Home » ඌවම දකින්නට බඹරගලට එන්න

ඌවම දකින්නට බඹරගලට එන්න

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

පේ රටේ සංචාරය කරන දේශීය සංචාරකයන්ගේ සංචාරක අවශ්‍යතා කලින් කලට වෙනස් වී යයි. වරෙක ඔවුහු ජල ක්‍රීඩා කිරීමට පෙලඹෙති. රළ පැද්දුම් සඳහා ප්‍රිය කරති. තවත් විටෙක කඳු නැඟීමට ප්‍රිය කරති. තවත් විටෙක උතුරු නැඟෙනහිර කාලාන්තරයක් තිස්සේ දැක බලා ගැනීමට නොහැකි වූ පෙදෙස් කරා යාමට උත්සාහ කරති.

අද වන විට බොහෝ තරුණ පරපුර අතර ජනප්‍රියව ඇත්තේ නැරඹුම් ස්ථාන (view point) කරා යාමය. එමෙන්ම කූඩාරක රාත්‍රිය ගත කිරීම ද (Camping) මේ පිරිස් අතර ජනප්‍රියව ඇත. මේ නිසා මාතලේ රිවස්ටර්න්, පිටවල පතන මෙන්ම මොණර­ාගල වැනි නැරඹුම් ස්ථානයන්ට මේ දිනවල වැඩි ඉල්ලුමක් ඇත. අද සිළුමිණ ඔබ කැන්දාගෙන යන්නේ ඉතා පහසුවෙන් ගමන් කළ හැකි එහි ගොස්ම අත්විඳිය යුතු ස්ථානයක් කරාය. එම ස්ථානය නැරඹුම් ස්ථානයක් (view point) ලෙසත් රාත්‍රිය කූඩාරම් ගසා නතර වීමට ද (Camping) එමෙන්ම සොබා සෞන්දර්යය මනාව විඳ ගැනීමටත් ඉතා ඉහළින්ම උපකාරී වන්නකි.

ඒ, ඌව පළාතේ සුප්‍රකට නමුණුකුල කඳු පන්තියට නුදුරින් පිහිටි ‘බඹරගල’ය. බඹරගල පතන එසේත් නැත්නම් බඹරගල view point නමින් හඳුන්වන මේ ස්ථානය තවමත් සංචාරකයන් වැඩි දෙනකුගේ ඇස ගැසී නැත. එහෙත් මේ වන විට විදේශීය සංචාරකයන් පවා එහි යන එන බව අපට තහවුරු විය. එසේ වුවත් වෙනත් නැරඹුම් ස්ථානවලට මෙන් දිනකට අතිවිශාල පිරිසක් පැමිණෙන බවක් එහි දක්නට නැත.

බඹරගල බලන්න තියෙන්නෙ මොනවද?

එහෙත් බඹරගල සෙසු නැරඹුම් ස්ථානයන්ට වඩා වේගයෙන් සංචාරකයන් අතර ජනප්‍රිය විය හැකිය. එයට හේතු වී ඇත්තේ එම ස්ථානයට පහසුවෙන් ගමන් කළ හැකි වීම නිසාය. බොහෝ නැරඹුම් ස්ථානයන්ට ගමන් කිරීමේදී දුෂ්කර මඟ ගෙවා කඳු තරණය කරන්නට සිදුවීමත් වාහනයකින් යා හැකි දුර අවම වීමත් නිසා එම නැරඹුම් ස්ථානයන්ට කරා යන්නට කටයුතු කරන්නේ ජව සම්පන්න තරුණ පිරිස් හා එයට අත්‍යවශයෙන්ම යා යුතු යැයි සිතිවිලි උපදවා ගන්නා අය පමණි.

එහෙත් බඹරගලට යාම අපහසු නැත. ගමන ඉතා පහසුය. නැරඹුම් ස්ථානය (view point) දක්වාම යතුරු පැදියකින් නම් යා හැකිය. ත්‍රිරෝද රථයකින් වුවද නැරඹුම් ස්ථානය ආසන්නයටම (මීටර් 300ක් පමණ දුරක් ආසන්නයට) යා හැකිය. මෝටර් රථයක් කැබ් රථයක් වෑන් රථයකින් ගමන් කරන්නේ නම් එයද මීටර් 500ක් පමණ ආසන්නට යා හැකිය. එහෙත් මාර්ගයේ මීටර් 500කට ආසන්න කොටසක් අබලන් හෙයින් මෝටර් රථයකින් යන්නේ නම් ප්‍රවේශමෙන් ධාවනය කළ යුතුය.

බඹරගල කඳු මුඳුනට ගිය විට මෙරට සුප්‍රසිද්ධ ලුණුගල, තට්ටෙගල, මඩොල්සිම කඳු වැටි ඉතා අලංකාර ලෙස දැකගත හැකිය. තවත් පසෙකට පෙනෙන්නේ නමුණුකුල කඳු පන්තියයි. එමෙන්ම කතරගම දක්වා දිවෙන මාර්ගය ද ඉතා අලංකාර දසුනක් ලෙසින් දැකගත හැකිය. සාමාන්‍ය නැරඹුම් ස්ථානයකට එක් පසෙකින් දර්ශනය වන දසුන් ඇති නමුත් බඹරගලට පැති දෙකකින් අලංකාර දසුන් දැක ගැනීමේ හැකියාව ඇත. කොතරම් වේලාවක් සිටියත් බලා සිටීම ඇති නොවේ. එයට ප්‍රධාන හේතු දෙකක් ඇත. එකක් ඕනෑම හිරු රශ්මිය අධික කාලයක වුවද හමා එන මඳ සිසිල් සුළඟ නිසාය. අනෙක් කරුණ කඳු බැසගෙන දුරක් ගෙවා ආපසු එන්නට නොමැති බව සිත්හි රඳා පැවැත්වීමයි.

තට්ටෙගල මෙන්ම ලුණුගල කඳු වැටි දර්ශනය වන නැරඹුම් ස්ථානය අසලින්ම ඇත්තේ පුංචි ලෝකාන්තයයි. එයට සැඟවුණු ලෝකාන්තය කියන නම ද මේ ගම්මු භාවිත කරති. ඇතැම්හු කුඩා ලෝකාන්තය යනුවෙන්ද හඳුන්වති.

නැරඹුම් ස්ථානයට නුදුරින් තැනිතලා භූමියකි. එය ලොකු පිට්ටනියක සිරිය ගනී. රාත්‍රිය ගත කරන්නට එන ඇතැම් අය ක්‍රීඩා කිරීමට එම ස්ථානය ප්‍රයෝජනයට ගන්නා බවද දැනගන්නට ඇත. පසෙකට වන්නට ඇත්තේ සුවිසල් ෆයිනස් ගස්ය.

ෆයිනස් ගස් අතුරින් ගමන් කරන විට පෙර පැවසුවාක් මෙන් ඕනෑම නියං කාලයක වුවද දැනෙන සිසිලස ගත සිත පුබුදුවනු ඇත. අලංකාර දසුන් මෙන්ම ගතට සිතට දැනෙන ප්‍රබෝධය නිසා පැය ගණනාවක් වුවද බඹරගලට වී සිටින්නට හැකියාව තිබේ.

රාත්‍රී කාලය කූඩාරම් රැගෙන ගොස් එහි ගත කරන්නට බොහෝ දෙනා පෙලඹෙන්නේ ඒ නිසාය. විශේෂයෙන්ම අලුයම හිරු උදාව නරඹන්නට ඇත්නම් එය ඉතාම අලංකාරය. එමෙන්ම ඇතැම් දිනවල හිරු බැස යන්නේ වෙනත් කිසිදු ස්ථානයක සිට දැක ගැනීම අසීරු ලෙසින් අඩවන් රත්පැහැයෙන් යුක්ත හිරුගේ දසුන් පෙන්වමිනි. රාත්‍රිය ගත කරන්නට පැමිණෙන්නන් අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය සීතලට ඔරොත්තු දෙන ඇඳුම් රැගෙන ආ යුතුය. එමෙන්ම අවශ්‍ය සියලු දේ වතුර බෝතල් පවා ගෙන ආ යුත්තේ අත පය සෝදා ගන්නටවත් එහි ජල පහසුකම් නොමැති හෙයිනි.

පරිසරය දැනගෙන සංචාරය කරන්න

එහෙත් රාත්‍රිය ගත කරනු ලබන ඇතැමුන් කරන්නේ සීතල නිවා ගැනීම වෙනුවෙන් ගිනි දැල්වීමයි. ගිනි දැල්වීමට දිරා ගිය දර කැබලි භාවිත කරන්නේ නම් කමක් නැත. එසේ වුවත් එම ගිනි දැල්වීම් සිදු කළ යුත්තේ අවට සුවිසල් ගස්වලට හානි නොවන ලෙසිනි. එහෙත් අවාසනාවට ඇතැම් පුද්ගලයෝ රාත්‍රිය ගත කරන්නන් මහා ගිනි මැල ගසමිනි. එයින් බඹරගල කඳු මුඳුනේ සුවිසල් ගස් රැසක් පිලිස්සී විනාශ වී ගොස් ඇත. බඹරගල ස්වාභාවික සුන්දරත්වය එයින් විනාශ වනු ඇත. රාත්‍රිය කූඩාරම් ගසා නැවතී සිටින්නන් ඒ ගැන අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුය.

අද වන විට විවිධ රූගත කිරීම් වෙනුවෙන්ද බඹරගල යොදා ගෙන ඇති බව පෙනේ. බඹරගල බොහෝ අවස්ථාවල ජනයාගෙන් තොරව පවත්නා හෙයින් නොදන්නා අයෙක් දෙන්නෙක් ගමන් කරන්නේ නම් දන්නා අයගෙන් තොරතුරු විමසා ගමන් කිරීම වඩාත් සුදුසුය. අවම වශයෙන් සිවු දෙනෙක්වත් එකතුව ගමන් කරන්නේ නම් එය වඩාත් යෝග්‍ය වනු ඇත. තවමත් මිනිසාගේ අතින් දූෂිත නොවූ පරිසරයක් බඹරගල දක්නට නොමැති හෙයින් එය විනාශ වීමට ඇති ඉඩකඩ ද වැඩිය.

එමෙන්ම මේ ප්‍රදේශයේ රාත්‍රී කාලයේ දිවියන් හා වල් ඌරන් ගැවසෙන හෙයින් තම ආරක්ෂාව ගැනද වඩාත් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම රාත්‍රී කූඩාරම්වල ගත කරන්නන් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

බඹරගලට යා යුතු හොඳම කාලය හා නොයා යුතු කාල සීමාවන් කවරේද? ඒ ගැනත් හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. නැතහොත් ඔබගේ ගමනින් නිසි ඵල ප්‍රයෝජන ලබාගත නොහැකි වනු ඇත. හොඳම කාලය වන්නේ වැසි රහිත කාලයයි. වැසි කාලයේදී අවට සොබා සුන්දරත්වය මීදුමෙන් වැසී යනු ඇත. එවිට සොබා සෞන්දර්යය විඳ ගැනීමට නොහැකි වනු ඇත.

ගමන් මාර්ගය

බඹරගලට යන්නට ප්‍රධාන මාර්ග දෙකක් අපට පෙන්වා දිය හැකිය. එක් මාර්ගයක් බණ්ඩාරවෙල සිටය. අනෙක් මාර්ගය වන්නේ බදුල්ලේ සිටය. බණ්ඩාරවෙල සිට ගමන් කරන්නේ නම් බණ්ඩාරවෙල සිට පස්සර දක්වා ගමන් කරන මාර්ග අංක 318 බස් රථයේ (ඇල්ල, බල්ලකෙටුව හරහා) ගමන් කර පැය 1 ½ක පමණ ගමනකින් ක්ලබ් හන්දියට ළඟා විය හැකිය. එතැනින් බැස නමුණුකුල මහ විදුහලට යන මාර්ගයේ පාසල ද පසු කර කිලෝමීටර් එකහමාරක දුරක් ගෙවා ගොස් බඹරගලට යා හැකිය. ක්ලබ් හන්දියේ ත්‍රිරෝද රථ ඇති අතර එම රථයකින් ආසන්නයටම යා හැකිය.

කැබ් රථයක් හෝ වෙනත් වාහනයකින් යන්නේ නම් මාර්ගයේ ඇති සුමංගලාරාමය නම් විහාරස්ථානයේ හෝ වෙනත් නිවෙසක හෝ වාහනය නවත්වා යා හැකිය. නිවෙසක වාහනය ගාල් කර යන්නේ නම් ඒ වෙනුවෙන් ඔවුන් ගාස්තුවක් අය කරනු ලැබේ.

අනෙක් මාර්ගය වන්නේ බදුල්ලේ සිට පස්සර මාර්ගයේ ගොස් (බදුල්ල සිට මොණරාගල, බිබිල හෝ පස්සර හරහා යන ඕනෑම බස් රථයකින් යා හැකිය) 10 කනුවෙන් බැස එතැන් සිට අංක 318 බස් රථයෙන් බණ්ඩාරවෙල දෙසට ගොස් ක්ලබ් හන්දියෙන් බැස පෙර සඳහන් කළ නමුණුකුල පාසල මාර්ගයේම ගමන් කළ යුතුය.

බදුල්ලේ සිට රුපියල් 100ක මුදලක් ගෙවා කිලෝමීටර් 16ක් දුර ගෙවා 10 කනුවට යා යුතු අතර, එතැන් සිට බණ්ඩාරවෙල බස් රථයේ කිලෝමීටර් 13ක පමණ දුරක් රුපියල් 100ක් ගෙවා යා යුතුය. අවශ්‍ය අයට ක්ලබ් හන්දියේ ඇති කුඩා තේ කඩයෙන් කූඩාරම් කුලියට ලබා ගත හැකිය.

බඹරගලට ඇතුළු වන මාර්ගයේ සිටම දක්නට ඇත්තේ අලංකාර පරිසරයයි. නමුණුකුල ඇතුළු කඳු පන්තිය හතර වටින්ම දක්නට ඇත. මුහුදු මට්ටමේ සිට ඉහළින්ම පිහිටා ඇති නමුත් වාහනයකින් පහසුවෙන්ම ගමන් කළ හැකි අලංකාර නැරඹුම් ස්ථානයක් ලෙසින් බඔරගල පෙන්වා දිය හැකිය.

බඔරගල නැරඹීමට මේ වන විට විදේශිකයන්ද පැමිණෙන බව දැනගන්නට ඇත. රාත්‍රිය ගත කරනු ලබන අය විසින් ගිනි තබන විට අසල විහාරස්ථානයේ හිමියන් ඊට එරෙහිව දොස් පවරනු ලබන බවත් දැන ගන්නට තිබේ. ඇත්තෙන්ම අප එම සොබා සෞන්දර්ය වනය ආරක්ෂා කරගත යුතුය. එය තවත් අයකු පැමිණ පහදා දෙන තුරු බලා සිටිය යුතු නොවේ.

බඔරගලට පැමිණෙන සංචාරකයන් වැඩි වන නිසාදෝ මේ වන විට ඇතුළුවීම් ස්ථානයේ ගේට්ටුවක් දමා කුඩා කාමරයක් ද තනා ඇති බව පෙනේ. එයින් කියවෙන්නේ ඉදිරියේදී යම්කිසි මුදලක් ගෙවා ඇතුළු වන්නට සිදුවන බව විය හැකිය. එසේ වුවහොත් අවම වශයෙන් ජල පහසුව හෝ සපයා දෙන්නට කටයුතු කළ යුතුය. එසේ වුවත් බඔරගල අවට පරිසරය රැක ගැනීමට අප කටයුතු කළ යුතුමය. බඔරගල නරඹන්නට යන සංචාරකයන්ට ඊට අමතරව අවටින් පීස්ස ඇල්ල, එමෙන්ම වේවැස්ස ඇල්ල (වර්ෂා කාලයේදී පමණක් දැක බලාගත හැකිය) මෙන්ම රාවණා ඇල්ල, රාවණා පුංචි ශ්‍රී පාදය මෙන්ම ඇල්ල සංචාරයක් ද සිදු කළ හැකිය. අවශ්‍ය නම් දෙමෝදර ආරුක්කු 9 පාලම නැරඹීමටද යා හැකිය.

එමෙන්ම ඩී.එස්. ගල මෙන්ම අවට ඇති අනෙකුත් දිය ඇළි ද නැරඹිය හැකිය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division