Home » මගේ ආදරණීයයන්ට දෙන්න ප්‍රවේශ පත්‍රත් නෑ මට ඒ අයට දෙන්න උත්තරත් නෑ

මගේ ආදරණීයයන්ට දෙන්න ප්‍රවේශ පත්‍රත් නෑ මට ඒ අයට දෙන්න උත්තරත් නෑ

ආදරණීය රෝහණ ප්‍රසංගය දෙසැම්බර් 14 සම්මන්ත්‍රණ ශාලාවේදී

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment
තුෂාරී කළුබෝවිල

– ප්‍රවේශ පත් නිකුත් කරලා සතියක් ඇතුළත සියල්ලම අලෙවි වුණා
– ඔවුන් වෙනුවෙන් යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමට ලැබීම ගැන මම සෑහීමකට පත් වෙනවා
– නිර්මාණ හයදායක් පමණ සිදු කර තිබුණත් මට අලුතෙන් ලැබෙන සෑම සංගීත අධ්‍යක්ෂණ කාර්යයක්ම අලුත්ම එකක් කියලා දැනෙනවා
– අමුතු සංගීතයන් හඹායන පිරිසක් සිටින කාලයක ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කර ගැනීම අමාරු වෙයි කියලා හිතුවා

ගීතයක මිහිර දෙසවනින් අවුත් මන රස උද්දීප්ත කරවනුයේ එහි පදවැලට මුසු කෙරෙන්නා වූ සත්සර රටාවක මියුරුතර බව නිසාමය. සෑම සංගීතඥයෙකුට ම ඇත්තේ ස්වර හත පමණි. එහි උච්චාවචනයන් අධ්‍යයනය කරමින් රස භාව මවන්නට එකී ස්වර හත ඉගෙනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එසේ නම් ඒ සඳහා සහජයෙන් උපන් කුසලතාවක් සේම සසර පුරුද්දක් ද අවැසි බව තහවුරු කරන්නා වූ ශ්‍රී ලාංකික සංගීතයේ අනන්‍යතාව ලොවට රැගෙන යන අපේ සංගීතඥයා ඔහු ය. ආචාර්ය රෝහණ වීරසිංහයන් සිය ජීවන ගමනේ හැත්තෑපස් වැනි කඩඉම පසු කරන මේ වසර ප්‍රාසාංගික සාදයක් සේ සමරද්දී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දෙසැම්බර් 14 වැනි දා සැන්දෑවේ ‘ආදරණීය රෝහණ’ විශේෂ ප්‍රසංගයෙන් අතුරු සිදුරු නැතිව පිරී යනු ඇත. කාලය පැයවලින්, දිනවලින් කොතරම් ගෙවී ගියත් ආදරණීය රෝහණයන් සක්‍රීයව නිර්මාණකරණයේ කාර්යබහුලත්වයේ රැ‍‍ඳෙමින් සංගීත කලාවට ඉටු කරන්නාවූ මෙහෙවරට සුභාශිංසන එක් කරන්නට මේ එළඹි කාලය යි.  

“ආදරණීය රෝහණ ප්‍රසංගයේ විශේෂ ප්‍රසංගයක් එළඹෙන 14 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට මම සූදානම් කළේ මගේ 75 වැනි උපන් වර්ෂය ‍මේ වසර නිසාත්, මම නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසිලා පනස් වසරක් ඉක්මවා තිබෙන නිසාත් ඒ සතුට නිමිති කරගෙනයි. මගේ හත්දාහකට වැඩි ගීත නිර්මාණ සඳහා එදා මෙදාතුර සම්බන්ධ වුණු ගායක ගායිකාවන් විශාල පිරිසක් අතරින් බොහොම අසීරුවෙන් තෝරාගත් ජනප්‍රිය ගීත 43ක් මේ ප්‍රසංගයේදී මා වෙනුවෙන් ශිල්පීන් 43 දෙනෙක් විසින් ගායනා කරනු ලබනවා. මේ වගේ කාලයක, අමුතු සංගීතයන් හඹා යන පිරිසක් සිටින බව අපට පෙනී යන මෙවන් කාලයක මං නිර්මාණය කළ ගීතවලින් යුක්ත ප්‍රසංගයක ප්‍රවේශ පත්‍ර අලෙවි කර ගැනීම බොහොම අමාරු වෙයි කියලා හිතලා අපි ඔක්තෝබර් මස අගදී මේ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න පටන් ගත්තා. මම කල්පනා කළේ ප්‍රසංගය කිට්ටු වෙද්දි හෙමින් හෙමින් ප්‍රවේශ පත්‍ර අලෙවියත් යම් කිසි ප්‍රමාණයකින් සිදු වේවි කියා යි. පුදුමය වන්නේ ප්‍රවේශ පත් නිකුත් කරලා සතියක් ඇතුළත සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් වුණා. ගැටලුව වන්නේ මේ මොහොත වන විටත් ප්‍රවේශ පත් ඉල්ලමින් මට කතා කරන, මා සොයා එන මගේ ආදරණීයයන්ට දෙන්න මට ප්‍රවේශ පත්‍රත් නෑ. ඒ අයට දෙන්න මට උත්තරත් නෑ. ඉතින් ඒ හැමෝගෙන්ම මම සමාව අයදිනවා. නැවත ‘ආදරණීය රෝහණ’ ප්‍රසංගය දෙසැම්බර් 22 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. එම විද්‍යාලයේ ශිෂ්‍ය වාදක මඬුල්ල එක්තරා ප්‍රසංගයකදී මට හමු වුණා. අපේ වෘත්තීය වාද්‍ය ශිල්පීන්ගේ තරමටම ඉතා ම දක්ෂ ලෙස වාදනය කරන ඒ වගේ ම ගායනා කරන දරුවන් කිහිප දෙනෙක්ම මම එහිදී හඳුනා ගත්තා. මගේ මහනුවර ප්‍රසංගයේදී ඒ දරුවන්ව වෘත්තීය ශිල්පීන් සමඟ මිශ්‍ර කරලා වාදනයටත්, ගායනයටත් ඔවුන් ව සම්බන්ධ කර ගත්තා. එදාට ඒ දරුවන් අපේ ශිල්පීන් සමඟ හරි හරියට ගයන වයන අයුරු දැකගන්න ලැබේවි. ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා එය විශාල අවස්ථාවක් බවට පත්වේවි. මම දන්නා තරමින් මින් පෙර එවැන්නක් කවුරුවත් කරලා නැහැ.”

අපේ රටේ ගීත පද රචකයින්ට සහ සංගීතඥයින්ට කුඩම්මාගේ සැලකිලි ලැබුණු කාලයක් අපි පසුකරගෙන ආවෙමු. මෙය මහත් ආන්දෝලනයක් බවට පත් කරමින් නීතියේ පිළිසරණ ද සෙවූ බව අපි දනිමු. නීතියේ සරණ ලැබුණත් හදවත්වලින් විවෘත නොවූවන් අදටත් ඔවුන්ට ගී පද රචනා ලබා දුන්, ඒවාට තනු නිර්මාණය කර දුන් ශිල්පීන් ‍නොසලකා හරිමින් සිටින බවට අවලාද පවතී. සමහරු අතිශය ජනප්‍රියත්වයට පත් වන්නේ ගී පද මාලාවේ ඇති ප්‍රබල වදන් හැසිරුම නිසාය. සමහරු ගී තනුව හා සංගීත සංයෝජනයේ ප්‍රබලත්වය නිසාය. එහෙත් ඉහළට නැග ගිය ඉනිමඟට පයින් ගසා තනියම උපයන්නට වෙහෙසෙන අධමයින් සිටින මෙවන් සමාජයක ආචාර්ය රෝහණ වීරසිංහයන් කර්තෘ භාග ගෙවීම සඳහා විශාල වැඩපිළිවෙළක් ද සකසා තිබීම ප්‍රශංසනීය වේ.

“මම වසර හයක් තිස්සේ මගේ යූටියුබ් නාලිකාව ඉතාම සාර්ථකව පවත්වාගෙන යනවා. ඒ තුළින් 2018 වසරේ සිට ගීත රචක රචිකාවන් තිහකට වැඩි පිරිසකට මගේ ගීතවල පද රචනා වෙනුවෙන් ඔවුන්ට හිමි කර්තෘ භාග වශයෙන් සැලකිය යුතු මුදලක් ලබා දෙනවා. අපේ රටේ මෙතෙක් නොසලකා හැරි පිරිසක් බවට ගීත රචකයින් සහ සංගීතවේදීන් පත්ව සිටියා. ඔවුන් වෙනුවෙන් මගේ යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමට ලැබීම ගැන මම සෑහීමකට පත් වෙනවා. කළගුණ සැලකීමේ ආශීර්වාදය මට ලැබෙනවා. මම මේ වන විට ‘සී මියුසික් පබ්ලිකේෂන්’ නමින් සංගීත ප්‍රකාශන ආයතනයක් ආරම්භ කරලා තියෙනවා. දැනට ලංකාවේ සංගීතඥයින්, ගීත රචකයින් සියයට හැත්තෑවක් පමණ දෙනා එහි සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එමඟින් ඔවුන් මාසිකව මුදලින් ලක්ෂ ගණනක් ඔවුන්ගේ නිර්මාණ සඳහා හිමි වියයුතු කර්තෘ භාග ලබනවා.”

ගුවන්විදුලිය, වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය, සංගීත ප්‍රසංග සියල්ලෙහි සංගීත අධ්‍යක්ෂණ කාර්යයෙහි දැවැන්තයෙකු වන ආචාර්ය රෝහණ වීරසිංහ මේ වන විටත් සක්‍රිය ලෙස සංගීත අධ්‍යක්ෂණ කාර්යයෙහි නිරතුරු ව ම යෙදෙමින් සිටින්නේ ය. ඔහුගේ සංගීතයෙන් නැඟෙන මිහිර ශ්‍රවණය කරන්නා වූ අපගේ ජීවන ආයුෂ පෝෂණය වන්නා සේම ඒ ‍ආශීර්වාදයෙන් ඔහුගේ ජීවන ආයුෂ ද නිරායාසයෙන් පෝෂණය වනු ඇත. තවත් දැවැන්ත නිර්මාණ රැසක් ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ළඟදීම ඔබ අප සැමට රසවිඳින්නට අවකාශ උදා වනු ඇත.

‍“අශෝක හඳගමගේ ‘රාණි’ චිත්‍රපටය, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ගෞතම බුද්ධ මාතා’, කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ සොහොයුරන් දෙදෙනාගේ ‘ඔබ මලකි දුවේ’ යන චිත්‍රපටවලත්, ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් මුල් වරට අධ්‍යක්ෂණයේ යෙදෙන ‘දිසාපති’ ටෙලි නාට්‍යයේත් සංගීත අධ්‍යක්ෂණ කටයුතුවල පසුගිය කාලය පුරාම නිරත වුණේ සහ තවදුරටත් නිරත වෙමින් ඉන්නවා. මේ නිර්මාණවල සංගීත අධ්‍යක්ෂණය එකිනෙකට වෙනස් ආකාරයකට කළ යුතු වුණා. මොකද හඳගමගේ ‘රාණි’ චිත්‍රපටය තේමා වෙලා තියෙන්නේ අසූඅට, අසූ නවය කාලයේ අපේ රටේ තිබුණු භීෂණයයි. රිචඩ් ද සොයිසාගේ ඝාතනය පිළිබඳ සත්‍ය පුවතක් ඇසුරෙන් හඳගම නිර්මාණය කළ ඒ චිත්‍රප‍ටය භීෂණ ඉතිහාසය සිහිගන්වන සංගීත අධ්‍යක්ෂණයකින් යුක්තයි. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ගෞතම බුද්ධ මාතා’ බෞද්ධ තේමාවක් සහිත ව බුද්ධ ඉතිහාසය ගෙන හැර පාන සෞම්‍ය බවක් සහිත චිත්‍රපටයක්. මේ චිත්‍රපට දෙකේ සංගීතය ගත්තොත් අහසට පොළොව වගේ තියෙන්න ඕනෑ. කල්පන, වින්දන දෙදෙනා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය හරි ම සංවේදී කතාවක් සහිතයි. අතිශය කාර්ය බහුල මවක් සහ කුඩා දියණියක පිළිබඳ අතිශය සංවේදී කතාවක් සහිත චිත්‍රපටයක්. මම දැන් මේ වෙනකොට නිර්මාණ හයදායක් පමණ සිදු කර තියෙනවා. නමුත් මට හැමදාමත් අලුතෙන් ලැබෙන සංගීත අධ්‍යක්ෂණ කාර්ය අලුත්ම එකක් කියලා තමයි මට දැනෙන්නේ. මගේ නිර්මාණවල අනන්‍යතාවයක් තියෙනවා කියලා බොහෝ අය කියන්නේ ඒ නිසා වෙන්න ඇති.”

හෙන්රි වීරසිංහ, සේපාලි වීරසිංහ යුවළගේ පුතු ලෙසින් 1949 පෙබරවාරි 18 වැනිදා නුවරඑළියේ උපත ලද රෝහණ වීරසිංහයන් නුවරඑළිය යහපත් එ‍ඬේරාගේ කන්‍යාරාමය, නුවරඑළිය විද්‍යාචක්‍ර බෞද්ධ විද්‍යාලය, වැලිමඩ මහා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ආදියෙන් අධ්‍යාපනය ලැබ පසුව රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් ව පශ්චාද් සංගීත අධ්‍යයන කටයුතු විශිෂ්ට ලෙස සම්පූර්ණ කළේ ය. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ඇතුළු ව පාසල් කිහිපයක සංගීත ගුරුවරයා ලෙස ද කටයුතු කළ ඔහු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ වාද්‍ය වෘන්දයේ කලක් වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කළේ ය. ආචාර්ය වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය, ආචාර්ය නන්දා මාලිනීගේ ‘ශ්‍රවණ ආරාධනා’, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ ‘ස්වර්ණ කුණ්ඩල’ ආදී දැවැන්ත ප්‍රසංග කිහිපයක ම ඔහු ප්‍රධාන වාද්‍ය ශිල්පියකු ද වූයේ ය. සරසවිය, සිග්නීස්, ස්වර්ණ සංඛ, ජනාධිපති ආදී වශයෙන් හොඳ ම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස මෙතෙක් ඔහු දිනා ඇති සම්මාන සංඛ්‍යාව විසි පහකට වැඩි ය. නර්තන ආචාර්යවරියක වූ ලීලා බියට්‍රිස් ගුරුතුමිය සමඟ 1977 වසරේදී විවාහ දිවියට එළඹෙන ඔහු කළිඳු ගජබා සහ චිරත් කනිශ්ක පුතුන් දෙදෙනාට ආදරණීය පියතුමන් වූයේය. මේ වන විට ඔහුගේ සංගීත නිර්මාණයකින් ගීයක් නොගැයූ ගායකයෙක්, ගායිකාවක් අපේ රටේ නැති තරම් ය. ආධුනිකයින්ට ඔහු තරම් අත දුන් කෙනෙක් ද නැති තරම්ය. එක් අතකින් ඒ ඔහුගේ යහගුණවත් බවය. අනෙක් අතින් ඒ ඔහු විසින් අනාගත පරපුර උදෙසා ඉටු කරන්නා වූ යුතුකම ද වන්නේ ය.

හැමදාමත් අනුන්ට ගයන්නට මියුරු තනු තනා දුන් රෝහණ ඉඳ හිට සිය හඬින් ද ගී නොගැයුවා නොවේ. එහෙම ගයන්නට ඔහුට සිතෙන්නේ බොහොම කලාතුරකිනි. මේ දිනවල ඔහුම තනු යොදා ඔහුම ගැයූ අපූරු ගීයක් කතාබහට ලක්වෙමින් පවතී. යම් කෙනෙකු මෙලොව ජීවත්ව සිටියදී ඇසුරු කරන නෑසියන්, හිතවතුන්, අසල්වැසියන් යම් දිනෙක ඔහු හෝ ඇය මෙලොවින් සමුගත් මොහොතක හදෙහි නැඟි සෝ සුසුම්, වියෝ දුක් තුරුළු කරගෙන දෙන අසල වැළපෙනු දැකීම ඵලක් නොවන බවට වූ යථාර්ථය ආචාර්ය රෝහණ වීරසිංහයන් සිය හඬින් ගයන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ පද්‍යයක් ඇසුරෙන් බන්දුල නානායක්කාරවසම් ලියා දුන් ගී පදමාලාවකට අනුව ය. විශේෂයෙන්ම රටට සමාජයට අනගි මෙහෙවර ඉටු කරන පුද්ගලයින්ට ඒ පිළිබඳ ගුණ ගී වරුසා හිමිවනුයේ මරණින් මතුවට ය. එවැනි ගුණ ගී ගැයුම්වලට වඩා වටින්නේ ඒ තැනැත්තා ජීවත් ව සිටියදී දුක සැප සතුට බෙදා ගනිමින් ජීවන ගමන සාර්ථක ව පවත්වාගෙන යාමට අවශ්‍ය කායික සහ මානසික සහාය ලබා දීම ය. ඔහු ගයන මේ ගීතයෙන් ඒ යථාර්ථය සැමට පෙන්වා දෙනු ඇත. ඔහු ගයන නිසා ම එය තවත් අර්ථවත් හා රසවත් වී ඇතැයි හැ‍‍ඟේ.

“මල් රැගෙන ඒවි මා සුහදයන්..
මෙලොව හැර ගිය දිනේ මා..
නොම දැනේ ඒ සුවඳ….
ඒ නිසා…..
මල් රැගෙන එන්න මා…
ජීවත් ව සිටියදී…..”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division