අපරාධකරුවන්, ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ප්‍රමාණවත් නීති කොතරම් තිබුණත්, නීතිය කරවන නිලධාරින් කොතරම් ශක්තිමත් යැයි පැවසුවද අදටත් ඇතැම් ජාවාරම්කරුවන් දිනෙන් දින ශක්තිමත් වෙමින් නැඟී සිටිමින් තව තවත් සිය ජාවාරම් ශක්තිමත්ව නගර පසුකර ගම්දනව් පවා ආක්‍රමණය කරමින් එම ජාවාරම් ව්‍යාප්ත කරමින් සිටින්නේ කුමක් හෝ තැනක යම් වරදක් සිදුව ඇති නිසාවෙන් බව නම් ඕනෑම අයෙකුට තේරෙන කාරණයකි. යම් අපරාධයක් හෝ යම් නීති විරෝධී කටයුත්තක් සිදු වන්නේ නම් පුරවැසියන් ලෙස එය වගකිවයුතු පාර්ශ්ව වෙත දැනුවත් කිරීම සියලු දෙනාගේ පරම වගකීමකි. එය සමාජ ශෝධනයකි. පොලිසිය ඇතුළු නීතිය කරවන ආයතනද නිරතුරුවම ජනතාව දැනුවත් කරන්නේ යම් අපරාධයක් හෝ ජාවාරමක් සිදුවන්නේනම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසය.
එය එසේ වුවද වර්තමානය වන විට සමාජයේ සිදුවන අකටයුතුකම් හමුවේ සිදුවන අපරාධ හා ජාවාරම් හමුවේ වුවද නොදුටුවා සේ සිටීමට ජනතාව පෙෙළඹී තිබේ. ඊට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ ජාවාරම්කරුවන් මෙන්ම අපාරාධකරුවන්ද නීතිය කරවන ඇතැම් නිලධාරීන් සමඟ දැඩි හිතවත්කම් යහළුකම් පැවැත්වීම නිසාවෙනි. පොලිසියට දෙන ඔත්තුව ඇතැම් විට හැරුණු තැපෑලෙන් ජාවාරම්කරුවන්ට දැනගැනීමට ලැබෙන නිසාය. මේ නිසාම කළු ගලේ ඔළුව ගහගන්න බෑ කියා සාමාන්‍ය පුරවැසියන්ද දුටු දේ පවා නොදුටු විලාසෙන් කටයුතු කරමින් සිටින්නේ ජීවිතයට ඇති ආශාව නිසාවෙනි. අකාලයේ මැරුම් කන්නට අකැමැති නිසාවෙනි. ගමේ ගොඩේ සිදුවන අපරාධයක් ඇසින් දුටුවද ඒ පිළිබදව සාක්ෂි දීමට හෝ තොරතුරක් ලබා දීමට පැහැදිලිවම සමාජය ඉදිරිපත් නොවන්නේ ඒ තොරතුර ලබා දෙන පුද්ගලයාට කිසිම ආරක්ෂාවක් නොමැති නිසාය. මේ නිසාම අපරාධකරුවන්ද එළිපිටම ඇවිත් සිය බලපුළුවන්කාරකම් පෙන්වමින් ජනතාව භීතියට පත්කරමින් එළිපිටම සිය ජාවාරම් කරගෙන යන්නේ මුදලට ඇති කෑදරකම නිසා සහ ඇතැම් නිලධාරීන්ගේ ආශීර්වාදය ද ලැබෙන නිසාය.
පසුගිය දිනක කතරගම, සෙල්ලකතරගම ප්‍රදේශයෙන්ද වාර්තා වූ මේ කතාවත් ඊට දෙවැනි නැත. පොලිසියට දුන් බව කියන ඔත්තුව යළි පොලිසිය විසින් අපරාධකරුවන්ට ලබාදීම නිසා අපරාධකරුවන් පැමිණ මහ දවල් මෙලෙස පුද්ගලයෙකු ඝාතනය කළ බවට ගම්මුන් මෙහිදී කතරගම පොලිසියට චෝදනා එල්ල කළේ උද්ඝෝෂණයකද නිරත වෙමිනි.
පසුගිය 30 වැනිදා කතරගම සෙල්ලකතරගම කොහොඹදිගාන ප්‍රදේශයම දැඩි කම්පාවෙන් ඇලළී ගියේ මහ දවල් සිදු වූ බිහිසුණු ඝාතනයක් හේතුවෙනි. මෙලෙස ඝාතනයට ලක්වූයේ කොහොඹදිගාන පාර, සෙල්ලකතරගම, කතරගම ලිපිනයේ පදිංචිව සිටි කංකානම්ගේ ප්‍රසන්න කුමාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ඝාතනයත් සමඟ කුපිත වූ ප්‍රදේශයේ ජනතාව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දේහයද සෙල්ලකතරගම නගරයට රැගෙනවිත් විරෝධයක් දක්වමින් කතරගම පොලිසියට ඇඟිල්ල දිගු කළේ, මෙම මරණයට කතරගම පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව පවසමිනි. කොහොඹදිගාන ගමේ පදිංචිව සිටි ප්‍රසන්න කුමාර ඉකුත් 30 වැනිදා සවස 2ට පමණ අසල පිහිටි හිතවතෙකු වූ බද්දෙගම ගණිතගේ ලසන්තගේ ගෙදරට ගියේ සුපුරුදු පරිදි ආගිය තොරතුරු කතාකර කර සිටින්නටය. වෙනදා එම නිවසට ගොස් යළි සිනාමුසු මුහුණින්ම එළියට බැස ආවද මෙදින ඔහුට යළි නිවසට ඒමට නොහැකි විය. පසුව 3.15ට පමණ ලසන්තගේ නිවසට ත්‍රිරෝද රථයකින් සහ තවත් මෝටර් බයිසිකලයකින් 09 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් අත කඩුවක් ද තිබිණි. එසේ පැමිණි සියලුම දෙනා ප්රසන්නත්, ලසන්තත් ඉතා හොඳින් දන්නා හඳුනන කතරගම සහ අවට පදිංචිකරුවෝය. මෙම පිරිස ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියාවන් සඳහා ආධාර අනුබල දෙන්නන් බව ලසන්ත සහ ප්‍රසන්න මෙන්ම ගම්වැසියන් සහ පොලිසියද දැන සිටියේය. සිදුවන්නට යන්නේ කුමක්දැයි ප්‍රසන්නට සිතාගන්නට නොහැකි විය. සිය මිතුරාගේ නිවසට පැමිණි මෙම පිරිස කුණුහරුප කියාගෙන එම ස්ථානයේ මහ ගාලගෝට්ටියක් ඇති කළේය. ඒ පොලිසියට ඔවුන් පිළිබඳව සහ ඔවුන්ගේ ජාවාරම් සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දුන් බව පවසමිනි. පිරිස එසේ කෑකෝ ගසමින් එහි ආරවුලක් ඇති කරගත්හ. කඩුවක් අතැති අයෙකුද එහි කෑකෝ ගසමින් පිරිස සමඟ සිටියේය. ඊළඟ නිමේෂයේ මහා අපරාධයක් මෙහි ඇතිවිය හැකි හෙයින් පැමිණි පිරිස පාලනය කර ඔවුන්ට කරුණු කියා දී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිතූ ප්‍රසන්න ආරවුල මැදට ගොස් එය සමථ කිරීමට උත්සාහ දැරීය.
ගතවූයේ නිමේෂයකි. කිසිවකුටත් සිදු වූයේ කුමක්ද යන්නවත් සිතාගන්නට නොහැකි විය. පැමිණි පිරිසෙන් එක් පුද්ගලයෙකු ‘ඇයි තොට තියෙන අමාරුව‘ යැයි කියාගෙනම ප්‍රසන්න ළඟට පැමිණ ඔහු අත තිබූ කඩුවෙන් ප්‍රසන්නට පහරක් එල්ල කළේ පපුව දෙබෑකර යන ලෙසය. පැමිණි පිරිසද ප්‍රසන්න ලේ විලක් මැද ඇද වැටෙද්දී ප්‍රදේශයෙන් පලා යන්නේ ක්ෂණිකවය. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසියට වාර්තා වීමත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිද්ධිය විමර්ශන ආරම්භ කළේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කරමිනි. තිස්සමහාරාම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තමීර සිල්වා එහි පැමිණ සිය පරීක්ෂණය පැවැත්වූ අතර, ප්‍රසන්නගේ සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කෙළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කතරගම පොලිසියේ නිලධාරීන් සිද්ධියට සැකපිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මියගිය ප්‍රසන්නගේ දේහය ඥාතින්ට භාර දුන් පසු දේහය සෙල්ලකතරගම, කොහොඹදිගාන පිහිටි නිවසට රැගෙන ආවේ ඉකුත් 2 වැනිදා රාත්‍රියේය. මෙම මහා අපරාධය සම්බන්ධයෙන් ගම්මුන්ද පසු වූයේ දැඩි කෝපයකිනි. මේ නිසාම ප්‍රදේශවාසීන් කතරගම පොලිසියට සිය විරෝධය පළ කරමින් මෙම සාහසික ඝාතනයේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, කතරගමින් හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තුරන් කරන ලෙස ඉල්ලමින් දේහයද සෙල්ලකගරම නගරයට රැගෙන ගොස් විරෝධතාවක නිරත විය. මෙහිදී විරෝධතාකරුවන් චෝදනා කළේ ප්‍රදේශයේ සිදු කෙරෙන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට ලබා දුන් ඔත්තුව යළි අපරාධකරුවන්ගේ කනට ගිය නිසා මෙම මරණය සිදු වූ බවය. ප්‍රදේශයේ සිදුවන අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරක් පොලිසියට ලබා දෙන්නේ දැඩි විශ්වාසයකින් යුතුව බවත්, එම ලබාදෙන තොරතුර යම් නිලධාරියෙකු විසින්ම අපරාධකරුවන්ට යළි ලබා දෙන්නේ නම් එය අවාසනාවක් බවත්, සෙල්ලකතරගම මෙම ඝාතනය වූයේ ඒ ආකාරයේ සිදුවීමක් නිසාවෙන් බවටත් විරෝධතාකරුවන් චෝදනා එල්ල කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කතරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ගම්මුන් චෝදනා කරන්නේ මෙම ඝාතනය සඳහා පුද්ගලයින් 09 දෙනෙකු පැමිණි බවත් පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ තිදෙනෙකු පමණක් බවටය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කතරගම පොලිසියෙන්ද විමසීමක් කළ අතර, එහිදී කතරගම පොලිසියේ නිලධරයකු සඳහන් කළේ ගම්වාසීන් විසින් එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද එම නිලධාරියා සඳහන් කළේය.
නුවන් ජයසේකර සූරියවැව විශේෂ