යොවුන් හා තරුණ පිරිසට රූපණය අනුචිතය යන අදහස පරම්පරා කිහිපයකම වැඩිහිටි ප්‍රජාව බැහැර නොකරන්නේ සිත කලකිරවන නිදසුන් ද ඉදිරිපත් කරමින්. වෙසෙසින්ම මෙතැනදී ස්ත්‍රී පාර්ශ්වය වැඩි අවදානමකට හා නොතකා හැරීමකට ලක් වෙනවා. සිනමා රූපණය සම්බන්ධයෙන් නම් මේ තතු අතිශයින්ම තීව්ර වන බව නොරහසක්. කෙසේ නමුදු මෙරට රසාලිප්ත සිනමාවට නව මුහුණුවරක් ද, නව ජවයක් ද ලබා දීමට පෙරට ආ සිනමාකරු දිනේෂ් ප්‍රියසාද් අනුගමනය කළේ මෙයට හාස්පසින්ම වෙනස් පිළිවෙතක්ය යන්න අවධාරණය කිරීම අනුචිත නැහැ. ඔහු සිය යොවුන් දියණියන් තිදෙනාම සිනමා රූපණයට එක් කරන්නේ හුදෙක් තමාගේ සිනමාපට මත පමණක්ම රැඳී සිටිය යුතුය යන අරමුණින් තොරවයි.
මේ දියණියන් තිදෙනාගෙන් පළමු වැන්නිය වන දිනක්ෂි ප්‍රියසාද් මේ වනවිට සිරිලක සිනමාවේ මතු නොව සිරිලක රූපවාහිනී වෘත්තාන්ත ඔස්සේ ද යම් රූපණ කුසලතාවක් පළ කරනු පිණිස ලකලැහැස්ති වන්නේ කෙටි කලකින් උපයා ගත් තරු ගුණය ද රැක ගනිමින්. චන්ද්‍රන් රත්නම්ගේ ‘මේ වගේ ආදරයක්’ සිනමාපටයේ සිට මේ දිනවල තිරගත කෙරෙන රන්දික විජේමාන්නගේ ‘විශ්ම’සිනමාපටය තෙක් විහිදෙන ඇගේ කැපී පෙනෙන සිනමා රූපණ දිවිය තුලනාත්මකව විමසීමේදී උක්ත සඳහන සහතික කර ගැනීම අපහසු නැත. ‘මේ වගේ ආදරයක්’ හිදී තවත් නවකයකු වූ අනුජ් රණසිංහ සමඟ ළඳ බොළඳ පෙම්වතියකගේ හැඩරුව ඇය විසින් ගෙන එනු ලබන්නේ තරුණ සිනමා රසිකයා ඇඳබැඳ තබාගනිමින්. ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී හා සරසවිය සිනමා සම්මාන උළෙලේදී මෙම රූපණය අගය කෙරෙන්නේ ඇය පිළිබඳ අනාගත අපේක්ෂා සහිතවයි. මෑතකදී ප්‍රදර්ශිත ‘විසල් ආදරේ’ සිනමාපටය සැලකිය යුතු රසික ප්‍රතිචාර ලබා ගන්නට සමත්වන්නේ දිනක්ෂිගේ සැහැල්ලු හා දඟකාර රූපණ විලාසය ද නිසා. බටහිර හා ඉන්දියානු රසාලිප්ත සිනමාවට වහ වැටී සිටින තරුණ කණ්ඩායම් අමතන්නට ඇය වැඩි වෙලාවක් ගතකරන්නේ නැහැ. ‘විසල් ආදරේ’හිදී ඇය තවත් පළමු පෙළ චරිතයක් නිරූපණය කරන නවක නිළි රශිප්‍රභා සංදීපනී පරයා යන්නේ සිනමාකරු වාසව බදුගේටත් හොරා.
‘විශ්ම’ ප්‍රදර්ශනයට එක්වන්නේ දිනක්ෂි පිළිබඳ කතාබහ තරමක් උත්සන්නව පවතින පසුබිමක. මෙයට පාදක වන්නේ මෑතදී ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කළ ‘ටේක් කෙයාර්’ නමැති ප්‍රාසාංගික රූපවාහිනී වෘත්තාන්තයේ ඇය නිරූපණය කළ ආන්දෝලනාත්මක චරිතය. වරෙක සුචරිතවාදී මිනුම් දඬු විසින් පහතට ඇද දමනු ලබන්නට වුව ඉඩ ඇති චර්යා සහිත යුවතියකගේ චරිතය දිනක්ෂි නිරූපණය කරන්නේ උචිත වැටහීමකින් යුතුව. ප්‍රධාන පුරුෂ චරිතය නිරූපණයට බට සාරංග දිසාසේකර අභිබවා යාම ඇයට කිසිසේත්ම අපහසු නොවූ බවයි දැකගත හැකි වූයේ. අවසනදී වෘත්තාන්තයේ වැඩි කොටසක් මත සිය බලය පතුරුවා හරින්නට ඇය සමත් වූවා.
සිනමාව හා රූපවාහිනිය, මාධ්‍ය ද්විත්වයක් වුවද රසික බහුතරය සිනමා හා රූපවාහිනි රූපණය විනිශ්චය කරන්නේ එකම ආකාරයකින්. මෙනිසාම ‘විශ්ම’ වෙතින් ‘ටේක් කෙයාර්’ මට්ටමේ රූපණයක් දිනක්ෂි ඔස්සේ අපේක්ෂා කිරීම ඉස්මතු වනවා. මෙතැනදී ‘විශ්ම’ හා ‘ටේක් කෙයාර්’ නිෂ්පාදිත කාල වකවානු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත්. දිනක්ෂි සිනමාව හා රූපවාහිනිය යන මාධ්‍ය ද්විත්වයේම රූපණ කාර්යයෙහි නිරත වීම නිසා මෙහි තාර්කික වටිනාකමක් ද පවතිනවා.
‘විශ්ම’ සිනමාපටයේදී දිනක්ෂි එපමණ පැතිරුණු චරිතයක් නිරූපණය කරන්නේ නැහැ. සැබැවින්ම ඇය තිරය මතට පැමිණෙන්නේ විවේක කාලයෙන් අනතුරුව. කුඩා දරුවකු මෙන් හැසිරීමට සිදුව ඇති සාරංග දිසාසේකර හා කලබලකාරී නොවන චරිතයක් නිරූපණය කරන රොෂාන් පිලපිටිය සමඟ දිනක්ෂි කෙළිලොල් නාගරික යුවතියකගේ ලකුණු සමූහයක් ගෙන හැර පාන්නේ සිනමාපටයේ එන ප්‍රකාශන දුබලතා සඟවා තැබීම තමන්ගේ ද වගකීමක් කොට සලකමින්. විවේක කාලයෙන් පසු පැමිණි නිසා නටාෂා යන චරිතයේ ඇති වැදගත්කම ලුහු කොට දැක්වීමේ කිසිදු කැමැත්තක් දිනක්ෂි පෙන්නුම් නොකරන බව කිව යුතුයි. එසේම දිනක්ෂි ඉතා ඉක්මනින් සාරංග හා රොෂාන් පසු කරන බව ද සඳහන් කළ යුතු වනවා.
දිනක්ෂි බඳු තරුණ නිළියනට රූපණ සමත්කම් විදහා දැක්වීමේ වැඩි අවස්ථා ලැබෙන්නේ රූපවාහිනියෙන්ය යන්න සත්‍යයක්. නව තේමා කරා යන තරුණ හා ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවන්ගේ තෝරා ගැනීමක් බවට මේ වන විටත් දිනක්ෂි පත්ව ඇත්තේ මේ වග සනාථ කරමින්. එසේ වුවද මෙසමයේ සිනමා අධ්යක්ෂණයට පැමිණෙන නවක ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන්ගේ වැඩි අවධානයකට දිනක්ෂි ලක් නොවීම ද නිසැකවම විද්‍යමාන වන්නක්. දිනක්ෂිගේ පිළිවෙත් කෙතෙක් දුරට මේ සඳහා තුඩු දී ඇත්දැයි යන්න පැහැදිලි නැහැ. එනමුදු රූපවාහිනිය සේම සිනමාව ද ජය ගන්නට ඇය සතු හැකියාව යටපත් නොකිරීමයි ඇවැසි වන්නේ.
තුසිත ජයසුන්දර