විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවකින් ප්‍රංශ රජය බිඳ වැටීම ජාත්‍යන්තරයේ වැඩි කතාබහට ලක්වී තිබේ. යුරෝපා සංගමයේ ප්‍රබලතම රටක් වන ප්‍රංශයට එවැනි ඉරණමකට මුහුණපෑමට සිදු වූයේ අගමැති මිචෙල් බාර්නියර්ගේ හිතුවක්කාර තීරණයක් නිසාය.
යුරෝ බිලියන 60ක හිඟය පියවා ගැනීමට වසර 2025 සඳහා වන අය වැය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීමට අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ විශේෂ බලතල භාවිත කිරීම නිසාය. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49.3 වගන්තියෙන් ඔහුට ඒ සඳහා බලතල ලැබී තිබුණත් ඡන්දයකින් තොරව අය වැය යෝජනාව සම්මත කරගැනීමට උත්සාහ කළ මිචෙල් බාර්නියර්ට අවසානයේදී අගමැති තනතුරත් අහිමි විය. වසර 62කට පසු පළමු වතාවට විශ්වාසභංග යෝජනාවෙන් ප්‍රංශයේ රජය ද බිඳ වැටිණි.
විපක්ෂයේ විරෝධය
ඉහළ දැමූ විදුලි මිල ඉවත් කිරීම, ලියාපදිංචි නොවූ සංක්‍රමණිකයන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණය අවම කිරීම ඇතුළු මේ මොහොතේ ප්‍රංශයේ ප්‍රබලතම දේශපාලන නායිකාව වන අන්ත දක්ෂිණාංශික මැරින් ලේ පෙන්ගේ ඉල්ලීම් ද මිචෙල් බාර්නියර්ගේ අය වැය යෝජනාවලියට ඇතුළත් වුවත්, තවත් ඉල්ලීම් කිහිපයක්ම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මුල සිටම විපක්ෂයේ විරෝධයට හේතු වී තිබිණි. අය වැය පිළිබඳ ඉල්ලීම් ඉටු නොවූ බව මැරින් ලේ පෙන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළාය. එය සෙසු පක්ෂවල මන්ත්‍රීවරු අතරට ගෙන යෑමට ද ඇය සමත් වූවාය. එතැනින් නොනැවතී පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට සවන් දීමට අගමැතිවරයා අසමත් වූ බවටත් චෝදනා නැඟුවාය. විශේෂ බලතල භාවිත කරමින් ඡන්දයකින් තොරව අය වැය සම්මත කරගැනීමට අගමැතිවරයා පියවර ගනු ලැබුවේ මේ විරෝධය නිසා විපක්ෂයෙන් තමාට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නොලැබෙන බව සැක හැර දැනගැනීමෙන් පසුවය. එහෙත් ඔහු ගත් තීරණය රජයට සහාය පළ කරන එරට වාමාංශික සන්ධානය වන නව ජනතාවාදී පෙරමුණේ සහ ප්‍රධාන විපක්ෂය වන අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලි පක්ෂයේ මන්ත්‍රීවරුන් එක හා සමානව කෝප ගැන්වූ එකකි. එවකට රෙනයිසන්ස් පක්ෂයෙන් ජනාධිපතිධුරයට පත්වූ එමැනුවෙල් මැක්‍රොන්ගේ ප්‍රබලතම මැතිවරණ සටන් පාඨය වූ අන්ත දක්ෂිණාංශිකයන් ප්‍රංශයේ පාලනය සියතට ගැනීම වැළැක්වීමේ මතයට අනුව නව ජනතාවාදී පෙරමුණ ඇතුළු මධ්‍යවාදී හා වාමාංශික පක්ෂ කිහිපයක්ම අන්ත දක්ෂිණාංශිකයන්ට එරෙහිව මැතිවරණය කටයුතු මෙහෙය වූවත් මෙවර අගමැතිවරයා පරාජය කිරීමට අන්ත දක්ෂිණාංශිකයන් ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ඉන් වැඩි දෙනකු ඉදිරිපත්වීම කැපී පෙනිණි. මැතිවරණයේදී රජයක් පිහිටුවීමට අවශ්‍ය වූ එරට පාර්ලිමේන්තුවේ ආසන 289ක් නොලැබීමෙන් සුළුතර රජයක් බිහිවුවද, අගමැතිවරයා නෙරපා දැමීමට ගෙනා විශ්වාසභංග යෝජනාවට නම් ඡන්ද 331ක්ම ලැබීමත් ඉහළින්ම කැපී පෙනිණි. කොහොමටත් සුළුතර රජයට අන්ත දක්ෂිණාංශිකයන්ගේ හෝ නව ජනතාවාදී පෙරමුණේ සහාය නොමැතිව කිසිදු නීතියක් සම්පූර්ණයෙන්ම සම්මත කිරීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබෙන්නේම නැත. ඔහු මැරීන් ලේ පෙන්ගේ අයවැය ඉල්ලීම් වෙත වැඩි අවධානය යොමු කරනු ලැබුවේ එනිසාමය.
අනිත් අතට මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා මධ්‍යවාදියකු වන මිචෙල් බාර්නියර් අගමැති ධුරයට පත් කිරීම ගැන නව ජනතාවාදී පෙරමුණ පසු වූයේ දැඩි කනස්සල්ලෙනි. පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගෙන සිටි එම පෙරමුණ ඒ පිළිබඳ එවකට ජනාධිපතිවරයා දැඩි විවේචනයට ද ලක් කර තිබිණි. මෙවර විශ්වාසභංග යෝජනාවේදී ඒ සියල්ල හේතු සාධක බවට පත්වී තිබිණි.
ප්‍රංශයේ අඩුම කාලයක් අගමැති ධුරය දැරූ පුද්ගලයා
1958 වසරෙන් පසු විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් නෙරපා හැරුණු පළමු අගමැතිවරයා බවට පත්වූ මිචෙල් බාර්නියර් ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් විසින් ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බරයේදීය. ඒ අනුව 73 හැවිරිදි මිචෙල් බාර්නියර් එරට වයස්ගතම අගමැතිවරයා ද වේ. එමෙන්ම ඔහුගේ ධුර කාලය දින 90කට සීමාවූ අතර, ප්‍රංශයේ අඩුම කාලයක් අගමැති ධුරය දැරූ පුද්ගලයා ලෙසත් මිචෙල් ඉතිහාසයට එක්වූ බව වාර්තා වේ.
පසුගිය මහමැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබීම හේතුවෙන් එරට උද්ගත වූ දේශපාලන අස්ථාවරභාවය, රජය බිඳ වැටීමත් සමඟ තවත් ඉහළ ගොස් ඇත. කෙසේ වුවද ජනාධිපතිවරයා නව අගමැතිවරයකු නම් කරන තුරු මිචෙල් බාර්නියර් අන්තර්වාර අගමැති ලෙස කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ. ප්‍රංශ පාර්ලිමේන්තුව අගමැතිවරයා විශ්වාසභංගයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධීපතිවරයා ජාතිය අමතා කියා සිටියේ හෙට අනිද්දාටම නව අගමැතිවරයකු පත් කරන බවය.
ෆවුස් මොහොමඩ්