Home » අනියම් පෙමක් ගැන සැකයෙන් සැමියා බිරියට දුන් දඬුවම

අනියම් පෙමක් ගැන සැකයෙන් සැමියා බිරියට දුන් දඬුවම

by sachintha
December 14, 2024 12:30 am 0 comment

බරපතළ පිලිස්සුම් තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවක් ඉකුත් නොවැම්බර් 19 දා මරණයට පත්වූවාය. මේ සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළේ අනතුරුවය. මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් වූ ජමාල්දින් ෆාතිමා සපුනා නමැත්තියයි. මේ බව හෙළි වූයේ ඇගේ මරණය සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදීය.

තම බිරියගේ අනියම් පෙම් සම්බන්ධතාවක් ඇති බවට සැක සිතී ඒ පිළිබඳව ඇති වූ ආරවුලක් දුරදිග යාමේන් පසු සැමියා විසින් මෙම දෙදරු මවගේ සිරුරට භූමිතෙල් වක්කර ගිනිතබා ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ. ඊට සම්බන්ධ තොරතුරු රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබුණේ සිදු කරන ලද විමර්ශනයේදීය. බිරියට භූමිතෙල් දමා ගිනි තැබූ සැමියා පසුව නිවා දමන්නට යාමේදී ඔහුද සුළු පිලිස්සුම් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන ලදි.

සැමියා විසින් බිරියගේ සිරුරට ගිනි තැබීමෙන් පසු ඇය දිව යද්දී අසල්වාසීන් විසින් ඇගේ ගින්න නිවා ඇය කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනයේදී හෙළි විය.

කෙසේ වෙතත් මෙම තරුණ දෙදරු මවට ගිනි තැබූ සැමියා එය බිරිය විසින්ම කරගත් ක්‍රියාවක් බව අඟවන්නට විශාල ප්‍රයත්නයක් ගෙන තිබූ නමුත් බරපතළ පිලිස්සුම් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමට පෙර මෙම කාන්තාව සැමියා තමන්ට භූමිතෙල් වක්කර ගිනි තැබූ බවට රෝහල්ගත කිරීමට රැගෙන ගිය අසල්වැසියන්ට පවසා ඇත.

එම තොරතුරු අසල්වැසියන් මෙම මරණය සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

පිලිස්සුම් තුවාල ලබා බරපතළ ලෙස සිටි කාන්තාව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කඩිනමින් හලාවත මහ රෝහලට ගිලන් රථ මඟින් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර තිබියදී එහිදී මරණයට පත්ව ඇත.

හලාවත මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වරුණ නිර්මාල් පුත්තලම තිල්අඩිය අදාළ ගිනි තැබීම වූ නිවසට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

බිරියට ගිනි තැබුවා යැයි කියන සැමියා පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබද්දී එම වාට්ටුව වෙත ගොස් ඔහුද පරීක්ෂණයට ලක්කර ඇත්තේ හලාවත මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසිනි.

පුත්තලම මූලික රෝහලේ රෝහල් පොලිස් නිලධාරීන් විසින් සිදු කළ විමර්ශන මඟින් මෙය මිනිස් ඝාතනයක් බවට තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. කුලතුංගගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

මිහිර විජේසේකර – මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division