ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන්ගේ අඩුවක් නැත. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දිගින් දිගටම සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සිසුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන් ගැනද විශේෂයෙන් සොයා බලන්නේ එම ජාවාරම්වල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහාය.
ඇතැම් පාසල් අසල පිහිටා ඇති තාවකාලික කඩසාප්පු සැලකිය යුතු සංඛ්‍යාවක පාසල් සිසුන් ඉලක්ක කරගෙන සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට පොලිසියට පසුගිය දිනවලදී හැකිවී තිබිණි.
එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිසුන් යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු හෙළිවන්නේ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගියදා සිදු කරන ලද විමර්ශනයකදීය. පාණදුරේ පාසලක අධ්‍යාපනය ලද මේ සිසුවා අයිස් මත්ද්‍රව්‍ය සහ මුදල් සිය පොත් බෑගයේ දමාගෙන විදුහලට ඇතුළුවීමට යද්දී අල්ලා ගැනුණේ එම විදුහලේ ශිෂ්‍ය නායකයන් දෙදෙනෙකුගේ ‘තැනට සුදුසු නුවණ’ නිසාය. ඒ නිසා ‘ලොකු කතාවක්’ ද හෙළි කර ගැනීමට හැකි විය. පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඉන් අනතුරුව මේ ගැන සිදු කරන ලද විමර්ශනයකදී හෙළිවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මේ සිසුවා ලවා සෙසු සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවය. එම ජාවාරම්කරුවන් පසුව අත්අඩංගුවට ගැනිණි.
එමෙන්ම කොළඹ අවට ප්‍රදේශ කීපයක පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයක සිසුන් ඉලක්ක කරගෙන සංවිධානාත්මක කණ්ඩායමක් දීර්ඝ කාලයක සිට කරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල පසුගියදා හෙළි කර ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධරයන්ට හැකි වීමද සුවිශේෂය.
කොළඹ අවට ප්‍රදේශවල පිහිටි ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරගෙන යන සංවිධානාත්මක කණ්ඩායමක් ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් (54478) වසන්තට රහසිගත තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය.
මේ ගැන රහසිගතව තොරතුරු සොයන සැරයන් වසන්ත සොයා ගත්තේ තමාට ලැබුණු එම තොරතුර නිවැරදි බවය.
එම තොරතුරට අනුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් ප්‍රදේශයක පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසල ‘ආවේක්ෂණ රාජකාරියේ’ නිරත සැරයන් වසන්ත සැක කටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. සැකකරු පරික්ෂා කරද්දී ඔහු සන්තකයේ තිබුණු ‘මත් මුද්දරයක්’ සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.
ඒ අනුව සැකකරුගෙන් ප්‍රශ්න කළ පොලිස් කණ්ඩායම මේ කල්ලියට සම්බන්ධ සෙසු සිව්දෙනා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දි හෙළිවී ඇත්තේ ඔවුන් දීර්ඝ කාලයක් මේ ජාවාරම ඉතා සූක්ෂ්මව සහ සංවිධානාත්මකව සිදු කර ඇති බවයි. එම කල්ලිය වැඩිපුරම ක්‍රියාත්මක වී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කර ගැනීමටයි. රුපියල් ලක්ෂ 23කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය, මත් මුද්දර, මත් කරල් සැකකරුවන් සතුව තිබියදී සොයා ගැනිණි.
මේ කල්ලියෙන් මත්ද්‍රව්‍ය මත් මුද්දර මිලදී ගන්නා පුද්ගලයන්ට ඒවා භාවිත කරන ආකාරය ගැන උපදෙස් ලබාදී ඇත්තේ අන්තර්ජාලය උපයෝගී කරගෙනය. වට්ස්ඇප් සහ වීඩියෝ ඇමැතුම් මඟින් මෙලෙස උපදෙස් ලබා දී ඇති බවද පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළි විය.
සැකකරුවන් සතුව තිබියදී එලෙස අත්අඩංගුවට ගන්නා ලද මත් මුද්දරවල වටිනාකම රුපියල් දොළොස් ලක්ෂයක් බව අනාවරණය වී ඇත. කුෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කි. මත්කරල්වල වටිනාකම රුපියල් පහළොස් දහසකි.
සැකකරුවන් සියලු දෙනාම වයස අවුරුදු 22 පසුවන්නෝය. එලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පස්දෙනා අතරින් කීපදෙනෙක්ම මත් මුද්දර සහ කුෂ් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවද පොලිසිය සිදු කරන ලද පරීක්ෂණයේදී අනාවරණය විය.
මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් හදල් සොයා ගැනීමේ අරමුණින් මේ පුද්ගලයන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවට සැක කැරේ.
මේ ජාවාරම සිදු කරගෙන යාම සඳහා මේ කල්ලිය එකම තැනක නවාතැන්ගෙන සිට ඇති බවද හෙළි වී ඇත්තේ ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදීය. එම නවාතැන්පොළ පිහිටා තිබුණේ මිරිහාන පොලිස් වසමේ ගාල්ලගේ මාවතේය. සැකකරුවන් එය ලබාගෙන තිබුණේ කුලී පදනම මතය.
මේ කල්ලිය ජාවාරම සිදු කර තිබුණේ කුමන කාලයක සිටද යන්න සහ ඔවුන්ගේ ජාවාරම සුවිශේෂී ලෙස ඉලක්ක කර තිබුණේ කුමන ප්‍රදේශවල උසස් අධ්‍යාපන ආයතනවල සිසු සිසුවියන් සඳහා දැයි යන්න සොයා ගැනීමට මෙන්ම මේ අයට අලෙවිය සඳහා මත් මුද්දර ඇතුළු මත්ද්‍රව්‍ය ලැබුණ ආකාරය පිළිබඳව සොයා ගැනීම සඳහා ද දීර්ඝ විමර්ශනයක් පැවැත්වෙයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහගේ මෙහෙයවීමෙන් කොට්ඨාස දූෂණ මර්දන ඒකනයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් වීරතුංගගේ උපදෙස් මත සැරයන් (54478) වසන්ත, කොස්තාපල්වරුන් වන (82930) මධුෂංක, (11528) චන්ද්‍ර කුමාර, (103719) ගයාෂාන් යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
ඡායාරූප – නුගේගොඩ සමීර අබේසිංහ