Home » බණ්ඩාරගම මත්ලෝලියාගේ ගෙදරට ඩ්‍රෝන යානයක් ආවේ මෙහෙමයි

බණ්ඩාරගම මත්ලෝලියාගේ ගෙදරට ඩ්‍රෝන යානයක් ආවේ මෙහෙමයි

by sachintha
December 14, 2024 12:35 am 0 comment

ජාතික ආරක්ෂාව සහ අපරාධ වැළැක්වීම සඳහා බුද්ධි අංශවලින් ලැබෙන සේවය අතිමහත්ය. ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ මෙන්ම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, රහස් පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්යාංශය හා බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු කාර්යාංශයද අපරාධ වැළැක්වීම, මර්දනය අපරාධකරුවන් අල්ලා ගැනීම අපරාධ තොරතුරු හෙළි කර ගැනීම සඳහා විශාල දායකත්වයක් සපයයි.

මේ අතරින් බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු කාර්යාංශයද අපරාධ මර්දනය සඳහා ඉටු කරන්නේ සුවිශේෂී සේවයකි. එහි නිලධරයන් බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථානවලට අනුයුක්තව සිටින අතර ඔවුන්ගේ වගකීම අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලු ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සහ එම ජාවාරම් ගැන හෙළි කරගෙන ඒවා අදාළ පොලිස් ස්ථානවලට ලබාදීමයි. බස්නාහිර පළාතේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් දායකත්වය ලබා දී තිබිණි.

බණ්ඩාරගම පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධරයෙකුට පසුගියදා තොරතුරක් ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පිළිබඳවය.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා පිළිබඳවත් ඔහු සතුව ඇති මත්ද්‍රව්‍ය ගැනත් ඉතා සත්‍ය සහ නිවැරදි තොරතුරුත් බස්නාහිර පළාත් බුද්ධි නිලධරයාට ලැබී තිබුණේ ක්ෂණිකවය.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා බණ්ඩාරගම ගම්මන්පිල වැව අසල පිහිටි ලෑලි කඩයකට නුදුරින් ඒ මොහොතේ සිටින බවටද බුද්ධි නිලධරයාට ලැබුණු තොරතුරෙන් කියැවිණි. බුද්ධි නිලධරයා ඒ මොහොතේම එම තොරතුර ලබා දෙන්නේ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වාටය.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා විසින් භාර දෙන්නේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ජයලාල් ඇතුළු කණ්ඩායමටය.

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලට ගිය පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය. එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පරීක්ෂා කරද්දී සැකකරු සතුව තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 600ක් පමණ සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ගැන තවත් තොරතුරු සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් සැකකරුත් සමඟ යන්නේ ඔහුගේ නිවසටය. නිවස පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට හමුවන්නේ කැමරා සහිත ඩ්‍රෝන යානාවකි.

එම ඩ්‍රෝන යානාව ඔහුට හමුවූ ආකාරය පිළිබඳ පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන්නේ අනතුරුවය. එහිදී හෙළි වන්නේ මේ සැකකරු ගෙවල් බිඳින අපරාධකාරයකු බවයි.

නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධරයකුට අයත් දැනට වසා දමා ඇති නිවසකට තවත් පුද්ගලයකු සමඟ ඇතුළු වී තමන් මෙම ඩ්‍රෝනා යානය සොරකම් කරගෙන ආ බව සැකකරු පවසන්නේ පොලිසිය සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදීය. එම නිවස අයත් විශ්‍රාමික නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධරයා මේ වන විට විදේශගතව සිටින අතර සැකකරු සිය සගයා සමඟ එම නිවසට ඇතුළුවී ඩ්‍රෝන යානය සහ නිවෙසේ ජනේල්වල පිත්තල සරනේරු, සොයිබ පවා ගලවාගෙන ඇති බවද හෙළි විය.

සැකකරුගේ එම ප්‍රකාශයෙන් අනතුරුව ඔහු ‘නියම හොරෙක්’ බව හෙළි කර ගත් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවස පියවරෙන් පියවර පරීක්ෂාවට ලක් කරන්නේ ඉන් අනතුරුවය. ඒ ඔහු කිසියම් ස්ථානයකින් සොරකම් කරන ලද තවත් භාණ්ඩ නිවෙසේ ඇතැයි යන සැකය නිසාය.

පොලිස් නිලධාරීන්ගේ සැකය තවත් තහවුරු කරමින් එවර පොලිස් නිලධරයන් විසින් සොයා ගන්නේ තුවක්කුවකි. එය සඟවා තිබුණේ නිවසේ ඇඳක මෙට්ටයක් යටය.

එය පතරොම් තුවක්කුවක් ද එසේත් නැත්නම් වායු රයිෆලයක් ද යන්න සොයා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කැරේ. මේ තුවක්කුව උපයෝගී කරගෙන සැකකාර පුද්ගලයා අපරාධ සිදු කර ඇත්දැයි සෙවීම සඳහා ද වැඩිදුර විමර්ශන පැවැත්වෙයි. එලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් පොලිසිය ඊළඟට ප්‍රශ්න කරන්නේ එම තුවක්කුව ඔහුට ලැබුණු හැටි වුවත් ඔහු ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් හෙළි කර නැත.

එම සැකකරු සමඟ එක්ව විශ්‍රාමික නාවික හමුදා නිලධාරියාගේ නිවෙස බින්ද සෙසු සැකකරුගේ තොරතුරු හෙළි කරගෙන ඔහුද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ වන්නේ අනතුරුවය. එම සැකකරු සහ අත්අඩංගුවට ගත් සැකකරු මත්ලෝලීන් බව පොලිසියේ සැකයයි.

සැකකරු සම්බන්ධ වෙනත් අපරාධ අත්දැයි සෙවීම සඳහා ඔහු රැඳවුම් නියෝග ලබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. සොයා ගන්නා ලද තුවක්කුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ජයලාල්, සැරයන් (64407) ජයනාත්, කොස්තාපල් (103670) ප්‍රේමරත්න යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

දීපාල් සමරසේකර

ඡායාරූප – බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division