තමන්ට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් බිය වැද්දවීම සඳහා පාතාලය භාවිත කරන ලොකුම ක්‍රමය වන්නේ එම පුද්ගලයන් පදිංචි නිවෙස්වලට වෙඩි තැබීමයි. විශේෂයෙන් විදේශගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයන්, සංවිධානාත්මක අපරාධකරුවන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන් මෙලෙස මෙරට සිටින සිය ගෝලබාලයන් කුලී ඝාතකයන්, වෙඩිකරුවන් ලවා සිය ප්‍රතිවාදියා බියගන්වන්නේ වෙඩි තැබීම් සිදු කරමිනි.
මේ වෙඩි ප්‍රහාරවලට බියේ ඇතැමුන් තමන් පදිංචි ගේදොර යානවාහන ඉඩකඩම් පවා අතහැර ගිය අවස්ථා තිබිණි. පාතාලය සිදු කළ එවැනි වෙඩි ප්‍රහාර කීපයක් ගැන පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
පාදුක්ක ප්‍රදේශයේදී ද පසුගියදා එවැනි සිද්ධියක් වූ අතර ඩුබායිහි සිටින ‘හබරකඩ කසුන්’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ මෙහෙයවීමෙන් එම ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබූ කුලී වෙඩික්කරුවන් ගැන පාදුක්ක පොලිසිය මෙන්ම බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් ද විමර්ශන ආරම්භ කර තිබුණි. වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ ස්කූටි මෝටර් බයිසිකලය සහ ඊට ආධාර අනුබල දුන් තිදෙනෙකු එම ඒකකයේ නිලධාරීන් විසින් අල්ලා ගන්නේ ඒ ගැන සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. මත්ද්‍රව්‍ය ජාවාරමුන් සම්බන්ධ ආරවුලක් මේ වෙඩි තැබීමට මුල් වී ඇති බව හෙළි විය.
එවැනිම පන්නයේ වෙඩි තැබීමක් පසුගියදා වාර්තා වූයේ හෝමාගම ප්‍රදේශයෙනි.
හෝමාගම රෝහල පාරේ නිවෙසකට කඩා වැදී එහි සිටි පුද්ගලයකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.
හෝමාගම, ගලවිලවත්ත, සිල්ඩෝරාවත්තේ නිවෙසකට ඉකුත් දිනෙක කඩා වැදුණු පුද්ගලයෝ දෙදෙනෙකු එම නිවෙසේ සිටි අයකු ඝාතනය කිරීමේ අරමුණෙන් ඔහුට වෙඩි තබා තිබුණු අතර වෙඩි පහරට ලක්ව බරපතළ තුවාල ලැබූ නිවැසියා රෝහල්ගත කැරිණි. වෙඩි තැබීම සඳහා භාවිත කර තිබුණේ ටී56 තුවක්කුවකි. මෙම වෙඩි තැබීමෙන් අනතුරුව එය සිදු කළ පුද්ගලයන් පලාගොස් තිබුණේ විනාඩි කීපයක් ඇතුළතදීය.
මේ ගැන පැමිණිල්ල ලැබුණු හැටියේම ක්‍රියාත්මක වූ හෝමාගම පොලිසියේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළ අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද එහි පැමිණ විමර්ශනවලට එක් වූහ. මේ ගැන අධිකරණයට ද කරුණු වාර්තා කැරිණි.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් දෙදෙනා ගැන මූලික විමර්ශන ආරම්භ කරන ලද්දේ හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි. ඒ අතර බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන්ද මේ ගැන තවත් පැත්තකින් විමර්ශනය ආරම්භ කර තිබුණි. ඒ එහි වැඩ බලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ උපදෙස් මතය.
මෙලෙස විමර්ශන සිදු කරන අතර බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල් (76495) ක්‍රිෂාන්තට ලැබුණු තොරතුරක් මත එම කොට්ඨාසයේ කණ්ඩායමක් මීගොඩ, ආටිගල ප්‍රදේශයට ගොස් හදිසි මාර්ග බාධකයක් යොදා සැක කටයුතු යානවාහන සහ පුද්ගලයන් සෝදිසි කරමින් සිටියදී මාර්ග බාධකය ඔස්සේ ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රැගත් මෝටර් බයිසිකලයකට නවතන ලෙස කරන ලද සංඥාවට අනුව එය නැවැත්වීමෙන් පසු එහි පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර පසුව ඔවුන් පරීක්ෂා කරද්දී එහි පැමිණි පසුපැදිකරුගේ ඉනේ සඟවාගෙන සිටි 3.8 වර්ගයේ රිවෝල්වරයක් සහ ඊට යොදන ජීව උණ්ඩ 8ක් සොයා ගැනීමට හැකි විය. එම පිස්තෝලය බ්‍රසීලයේ නිෂ්පාදිත එකකි.
සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී රිවෝල්වරයක් සන්තකයේ තිබුණ පුද්ගලයා යුද හමුදා සේවයේ නිරතව ඉන් 2023 වසරේදී ඉවත්වූ අයකු බව අනාවරණය විය. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය වූ සුවිශේෂීම තොරතුරක් වූයේ ඔහු හෝමාගම ගලවිලවත්ත සිල්ඩෝරාවත්තේ නිවෙසකට පසුගියදා කඩා වැදී එහි නිවැසියෙකුට ටී56 තුවක්කුවකින් වෙඩි තබා බරපතළ තුවාල සිදු කළ පුද්ගලයා බවය. 23 හැවිරිදි සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 26 හැවිරිදි සෙසු සැකකරු මීගොඩ දම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරුවන් භාවිත කළ මෝටර් බයිසිකලය ජංගම දුරකතන දෙකක්, හෙල්මට් දෙකක් සහ වැහි කබා දෙක පොලිස් නිලධාරීන්ගේ භාරයට ගැනිණි. මේ දෙදෙනා හෝමාගම ගලවිලවත්ත සිල්ඩෝරාවත්තේ නිවෙසකට කඩා වැදී එහි නිවැසියන්ට ටී56 තුවක්කුවකින් වෙඩි තැබීමේ සිද්ධියට ප්‍රධාන හේතුව සොයා ගැනීම සඳහා දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත.
එසේ සොයා ගන්නා ලද ත්රිඑයිට් වර්ගයේ රිවෝල්වරය උපයෝගී කරගෙන මේ පුද්ගලයන් මීට පෙර වෙඩි තැබීම් සිදුකර ඇත්ද යන්න සහ එම ආයුධය උපයෝගී කරගෙන මීට පෙර කොල්ලකෑම් මිනිස් ඝාතන ඇතුළු අපරාධ සිදුකර ඇත්දැයි පොලිසිය සොයාගෙන යයි. මීට පෙර බස්නාහිර පළාතේ හෝමාගම සහ අවට ප්‍රදේශවල සිදුවූ අපරාධ සහ වෙඩි තැබීම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මේ පුද්ගලයන් දෙදෙනා සම්බන්ධදැයි සොයන අතර ඔවුන්ට මේ රිවෝල්වරය ලැබුණු ආකාරය ගැන සෙවීම සඳහා ද විමර්ශනයක් පැවැත්වේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර හිටපු සෙබළා විදෙස්ගත පාතාලයකුගේ මෙරට ගෝලයකු ලෙස හෝ කුලී වෙඩික්කරුවෙකු ලෙස පෙනී සිටිමින් අපරාධ සිදුකර ඇත්දැයි සෙවීම සඳහා ද දීර්ඝ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සැකකරු හමුදා සෙවයේ නිරතව සිටියදී අපරාධවලට සම්බන්ධ වීදැයි සොයා ගැනීම සඳහා ඔහු පිළිබඳව යුද හමුදාවට ද තොරතුරු දන්වා ඇත.
බස්නාහිර පළාත දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් හසන්ත මාරපනගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ජානක කුමාරගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, එහි ඒකක 03 භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුර, සැරයන්වරුන් වන (40730) ධනුෂ්ක, (56508) ගුණසේකර, (56958) ප්‍රසන්න, (69598) අනිල්, (70471) තෙන්නකෝන්, කොස්තාපල්වරුන් වන (76495) ක්‍රිෂාන්ත, (82111) කුමාර, (104782) ජයතිලක, (104888) තිසේරා, (104856) කුමාර, කාන්තා කොස්තාපල් (9006) අනුෂා යන නිලධාරීහු නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
ඡායාරූප – කොට්ටාව ශාන්ත කුමාර