂ්පාදක චාමර සමරවික්‍රමගේ වැඩක් එන්න තියෙනවා. තව මියුසික් වීඩියෝ වගයක් එන්න තියෙනවා

රංගනය ගැන හදාරන කෙනෙක් ද?

ඔව්. මම තාම මේ රංගන ක්ෂේත්‍රයට ආධුනිකයි. ඒ නිසා මම අදටත් රංගනය ගැන ඉගෙන ගන්නවා.

කලාව පමණ ද ඔබේ වෘත්තීය?

මම චිත්‍ර අඳිනවා. මෙහෙන්දී අඳිනවා. ඒත් මුල් තැන් දෙන්නේ රංගනයට.

ආදරේ දකින්නෙ කොහොමද?

ආදරේ ගැන මේ විදියට කෙටියෙන් කියන්න බෑ. මම හිතන්නේ ආදරේ තමයි අපිව ජීවත් කරවන්නේ මං ආදරේට ගොඩක් ආදරෙයි.

ආදරවන්තියක් ද?

ඔව්.

දිගටම රඟපාන්නද කැමැත්ත?

මගේ ජීවිතේ මූලික තැන රංගනයට.

කලාවට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා, තාත්තා නැත්තම් අද මම මෙතැන නැහැ. ඒ දෙන්නා මාව විශ්වාස කරලා මේ දීලා තියෙන නිදහස නිසයි මං මගේ පාර හොයාගත්තේ. අම්මා, තාත්තා, මහී, නැන්දී, තාත්තාම්මා සහ එයා මේ අය ඒ දෙන සහයෝගය වචනවලින් කියන්න බැහැ. ඒ වගේ අම්මෙක් තාත්තෙක් ලැබෙන්න මම මාර විදියට පින් කරලා තියෙනවා. යාළුවෝ වගේ එයාලා එක්ක මට ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. හැම දේකටම මට ඉන්නේ මගේ පවුලේ අය. මාව වැටෙන තැන්වලදී මාව අල්ලගෙන ඉන්නේ ඒ අය. අවසාන වතාවටත් කියන්න තියෙන්නේ මගේ පවුලේ අය නැත්තන් මම අද මෙතැන නැහැ කියලයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division