Home » මට නිර්මාණ කිරීමේ ලොකු පිපාසාවක් මට තියෙනවා

මට නිර්මාණ කිරීමේ ලොකු පිපාසාවක් මට තියෙනවා

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

– යුරේනිගේ භාෂා උච්චාරණය එක්ක එයාව අභියෝගයක් වුණා
– යුරේනිව මේ චරිතෙට ගනිද්දී හැමෝම කිව්වේ එයා පොෂ් වැඩියි කියලා

වේදිකාවේ වසර ගණනක අත්දැකීම් ඇති අනුර ඒකනායක පුංචි තිරයට ගෙන එන “රීකන්ඩිෂන් කෙල්ල” ටෙලි නාට්‍යය මේ වෙද්දී අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බව නොරහසක්. “රීකන්ඩිෂන් කෙල්ල” හරහා මතුපිටින් පෙන්වන කතාවට එහා ගිය යටි පෙළ දේශපාලන සමාජීය අර්ථකථනයක් ගෙන එන්නත් අධ්‍යක්ෂවරයා සමත් ව තිබෙනවා. ඒ නිසා හිතුණා “රීකන්ඩිෂන් කෙල්ල” හි නිර්මාපකයා වන අනුර ඒකනායක සමඟ කතා කරන්න.

“රීකන්ඩිෂන් කෙල්ල” ඔබේ පළමු ටෙලි නිර්මාණය, කොහොමද මේ නාට්‍යය නිර්මාණය වෙන්නේ?

“රීකන්ඩිෂන් කෙල්ල” නිර්මාණය කරන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මම වේදිකාවේ සෑහෙන කාලයක් වැඩ කරලා වසර 8ක විතර විරාමයක් ගන්නවා. ඒ කාලය තුළ මොකක් ද කරන්නේ කියන දේ සහ කලාකරුවෙක් විදියට නැවත මොන පැත්තකින් ද එළියට එන්නේ කියලා හිතද්දී තමයි ටෙලි නිර්මාණයක් කරන්න අදහසක් ආවේ. මොකද වේදිකා නිර්මාණ අපි කොච්චර කළත් ඉතා සුළු පිරිසකට තමයි සමීප වෙන්නේ. ඒ නිසා විශාල පිරිසක් ඒකරාශි කරගත හැකි ටෙලි නිර්මාණයක් කරන්න හිතුවා.

වසර 8ක් පමණ කිසිදු නිර්මාණ කාර්යයක යෙදුණේ නැහැ කිව්වා, ඒ කාලය තුළ මොනවද ඔබ කළේ?

මම විදෙස්ගත වෙලා හිටියේ. ඒ කාලය තුළ පොත පත කියවීම සහ පොඩි පොඩි සංස්කෘතික කවවලට සහභාගි වෙලා පොඩි පොඩි වැඩසටහන් කළා. ඒ එක්කම ඒ කාල සීමාව තුළ මම යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා. ඒක ලෝකය එක්ක යන වැඩක්. කාටූන් චරිත හදලා ඒ වටා කතා නිර්මාණය කිරීම. ඒ සඳහා ලක්ෂ දෙකක් වගේ පිරිසක් එකතු වුණා. යම් ආදායමක් ඒ තුළින් ලැබුවා. ලංකාවේ අය නම් අඩුයි. අ‍ෙමරිකාව, එංගලන්තය වගේ රටවල අය ඒ සඳහා එකතු වෙලා හිටියා. කලාව එක්ක කාලයක් වැඩ කරපු කෙනෙක් නිසා ඒ අත්දැකීම් එක්ක මම පිටපත් ලියලා පොඩි පොඩි කතා නිර්මාණය කරද්දී ඒ දේවල් පිළිගන්න පිරිසක් ඒ වටා ඒකරාශි වුණා.

“රීකන්ඩිෂන් කෙල්ල” හි දිනූ කියන ගමක උපන් තරුණියට යොදා ගන්නේ යුරේනි නොෂිකාව ඒක අභියෝගයක් වුණේ නැද්ද?

දිනූගේ චරිතය තුළත් ඉතාම සීමිත එපිසෝඩ් ප්‍රමාණයක් ගම ඇතුළේ යන්නේ. ඒ එපිසෝඩ් ඇතුළේ දිනූගේ සම්පූර්ණ ක්‍රියාවලියම පෙන්වන්න වුවමනාවක් තිබ්බෙත් නැහැ. ඒක මගේ හිත ඇතුළෙන්ම පොඩි එඩිට් එකක් ගහගෙන දිනූගේ ඩයරියක් පෙරළනවා වගේ තමයි එයා මුහුණ දෙන සිදුවීම් කිහිපයක පෙළගැස්වීමක් කළේ. මම දිනූගේ චරිතයට යුරේනිව ගනිද්දී හැමෝම කිව්වේ එයා පොෂ් වැඩියි කියලා. හැබැයි අපි දැකලා තියෙනවා ගම්වල ළමයි ඉංග්‍රීසි හොඳින් කතා කරනවා. මම එක පුවතක් පවා දැක්කා ඒ ගමේ පාසලේ ඔක්කොම ළමයි කතා කරන්නේ ඉංග්‍රීසි බසින්. එහෙම තැන් තියෙනවා. අපේ අය ගම කිව්ව ගමන් අල්ල ගන්න තැනින් අපිට මඟ හැරෙන කාරණා ගොඩක් තියෙනවා. යුරේනිගේ භාෂා උච්චාරණය එක්ක එයාව අභියෝගයක් වුණා. හැබැයි පුළුවන් තරම් එයාව එතැනින් ගලෝගෙන තමයි මේ චරිතයට අරන් ආවේ.

ඔබේ පෙම්වත් යුවළ බවට පත්වෙන්නේ යුරේනි සහ කලණ, මේ සුසංයෝගය ගැනත් අපි කතා කරමුකෝ?

කලණ එක්ක මම වේදිකාවේ වැඩ කරලා තියෙනවා. මම මගේ චරිතවලට තෝරා ගත්තේ මේ එකිනෙක චරිතවල තියෙන ගැඹුර හරි හැටි තෝරාගත හැකි නළු නිළියන්. මම මේ සඳහා ගත්ත හැම චරිතයක්ම එහෙමයි, චාන්දනී අක්කා, ධර්මප්‍රිය ඩයස්, කෞෂි අක්කා මේ හැම චරිතයක්ම එහෙමයි. අනිත් අතට ප්‍රේමවන්තයා කියන චරිතය කඩවසම් විය යුතුම නැහැ. මම දකින දෙයක් තමයි කඩවසම් කියන එක ප්‍රේමයට අදාළ දෙයක් නොවන බව. ප්‍රේමය ඕනේ තැනක තියෙන්න පුළුවන්. මෙතැන ප්‍රේමය කියන කතන්දරයට වඩා උභතෝකෝටිකයක් හදනවා ප්‍රේමය ද ලිංගිකත්වය ද කියන කාරණාව. ටෙලි නාට්‍යයේ මේ වෙද්දී ඔය කියන දේ ප්‍රශ්නකාරී වෙලා හැලහැප්පීම් වෙලා යන ගතියක් පෙන්නුම් කරනවා. දිනූ කියන්නේ ප්‍රේමය කියන දේ ඇතුළු නොවුණු චරිතයක්. තාත්තාගෙන් යම් අතවරයකට ලක් වෙලා, ඊට පස්සේ බාප්පාගෙන් අතරවරයට ලක් වුණු කෙනෙක්ට ප්‍රේමය කොහොමද දැනෙන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒ එක්කම මේ එන ඩොක්ටර්ට ඇතිවෙන්නා වූ ආකර්ෂණය එක්ක, ඒ ඩොක්ටර් මේ දිනූව කොළඹට අරගෙන එන එක වටා ඒ ඩොක්ටර්ගේ මනස ඇතුළේ හට ගන්නා ප්‍රේමනීය ටිකක් තියෙනවා. නමුත් දිනූ එතැන ඉන්නව ද කියන එක දැනටත් ප්‍රශ්නකාරියි.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර ඇත්තටම ඉතා හොඳයි. දැනට සති අන්තයේ විකාශනය ටෙලි නාට්‍ය අතරින් ජනප්‍රියම ටෙලි නාට්‍යය. ලක්ෂ තුනහමාරකට වැඩි පිරිසක් ටෙලි නාට්‍යය එක්ක එක් වෙලා ඉන්නවා. සමහර අයට මේ වයිබ් එක තේරෙන්නේ නැහැ. නමුත් මම මේ පොඩි පොඩි සිදුවීම් ටිකක් කිය කියා ගිහින් එක තැනකදී මේක බ්ලාස්ට් කරන එකක් තමයි තියෙන්නේ. ඒක කොහොම භාර ගනී ද කියන එක මම දන්නේ නැහැ. “රීකන්ඩිෂන් කෙල්ල” කියන නමත් මේ වෙද්දී පොඩි වෙනසක් කරමින් ඉන්නවා. ඒක යම් කිසි දේශපාලනික සහ සංස්කෘතික කාරණයක ලස්සනට ස්ථානගත කර ගන්න එක තමයි මගේ උත්ස­ාහය. ගොඩක් වෙලාවට ටික් ටොක් කරන කෙල්ලන්ව අපි දකින්නේ බරක් නැති චරිත විදියට. ඒ අයට යම් වටිනාකමක් දෙන්නේ නැති ගතියක් තියෙනවනේ. අන්න ඒ දෙන්නේ නැති වටිනාකම එකතු කරන එක තමයි මගේ මේ වැඩේ ඇතුළේ තියෙන්නේ. දැන් දිනූටත් කට්ටිය බණිනවා. එහෙම බණින්නේ චරිතය දැනිලා තියෙන නිසානේ. හැබැයි සෝෂල් මීඩියා ඇතුළේ ඉන්න කෙල්ලන්ගේ ජිවිත එහෙම සැහැල්ලුවෙන් අපිට අයින් කරන්න පුළුවන් ජිවිත නෙවෙයි. ඒවාට කොහොමද වටිනකමක් දීලා, නැවත මේ සමාජයට වටිනාකමක් එකතු කර ගන්නේ කියන එක මේ ටෙලි නාට්‍යය ඇතුළේ තියෙනවා. හැම මනුස්සයෙක්ගේම සංවේදී තැන් ටිකක් තියෙනවා. ඒ තැන් ටික තේරුම් ගන්නේ නැතුවනේ අපි බණින්නේ. නමුත් ඒ ඇතුළත ස්පර්ශ කරන තැන තමයි “රීකන්ඩිෂන් කෙල්ල” කියන්නේ.

ඉදිරියට කරන්න ඉන්න නිර්මාණ මොනවද?

දිගටම නිර්මාණ කිරීමේ පිපාසාවක් තියෙනවා. මගේ ෆැමිලි එකම මේ වෙද්දී රට ඉන්නේ. මට දැනෙන තැන මේ පොළොව. මට ගනුදෙනු කරන්න පහසුම තැන මේ පොළොව. සමාජය සුවපත් අතට ගෙන එන එක තමයි මගේ මේ කලාවේ තියෙන එකම දෙය. මේ මොහොතේ මම මේ ටෙලි නාට්‍යය කරනවා. මට නිර්මාණ කිරීමේ ලොකු පිපාසාවක් තියෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division