Home » ශ්‍රී ලංකාවේ ‘රේස් ඉරේස්’ කරන හැටි
බල තණ්හාව ඉහවහා ගිය නිලධාරින්

ශ්‍රී ලංකාවේ ‘රේස් ඉරේස්’ කරන හැටි

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ලොව වේගවත්ම ක්‍රීඩාවක් වන ‘මෝටර් රේසිං‘ ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූවකි. අහස ගිගුම් දෙන වේගයෙන් තරගකරුවන් එකිනෙකා අබිබවා ජයග්‍රහණය හඹා යද්දී ක්‍රීඩාලෝලීන් බලා සිටින්නේ අයාගත් මුවින් යුතුවය. එහෙත් ඔවුන්ගේ නෙත නොගැටෙන අප්‍රසන්න සිදුවීම් රැසක් මෙරට මෝටර් රේසිං තරගවලට යටින් අඩු වැඩි වශයෙන් සිදුවන බව නොකියාම බැරිය. ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා ක්ෂේත්‍රවල මෙන්ම මෝටර් රේසිං ක්‍රීඩාවේ ද ක්‍රීඩකයන්ට සිදුවන අසාධාරණකම් එමටය. මෝටර් රථ තරග සහ යතුරුපැදි තරග දෙඅංශයේම ඒවා සිදු වෙයි.

විවිධ ක්‍රීඩා සංගම් නිලධාරීන්ගේ බල තණ්හාව හේතුවෙන් කුඩම්මාගේ සැලකිල්ලට ගොදුරු වන බොහෝ රේසිං ක්‍රීඩකයන් වර්තමානය වන විට ක්‍රීඩාවෙන් ඈත්වෙමින් සිටින අතර, තරගකරුවන්ගේ සහභාගිත්වය පවා අවම මට්ටමකට ඇද වැටෙමින් තිබේ. මේ හේතුවෙන් ඇතැම් ඉසව් අවසන් මොහොතේදී තරගාවලියෙන් අවලංගු කිරීමේ තත්ත්වයක් ද උදාවී ඇත්තේ ක්‍රීඩාවේ අනාගතය ගැන අවිනිශ්චිතභාවයක් ඇති කරමිනි. ඕනෑම ක්‍රීඩාවක මෙන්ම මෝටර් රේසිං ක්‍රීඩාවේ ද පරිහානියට හේතු වන්නේ බලලෝභී නිලධාරීන්ගේ ක්‍රියාකලාපයයි. මෝටර් රේසිං ක්‍රීඩාවට ලොල්වූ මෙරට ක්‍රීඩාලෝලීන්ගේ උනන්දුව සහ ආකර්ෂණය ද පහළ වැටීමට හේතු වී ඇති මෙවැනි අකටයුතුකම් ක්‍රීඩාවේ අනාගතයට ඇති කරන බලපෑම් ඉතා බරපතළ ය. ‘සිළුමිණ‘ මේ ගවේෂණාත්මක සටහන පළ කරනු ලබන්නේ තරගකරුවන්ගේ සහභාගිත්වය නැවත ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත්, ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීමටත් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණ ඇතිවය. එය ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීමට හේතු වනු ඇත.

බෝඩ් ලෑලි සංගම්

මෝටර් රේසිං ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇත්තේ මෝටර් රථ සහ යතුරුපැදි ලෙස වෙන් වෙන් වශයෙනි. මෝටර් රථ සඳහා මව් සංගමය ලෙස ශ්‍රී ලංකා ඔටෝමොබයිල්ස් (Sri Lanka Automobile Sports -SLAS ) කටයුතු කරන අතර, ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය (Federation of Motorcycle Sports in Sri Lanka -FMSSL) යතුරුපැදි ක්‍රීඩාව සඳහා කටයුතු කරන මව් සංගමය වේ. ඒ අනුව එම මව් සංගම් ද්විත්වයම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනතට බැඳී සිටී. මෙරට සියලු යතුරුපැදි හා මෝටර් රථ ක්‍රීඩා සමාජ එම සංගම් ද්විත්වය යටතේම ලියාපදිංචි වී සිටින අතර, එවැනි ක්‍රීඩා සමාජවලින් දෙදෙනකු බැගින් මව් සංගමය නියෝජනය කරති. මව් සංගමයේ නිලවරණයේදී ඡන්ද අයිතිය හිමිවන්නේ එම නියෝජිතයන්ටය. විධායක කමිටුව තෝරා පත්කරගනු ලබන්නේ සෙසු ක්‍රීඩා සංගම්වල සිදුවන ආකාරයෙන් මව් සංගම්වල නිලවරණයේදීය. රේසිං අනාගතය අඳුරට තල්ලු කිරීමේ ආරම්භයත් එතැනින්මය. එය සිදුවන්නේ නිලවරණයේදී සිය පාර්ශ්වයට තනතුරු සඳහා පත්වීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී මට්ටමක නොපවතින ක්‍රීඩා සමාජ බිහි කිරීමෙනි. බෝඩ් ලෑලි සංගම් නොඑසේ නම් ‘පේපර් ක්ලබ්ස්‘ ලෙස හුදෙක් කඩදාසියට පමණක් සීමා වූ ක්‍රීඩා සමාජ හතු පිපෙන්නාක් මෙන් රට හැමතැන බිහි වන්නේ එම පටු අරමුණ ඉටු කරගැනීමේ චේතනාවෙන් කටයුතු කරන බලලෝභී නිලධාරීන්ගේ මූලිකත්වයෙනි.

රේසිං තරගාවලි පවත්වනු ලබන්නේ මව් සංගම්වලින් නොව එහි ලියාපදිංචි ක්‍රීඩා සමාජවලින් වන අතර, මව් සංගම්වල ඡන්ද අයිතිය ලබාගැනීමට නම් ක්‍රීඩා සමාජ විසින් වසරකට මෙහෙයවිය යුතු නියමිත තරගාවලි සංඛ්‍යාවක් ද නියම කර තිබේ. එවැනි අවස්ථාවල ඊළඟ නිලවරණයේදිත් බලයේ රැඳී සිටීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් මව් සංගම්වල නිලධාරින් බොහෝ විට හිතවාදී ක්‍රීඩා සමාජවලට අවශ්‍ය තරගාවලි ප්‍රමාණය සම්පූර්ණ කිරීමට වටපිටාව සකස් කර දෙන අතර, විරුද්ධ පාර්ශ්වයේ ක්‍රීඩා සමාජවල ඡන්ද අයිතිය අහෝසි කිරිමේ අරමුණින් විවිධ හේතු පෙන්වා එම ක්‍රීඩා සමාජ සඳහා නියමිත තරගාවලි ප්‍රමාණය සම්පූර්ණ කිරීමේ අවස්ථාව අහුරා දමයි. මෙරට රේසිං ක්‍රීඩාවේ ගැටලු, මතභේද හා ගැටුම් නිර්මාණය වන්නේ එවැනි කරුණුවලිනි.

රොදර්හැම් ධාවන පථයේ ගැටුම

පසුගියදා කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා මෝටර් රේසිං ධාවන පථයේ පැවැති රොදර්හැම් තරගාවලියේදී ප්‍රවීණ යතුරුපැදි ධාවන ශූරයකු සහ තරගාවලියේ scrutinize කාර්යභාරය එනම් අදාළ යතුරුපැදිය තරගයට අවශ්‍ය නීතිරීතිවලට අනුකූල ප්‍රමිතියක පවතින බවට තහවුරු කරන නිලධාරියකු අතර ගැටුමක් සිදු වූ බවට තොරතුරු වාර්තා විය. ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (SLADA) විසින් මෙහෙයවනු ලැබූ එම තරගාවලියේදී එම කාර්ය භාරය සිදු කළ වෙනත් නිලධාරියකු විසින් ඉහත කී තරගකරුගේ යතුරුපැදිය පරීක්ෂා කිරීමෙන් පසු ඒ සඳහා අනුමැතිය දුන් බවට වන ස්ටිකරය ඇලවූ බවත්, පසුව ඔහු සමඟ කටයුතු කළ තවත් නිලධාරියකු පැමිණ එම ස්ටිකරය ගලවා ඉවත් කිරිමට පියවර ගත් බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. දෙදෙනා අතර ගැටුමට හේතු වූයේ එම සිදුවීමය. එය මෙරට මෝටර් රේසිං ධාවන ක්ෂේත්‍රය තුළ සිදුවූ පළමු ගැටුම නොවන අතර, එවැනි අවාසනාවන්ත සිදුවීම් වැළැක්වීමට බලධාරීන් පියවර ගන්නා තුරු අවසන් සිදුවීම ද නොවනු ඇත. තරගකරු මෙරට රේසිං ක්‍රීඩාවේ දශක දෙකකට වැඩි අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම යතුරුපැදි ධාවන ශූරයෙකි. ඔහු වසර ගණනාවක් රොදර්හැම් තරගාවලියේ යතුරුපැදි ශූරතාව දිනාගැනීමටත් සමත් වූ තරගකරුවෙකි. නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ඔහු අධික කෝපයට පත්වී ගැටුම ඇති කරගත් බවත් වාර්තා විය. ඔහුගේ යතුරුපැදියට අවසර නොදීමට නිලධාරියා උත්සාහ කර ඇත්තේ තරගකරු මේ වනවිට යතුරුපැදි මව් සංගමයේ තහනමකට ලක්වී සිටීම හේතුවෙන් බවත් පසුව සඳහන් විය. එහෙත් ක්‍රීඩකයකුගේ තරග කිරීමේ අයිතිය අහෝසි කිරීමට තරගාවලියක scrutinize නිලධාරියකුට ඇති අයිතිය කවරේදැයි ගැටලුසහගතය. මන්ද ඔහුගේ රාජකාරිය තරගයට එක්වන ධාවකයන්ගේ යතුරුපැදියේ තත්ත්වය අදාළ නීතිරෙගුලාසිවලට හා ප්‍රමිතියට අනුව පවතින්නේදැයි යන්න තහවුරු කිරීම පමණක් වන බැවිනි. යම්කිසි තරගකරුවකු විසින් යොමු කරනු ලබන අයැදුම්පත පිළිගැනීම සහ ඔහුට තරග වැදීමට අවසර ලබාදීම තරගාවලිය මෙහෙයවනු ලබන ක්‍රීඩා සමාජය සතු කාර්යභාරයකි. තරගකරු ධාවන පථයට පිවිසෙන්නේ ඒ අනුවය.

පැරැණි කෝන්තර පිරිමසා ගැනීම

මෙරට දෙවැනි පැරැණිතම යතුරුපැදි ක්‍රීඩා සමාජය වන ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය නියෝජනය කරන අදාළ තරගකරුට යතුරුපැදි සඳහා වන මව් සංගමය විසින් විනය පරීක්ෂණයක් මගින් වසරක තරග තහනමක් පනවා ඔහුගේ ධාවන බලපත්‍රය අවලංගු කරනු ලැබුවේ නීතිවිරෝධී තරගාවලියක් පැවැත්වීමේ චෝදනාව මත ය. මේ වසරේ මුල් භාගයේදී ඔහු විසින් පවත්වනු ලැබූ බව කියන එම තරගාවලිය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර ඇත්තේ ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය යටතේ එය සංවිධාන කළ බව කියමිනි. එම ක්‍රීඩා සමාජය ඒ වනවිට වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් තහනමකට ලක්වී සිටි අතර, තරගාවලිය නීතිවිරෝධී බවට මව් සංගමයේ විනය කමිටුව තීරණය කර ඇත්තේ එබැවිනි. එහෙත් සැබැවින්ම එහිදී සිදුවූයේ තරගාවලියක් පැවැත්වීම නොව කෝඩුකාර තරගකරුවන් දැනුවත් කිරීම සඳහා නොමිලේ වැඩසටහනක් පැවැත්වීම බවත්, එය නීතිමය අවසරයක් යටතේ සිදු කළ එකක් බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. තහනමට ලක්වූ ක්‍රීඩා සමාජය ඊට සම්බන්ධ වී ඇත්තේ අනුග්‍රාහකයකු ලෙස පමණි. තරගකරු නියෝජනය කරන යතුරුපැදි සමාජයේ තහනම ද ගැටලුසහගත බව බොහෝ පාර්ශ්වවල අදහස වී තිබේ. යතුරුපැදි සමාජයට තහනම පනවා ඇත්තේ එහි සංවිධායකත්වයෙන් පැවති තරගාවලියක එක්තරා ඉසව්වකට තරගකරුවන් තිදෙනකු පමණක් සහභාගි කරවීම නීතිවිරෝධී බවට චෝදනා කරමිනි. එය ගොනු කර ඇත්තේ යම්කිසි තරගයක් පැවැත්වීමේදී ඊට අවම වශයෙන් තරගකරුවන් පස්දෙනකු සිටිය යුතුවීමේ නීතිය යටතේය. එහෙත් එය යතුරුපැදි මව් සංගමයේ පෙර පාලන සමයේ සිදුවූවාක් බවත්, අදාළ යතුරුපැදි ක්‍රීඩා සමාජය මෙරට කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කීමත්, ඊට පෙර කිසිදු නීතිවිරෝධී සිදුවීමකට සම්බන්ධ නොවීමත් සලකා බලා අවවාද කිරීමකට පමණක් සීමා වූවක් බව වාර්තා වේ.

පසුව පත්වූ යතුරුපැදි මව් සංගමයේ නිලධාරී මණ්ඩලය කෝන්තර පිරිමසා ගැනීම සඳහා එම පැරැණි සිදුවීම නැවත විමර්ශනයට ලක් කර තහනම පැනවූ බවට තොරතුරු වාර්තා විය. එය යතුරුපැදි මව් සංගමයේ වත්මන් සභාපතිවරයා සහ තහනමට ලක්වූ තරගකරු අතර දිගු කාලයක සිට පවතින පෞද්ගලික කෝන්තරයක ප්‍රතිඵලයක් බව ක්‍රීඩාවේ රැඳී සිටින මධ්‍යස්ථ තරගකරුවන්ගේ අදහස වී තිබේ.

ඩීජීගේ ඉල්ලීම ඉවත දැමීම

අදාළ තරගකරුට රොදර්හැම් ධාවන පථයේදී අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවූයේ තරගාවලියට සහභාගිවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද තරගාවලියේ සංවිධායකත්වයෙන් ලිඛිතව ඉල්ලීමක් පවා කර තිබියදී බවත් වාර්තා වේ. එම ඉල්ලීම කර ඇත්තේ තරගකරු විසින් ඔහු නියෝජනය කරන යතුරුපැදි ක්‍රීඩා සමාජයට එරෙහිව පනවනු ලැබූ තහනමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව වෙත ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට ගැනීමෙන් පසු ලබා දුන් නිර්දේශ මත ය. එමගින් තරගකරු නියෝජනය කරන යතුරුපැදි ක්‍රීඩා සමාජයේ තහනම පදනමක් නැති බව සඳහන් කරමින් එය ඉවත් කරන ලෙසට නිර්දේශ කර තිබූ අතර, ඊට එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද ලැබී තිබූ බව වාර්තා වේ. යතුරුපැදි ක්‍රීඩා සමාජයේ තහනම අහෝසි වීමත් සමඟ තරගකරුගේ තහනම තවදුරටත් වලංගු නොවේ. එහෙත් එම ක්‍රීඩා සමාජයේ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා යතුරුපැදි මව් සංගමය වෙත අවස්ථා ගණනාවකදීම ලිඛිතව දැනුම්දීමට ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට සිදුවීම එක අතකින් විමතියට කරුණකි.

යතුරුපැදි ක්‍රීඩා සමාජයේ තහනම ඉවත් කිරිමට අභියාචනා කමිටුව නිර්දේශ කර ඇති බව දන්වා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මව් සංගමයට පළමු දැනුම්දීම සිදු කරනු ලබන්නේ පසුගිය අප්‍රේල් මස 10 වැනිදා ය. අනතුරුව මැයි මස 31 වැනිදා දෙවැනි දැනුම්දීම සිදු කරනු ලබන්නේ තහනම ඉවත් කළ බව ජූනි මස 14 වැනිදාට පෙර තහවුරු කරන ලෙසටය. ඊළඟ දැනුම් දීම ජූලි මස 19 වැනිදා සිදු කරනු ලබන්නේ ප්‍රමාදයකින් තොරව තහනම ඉවත් කරන ලෙසටය. යළි අගෝස්තු මස 15 වැනිදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යතුරුපැදි මව් සංගමයට ලිඛිතව දැනුම් දෙනු ලැබුවේ තහනම ඉවත් කිරීමට කාරුණික වන ලෙසටය. ඊට ප්‍රතිචාර දක්වමින් යතුරුපැදි ක්‍රීඩා මව් සංගමය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත්තේ අභියාචනා කමිටුවේ නිර්දේශ නැවත සලකා බලන ලෙසටය. පසුගිය ඔක්තෝබර් මස 28 වැනිදා යොමු කර ඇති එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔක්තෝබර් මස 30 වැනිදා යතුරුපැදි මව් සංගමයට දැනුම් දෙනු ලැබුවේ එම ඉල්ලීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බවත්, ක්‍රීඩා පනතේ 30 වැනි වගන්තියට අනුව යම් අභියාචනාවක් සම්බන්ධව ක්‍රීඩා ඇමැතිවරයාගේ තීරණය අවසන් තීරණය වන බැවින් සහ ඇමැතිවරයා විසින් අනුමත කරනු ලැබූ අභියාචනා කමිටුවක නිර්දේශයකට එරෙහිව නැවත අභියාචනා කළ නොහැකි බැවින් වහාම එම තහනම ඉවත් කර තමා වෙත දැනුම් දෙන ලෙසටය.

යතුරුපැදි මව් සංගමයේ දෙබිඩි පිළිවෙත

අභියාචනා කමිටුවේ නිර්දේශවලට සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම්වලට අවනත නොවී යතුරුපැදි ක්‍රීඩා මව් සංගමයේ නිලධාරීන් ශ්‍රී ලංකා යතුරුපැදි සමාජයේ තහනම ඉවත් කිරීම ප්‍රමාද කිරීමෙන් මව් සංගමයේ සභාපතිවරයා හා අදාළ තරගකරු අතර පවතින පෞද්ගලික කෝන්තරයේ දිග පළල මැනවින් පැහැදිලිය. අනිත් අතට තරගකරුවන් තිදෙනකු පමණක් තරගයකට යොදා ගැනීමෙන් නීතිය උල්ලංඝනය කළ බවට යතුරුපැදි ක්‍රීඩා සමාජයට තහනමක් පනවනු ලැබූ මව් සංගමය සිය හිතවාදී ක්‍රීඩා සමාජයක සිදුවූ ඊට වඩා බරපතළ සහ විමතිය දනවනසුලු සිදුවීමක් ද මේ සමඟම අනාවරණය වී තිබේ. එය සිදුවී ඇත්තේ පසුගියදා ගිරිඋල්ල මහමේරුව තරගාවලියේදීය. එම තරගාවලියේ එම්එක්ස් 250සීසී තරග ඉසව්වට ඉදිරිපත් වී ඇත්තේ තරගකරුවන් තිදෙනකු පමණි. එම තරගාවලියේම 125 සීසී තරග ඉසව්වට ද තරගකරුවන් ඉදිරිපත්වී ඇත්තේ තිදෙනකු පමණි. ඒ අනුව සංවිධායකයන් තීරණය කර ඇත්තේ එම තරගකරුවන් 6 දෙනාම ඇතුළත් කර ඒකාබද්ධ තරගයක් ලෙස පැවැත්වීමටය. තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේදී 250 සීසී යතුරුපැදි ධාවකයන්ට සහ 125සීසී යතුරුපැදි ධාවකයන්ට වෙන් වෙන් වශයෙන් ත්‍යාග පිරිනැමීමට එකඟතාව පළ වී තිබේ. එම තරගයේ පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය ලබා ඇත්තේ 250 සීසී යතුරුපැදි ධාවකයෝය. තුන්වැනි ස්ථානයෙන් තරගය අවසන් කර ඇත්තේ 125සීසී තරගකරුවෙකි. සිව්වැනි ස්ථානයට පත්වී ඇත්තේ 250සීසී යතුරුපැදියෙන් තරග වැදුණු තරගකරුවෙකි. පස්වැනි සහ 6 වැනි ස්ථානවලට 125 සීසී තරගකරුවන් පත්වී තිබේ. ඒ අනුව දෙඅංශයෙන්ම ජයග්‍රහණයට තෑගි පිරි නැමීමේදී සිව්වැනි ස්ථානයට තරගය අවසන් කළ 250සීසී තරගකරුට 250සීසී කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමි විය යුතුව තිබිණි. තුන්වැනි ස්ථානයෙන් තරගය අවසන් කළ 125සීසී තරගකරු එම අංශයේ ජයග්‍රාහකයා වන අතර, තරගයේ පස්වැනි හා 6 වැනි ස්ථානවලට පත්වූ එම අංශයේ සෙසු තරගකරුවන් දෙවැනි හා තුන්වැනි ස්ථානවලට පත්විය යුතුය. එහෙත් සිදුවී ඇත්තේ තුන්වැනි ස්ථානයෙන් තරගය අවසන් කළ 125සීසී තරගකරු 250සීසී තරගයේ තුන්වැනි ස්ථානයට පත් කිරීමය. එපමණක් නොව ඔහු 125සීසී තරගයේ ජයග්‍රාහකයා බවටත් පත් කිරීමටය. එය සිදුවී ඇත්තේ එම අවස්ථාවේදී එහි සිටි යතුරුපැදි මව් සංගමයේ නිලධාරීන්ගේ උපදෙස් මත බවට ද තොරතුරු වාර්තා විය. එකම තරගයක එකම තරගකරුවකුට ජයග්‍රහණ දෙකක් හිමිවීමට නීතිරෙගුලාසිවලට අනුව ඉඩක් නොමැතිවුවද, තම හිතවත් ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ 125සීසී තරගකරුට අවසානයේදී එකම තරගයකින් කුසලාන දෙකක්ම හිමිකර දීමට යතුරුපැදි මව් සංගමයේ නිලධාරීන් කටයුතු කළ බවට වාර්තා වේ. 250සීසී අංශයෙන් තුන්වැනි ස්ථානය ලැබිය යුතුව තිබූ සිව්වැනි ස්ථානයෙන් තරගය අවසන් කළ තරගකරු තමාට සිදුවූ අසාධාරණය පිළිබඳ බලධාරීන්ට පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද එය එකම තරගයක එකම තරගකරුවකු පළමු හා තුන්වැනි ස්ථාන දෙකම අත්කරගත් ලෝක යතුරුපැදි ක්‍රීඩා ඉතිහාසයේ පළමු අවස්ථාව බවට ඉතිහාසගත වනු ඇත.

ක්‍රීඩාවේ පරිහානිය

මෝටර් රේසිං ක්‍රීඩාවේ පරිහානියට මෙවැනි කරුණු ගණනාවක්ම බලපා තිබේ. නිලධාරින්ගේ හිතවත්කම්, ඡන්දය ලබාගැනීමට බෝඩ්ලෑලි සංගම් පත් කිරීම, ප්‍රතිවාදී ක්‍රීඩා සමාජවලට සහ තරගකරුවන්ට කෙනෙහිලිකම් සිදු කිරීම වැනි පටු අරමුණු වෙනුවෙන් බලලෝභී නිලධාරින් සිදු කරන අකටයුතුකම් හේතුවෙන් වළපල්ලට ඇද වැටෙමින් පවතින්නේ සියවසකට ආසන්න ඉතිහාසයක් හිමි මෙරට මෝටර් රේසිං ක්‍රීඩාවය. දැන් උදාවී ඇත්තේ මෙවැනි හේතු මත දැඩි කළකිරීමකට පත්වන තරගකරුවන් ක්‍රීඩාවෙන් ඈත්වෙන යුගයකි. මෝටර් රේසිං නරඹන්නන්ගේ උනන්දුව ද ඈත්වෙමින් පවතින යුගයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division