මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලළේ හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනා ගත්තේ ප්‍රවීණ කිවිවර ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි විසින් රචිත’ බොහීමියන් සාංකාවෙ ලුම්පන් සහ බුර්ෂුවා’ නම් කාව්‍ය සංග්‍රහයයි.
දශක කිහිපයක් තිස්සේ නිර්මාණ කාර්යයේ යෙදෙන ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කාව්‍ය කෘති 29ක්, නවකතාවක්, කෙටිකතාවක් සහ විද්‍යා ප්‍රබන්ධ දෙකක් ඇතුළුව මේ වන විට කෘති 35ක් ප්‍රකාශයට පත් කර ඇත. ‘බොහීමියන් සාංකාවෙ ලුම්පන් සහ බුර්ෂුවා’ නම් කාව්‍ය සංග්‍රහය ඔහු විසින් රචිත විසිපස් වැනි කාව්‍ය කෘතියයි. සිංහල කවිය තුළ අනන්‍ය වූ අපූර්වතම සලකුණක් සටහන් කළ ආචාර්ය කුමාර හෙට්ටිආරච්ච් සිය ලිවිසැරියේ අතීතය ස්මරණය කළේ බොහෝ තුටිනි.
“මම ඉගෙන ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ. තුනේ පන්තියේ ඉඳන් කවි ලියන්න පටන් ගත්ත මම නොනැවතී කවි ලිව්වා. වයස අවුරුදු පහළොවේදී මහගම සේකරයන්ගේ ප්රබුද්ධ පොත පිටවුණාම මම ඒක බලලා ප්රශස්ති නමින් කවි පොතක් ලිව්වා. දිගින් දිගටම මම ලියූ කවි විශාල සංඛ්‍යාවක් ජාතික සහ ළමා පත්තරවල පළ වුණා.”
කවියට ළෙන්ගතු මේ තරුණයා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා ඇතුළත් වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයටය. ඒ, 1984 වසරේදීය
“ඒත් කවියට බැඳුණු ප්‍රේමය මගේ හිතින් ඉවත් වුණේම නෑ. පළමු වසරේ ඉන්නකොට මට හිතුණා කවි පොතක් කරන්න. නමුත් මම ලියන කවි හොඳද කියල චකිතයක් තිබුණ නිසා මම ලියපු කවි ටිකක් ෆයිල් එකක දාගෙන බොහොම බයෙන් බයෙන් කලා පීඨයේ සිංහල අංශයට ගිහින් එකල රටේ සුපතළ මහාචාර්යවරුන් වූ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය පුංචිබණ්ඩාර මීගස්කුඹුර, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම, මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු, මහාචාර්ය ආනන්ද කුලසූරිය හමුවෙලා මගේ අවශ්‍යතාව කිව්වම “තමුසෙ ඔය ටික දීලා යනවා, ලබන සඳුදා එනවා” කියලා ඔවුන් කිව්වා. ඊළඟ සතියේ මම ගියාම බොහොම ආදරයෙන් මාව පිළිඅරගෙන මගේ කවි අගය කරමින් දිගටම කවි ලියන්න මාව ධෛර්යමත් කළා. ”
ඒ ඇගැයීමේ ප්‍රතිඵලයක් ලෙස කුමාර හෙට්ටිආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය ‘සක්මන් මළුව’ 1985දී මුද්‍රණයෙන් එළිදැක්වීය. එතැන් සිට දේශන පවා මඟහරිමින් නිතරම කලා පීඨයේ කරක් ගහන ඔහු දිගින් දිගටම කවියටම ඇලෙමින් සිය දෙවැනි කාව්‍ය කෘතිය ‘භෂ්මාව ශේෂ’ ලියන්නේ දින දෙකකිනි. තෙවැනි කෘතිය වූ ‘මහද්වීපය’ ඔහු ලියන්නේ දින හතරකිනි. පස්වැන්න ‘සදාකාලික මධ්‍යහ්නය’ ලියන්නට ඔහුට ගත වූයේ දින පහක් පමණි. ඒ, පස්වැනි පොත මේ කවිකාර යෞවනයාට 1992 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර දුන්නේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙස ලබාගත් ඒ සම්මානය පිළිබඳ මතකය අදටත් ඔහු සිහි කරන්නේ ආනන්දයෙනි.
” මගේ ඒ මුල් කවි පොත් පහටම විශේෂත්වයක් තියෙනවා. ඒ පොත් පහ කරන්න තාත්තා මට සල්ලි දුන්නේ ඉමදූවේ අපේ මහගෙදර වත්තේ තිබුණු කොස් ගස් කපලා විකුණලා. පොත් පහට කොස් ගස් පහක් කැපුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කියන විදිහට මගේ තවත් වාර්තාවක් තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ අවසන් වසරේ සිසුවෙක් විදිහට මම ප්රවේණි විද්‍යාව විෂයයට විභාගය ලියද්දි අනිත් පැත්තේ ශාලාවක කලා පීඨයේ ළමයි සිංහල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියනවා. විභාගෙ ලියලා ඉවර වෙලා මම ශාලාවෙන් එළියට බැස්සාම කලා පීඨයේ පිරිමි ළමයි ටිකක් ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලලා හොල්ලලා කිව්වා, උඹ තමයි මිනිහා කියලා. බලනකොට එයාලගේ සිංහල ප්‍රශ්න පත්‍රයේ පළමු වැනි ප්‍රශ්නයට මගෙ කවියක් තිබිලා තියෙන්නෙ. “ඔහුට ඒ අතීතය ද කවියක් තරම් මිහිරකි. කාව්‍යකරණය මෙන්ම චිත්‍ර ඇඳීමටත් සමත් හෙතෙම පැවසුවේ ඒ සියල්ල තමාට දායාද වූයේ විදුහල්පතිවරයකු වූ කේ.එම්.ජේ. හෙට්ටිආරච්චි නම් තම පියාගෙන් බවය. එහෙත් තමාගේ ජීවිතයට එඩිතර බව ලැබුණේ ගුරුවරියක වූ සිය මව කාරියවසම් පතිරණගේ ඇලිස් නෝනාගෙන් බව ඔහු සිහි කළේ බොහෝ කෘතවේදීවය. ඒ එඩිතර බව ආචාර්ය කුමාර හෙට්ටිආරච්චිගේ කාව්‍ය නිර්මාණ තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි.
“මම ඉතාම ගරු කරන ප්‍රවීණ ගත්කතුවර ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මැතිතුමා මාව හඳුන්වන්නේ සිංහල කවියේ මැර කවියා කියලා. කවිය කියන්නේ මොකක්ද කියල අදටත් මම දන්නෙ නැහැ. මම කවදාවත් කවිය හදාරලා නැහැ. මැරෙනකම්ම හදාරන්නෙත් නැහැ. හැදෑරුවොත් මට කවිය අහිමි වෙයි කියලා බයක් තියෙනවා. මගේ ලොකුම සිහිනය වුණේ සිනමාකරුවකු, චිත්‍රපට අධ්යක්ෂවරයකු වීමයි. නමුත් මට ඒක මඟහැරුණා.”
එසේ කීවද ඔහුගේ කවි කියවන රසිකයාට සිතෙන්නේ ඔහුගේ ඒ සිහිනය පළ දරා ඇති බවකි. ජීව ගුණයෙන් පිරිපුන් ඔහුගේ කවි පන්තියක පදයක් පදයක් ගානේ ඔහු රසික මනසේ රූප පෙළ ගස්වන්නේ ප්‍රවීණ සිනමාකරුවකු සේ සියුම්වය; පරෙස්සමටය.
“ඔබ කිව්වා හරි. මම ඒක තමයි කරන්නේ. චිත්‍රපටයක් කරන්න මගේ ඔළුවේ තිබුණු දේ තමයි භෂ්මාව ශේෂ පොතෙන් පිට කළේ. මට දැනෙන විදිහට මගේ ඔළුවේ ඉන්නවා මහා පුරුෂයෝ පස් දෙනෙක්. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, මහගම සේකර, සයිමන් නවගත්තේගම, ධර්මසේන පතිරාජ කියන්නේ මගේ පංච මහා පුරුෂයන්. ඒ නිසාම මගේ කවිය ආවේ සිනමාවෙන් කියලා මම විශ්වාස කරනවා.”
මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් ‘ බොහීමියන් සාංකාවෙ ලුම්පන් සහ බුර්ෂුවා’ කාව්‍ය සංග්‍රහය ගැන නොවිමසුවොත් එය මේ කතාබහට අඩුවකි.
” මේ කෘතිය උදිත අලහකෝන්ගේ නයින් පබ්ලිෂින් ප්රකාශනයක්. කවරය නිර්මාණය කළේ විකුම් ජිතේන්ද්‍ර. මේ කෘතියට කවි 44ක් ඇතුළත්. අප මේ ලෝකයේ අත්දකින සිද්ධාන්ත සියල්ල පරම සත්‍ය නොවෙයි කියලා මම විශ්වාස කරනවා. අපි සම්මුති සත්‍යයන් රාශියක් මැද ජීවත් වන අසරණ ප්‍රාණකාරයෝ පමණයි. ඒ ප්රාණකාරයන්ගේ හෘදය සාක්ෂිය මේ පොතේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. 88-89 කාලයේ භීෂණයට මුහුණු දුන් මම ජීවිතය බේරගන්න රස්තියාදු ගහද්දි ලංකාවේ හිටපු හොඳම බොහීමියානුවකු වන සයිමන් නවගත්තේගම මහත්මයා ඉතාම සමීපව ඇසුරු කරන්න ලැබුණා. ඒ බොහීමියානු ජීවිතයට මම හරිම ආදරෙයි. ඒ වගේ නවකතාවක් ලියන ආසාවකුත් මගේ හිතේ තියෙනවා.”
සුරේකා නිල්මිණි ඉලංකෝන්