මැණික් බහුලව හමුවන ලග්ගල පොලිස් වසමේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට කඩාවැදුණු කල්ලියක් කෝටි හතක පමණ මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් කොල්ලකා නිවසේ තිබූ මෝටර් රථයද පැහැරගෙන ගියේ ඉකුත් නොවැම්බර් 10දා රාත්රිෙය්ය. ඒ පිළිබඳව ලග්ගල පොසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලද පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ ලග්ගල පොලිසිය එම කොල්ලයෙන් දින 18කට පමණ පසුව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද්දේ ප්‍රදේශ කීපයක සිදු කළ ඉතා සූක්ෂ්ම වැටලීම්වලිනි.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේගේ උපදෙස් මත ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පත්මරාජගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චරිත් අනුරාධ ඇතුළු කණ්ඩායම එම විමර්ශනය සිදු කළේ ලග්ගල, දේවාලදෙණියේ පදිංචි සුසන්ත ප්‍රදීප් කුමාර හෙවත් පොඩි රෝහණ නමැති කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ නිවසෙන් රුපියල් කෝටි හතක පමණ දෑ කොල්ලකෑ සොර කල්ලිය ඉතා ඉක්මනින් කොටුකර ගැනීම සඳහාය. එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් විමර්ශනය පෙළගැසෙන්නේ මෙසේ ය.
සුසන්ත ප්‍රදීප් කුමාර, ලග්ගල, දේවාලදෙණියේ පදිංචි ප්‍රකට කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකි. හතර වටින් උස් තාප්පවලින් වටවූ සුඛෝපභෝගී නිවෙසක ජීවත්වූ සුසන්ත ප්‍රදීප් එම නිවසේ ජීවත් වූයේ සිය බිරිය සහ ඔහුගේ පියා ද සමඟිනි.
දිනය ඉකුත් නොවැම්බර් 10 වැනිදාය. එදින රාත්‍රී නිවසට පැමිණි සුසන්ත නිවසේ ඉදිරිපස මිදුලේ බුදු මැඳුර තුළ බුදුන් වඳමින් සිටියේය. රාත්‍රී 9.15ට පමණ එක්වරම උස් තාප්පයෙන් පැන නිවසට කඩාවැදුණු මුහුණු ආවරණ පැලඳි කල්ලියක තිදෙනෙක් මුලින්ම සුසන්ත අල්ලාගෙන ඔහුගේ ගෙලට පිහියක් තබා ඔහුව නිවසට ඇදගෙන ගොස් ඔහුගේ දෑත්, දෙපා ගැට ගසා මුව ද ආවරණය කළෝය. කණ්ඩායමේ දෙදෙනෙක් කාමරවල සිටි සුසන්තගේ බිරිය සහ පියා සාලයට ගෙනැවිත් දෑත් දෙපා ගැට ගසමින් මුවට සෙලෝටේප් ද ඇලවූහ. පස්දෙනෙකුගෙන් යුත් සොර කල්ලිය නිවසේ කාමරවල තිබූ අල්මාරි ඇතුළු සියල්ල ඇද දමමින් මුළු නිවසම පීරමින් මුදල්, මැණික් සහ රත්රන් සොයන්නට වූහ. එහෙත් එම කණ්ඩායමට එතරම් දෙයක් හමුවී නොතිබිණි. ඒ සමඟම පිරිස සුසන්තගේ හිසට පිස්තෝලයක් තබා සේප්පුව විවෘත කරන ලෙස බල කළද ඇතිව තිබූ බියජනක තත්ත්වය මත ඔහුට එහි මුරපදය ද අමතක වී තිබිණි. පසුව සුසන්තගේ බිරියට තර්ජනය කර තිබුණේ සේප්පුවේ මුරපදය පවසන ලෙසත් මුදල්, මැණික් සහ රත්රන් තිබෙන ස්ථාන නොකීවහොත් සැමියා මරා දමන බවටද කොල්ල කල්ලිය ඇයට තර්ජනය කළහ.
ඊට බියවූ සුසන්තගේ බිරියගේ දෙඅත් ගැට සොර කල්ලිය විසින් ලිහූ පසු මුරපදය ඇතුළුකොට සේප්පුව විවෘතකොට දී තිබුණාය. ඊට අමතරව මුදල් ගැන විමසද්දී බයභිරාන්තව සිටි ඇය රුපියල් කෝටි දෙකක පමණ මුදල් ප්‍රමාණයක් සිංහ පිළිරුවකින් යුත් කැටයේ තිබෙන බව ද කොල්ලකරුවන්ට පැවැසුවාය.
එලෙස නිවෙස තුළ තිබූ මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් සොයද්දී එකෙක් අසා තිබුණේ, ‘අර කෝටි තුනේ මැණික් ගල කොහේද?‘ යැයි කියායි. එම මැණික් ගල ද සොයාගත් කොල්ල කල්ලිය මිදුලේ නතර කර තිබූ සුසන්තගේ සුඛෝපභෝගී කාරයේ යතුර ද ඉල්ලාගෙන එම කාරයෙන් පලා ගොස් තිබුණේ එදින රාත්‍රී 9.55ට පමණය. බෑග් දෙකකට සොරාගත් මුදල්, රත්රන් සහ මැණික් දාගත් කල්ලිය පලා යාමට නිවෙසෙන් පිටතට පැමිණි පසු එකෙකු නැවත නිවස තුළට පැමිණ සුසන්තගේ පියාගේ ගැට ගැසූ පාද ලිහා දමා තිබිණි. එසේම සුසන්තගේ පියාට ඇසී තිබුණේ නිවෙසින් පිටතට ගිය එකෙක් දුරකතන ඇමතුමක් ගෙන ‘මෙහේ කියන තරම් බඩු නැතැ‘යි කිසියම් කෙනෙකුට පවසන හඬයි. කොල්ල කල්ලිය පලා ගොස් තිබුණේ නිවසේ සීසීටීවී කැමරා පද්ධතියේ දත්ත ගබඩාව (ඩීවීආර් යන්ත්‍රය) සහ නිවැසියන්ගේ ජංගම දුරකතන ද රැගෙනය.
අනතුරුව එම සොරකම පිළිබඳව 119 දුරකතනය ඔස්සේ ලග්ගල පොලිසිය දැනුවත් කෙරිණි. ඒ රුපියල් කෝටි හතක පමණ මුදල්, රත්රන් සහ මැණික් කොල්ලයක් සිදුවී ඇති බව සඳහන් කරමිනි. ඒ මොහොතේ පොලිස් ස්ථානයේ සිටි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චරිත් අනුරාධ එම ඇමතුම අනුව සැණින් ක්‍රියාත්මක වෙමින් මැණික් ව්‍යාපාරික රෝහණගේගේ නිවසට ගියේ ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පත්මරාජ ද දැනුම්වත් කරමිනි.
එදින රාත්‍රියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගයේ ආරක්ෂාවට ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අවට පොලිස් ස්ථානවල නිලධාරින් රැසක් රාජකාරියට යොදවා තිබිණි. අනතුරුව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ උපදෙස් මත අවට පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ද මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණියේ විමර්ශන සඳහාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද එහි පැමිණියේය.
මූලික විමර්ශන සිදු කරද්දී නිවැසියන්ගෙන් දැනගැනීමට ලැබී තිබුණේ එම කොල්ල කල්ලිය නිවසේ තිබූ රුපියල් කෝටි තුනක මැණිකක් ගැන විමසීම නිසා මේ කොල්ලයට දන්නා කියන පුද්ගලයෙක් ද සම්බන්ධ බවට සැකයක් පවතින බවය. අනතුරුව පොලිස් කණ්ඩායම් කීපයක් සමඟ ලග්ගල පොලිසිය විමර්ශන ආරම්භ කළේය. එහිදී නිවසේ ඩීවීආර් යන්ත්‍රය රැගෙන ගොස් තිබුණත් නවීන සීසීටීවී කැමරා තුළ දත්ත ගබඩා චිපයක් තිබෙන හෙයින් ඒ මඟින් සොර කල්ලිය සුසන්ත ඇතුළු නිවැසියන් මරළතෝනි දෙද්දී නිවසේ සැරිසරන ආකාරයත් කාරයේ ඩිකිය අරිමින් පසුව පලා යන ආකාරය සඳහන් දර්ශන එහි සටහන්ව තිබිණි.
ඒ අතරේ පසුදා එනම් නොවැම්බර් 11 දා එම කොල්ල කල්ලිය පැහැරගෙන ගිය සුසන්තට අයත් සුදු පැහැති නවීන කාරය ගලේවෙල පොලිස් වසමේ තලකිරියාගම පාලම අසල දමා ගොස් තිබියදී සොයා ගැනිණි. ඒ තුළ නිවසින් කොල්ලකෑ ජංගම දුරකතන පහෙන් හතරක් තිබිණි. සුසන්තගේ ස්මාර්ජංගම දුරකතනය එහි නොතිබිණි.
ලග්ගල පොලිසියට අමතරව පොලිස් නිල සුනඛයන්, ඇඟිලි සලකුණු නිලධාරින් ඇතුළු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් දින කීපයක් පුරා විමර්ශන සිදු කළ ද කොල්ලය සිදුකළ පුද්ගලයන් සම්බන්ධව කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
ඒ අතරේ ලග්ගල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකරට විශ්වාසදායී තොරතුරක් ලැබිණි. ඒ ඉකුත් නොවැම්බර් 22 දාය. එම තොරතුරෙන් අනාවරණය වූයේ මේ කොල්ලයට පෙර දිනයකදී එම ප්‍රදේශයේ සැරිසැරූ සැක කටයුතු වෑන් රථයක් පිළිබඳවයි. පසුව සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කරමින් එම වෑන් රථය සැරිසැරූ ප්‍රදේශ ගැන සොයද්දී වැදගත් තොරතුරක් අනාවරණය විය. එමඟින් හෙළි වූයේ වෑන් රථය නොවැම්බර් 7 දා ලග්ගල නගරයේ සැරිසරන ආකාරයයි. එම වෑන් රථය එදින සවස 5ට පමණ ලග්ගල නගරයේ එක ළඟ පිහිටි රජයේ බැංකු තුනක් ආසන්නයට පැමිණ නැවත හරවාගෙන යන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි. එහෙත් ඒ කිසිම සීසීටීවී කැමරාවක එහි අංකය නිසි ලෙස සටහන් වී නොතිබිණි. දඹුල්ල ප්‍රදේශයේ පන්නම්පිටිය හන්දියේ ඉන්ධන පිරවුම්හලක සීසීටීවී කැමරාවක දර්ශනයක එම වෑන් රථයේ අංකය තිබී සොයාගැනීමට පොලිස් නිලධරයන්ට හැකි වූයේ දැඩි වෙහෙසක ප්‍රතිඵලයක් ලෙසය.
එම වෑන් රථය ගැන තොරතුරු සොයද්දී වැඩිදුරටත් හෙළි වූයේ එය කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පුරාණ රජමහා විහාරයක හිමිනමක සමඟ මේ වෑන් රථයේ හිමිකරුට සබඳතාවක් ඇති බවයි. ලග්ගල පොලිස් නිලධාරින් එම විහාරස්ථානය අවට සැරිසරමින් අවේක්ෂණ රාජකාරියේ නිරත විය. ඒ අතරේ වෑන් රථයේ හිමිකරු ගැන වැඩි තොරතුරුද සොයා ගැනිණි. ඔහු පොල්පිතිගම ප්‍රදේශයේ රසායන ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකි.
තොරතුරුකරු ලබා දුන් තොරතුරු තිර ලෙසටම නිවැරැදි ද යන්න පොලිසියට ප්‍රහේලිකාවක් පවතිද්දී පොලිස් නිලධාරින් සිදුකළ විමර්ශනයෙන් අනාවරණය වූයේ විහාරස්ථානයේ වැඩසිටින හිමිනමක සහ වෑන් රථයේ හිමිකරු අතර පවතින සබඳතාව සත්‍ය බවයි.
විහාරස්ථානය ගැන වැඩිදුරටත් සොයා බලද්දී විහාරස්ථානයේ සිටින පොඩිනම ගිහියන් කිහිපදෙනෙක් ළඟින් ඇසුරු කරන නිසා එම ගිහියන් විහාරස්ථානයට වෙලාවක්-අවෙලාවක් නොමැතිව නිතර යන-එන බවත් එම පිරිස නිතර විහාරස්ථානයේ රැඳී සිටින බවද හෙළි විය. එලෙස එම විහාරස්ථානය සහ වෑන් රථය ගැන තොරතුරු හෙළි වෙද්දී සොරකමට අදාළව තොරතුරුකරුවකුගෙන් ලද තවත් තොරතුරක් මත කුරුණෑගල ප්‍රදේශයේ අයෙක් අත්අඩංගුවට ගැනිණි.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිදරව් වූ තොරතුරු මත ලග්ගල පොලිස් නිලධාරින් ඉකුත් නොවැම්බර් 28 වැනිදා අලුයම එක පමණ වෙද්දී මාවතගම අදාළ විහාරස්ථානයට ගොස් රැකවල්ලා සිටියේ හිමිනම සහ විහාරස්ථානයේ රැඳි සිටින බවට තොරතුරු හෙළිවූ ගිහියන් පිරිස අත්අඩංගුවට ගැනීමටය. පොලිසියට තොරතුරු ලැබී තිබුණේ විහාරස්ථානයේ ඉහළ මහලක එම පිරිස රැඳී සිටින බවයි. එම මහලේ අදාළ කාමරය වටලන්නේ ඉන් පසුවය. පොලිස් නිලධාරින්ට හොඳින්ම තේරුම් ගොස් තිබුණේ එම කාමරය තුළ කිසියම් පිරිසක් සිටින බවයි. එම කාමරයේ දොරට තට්ටු කළ පොලිස් නිලධාරින් ‘අපි පොලිසියෙන්‘ යැයි කියමින් කතා කළද කිසිවකු එළියට එන බවක් පෙනෙන්නට නොවීය. ඒ වන විට එම වැටලීමට මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක්ද එතැනට පැමිණ මනා සහායක් ලබා දෙමින් සිටියේය. එහෙත් කාමරය තුළින් කිසිම ශබ්දයක් නොවීය. විහාරස්ථානයේ නැවතී සිටින වයස අවුරුදු 18ක පමණ තරුණයකු පොලිසියට පැවසුවේ දවල් කාලයේ තුන්හතර දෙනෙකු විහාරස්ථානයේ සිටි බවකි. විහාරස්ථානයේ නායක හිමිනම 70 හැවිරිදිය. උන්වහන්සේ ශ්‍රවණාබාධයකින් පෙළේ. කාමරයේ දොර විවෘත කරගැනීමට නොහැකිව පොලිස් නිලධාරින් පැය දෙක තුනක් පමණ එළියට වී සිටියදී නායක හිමි මැදිහත් වී පිරිස රැඳී සිටින බවට සැක කළ එම කාමරය විවෘත කෙරිණි. එහෙත් එම කාමරය පරීක්ෂාවේදී පොලිස් නිලධාරින්ට හැඟී ගියේ කිසියම් පිරිසක් එහි රැඳී සිට පලාගොස් ඇති බවය. පොලිස් නිලධාරින් සියලු වෙරවීර්ය දැරුවේ එම කණ්ඩායම කොටුකර ගැනීමටයි. එහිදී එම කාමරයෙන් නිවසේ වහලයට ගොඩවීමට ඉඩ ප්‍රස්ථාව තිබිණි. එලෙස පිටව යා හැකි ස්ථානයක සිවිලිම තුළ 42 හැවිරිදි හිමිනම සැඟවී සිට අත්අඩංගුවට ගන්නේ අනතුරුවය. ඒ අතර සිටි ගිහි පිරිසගෙන් අයෙක් වූ හිමිනමගේ වැඩිමහල් සහෝදරයා රේවත රණවීර ද අත්අඩංගුවට ගැනිණි. ඔහු 48 හැවිරිදිය. ඊට අමතරව එලෙස සැඟවී සිටි සුරංග නමැත්තා ද අත්අඩංගුවට ගත්තේය.
ඊට අමතරව කොල්ලයට ගිය වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ එහි හිමිකරු ද එදිනම පොල්පිතිගමදී අත්අඩංගුවට ගැනිණි. ඔහු කෙමිකල් වෙළෙඳසලක් පවත්වාගෙන ගිය පුද්ගලයාය. තවද එදිනම සොරකමට සම්බන්ධ මනුජ නමැත්තා ද අත්අඩංගුවට ගත්තේය. ඔහුද විහාරස්ථානයට ආසන්නව පදිංචිව සිටි අයෙකි. ඒ අනුව ලග්ගල මැණික් ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑමට සම්බන්ධ සයදෙනෙකු ඒ වන විට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් ඔවුනගෙන් ප්‍රශ්න කරද්දී හිමිනම සහ හිමිනමගේ සහෝදරයා, සිදු කළ කොල්ලය ගැන අකුරක් නෑර කියන්නට වූයේය.
“සර්… අපි මුලින්ම ලග්ගල පැත්තේ ගේමක් දෙන්න ගියේ හත්වැනිදා… බැංකුවක් තමයි අපේ ටාගට් එක වුණේ… ඒත් පොලිසිය ළඟම නිසා… බැංකු තුනක්ම ළඟම තිබුණ නිසා ඒවයේ සිකුරිටිලා හිටපු හන්දා ඒ වැඩේ අතැරියා… පස්සේ තමයි අපේ කළුගඟේ යාළුවා… ඔය කියන ගෙදර පැත්තට අපිව එක්ක ගියේ… එයා ඒ ගෙදරට ගියපු වෙලාවක ඔය කෝටි ගණනක මැණික් දැකලා තියෙනවා… 7 වැනිදයින් පස්සේ 10 වැනිදා අපි කට්ටිය වෑන් එකෙන් ගියා ගෙදරට පනින්න… පස්දෙනෙක් ගෙදරට ගියා… එක්කෙනෙක් ගෙදරින් එළියේ හිටියා…“ යැයි ඔවුහු මුලින්ම කීහ.
ඒ අනුව ඔවුන්ගේ පාපෝච්චාරණ අනුව මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැන තිබුණේ හිමිනමගේ සහෝදරයා,රේවත සුරංග, මනුජ සහ යුද හමුදාවෙන් පලා ආ දෙදෙනෙකි. නිවසින් පිටත රැඳී සිට ඇත්තේ කැකිරාවේ අයෙකි.
එම වෑන් රථයෙන් එදින හිමිනමද ගොස් තිබිණි. වෑන් රථයේ හිමිකරු රියැදුරු ලෙස කටයුතු කෙළේය. අනතුරුව වෑන් රථයේ ගිය එම පිරිස නිවසට ආසන්නයේ බස්සවා වෑන් රථය මාවතගම විහාරස්ථානයට පැමිණියේ හිමිනම සමඟිනි. කොල්ල කල්ලියේ සයදෙනා කොල්ලයෙන් පසු සුසන්තගේ කාරයෙන් පැමිණෙද්දී දෙදෙනා බැගින් තැනින් තැන බැස බස්රථවලට නැඟී විහාරස්ථානයට පැමිණියහ. එහිදී කාරය පැදවූ තැනැත්තා සහ තවෙකෙක් එම කාරය තලකිරියාගම පාලම අසල දමා බසයකට නැඟී විහාරස්ථානයට පැමිණ තිබිණි.
එම පිරිසේ පාපෝච්චාරණ අනුව තවත් අයෙක් අත්අඩංගුවට ගැනිණි. ඔහු මනුජ විසින් රුපියල් ලක්ෂ 9කට මැණිකක් විකිණූ දඹුල්ලේ අයෙකි.
“තමුන්ලා ඇයි මෙහෙම රොබරියක් දුන්නේ…?“ යැයි පොලිසිය අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු ලෙස හිමිනම පැවැසුවේ, “මහත්තයෝ… අපි නිදන් හාරලා අහුවුණා… ඊට පස්සෙ මිනිස්සු රට යවන බිස්නස් එකක් කළා… අන්න ඒවට මම සෑහෙන්න ණය වෙලා නොයෙක් ප්‍රශ්නවලට මූණ දීලා ඉන්නේ… ඒ ණය ටික පියවන්න තමයි මේ දේ කළේ…“ කියාය.
ලග්ගල පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මේ කණ්ඩායම මීට පෙරද කුරුණෑගල ප්‍රදේශයේ මෙවැනි කොල්ලකෑම් තුනහතරක් සිදුකර ඇති බවයි. එම නිසා මෙකී කොල්ල කල්ලිය මෙය පුරුද්දක් ලෙස කරන කොල්ලකෑම් බවද හෙළි විය.
අත්අඩංගුවට ගත් එම පිරිසට අමතරව සොරකම් කරන ලද රත්රන් මිලදී ගෙන උණු කරන ලද කුරුණෑගල දෙදෙනෙක් සහ මැණික් ව්‍යාපාරිකයාගේ පාසල් මිතුරෙක් ද අත්අඩංගුවට ගැනිණි. ඔහු ඉකුත් දිනෙක එම නිවසට ගිය විට මැණික් ව්‍යාපාරික සුසන්තට අයත් කෝටි ගණනක මැණික දුටු කළුගඟ පුද්ගලයායි. ඔහු ඉකුත් දිනෙක සුසන්තගේ නිවසට ගොස් ඇත්තේ වකුගඩු සැත්කමකට ආධාරයක් ඉල්ලාගෙනය. කෝටි ගණනක මැණික සහ නිවස ගැන තොරතුරු දී ඇත්තේ ඔහු බවට හෙළි වේ. එසේම මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින කොල්ලය සඳහා නිවසට ගිය යුද හමුදාවේ දෙදෙනා සහ නිවසින් පිටත සිටි කැකිරාවේ පුද්ගලයා සමඟ සබඳතාවක් තිබී ඇත්තේ මොහුට බවට ද හෙළි වේ.
අත්අඩංගුවට ගත් තවත් අයෙක් වූයේ කෝටි ගණනක මැණික බේරුවලදී මිලදී ගත් ගාල්ලේ පුද්ගලයාය. ඊට අමතරව විල්ගමුවේ පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනිණි. ඔහු ජගත්ය. එම පුද්ගලයා ද මේ සොරකමට තොරතුරු ලබා දුන් අයෙකි. ජගත්ට හිමිනම දැනහඳුනා ගැනීමට හැකිවී ඇත්තේ සරණක් පතා විහාරස්ථානයේ තිබෙන දේවාලයට ගුරුකමක් සඳහා ගිය විටෙකදීය. එහෙත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වන්නේ විහාරස්ථානයේ එවැනි දේවාලයක් හෝ හිමිනම ගුරුකම් වැනි දෑ සිදු නොකරන බවය.
කොල්ලය සඳහා නිවසට ගිය පස්දෙනාගෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිදෙනෙකි. අත්අඩංගුවට ගැනීමට සිටින දෙදෙනා අතර හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබළෙක් සහ තවත් යුද හමුදා සෙබළෙක් වේ. එසේම නිවසින් පිටත සිට තොරතුරු ලබාදුන් කැකිරාවේ අයෙක් ද අත්අඩංගුවට ගැනීමට සිටී. කොල්ලකෑ රුපියල් කෝටි ගණනක මැණික්, රත්රන් සහ මුදල් රැගෙන මාවතගම විහාරස්ථානයට ගිය පිරිස විහාරස්ථානයේදී සියල්ල පරීක්ෂා කළහ. එලෙස සොරකම් කළ දෑ පරීක්ෂා කරද්දී පිරිස අතර යම් යම් මත ගැටුම් පැන නැඟි ඇත්තේ එකිනෙකා සුසන්තගේ නිවසින් කොල්ලකෑ සියල්ලම එම ස්ථානයේ පරීක්ෂාවට නොදා යටිමඩි ගැසීම නිසාය. එලෙස යටිමඩි ගසන ලද මැණික් ගලක් මනුජ නමැත්තා රුපියල් ලක්ෂ නවයකට විකුණා තිබියදී මැණික මිලදී ගත් දඹුල්ලේ පුද්ගලයා සමඟ මැණික පොලිස් අත්අඩංගුවට ගැනිණි. විහාරස්ථානයේදී පිරිස මුදලින් රුපියල් ලක්ෂ 7 බැගින් බෙදාගෙන තිබිණි. පසුව රත්රන් විකිණීමෙන් ද මුදල් බෙදා ගැනිණි. හිමිනම ඇතුළු කණ්ඩායම කෝටි ගණනක මැණික විකිණීමට බේරුවලට ගිය ද පළමු දින එය විකුණාගත නොහැකි වී තිබේ. දෙවැනි දින එම මැණික විකිණීමට බේරුවලට ගොස් තිබුණේ මනුජ, අත්අඩංගුවට ගත් කළුගඟ පුද්ගලයා සහ මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින තිදෙනාය. දෙවැනි දින බේරුවලදී, ගාල්ලේ පුද්ගලයකුට මැණික විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ 78කටය. එම මුදල බෙදාගෙන ඇත්තේ මැණික විකිණීමට ගිය කණ්ඩායම පමණි.
එම මැණික මිලදී ගත් ගාල්ලේ පුද්ගලයා ද මැණික් ගල සමඟ අත්අඩංගුවට ගැනිණි. ඒ වන විට මැණික් ගල ඔප දැමීම සඳහා කොටස් හතකට කපා තිබිණි. එම කොටස්ද පොලිසිය සොයා ගත්තේය. අත්අඩංගුවට ගත් අය අතර රත්රන් උණු කළ දෙදෙනා සන්තකයේ තිබී සොරකම් කරන ලද රත්රන් පවුම් හතක් ද සොයා ගැනිණි.
කොල්ලකෑ මුදල්වලින් වාහනයේ රියැදුරු නිවසට රුපියල් ලක්ෂ ගණනක තිර රෙදි මිලදී ගෙන තිබිණි. පිරිස සොරකම සඳහා සුසන්තගේ නිවසට රැගෙන ගොස් තිබුණේ ප්ලාස්ටික් පිස්තෝලයකි. මෙතෙක් අත්අඩංගුවට ගත් මේ කොල්ලකරුවන් කිසිවකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නොවීම ද විශේෂත්වයකි. පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා කොල්ලකරුවන් කොටුකර ගැනීමට පොලිසිය දැඩි වෙහෙසක් ගත්තද මේ කොල්ලයට සම්බන්ධව සැකකරුවන් අනතුරුව ලග්ගල පොලිස් නිලධාරින්ම කළ දීර්ඝ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි පී.කේ. රත්නායකගේ අධීක්ෂණයෙන් ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පත්මරාජගේ මෙහෙයවීමෙන් ලග්ගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චරිත් අනුරාධ, පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර, සැරයන්වරුන් වන 24751කුමාරසිංහ, 21662 රංජිත්, 39203 ලිවේරා, 79500 ජයන්ත, කොස්තාපල්වරුන් වන 87184 රාජපක්ෂ, 82287 අජිත්, 83098 වීරකෝන් යන නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.
අමිල මලවිසූරිය