Home » වට්ස්ඇප් පෙම්වතා දාහතරේ සිසුවිය රවටා කළ අපරාධය

වට්ස්ඇප් පෙම්වතා දාහතරේ සිසුවිය රවටා කළ අපරාධය

by sachintha
December 14, 2024 12:37 am 0 comment

බාල වයස්කාර දරු පිරිස ජංගම දුරකතනය මඟින් නවීන තාක්ෂණයෙන් විවිධ දේවලට ඇබ්බැහි වීමෙන් අවාසනාවත්ත ලෙස වටිනා ජීවිත කාමතුරයන්ගේ ගොදුරු බවට පත්ව විනාශ වන අයුරු වත්මන් සමාජයේ දක්නට ලැබෙන තවත් දුක්බර සිදුවීමකි. වට්ස්ඇප් මඟින් හඳුනාගත් නාඳුනන තරුණයකු අතින් අවුරුදු 14යි මාස 11ක බාල වයස්කාර පාසල් දැරියක දින පහක් ගතවන්නටත් මත්තෙන් අතවරයට ලක්වී ජීවිතය අඳුරු කරගැනීමේ පුවතක් ගිරාඳුරුකෝට්ටේ පොලිසියෙන් පසුගියදා වාර්තා විය.

ගිරාඳුරුකෝට්ටේ, ගල්පෝරුයාය, වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම බාල වයස්කාර පාසල් සිසුවිය ගිරාඳුරුකෝට්ට නගරයේ ප්‍රධාන පෙළේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි අතර ඇයට බාල පාසල් යන සහෝදරියන් දෙදෙනකු ද සිටී. ඇගේ මවුපියන් ගොවිතැන් කටයුතුවල නිරතව සිටින අතර දියණියගේ බලවත් ඉල්ලීම මත මෑතදී ඇයට මවුපියන් නවීන ජංගම දුරකතනයක් මිලදී ගෙන දුන්නේ දරු සෙනෙහස නිසාය.

දියණිය නි‍ෙවසට වී ජංගම දුරකතනය අතපත ගාමින් සිටින අතරතුරේ එක්වරම ජංගම දුරකතනයට නාඳුනන අංකයකින් ‘මිස් කෝල්’ එකක් ආවේය. ඒ සමඟම ඇගේ සිත ‘කකියන්නට’ වූයේ මිස් කෝල් එක දුන්නේ කවුරුන් ද යන වග දැන ගැනීම සඳහාය.

පසුව යළි ඇගේ දුරකතනයට ආ ඇමතුමට පිළිතුරු දුන්, එහෙත් ඇය දැක නොමැති තරුණයකු කතා කෙළේය. පසුව දෙදෙනා ජංගම දුරකතනයේ ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් දැනහඳුනාගෙන කතාබහ කරන්නට වූයේ මවුපියන්ට හොර රහසෙනි. මේ තරුණයා සිසුවියට තමන් හඳුන්වා දෙන්නේ ‘මහනුවර ඉසුරු’ නමිනි.

මේ අතරේ නාඳුනන තරුණයා දුරකතන ඇමතුමක් ගෙන ‘මම ඔයාට ආදරෙයි’ කියා සිසුවියට කී අතර සිසුවිය ද ‘මමත් ඔයාට ආදරෙයි’ කියා කීවාය. තරුණයා වට්ස්ඇප් හරහා තමන්ගේ ඡායාරූපයක් ද සිසුවියට එවීය.

එදින පස්වරුවේ මෙම බාල වයස්කාර දැරිය පාසලට ගිය සිය නැඟණියන් දෙදෙනා රැගෙන ඒමට නි‍ෙවසින් සවස 3.15ට පමණ පිටවී ගිය අතරේ එක්වරම ඇගේ ජංගම දුරකතනයට තරුණයා කෙටි පණිවිඩයක් එව්වේය.

“ඔයා කොහෙද ඉන්නේ? මම දැන් ඔයා බලන්න එනවා. ඔයා කොහොමහරි ‘අගලඔය’ දි හමුවෙන්න” කියා ඔහු එම කෙටි පණිවුඩය එවා තිබිණි.

එම පණිවුඩයත් සමඟ තමාගේ නාඳුනන පෙම්වතා දැක බලාගැනීමේ සතුටින් ඇය සිය නැඟණියන් දෙදෙනා ද ගැනීමට පාසලට නොගොස් තරුණයා කෙටි පණිවුඩයේ සඳහන් කළ ස්ථානයට ගියේය. තරුණයා සඳහන් කළ පාට කමිසය ඇඳ හිස් ආවරණයක් ද පැලඳ අමතර හෙල්මට් එකක් ද අතින් ගෙන යතුරුපැදියක පැමිණ සිටියේය.

“එන්න නඟින්න” යැයි තරුණයා සිසුවියට ආරාධනා කළ ද සිසුවිය ලැජ්ජාවෙන් සිටියාය. “යමු මෙතන ඉන්න බෑ. කවුරුහරි දකියි.” කියා තරුණයා කියන විට දැරිය හෙල්මටය පැලඳ යතුරුපැදියට ගොඩ වූවාය.

තරුණයා විදුලි වේගයෙන් යතුරුපැදිය ධාවනය කරගෙන කිලෝමීටර් 30ක පමණ දුරක් ගෙවාගෙන මහියංගණ මැදඔය ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ නතර විය. තරමක් සවස් වී තිබූ හෙයින් සිසුවිය ලැගුම්හලට යාමට අකැමැති විය. නමුත් තරුණයා කෙසේ හෝ ඇයට බල කර සිසුවිය ලැගුම්හලේ කාමරයක් තුළට රැගෙන ගියේය. හුදෙකලා කාමරයේ අඳුරු විදුලි ආලෝකය තුළ දෙදෙනා යහන්ගත වන්නේ තවත් සුළු මොහොතකිනි.

සවස නි‍ෙවසින් පිටවී ගිය දියණිය නිවෙසට නොපැමිණි හෙයින් සිසුවියගේ මව ගිරාඳුරුකෝට්ට පොලිසියට තම දියණිය අතුරුදන්ව ඇති බවට පැමිණිලි කළාය.

ඒ වනවිටත් ලැගුම්හලෙන් පිටවූ තරුණයා දැරිය නංවාගෙන යතුරුපැදියෙන් වේගයෙන් යළි ගිරාඳුරුකෝට්ට ගල්පෝරුයාය ප්‍රදේශයට පැමිණ දැරිය බස්සවා අඳුරේම යතුරුපැදියෙන් පලා ගියේය. දැරිය රාත්‍රී නිවෙසට පැමිණි විට මවුපියන් ඇගෙන් ‘දුව කොහෙද ගියේ?’ යැයි කියා විමසුවද සිසුවිය කිසිත් නොකියා බියට පත්ව සිටියාය. පසුදින උදෑසන දියණියද කැටිව ගිරාඳුරුකෝට්ට පොලිසියට ගිය මව දියණිය රාත්‍රී නිවෙසට පැමිණි බව කීවාය. මේ අතරේ ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදේශ් චතුරංගට සිසුවියගේ හැසිරීම කෙරෙහි සැක සිතී ඇගෙන් ප්‍රශ්න කෙළේය.

එහිදී සිසුවිය තමන් මුහුණපෑ සිදුවීම් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවාය.

පසුව සිසුවිය ජීප් රථයට නංවාගත් පොලිස් පරීක්ෂක සුදේශ් චතුරංග තවත් නිලධාරීන් කණ්ඩායමක් සමඟ දැරිය සඳහන් කළ තොරතුරු අනුව මහියංගණ මැදඔය ප්‍රදේශයේ ලැගුම්හලට ගියේය. එහි සිටි ලැගුම්හලේ භාරකරුගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බාල වයස්කාර දැරියක ස්ත්‍රී දූෂණයට ලක්කර අපයෝජනය කිරීමට අනුබල දීම චෝදනාව යටතේ ලැගුම්හලේ භාරකරු වන බිබිල අඹගොල්ල ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම පොලිස් නිලධාරීන්ගේ ඊළඟ කාර්ය විය. දැරිය ළඟ තිබූ එම තරුණයාගේ ජංගම දුරකතනයේ අංකයට ඇමතුම් ගත්තද දුරකතනය විසන්ධි කර තිබිණි. පසුව එම ලැගුම්හල පිහිටි මාර්ගය දෙපස පිහිටි නිවාසවල තිබූ සීසීටීවී ආරක්ෂිත කැමරා පද්ධතියන් පරීක්ෂා කළ පොලිස් පරීක්ෂක සුදේශ් චතුරංග දැරිය නංවාගෙන තරුණයා පැමිණි යතුරුපැදියේ අංකය සීසීටීවී ආරක්ෂිත කැමරා මාර්ගයෙන් සොයා ගත්තේ තවත් සුළු මොහෙතකිනි.

ඒ අනුව එම යතුරුපැදි අංකය මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට යවා පරීක්ෂා කර බලා යතුරුපැදියේ පැමිණි රන්දෙණිගල පාර, හඳගනාව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සැකකාර තරුණයා ගිරාඳුරුකෝට්ට පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නේ අනතුරුවය.

වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනාගත් නාඳුනන තරුණයකු අතින් කෙලෙසුනු සිසුවිය දැනට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහියංගණ රෝහලට ඇතුළත් කර සිටින්නීය.

බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත සහ පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන නිලධරයන්ගේ මෙහෙයවීමෙන් ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදේශ් චතුරංග, සැරයන් 2195 කිලිගොඩ, 56533 කොටන්දෙනිය, 82520 සජීව, 30817 කරුණාරත්න, 15835 ජයන්ත, කාන්තා සැරයන් 5380 කෝනාර, 2375 කුමාරි, 11003 චතුරිකා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

සී. ගමගේ – සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division