ආත්ම විශ්වාසය… අප්‍රතිහත ධෛර්යය… කැපවීම ඕනෑම අයකුගේ ජීවිතය ඔසවා තබන සාධක ගොන්නක්. ලෝක ප්‍රකට පුද්ගලයන් එවැනි සාධක මතින් සාර්ථකත්වය කරා රැගෙන ගිය අවස්ථා එමටයි. එය ක්‍රීඩාවටත් පොදු කාරණාවක්. පසුගියදා ඉතාලියේ මිලාන් නුවරට උතුරින් පිහිටි අවුරුදු 102ක් පැරැණි මොන්සා මෝටර් රථ ධාවන පථයේ ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය වූ පළමු අවස්ථාව ඉතිහාසයට එකතු කළ 17 හැවිරිදි යෙවාන් ඩේවිඩ් එවැනි සාධක මතින් ඔහුගේ සිහින සැබෑ කරගැනීමේ ඉලක්කය කරා යමින් සිටින ධෛර්යසම්පන්න යොවුන් ක්‍රීඩකයෙක්. ඔහු වරක් නොව දෙවරක්ම ශ්‍රී ලංකාවේ ජාතික ගීය මොන්සා මෝටර් රථ ධාවන පථයේ වාදනය කිරීමට සැලසුවේ අතිවිශිෂ්ට ජයග්‍රහණ දෙකක්ම අත්කර ගනිමිනුයි.
යෙවාන් ඩේවිඩ් ශ්‍රී ලංකාවේ නැඟී එන ෆෝමියුලා මෝටර් රථ ධාවන ශූරයෙක්. ඔහු එදා යුරෝ ෆෝමියුලා ජාත්‍යන්තර විවෘත තරගාවලිය ජය ගත්තේ එවැනි ස්වර්ණමය අවස්ථාවක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසිනුයි. පළමු තරගයේ ජයග්‍රහණ උණුසුම මැකී යෑමටත් පෙර තරගමාලාවේ තුන්වැනි තරගයත් ජය ගත්තේ ජාත්‍යන්තර ෆෝමියුලා මෝටර් රථ තරග බිමේ අනාගත තරුවක් බවට පත්වීමේ පෙරනිමිති පහළ කරමින්. බ්‍රසීලයේ හිටපු සුපිරි ෆෝමියුලා වන් ධාවන ශූරයකු වන රූබන්ස් බැරිචෙලෝගේ පුත්‍රයා ෆර්නැන්ඩෝ බැරිචෙලොත් එදා තරගයට සහභාගි වුණා. ඉතිරි තරගකරුවොත් යෙවාන් තරමට කෝඩුකාරයන් නොවූවත්, යෙවාන් අබිබවා යෑමට ඒ කිසිවකු සමත් වුණේ නෑ. තරග දෙකක ජයග්‍රහණ පමණක් නොව ඔහු මුළු තරගාවලියේම පෙරළිකාර ක්‍රීඩකයාට පිරිනමන ‘රොකී‘ සම්මානයත් දිනාගත්තා.
‘ඒක මගේ හීනයක්…. ඒ කාලයේ ලුවිස් හැමිල්ටන් ෆෝමියුලා පදිනවා මම බලා හිටියේ හරිම ආසාවෙන්.’ යෙවාන් කියන්නේ ලොව නොම්මර එකේ ෆෝමියුලා වන් ධාවන ශූරයා ගැනයි. බ්‍රිතාන්‍ය ජාතික හැමිල්ටන් මුලින්ම ෆෝමියුලා වන් තරග බිමට එක්වුණෙත් යෙවාන් උපන් 2007 වසරේදීමයි.
සියවසකට පමණ පෙර ලෝක මෝටර් රථ ධාවන තරග බිමට එකතු වුණු ෆෝමියුලා අධිවේගී මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නේ කාණ්ඩ ගණනාවකින් යුතුවයි. එහි ප්‍රමුඛතම හා ලොවම අවධානය දිනාගත් තරගය හඳුන්වන්නේ ‘ෆෝමියුලා වන්’ නොඑසේ නම් F1ලෙසයි. ‘ෆෝමියුල් 2’ කියන්නේ ඊට සේන්දු වීමට බලා සිටින තරගකරුවන්ගේ තෝතැන්නයි. එය සලකනු ලබන්නේ ‘ෆෝමියුලා වන්’ තරග බිමට සේන්දු වන තරගකරුවන්ගේ ඉවසීම පරීක්ෂා කරන පුහුණු තරග හැටියටයි. තවදුරටත් ප්‍රධානතම තරගයට ළඟා වීමට තරගකරුවන්ට අවස්ථාව උදාවන්නේ ‘ෆෝමියුලා 3’ තරගවලිනුයි. ‘ෆෝමියුලා ෆෝ’ තරගය වෙන්වී ඇත්තේ කනිෂ්ඨ තරගකරුවන්ටයි. එදා ඉතාලියේදී යෙවාන් ජය ගත්තේ මේ ‘ෆෝමියුලා 4’ තරගමාලාවයි.
ෆෝමියුලා වන් මෝටර් රථ තරග පැදීමේ සිහිනය දකින ඕනෑම පොඩිත්තෙක් වගේම යෙවානුත් දැන් ක්‍රමක්‍රමයෙන් සේන්දු වෙමින් සිටින්නේ ඒ ඉලක්කය වෙතයි. ලොව විශිෂ්ටතම ෆෝමියුලා වන්’ තරගයකට එක්වීමත් එක අතකට ඕනෑම තරගකරුවකු ලබන ස්වර්ණමය අවස්ථාවක්.
‘මම අවුරුදු හයේදී රේසින් පටන් ගනිද්දී හිතේ තිබුණු එකම හීනය ෆෝමියුලා තමයි. ගෝ කාර්ට් එකක් පදින්න පටන්ගත්තට පස්සේ මට ලුවිස් හැමිල්ටන් තරම් වීරයෙක් තවත් හිටියේ නෑ. ඊට පස්සේ ඒ හීනය හෙමින් හෙමින් සැබෑ වීගෙන ආවා. මම ජාත්‍යන්තර ෆෝමියුලා තරග බිමටත් සේන්දු වුණා. ඒක විස්මිත ගමනක්. ෆෝමියුලා 4 කියන්නේ F3 හා F2 වලට ළඟාවීමයි. ඒක F1 තරගවලට තවත් ආසන්න වීමක් කිව්වොත් හරි. ඉතින් හැම අවුරුද්දෙම මගේ හීනය සැබෑවීගෙනයි යන්නේ. දැන් මට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒක තමයි මාව ඉස්සරහට යන්න තල්ලු කරන්නේ.‘ යෙවාන් ඔහුගේ සිහිනය ගැන කියන්නේ එහෙමයි.
ජේක් සැන්සන් කියන්නේ ජාත්‍යන්තරය පිළිගත් මෝටර් රථ ධාවන තරග විස්තර විචාරකයෙක්. ඔහු යෙවාන් හඳුන්වා දෙන්නේ ‘ශ්‍රී ලංකාව ෆෝමියුලා වන් තරග වෙත ගෙන යෑමට නියමිත මිනිසා’ හැටියටයි. එය එක අතකින් අනාවැකියක්. අනිත් අතින් හැම ආකාරයෙන්ම යෙවාන්ව කදිමට තක්සේරු කිරීමක්.
‘ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ලැබීමත් ගෞරවයක් කොට සලකන යෙවාන්ගේ ජයග්‍රහණ පසුපස සිටින්නේ ඔහු පමණක් නොවෙයි. ඕනෑම මෝටර් රථ හා යතුරුපැදි තරගකරුවකුටම මෙන් යෙවාන්ටත් කණ්ඩායමක් සිටිනවා. කළමනාකරුවෙක්, ශාරීරික පුහුණුකරුවෙක්, ගෝලීය සබඳතා කළමනාකරුවෙක් ඇතුළු කණ්ඩායම තමයි යෙවාන්ගේ ජයග්‍රහණයේ
කොටස්කරුවෝ.
‘මේ අවුරුද්දේ F4 වලින් ෆෝමියුලා තරග බිමට සේන්දු වුණාට පස්සේ මගේ ඊළඟ ඉලක්කය තමයි ලබන අවුරුද්දේ යුරෝපයේ F3 තරගබිමට එක්වීම. ඉදිරි වසර කිහිපයේදී ක්‍රමයෙන් F3 හා F2 තරගවලට සහභාගි වීම තමයි බලාපොරොත්තුව. අන්තිම ගෝල් එක තමයි F1 කියන්නේ’ යෙවාන් සඳහන් කළේ ඔහුගේ ඉදිරි සැලසුම ගැනයි.
අවුරුදු හයේදී බණ්ඩාරගම කාර්ටින් ධාවන පථයෙන් ජාත්‍යන්තර ෆෝමියුලා තරගබිමට පිවිසි යෙවාන් කියන්නේ ලොව හොඳම කාර්ටින් ධාවන පථ අතර වෘත්තීය මට්ටමින් නිර්මාණය කළ බණ්ඩාරගම කාර්ටින් ධාවන පථය කැපී පෙනෙන බවයි. සිය ක්‍රීඩා දිවියේ ආරම්භය සටහන් කළ බණ්ඩාරගම කාර්ටින් ක්‍රීඩා සංකීර්ණයේ කාර්ය මණ්ඩලයටත් ස්තුතිය පුද කරන්න ඔහු අමතක කළේ නෑ.
ෆෝමියුලා තරග බිමේ අද ඔහුට වීරයන් සිටියත්, ළමා වියේ සිටම ඔහුගේ ලෝකය පිරුණේ ලෝක ප්‍රකට ප්‍රබන්ධනාත්මක සුපිරි වීරයන්ගෙන්. විශේෂයෙන් යෙවාන්ගේ ප්‍රියතම වීරයා වූයේ බැට්මෑන්. ඔහු යන සෑම තැනකදීම බැට්මෑන්ගේ හිස්වැස්ම පැලඳීම වැරදුණේ නෑ. බණ්ඩාරගම කාර්ටින් තරගවලදිත්, පාසලේදිත් කවුරුත් ඔහු දුටුවේ බැට්මෑන් හිස්වැස්ම පැලඳ සිටින ආකාරයයි.
ධාවන තරගවලට මෙන්ම අධ්‍යාපනයටත් එක හා සමාන හැකියාව ඇති යෙවාන් මේ වන විට උසස් පෙළ විභාගය සඳහා සූදානම් අතර, සිය තරග දිවියට අත්වැල සපයන ආදරණීය පියා යොහාන්, මව රොෂිකා මෙන්ම ක්‍රීඩා දිවියේ යෝධ සෙවණැල්ල බවට පත්වී සිටින ඔහුගේ සීයා නිර්මාල් රණසිංහ ගැනත් සිහිපත් කරන්නේ හදපිරි භක්තියෙන් යුතුවයි.