අපිට ඕන සෝලෝ ටවුන් කියන බෝයි බෑන්ඩ් එක ජාත්‍යන්තරයට ගෙනියන්න
Mr. Sri Lanka පැජන්ට් එක ජයග්‍රහණය කළ ලංකාවේ ළාබාලතම ශිල්පියා බවට පත්වුණා
– යුලාන්
ෆිල්ම් එකෙන් පස්සේ අපි ලයිව් කොන්සට්වලට සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා
– සංජාන
මල්ලි ඇඳුම් වේළ වේළ ඉන්න බෑ වැටෙන එක උඹ එක පාරෙන්ම වැටියන් කියලා සහන් අයියා කිව්වා
– හේෂාන්
පසුගිය දා තිරගත වුණු “සෝලෝ ටවුන්” සිනමාපටය මේ වනවිටත් බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ මියුසිකල් මෙලෝ ඩ්‍රාමා ශාරනයේ සිනමා නිර්මාණයකි. උදිත කුරේ, චතුරංගන ද සිල්වා, සෙව්වන්දි වීරසිංහ හා ප්‍රසාදි අබේගුණවර්ධන එක්ව Stage Adventures ආයතනය හරහා නිපදවනු ලැබූ මෙම සිනමාපටයට පසුබිම් වී ඇත්තේ ඔවුන් විසින්ම නිර්මාණය කළ සෝලෝ ටවුන් බෝයි බෑන්ඩ් සංගීත කණ්ඩායම වීමත් විශේෂත්වයකි. ජාත්‍යන්තරයේ ජනප්‍රිය අංගයක් වන බෝයි බෑන්ඩ් සංකල්පය ශ්‍රී ලංකාවට තරමක් ආධුනික වීම හේතුවෙන් එය ජනගත කිරීම ඔවුන්ට අභියෝගයක් වූ බව පැහැදිලිය. යුලාන් ඩ්‍රෙව්, හේෂාන් ප්‍රනාන්දු, තාරක සංජාන සහ නොනිම් හෂන්තගේ සාමාජිකත්වයෙන් බිහි වූ සෝලෝ ටවුන් හරහා ජාත්‍යන්තරය ස්පර්ශ කිරීම ඔවුන්ගේ අරමුණ විය.
නර්තනය හා ගායනය එකිනෙකට නොදෙවෙනි අයුරින් සිදු කරන ඔවුන් බෝයි බෑන්ඩ් සංකල්පය ඉහළින්ම ජයගෙන ඇති බව සිනමාපටය නැරඹූ ඕනෑම අයකුට පැහැදිලි වන කරුණකි. මෙහි යුලාන් තෲ කැපී පෙනෙන චරිතයක් බවට පත්වී ඇතැයි හැඟෙන්නේ ඔහු ගායනයේ මෙන්ම නර්තනයේ ද උපන් හපන්කම් ඇත්තෙකු නිසාය. 2019 වසරේ Mr. Sri Lanka බවට පත්වූ ඔහු එවන් ජයක් ලද ලංකාවේ ළාබාළතම ශිල්පියා ද වන්නේය. සෝලෝ ටවුන් හරහා තම කුලුඳුල් රංගන අත්දැකීම ලබන ඔහු පළමුව අපේ කතාබහට එක්කර ගත්තෙමු.
“මං Mr. Sri Lanka for Mr. global Youth Embersider බවට පත්වෙන්නේ 2019 වසරේ. ඒ Mr. Personality, Mr. Intelligent සහ Best of Talent කියන මිනි ටයිට්ල් තුනත් එක්ක. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 18යි. ඒ වගේ පැජන්ට් එකක් ජයග්‍රහණය කළ ලංකාවේ ළාබාලතම ශිල්පියා වුණෙත් මම. අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙමින් මගේ ඩිග්‍රිය සම්පූර්ණ කරන්න ඕන වුණු නිසා මට ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එක ෆලෝ කරන්න බැරි වුණා. මගේ හීනය වුණේ අධ්‍යාපනය පැත්ත සම්පූර්ණ කරගෙන කවදහරි පෆෝමින් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න.“
ගායනයට එහා ගිය නර්තන හැකියාව බෝයි බෑන්ඩ් සංකල්පය වෙත යුලාන් සුදුස්සකු වන්නට හේතුවන්නට ඇතැයි සිතේ.
“මං පොඩි කාලෙ ඉඳන්ම හැදෑරුවේ නර්තනය. ඒ කාලේ මට මයිකල් ජැක්සන් පිස්සුවක් තිබුණා. ඒ නිසාම මං සංගීතය පැත්තත් ටිකක් ඉගෙන ගත්තා. සංගීතය කරන මගේ යහළුවන්ට ස්තුතිවන්ත වෙන්න ඕන මට ඒ දැනුම ලබාදුන්නට. අද මං සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම ඇතුළේ ගායනය, නර්තනය වගේම රැප් ගායනයත් කරනවා. අපි හතර දෙනාගෙම වගකීම වෙන්නෙ ටීම් එකක් විදිහට ලොකු එනර්ජිටික් පෆෝම් එකක් කරන එක. අපිට සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්. ඒත් බෝයි බෑන්ඩ් සංකල්පය තුළ භාණ්ඩ වාදනය සිදු කෙරෙන්නෙ නෑ. බැක් ස්ට්‍රීට් බෝයිස්ල එහෙම නැත්නම් BTS වගේ අය අපි අධ්‍යයනය කළාට කොපි කරන්නෙ නෑ. අපිට ඕන අපේ සෝලෝ ටවුන් කියන බෝයි බෑන්ඩ් එක ජාත්‍යන්තරයට විවර ගෙනියන්න.
අධ්යක්ෂ චතුරංගන අයියට වගේම නිෂ්පාදක උදිත අයියටත් ඕන වුණේ සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම කොහොමහරි ජනතාව අතරට යවන්න. සිනමාපටයක් හරහා එය ජනගත කිරීම වඩාත් සුදුසුයි කියන තීරණය එන්නේ ඔය අතරේ. සෝලෝ ටවුන් සිනමාපටයක් විදිහට බිහිවෙන්නේ එහෙමයි. අපි හතර දෙනාට වගේම චතුරංගන අයියටත් තිබුණෙ එකම විෂන් එකක්. ඒ නිසා වැඩේ තවත් පහසු වුණා කිව්වත් හරි. මම, සංජාන, හේෂාන්, නොනිම් අපි හතර දෙනා අපේ පෞද්ගලික දේවල් පවා ෂෙයාර් කරගත්තා. අන්තිමට දන්නෙවත් නැති, කවදාවත් දැකලවත් තිබුණෙ නැති කොල්ලො හතර දෙනෙක් සහෝදරයො වගේ එකතු වෙලා හරි ලස්සන වැඩක් කළා. සිනමාපටය එන්නත් කලින්ම අපි ගීත කිහිපයක් රිලීස් කළා. මුලින්ම රිලීස් කළේ සිනමාපටයේ තියෙන සුරලාලිනියේ ගීතය. ඒ වෙද්දි අපි ගැන කවුරුත් දැනන් හිටියෙත් නෑ. අපේ සෝෂල් මීඩියා පැත්තත් බිංදුවයි. ඒත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ 10ට වෙනකල් ආවා. ඔය විදිහට සින්දු හතරක් රිලීස් කළා. අපට ලබාදුන් සහායට ප්‍රේක්ෂකයන්ට වගේම රේඩියෝ චැනල්වලටත් මං මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනවා.
සෝලෝ ටවුන් සිනමාපටය ගත්තොත්. මගේ පළමුවැනි රංගන අත්දැකීම. ස්ක්‍රිප්ට් එක කියවලා මතක තියාගන්නෙ කොහොමද කියලවත් අපි දැනන් හිටියෙ නෑ. වර්ක් ෂොප් දාලා මුලින්ම අපිට රංගනය ගැන පුහුණුවක්, අවබෝධයක් ලබාදුන්නා. ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය කවදාවත් අමතක කරන්න බෑ. විශේෂයෙන්ම රවීන් අයියව මතක් කරන්නම ඕන. මුල් ටික පොඩ්ඩක් අමාරු වුණත් පුහුණුව සහ වර්ක් ෂොප් අත්දැකීමත් එක්ක ටිකක් කරගෙන යද්දි වැඩේ අල්ලගත්තා. ඒත් ලේසි වුණා කියල නම් කියන්නෙ නෑ. සින්දු කලින්ම රෙකෝඩ් කරගෙන මාස ගණන් පුහුණු වෙලා හොඳ පුහුණුවක් ඇතිවයි අපි රූගත කිරීම්වලට සම්බන්ධ වුණේ.“
නොනිම් හෂන්ත කියන්නේ සෝලෝ ටවුන් කණ්ඩායමේ ඉන්න පොඩිම සාමාජිකයා කිව්වත් හරි. කොරියන් පෙනුමක් හිමි ඔහු කතාවටත් සයිලන්ට් චරිතයක් වගෙයි.
“මේ වෙද්දි මං සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමේ. ඒ නිසා පුංචි කාලෙ ඉඳන්ම මං හැදුණේ සංගීත වටපිටාවක. පොඩි කාලෙ ඉඳන්ම මං සංගීතයට ආස කළා. රශ්මි සංගීතා මිස්ගෙන් සංගීතය හැදෑරුවා. හිරු ස්ටාර් සීසන් – 3 රියැලිටි වැඩසටහනට ඉදිරිපත් වෙලා ඒ ලබපු අත්දැකීමත් මේ ගමනට ලොකු පන්නරයක් වුණා කිව්වත් හරි.
රියැලිටි වැඩසටහනෙන් පස්සේ අවුරුදු ගාණක්ම මං කිසිම ගීතයක් නොකර නිහඬවම හිටියා. ඔය අතරේ තමයි චතුරංගන අයියයි උදිත අයියයි මට කතා කළේ. මල්ලි අපි මේ වගේ වැඩක් කරන්න ඉන්නවා කියලා. මම එක පාරම කැමැති වුණා. මොකද බෝයි බෑන්ඩ් සංකල්පය ලංකාවට අලුත්. මේක ලස්සන වැඩක් වෙයි කියලා හිතුණා.
ගායනයේ, වාදනයේ දක්ෂයෙක් වුණත් රංගනය ඔහුට අලුත් අත්දැකීමක් වුණු බවයි නොනිම් පැවසුවේ.
“මට කවදාවත් රංගනය ගැන කිසිම සිතුවිල්ලක් තිබුණෙ නෑ. ඒත් සෝලෝ ටවුන් සිනමාපටයට ආරාධනා ලැබුණම මුලින්ම පොඩ්ඩක් බය හිතුණා. සංගීතය මට හුරු වුණාට රංගනය කියන්නේ වෙනමම පැත්තක්. ඒත් එක්කම අපිට වැඩමුළු කිහිපයක් තිබුණා. ප්‍රසන්න මහගමගේ සර්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ ලබාදුන් දැනුම ලොකු පන්නරයක් වුණා. ඒ වගේම දුලීකා අක්කා, රවීන් අයියා ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහායක් ලැබුණා. තිර පිටපතක් කියවල මතක තියා ගන්නෙ කොහොමද? ඩයලොග් ඩිලිවර් කරන්නෙ කොහොමද කියලා ඔවුන් කියලා දුන්නා.
අපි ගොඩක් ප්‍රැක්ටිස් කළා. මොකද ඇක්ටින් වගේම ඩාන්සින් අපට ඉගෙන ගන්න වුණා. සුපුන් අබේසිංහ අයියා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔහු ලොකු සහායක් දුන්නා. ඒ වගේම චතුරංගන අයියයි සහන් අයියයි මේ මේ විදිහටම ඕන කියලා අපිව ප්‍රෙෂර් කළේ නැහැ. ඒක අපේ චරිත අපේ විදිහට කරන්න ලොකු පහසුවක් වුණා. ඉදිරියේ දී සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමත් එක්ක ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන හේෂාන් ප්‍රනාන්දු මොරටුව විශ්වවිද්‍යාලයේ IT අංශයේ උපාධිධාරියෙකි.
මට සංගීත ආභාසය ලැබෙන්නෙත් ගෙදරින්මයි. මගේ තාත්තා රෙජිනෝල්ඩ් සමන්ත ප්‍රනාන්දු සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්. අයියා සුරාජ් කණිෂ්කයි මායි එකතු වෙලා Red Majic කියලා බෑන්ඩ් එකක් හදාගෙන හිටියා. අයියා විදෙස්ගත වීමත් එක්ක එය නතර වුණා. මට ඕනෑම භාෂාවකින් ගීත ගයන්නත් පුළුවන්.
මගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් බලලා තමයි මට සෝලෝ ටවුන් කණ්ඩායමට ආරාධනාව ලැබෙන්නේ. ඒ වෙද්දි මං වොයිස් ශ්‍රී ලංකා, හිරු ස්ටාර් රියැලිටි වැඩසටහන්වල අත්දැකීම් ලබලා තිබුණ නිසා ඔඩිෂන් එකෙන් සිලෙක්ට් වෙලා සෝලෝ ටවුන් සාමාජිකයන් අතරට එන්න හැකියාව ලැබුණා.
සෝලෝ ටවුන් සිනමාපටය තුළ අපි හතර දෙනාට අමතරව පස්වැන්නෙක් විදිහට රවීන් කණිෂ්ක දායක වුණා. රවීන් අයියා වගේම දුලීකා අක්කා, මිෂෙල්, ෂෙනායා අපට සෑහෙන සහයෝගයක් ලබාදුන්නා. රංගනයට ආධුනික වුණු අපට ස්ක්‍රිප්ට් එකක් කියවන්නෙ කොහොමද ඩයලොග් ඩිලිවර් කරන්නෙ කොහොමද කියන එක වගේම ඇක්ට් එකක් තුළ රිලැක්ස් වෙන විදිහත් රවීන් අයියා කියල දුන්නා. ඩාන්සින් කොරියෝග්රැෆිවලදි සුපුන් අබේසිංහ අයියා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. නිතරම නර්තනය එක්ක ගැටුණෙම යුලාන්. සුපුන් අයියා ඇක්ට් එක හදනවා. හෙට ෂූට් එක නම් අද මෙතැන මෙහෙම වුණා නම් හොඳයි කියලා යුලාන් මහ රෑ අපිව ඇහැරවගෙන එළිවෙනකන් පුහුණු කරනවා. සුපුන් අයියත් ඒක ඕකේ කරනවා. හැමදාම වගේ යුලාන් මහ රෑ අපිව ඇහැරවගෙන ඩාන්ස් කරනවා.
ෂූටින් කාලේ මාස 6ක් විතර අපි හතර දෙනා පිටකෝට්ටේ ගේක නැවතිලා හිටියා. එතැනදී තේ හදන අත්දැකීමත් ලබාගත්තා. නොනිම් තමයි මුලින්ම හැදුවේ. ටිකක් ෂේප්. කෘෘ එකේ එයා හැදුවා මෙලෝ රහක් නෑ. අන්තිමට මගේ තේ එක රහ වැටිලා හැමෝම උදේට මාව හොයන් එන්න පටන් ගත්තා. ෂූටින් නැති දවසට අපි ක්‍රිකට් ගහනවා. මං ස්කූල් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් නිසා මට හොඳට බැට් කරන්න පුළුවන්. චතුරංගන අයියටත් පුළුවන්. යුලාන්ටයි සංජානටයි හොඳට බෝල් කරන්න පුළුවන්. හරි රසවත් තැන් තිබුණා“.
රංගනය පැත්තෙන් ගත්තොත් සම්පූර්ණ නොවුණු ආදරයක් තිබුණෙ මට විතරයි. යාළුවන්ගේ චැලේන්ජ් එක භාරඅරන් ෆැලන්ට තැඹිලි ගෙඩියක් දීලා ආදරේ ප්‍රකාශ කරන්න යන මං ෆූල් එකට වැටෙන සීන් එකක් තියෙනවා. මල්ලි, ඇඳුම් වේළ වේළ ඉන්න බෑ, වැටෙන එක උඹ එක පාරෙන්ම වැටියන් කියලා සහන් අයියා කිව්වා. මාත් හොඳට ප්‍රැක්ටිස් වෙලා එක පාරෙන්ම වැඩේ ගොඩ දැම්මා.
සෝලෝ ටවුන් බෑන්ඩ් එක පටන් ගනිද්දිම BTS වගේ වෙන්න හදනවා, ඕක හරියන්නෙ නෑ කියලා ගොඩක් අය අපිට දොස් කිව්වා. මගේ ගෙදර අය මාව විශ්වාස කරලා මට දුන්න සහායත් මං මේ වෙලාවේ සිහිපත් කරනවා.
සෝලෝ ටවුන් කණ්ඩායමේ අනෙක් සාමාජිකයා තාරුක සංජාන. සංගීත වටපිටාවකම හැදුණු වැඩුණු ඔහු The Voice Sri Lanka තරගයේ අත්දැකීම් ලද්දෙකි. කුඩා කල පටන් මිනිසුන් ආදරය කරන පෆෝමින් ආර්ටිස්ට් කෙනෙක් වීමේ සිහිනය මල්ඵල ගැන්වුණු අයුරු ඔහු මෙසේ අප හා පැවසීය.
මං පුංචි කාලෙ ඉඳන්ම හීන දැක්කේ කවුරුත් ආදරේ කරන පෆෝමින් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න. රැකියාවක් කරන අතරේ මං The Voice Sri Lanka තරගයට ඉදිරිපත් වෙලා ලයිව් ෂෝ වටය දක්වා ආවා. ඒත් එක්කම මට සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමට ආරාධනා ලැබුණා. මං විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ හරි දේවල් හරිම කාලෙදී ලැබෙනවා කියන එක. පාසල් කාලෙදිත් බැට්මින්ටන් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා. මේ වෙද්දි මං විවාහකයි. ඇය අයන්ති හෙට්ටිගේ. රැකියාවයි මේ කටයුතුයි බැලන්ස් කරගන්න ඇගෙන් ලොකු සහායක් ලැබෙනවා.
උදේ 8 හවස 5 රැකියාවක නිරතවෙන කෙනෙක් විදිහට මට මේ අත්දැකීම හාත්පසින්ම වෙනස් එකක් වුණා. ඒත් මම හරිම ආසාවෙන් සම්බන්ධ වුණා. සමහර දවසට පාන්දර 2/3ට අපිව ගන්නවා. ෂූටින් ඉවර වෙද්දි ඊළඟ දවසෙ පාන්දර වෙනවා. ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය මතක් කළ යුතුමයි. ඔවුන්ගේ ජීවිත අත්දැකීම් පවා අපිත් එක්ක බෙදාගනිමින් ප්‍රවීණයන් ලබාදුන් සහාය සෑහෙන්න වටින අත්දැකීමක් වුණා. ෆිල්ම් එකෙන් පස්සේ අපි ලයිව් කොන්සට්වලට සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා.
ඡායරූප- නිශ්ශංක විජේරත්න
නාමලී ගමගේ