Home » සැඟවිලා තිබුණු දක්ෂතා දැන් තමයි එළියට එන්නේ කියලා හිතෙනවා

සැඟවිලා තිබුණු දක්ෂතා දැන් තමයි එළියට එන්නේ කියලා හිතෙනවා

හර්ෂි අංජුමාලා

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

– මට හිතෙනවා මං හරිම දේට පොඩි පියවරක් තැබුවා කියලා
– මගේ මහත්තයා අම්ජු කවදාවත් මට තනි වෙන්න ඉඩ දුන්නෙ නෑ

තිළිණ බොරලැස්සගේ “රාජිනී” ටෙලි නිර්මාණයේ අභී ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනා සිටි හර්ෂී අංජුමාලා හිටිහැටියේම විදෙස්ගත වීම ප්‍රේක්ෂක සිත් ව්‍යාකූලත්වයට පත්කරන්නට සමත් විය.‘රාජිනී’, ‘සිධූ’, ‘සකල ගුරු’ මෙන්ම ආරියරත්න ඇතුගලයන්ගේ ‘සහෝ’ සිනමාපටය හරහා ප්‍රේක්ෂක ඔබට අමතක නොවන මතකයක් ඉතිරි කළ ඇය කවර් සෝංග් ඔස්සේ සමාජ මාධ්‍ය තුළින් ඔබ ආමන්ත්‍රණය කළ හෙයින් ඔබේ මතකයෙන් ගිලිහී නොයන්නට ඇත. රංගනයෙන් ඈත්වුව ද ඇය නර්තනය අත්නොහැරිය බව පැහැදිලිය. දිගු නිවාඩුවක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණ සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.

කොහොමද හර්ෂි මේ සැරේ දිග නිවාඩුවක් ලැබිල වගේ?

ඔව්. මම දැන් ඔස්ට්‍රේලියාවේ මගේම කියල දෙයක් පටන් ගත්තා. නත්තල් නිවාඩුවත් එක්කම අපේ අලුත් වීසා ඉල්ලුම් කරන වැඩෙත් යෙදුණ නිසා ඊට කලින් මං විතරක් ලංකාවට ඇවිත් යන්න ආවා. අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නත් ආසාවෙන් ඉන්නවා.

හර්ෂි අංජුමාලා නම පුංචි තිරය මත දිස්වෙලත් දැන් ගොඩක් කල් නේද?

“රාජිනී” ටෙලි නිර්මාණය ඉතාම ජනප්‍රිය කාලෙදිමයි මගේ විවාහය සිදුවුණේ. විවාහයත් එක්ක මට ඔස්ට්‍රේලියා යන්න වුණ නිසා නාට්‍යයෙන් ඉවත් වෙන්න වුණා. ඒ වෙද්දිත් අභී ගොඩක්ම ජනප්‍රියයි. හැමෝම වගේ කිව්වා, ඔය තීරණය ගන්න එපා, පස්සේ ඔයාට පසුතැවෙන්න වේවි කියලා. ඒත් මං ඒ තීරණේ ගත්තා.

අභීට ලැබුණු අසීමිත ආදරේ මතක් වෙද්දි අංජුට ආයෙම එන්න හිතුණේ නැද්ද?

ගිය අලුතම “රාජිනි” යද්දි හරිම දුකයි. මාත් හිටිය නම් කියලා හිතුණා. ඒත් මගේ මහත්තයා අම්ජු කවදාවත් මට තනි වෙන්න ඉඩ දුන්නෙ නෑ. ඔස්ට්‍රේලියාවේ ඇවිදින්න එක්ක ගියා. ඇවිදලා, කාලා බීලා, ගොඩක් නිදහසේ හිටියා.

හර්ෂි වැඩිපුරම දක්ෂ නර්තනයටනේ. ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබිලා නේද?

ඇත්තටම ඔව්. ලංකාවේදි රංගනය නිසා මට ඩාන්සින් මිස් වුණා. ඒත් මට ලැබුණු චරිතවල මගේ හැකියාව පෙන්නන්න අවස්ථාව තිබුණා. අභී කියන චරිතය ගොඩනැඟිලා තිබුණෙම ඩාන්සින් එක්ක. එහේදිත් මං ඩාන්සින් කවර්ස් කළා. ඒවා යුටියුබ් දැම්ම නිසා මගේ ප්‍රේක්ෂකයන් හැමදාම මාත් එක්ක හිටියා. ඔස්ට්‍රේලියා ගිහිල්ලත් අවුරුද්දකට විතර පස්සේ මගේම කියලා ඩාන්සින් ක්ලාස් එකක් පටන් ගත්තා. මුල් දවස්වල නිකංම ඉද්දි අපේ අම්මා නිතරම මට කිව්වේ ඔයා ඉවසන්න. ඔයා ආස දේ කවදහරි ලැබෙයි කියලා. කිව්වත් වගේ මං ආසම කරන දේ අද මට ලැබිලා. මට හිතෙනවා මං හරිම දේට පොඩි පියවරක් තැබුවා කියලා. මේ වෙද්දි ක්ලාස් තුනක් කරනවා. මුලින්ම පුංචි ළමයින්ටයි වැඩිහිටියන්ටයි කැන්ඩියන් ඩාන්සින් ක්ලාස් පටන් ගත්තා. පස්සේ බොලිවුඩ්වලට කැමැති අයට බොලිවුඩ් ඩාන්ස් වගේම බොලිවුඩ් සුම්බා ක්ලාස් එකක් පටන් ගත්තා. සාමාන්‍යයෙන් මෙහේ ක්ලාස් සති තුන හතරෙන් ඉවරයි. ඒත් මම සතියකට දවසක ගානේ දිගටම කරනවා. මට ඕන කරන්නේ සල්ලි හම්බ කරන්නම නෙවෙයි මං ඉගෙන ගත්ත දේ දීලා හොඳ ගෝල‍ෙයා් ටිකක් බිහි කරන්න. මුල්ම දවසේ මගේ ළඟට ආවේ ළමයි තුන්දෙනයි. ඊට පස්සේ හතර පහ වෙලා පිරෙද්දි මං තමයි ඉඩ ප්‍රමාණය අනුව සීමා කරගත්තේ.

ඔස්ට්‍රේලියාවේ දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒකට නම් කියන්න වචන නෑ. පුදුමාකාර ආදරයක් ලැබෙනවා. වෙන පන්තිවලට යන්න අකැමැති ළමයි ඩාන්සින් ක්ලාස් එක තියෙන දවස එනකල් බලාගෙන ඉන්නවා. මේ පාර වැකේෂන් එකට ලංකාවට එද්දි එයාලා ඇස්වල කඳුළු පුරවගෙන “ටීචර් ආයෙ එන්නෙ කවද ද?“ කියලයි ඇහුවේ. ඒ රටේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට වඳින සංකල්පය නෑනේ. ඒත් මේ දරුවන් හැමෝම ක්ලාස් එක පටන් ගනිද්දි වගේම අවසන් කරද්දිත් දණ ගහලා වඳිනවා. මං දීපවාලි එකට භරත නාට්‍යයක් කළා. ටැමිල් අයගෙන් සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා. ඒ අය මගේ ළඟටම ඇවිත් ගොඩක් අගය කළා. හැමෝම කිව්වේ ඔයා හරියටම ඒ දේ ඉගෙන ගෙන තියෙනවා. ඔයා ඒ මුද්‍රා හරියටම තිබ්බා කියලා. ඒකෙන් පස්සේ මට තවත් බලාපොරොත්තුවක් ඇතිවුණා, භරත නාට්‍ය ක්ලාස් එකක් පටන් ගන්න. ලබන අවුරුද්දේ දෙසැම්බර්වල Harshi Anjumala Live in Concert එක තියන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට මගේ පන්තියේ දරුවන්ගේ දක්ෂතාත් එකතු කරනවා. ලංකාවෙදි වැඩක් කරද්දි කවුරුහරි ගුරුවරයෙක්ගෙන් උදවු ගත්තා. ඒත් දැන් මම කොරියොග්‍රැෆි කරගෙන තනියම ඇක්ට් එක හදා ගන්නවා. මා තුළ සැඟවිලා තිබුණු දක්ෂතා දැන් තමයි එළියට එන්නේ කියලා හිතෙනවා.

අම්ජුගෙන් ලැබෙන සහාය ගැන කතා කළොත්?

ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බෑ. ඉස්සර මගේ අම්ම තමයි මගේ පස්සෙන්ම ඉඳන් හැමදේම සොයලා බැලුවේ. ඕනෑම දුවෙක් කැමැති තාත්තා වගේ කෙනෙකුට. ඒත් මට ඕන වුණේ අම්ම වගේ කෙනෙක්. මං තාත්තටත් හරි ආදරෙයි. අම්ජු කියන්නෙත් මගේ අම්ම වගේම මං ගැන හොයලා බලන කෙනෙක්. ගොඩක් අයට විවාහයෙන් පස්සේ තමන් ආස කරන දේ අතහරින්න වෙනවා. ඒත් මට විවාහයෙන් පස්සේ තමයි මං ආසම කරන දේවල් කරන්න ලැබුණේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division