අග්නිදිග ආසියානු රාජ්‍යයක් වූ වියට්නාමය ඉතා කැලඹිලිකාරී පුවතකින් ඇලලී ගොස් ඇත. ඒ, වියට්නාම Real states හි වැන් තින්හි සභාපතිනිය වූ තයිකූන් මයිලෑන්ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම වීමේ පුවත හේතුවෙනි.
එසේ මරණ දඬුවම නියම වී ඇත්තේ තයිකූන් මයිලෑන් විසින් සිදු කරනු ලැබූ ඩොලර් බිලියන 12.5ක මුල්‍ය හා දේපළ වංචාව මෙන්ම වියට්නාම සයිගොන් වෙළෙඳ බැංකුව (SCB) ඇය විසින් රහහසිගතව පාලනය කිරීම නිසා ඇතිවූ වංචනික ක්‍රියාවන් නිසාවෙනි. වියට්නාම රජයෙන් පාලනය වන මාර්ගගත පුවත්පතක (vietnam Net) පළකර ඇති වාර්තාවට අනුව වියට්නාම අපරාධ නඩු ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ නැවත විසඳුම් සෙවිය නොහැකි ආකාරයේ විශාල වරදක් මයිලෑන් සිදු කර ඇත.
මයිලෑන්ගේ මූල්‍ය වංචාව වියට්නාම ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස ඉතිහාස පොතට එක්වී හමාරය. සයිගොන් වෙළෙඳ බැංකුව (SCB) වියට්නාමයේ පස් වැනි විශාලතම ණය දෙනු ලබන බැංකුවය. වසර 10කට වඩා වැඩි කාලයක සිට මෙය ක්‍රියාත්මක වන අතර, සයිගොන් බැංකුව හරහා සිදු වන ණය ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 44ක් ලෙස සටහන්වී ඇත. මයිලෑන් විසින් මෙම වසරේ මුල් භාගයේදී ද SCB හි ඩොලර් බිලියන12.5ක මූල්‍ය වංචාවකට හසුවී ඇත. මේ වෙනුවෙන් නඩු පැවරූ කොටස් ප්‍රකාශ කර තිබුණේ මයිලෑන් SCB හි බැංකු මෙහෙයුම් පද්ධතිය හරහා (2012 – 2022) ඉතා ප්‍රබල මූල්‍ය අහිමි වීමක් සිදු වන ආකාරයට බැංකු ණය 2500ක් පමණ වංචනිකව හසුරුවා ඇති බවය. ඇය විසින් රහසිගතව SCB බැංකුව පාලනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 36,000ක් පමණ එහි ගොදුරු බවට පත්ව ඇති බව වාර්තා වේ.
තයිකූන් මයිලෑන් යනු කවුද?
1956 ඔක්තෝබර් 13 වැනිදා සිනො වියට්නාම පවුලක, හෝචිමිං නගරයේදී උපත ලැබූ තයිකූන් මයිලෑන් මේ වන විට දෙදරු මවකි. මයිලෑන්ගේ සැමියා එරික් චූ නැප්කි හොංකොං හි Real state සමාගමේ ව්‍යාපාරිකයෙකි. මයිලෑන්ගේ පවුල වියට්නාමයේ ධනවත්ම පවුල් අතරින් එකක් වන අතර ඔවුන්ගේ ධනය, ඇයගේ මුතුන් මිත්තන්ගේ ගම් ප්‍රදේශය වූ චීනයේ බහුවිධ ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2024 මාර්තු සිට මයිලෑන්ට වංචා දූෂණ එල්ල වී තිබූ අතර, 2024 මාර්තු 05 වැනිදා හෝචිමිං නගරයේ මහජන උසාවිය මෙම නඩුව අරඹා ඇත. මෙම වංචාසහගත ක්‍රියාවට ඇයගේ ස්වාමිපුරුෂයා, ඥාතියකු හා තවත් 82ක් ද සම්බන්ධ වී ඇත. එයින් 45 දෙනෙකු SCB බැංකුවේ කලින් සිටි නිලධාරින් වූ අතර, වියට්නාම රාජ්‍ය බැංකුවේ නිලධාරින් 15 දෙනකු ද ඒ අතර වූහ. SCB බැංකුවේ මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ වූ තවත් නිලධාරින් 5 දෙනකු සැඟවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විධායක ශ්‍රේණියට අයත් මහා පරිමාණ ව්‍යාපාරික කාන්තාවක් ලෙස මයිලෑන්ට විශාල වත්කම් රාශියක හිමිකම තිබියදීත් මෙවැනි විශාල මූල්‍ය වංචාවක් සිදු කිරීම මෙම සිදුවීම තුළ ඇති විශාලම ඛේදවාචකය වේ. කාන්තාවක් ලෙස ව්‍යාපාරික ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉඩ පහසුකම් තිබියදී මෙවැනි වංචාසහගත ක්‍රියාවකට හසුවීම ඇයගේ පරපුරටම දැඩි අපකීර්තියකි. බැංකු පද්ධති හසුරුවමින් බැංකු නීතිරීති උල්ලංඝනය කරමින් ඇය විසින් සිදු කරගෙන ගිය අපරාධ රැසකින් අවසානයේදී ඇයට ගැලවීමක් නොවූයේ මේ නිසාවෙනි. මයිලෑන්ගේ මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ, එය අග්නිදිග ආසියානු කලාපීය ඉතිහාසයේ විශාලතම මුල්‍ය දූෂණ හා වංචාව ලෙසිනි.
වියට්නාමයේ මරණීය දණ්ඩනයේ නීතිමය රාමුව
මේ වන විටත් මරණීය දණ්ඩන නියම වී ඇති මයිලෑන්ට වියට්නාමයේ ඇති දැඩි නීතිමය රාමුව තුළ ඉන් පහසුවෙන් ගැලවීමට ඉඩක් නොමැති බව ගෝලීය නීති විශේෂඥයන්ගේ ප්‍රකාශයයි. වියට්නාමය විසින් මරණ දඬුවම සලකනු ලබන්නේ රාජ්‍ය රහස්‍යභාවයකින් යුතු විෂය පථයක් ලෙසිනි. ලෝකයේ මරණ දඬුවම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍යයන් අතර, වියට්නාමය එය ඉතා දැඩිවම බලාත්මක කරන රාජ්‍යයන් ගොන්නට වැටේ. මේ වන විට පුද්ගලයන් කොපමණ ප්‍රමාණයකට මරණ දඬුවම දී ඇතිද යන්න වියට්නාම රජය අනාවරණය කර නොමැති අතර, අන්තර්ජාතික මානව අයිතිවාසිකම් සංවිධාන ප්‍රකාශ කර ඇත්තේ එම සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බවය. වියට්නාම රාජ්‍යයේ, මරණ දඬුවම යටතට ගැනෙන අපරාධ ලෙස සැලකෙන්නේ ඝාතන, අවි සොරකම, මත්ද්‍රව්‍ය සිද්ධීන්, ළමා අපචාර, දූෂණය, වංචාව හා වංචනික කටයුතු ආදියයි. ඒ අනුව මයිලෑන්ගේ සිද්ධිය වියට්නාම රජය ඉතා පුළුල් සාපරාධී පසුබිමකින් සලකා බැලීම අනිවාර්යයෙන්ම සිදුවීම විස්මයක් නොවේ. වියට්නාම අපරාධ නීති සංග්‍රහයේ වගන්ති 120කින් 80ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින බව වාර්තා වේ. වියට්නාමය තුළ මරණීය දණ්ඩනය ලබා දීම වසර 75කට වඩා වැඩි කාලයක සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මයිලෑන්ගේ ජීවිතය සුරක්ෂිතද?
තයිකූන් මයිලෑන්ගේ ජීවිතය තවදුරටත් රැඳී පවතින්නේ ඇය විසින් වංචා කරනු ලැබූ මුදල් ප්‍රමාණයෙන් සියයට 75ක් ගෙවීමට ඇයට හැකියාවක් ලැබුණහොත් පමණි. එනම්, ඩොලර් බිලියන 12න් ඩොලර් බිලියන 9ක් නැවත ගෙවීමෙන් පමණකි. එසේ වුවහොත් මයිලෑන්ට මරණ දඬුවමෙන් මිදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්වන සේ දඬුවම ලිහිල් කරගත හැකි බව වියට්නාම අධිකරණය පෙන්වා දී ඇත. මේ වන විටත් මයිලෑන් ඇයගේ දඬුවම මානුෂීයවාදී ප්‍රවේශයකින් සලකා බලන ලෙස ඉල්ලමින් අධිකරණයට ගොනු කළ අභියාචනය එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙසැම්බර් 03 වැනිදා වියට්නාම අධිකරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ මයිලෑන්ගේ දඬුවම ලිහිල් කිරීමට කිසිදු පදනමක් නොමැති බවය. මයිලෑන්ගේ නීති කණ්ඩායම ඇයගේ දඬුවම අවම කිරීම උදෙසා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙලඹී ඇති බව වාර්තා වන අතරම වියට්නාම දණ්ඩ නීති සංග්‍රහය තුළ අන්තර්ගත ප්‍රතිපාදන මත පදනම්ව මයිලෑන්ගේ නීතිඥවරුන් ඇයට විභව සමාවක් ලබා ගැනීම වෙනුවෙන් තර්ක කරන බව ද මාධ්‍ය වාර්තා කර ඇත. VnExpress වාර්තා කර ඇති ආකාරයට, හෝචිමිං හි ඉහළ මහජන උසාවිය MyLanගේ බහුවිධ ඩොලර් බිලියන වංචාව හා බැංකු පද්ධතියට කර ඇති වංචනික සාපරාධි ක්‍රියා කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව ප්‍රකාශ කර ඇත.
මයිලෑන්ගේ ව්‍යාපාරික ගමන් මඟ
සිය ව්‍යාපාරික ගමන් මඟ සැලකිය යුතු අන්දමේ වර්ධනයක් ක්‍රම ක්‍රමයෙන් අත්කර ගත් මයිලෑන් වයස අවුරුදු 16දී සිය මව සමඟ වෙළෙඳපළේ රූපලාවණ්‍ය ආලේපන විකිණූ බව පැවසේ. එසේ සිය ව්‍යාපාරික දිවිය ඇරඹූ මයිලෑන් අවසානයේදී ව්‍යාපාරික අධිරාජ්‍යයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. තම සැමියා සමඟ එක්ව ස්වකීය ව්‍යාපාර ලෝකය හෝටල් හා දේපළ වෙළෙඳ සමාගම් තෙක් ව්‍යාප්ත කළ මයිලෑන් කාන්තාවක ලෙස සාර්ථකත්වයේ හිණි පෙත්තටම නැඟි චරිතයකි. Real State හරහා ස්වකීය දැවැන්ත ව්‍යාපාරික ලෝකය ගෝලීය තලයේ ඉහළින්ම ඔසවා තැබූ මයිලෑන් විශාල වත්කම් රාශියක් තමන්ට උරුමකොට ගෙන තිබියදීත් වංචා දූෂණවලට පෙලැඹීම මහා අනුවණ ක්‍රියාවකි.
ඉතාම විශාල මුල්‍ය වංචාවක් සිදු කර තිබුණද ඇයට මරණ දඬුවම හිමිවීම පිළිබඳ වියට්නාම වැසියන් විවිවිධාකර වූ ප්‍රවේශයන් මත පිහිටා අදහස් දක්වා ඇත. ඇයගේ මූල්‍ය වංචාවට ගොදුරු වූ Le Hang නම් 83 හැවිරිදි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ, මයිලෑන්ගේ මූල්‍ය සමාගමෙන් ඇයට විශාල පාඩුවක් සිදු වුවද මයිලෑන්ට මරණ දඬුවම පැමිණ වීම පිළිබඳ තමාගේ ප්‍රසාදයක් නොමැති බවය. Le Hang වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මයිලෑන්ට දඬුවමක් වශයෙන් සිරගෙදරට යැවීම සිදු වුවද ඇයගේ මරණය තමන් අපේක්ෂා නොකරන බවය. ඇය මරණයට පත්වීමෙන් තමන්ට කුමක් ලැබෙන්නේ ද යන්න ද ඇය ඉතා මානුෂිකව ප්‍රශ්න කර ඇත. වියට්නාම වැසියන්ගේ අදහස වන්නේ මයිලෑන්ට විශාල වත්කම් රාශියක හිමිකම පවතින බැවින් ඇයට රජයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ගෙවීමෙන් මේ තත්ත්වය විසඳා ගත හැකි බවය. නමුත් මයිලෑන්ගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඇයගේ වත්කම් ද්‍රවශීලතාවයට පත්කිරීමට කාලයක් ගතවන බැවින් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර බවය. වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය 1986දී ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පසු ඇය ඉඩම් හා දේපළ මිලදී ගැනීම ඇරඹූ අතර 1990 ගණන් වන විට Myට ඉතා විශාල දේපළක හිමිකාරීත්වය ලබා ගැනීමට අවකාශ සැලසී ඇත.
පී. ආර්. දුෂාන්ති සිල්වා