Home » උතුම් සිරිපා වන්දනාවේදී බැතියෙන් කළ යුතු වත් පිළිවෙත්

උතුම් සිරිපා වන්දනාවේදී බැතියෙන් කළ යුතු වත් පිළිවෙත්

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

– උඳුවප් පෝයදා සිරිපා වන්දනාව ඇරඹුණා
– ශ්‍රී පාද වන්දනාව සිදුකළ යුත්තේ ඉතාම භක්තියෙන්
– සමන් දෙවිඳුගේ අඩවියේදී සිදු කළ යුතු පුද පූජා ගැනත් දැන ගන්න

හා බලසම්පන්න උතුම් සිරිපා වාරය මෙවරත් සීතල උඳුවප් පොහොයෙන් ඇරඹෙන වගයි. නවග්‍රහ අපල, විවාහ, රැකියා, දූ දරු සම්පත අහිමිවීම සහ ජීවිතයේ ඕනෑම දුක් කම්කටොළුවලට දිව ඔසුවක් බඳු සිරිපා වන්දනාව නිවැරැදිව සිදු කරන අයුරු දැනගන්න. මේ ලිපිය කියවන ඔබත් ඉතා පින්වන්තයෙක් බව කිව යුතුමයි.

තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වන්දනා මාන කරන උතුම් සමන් දෙවිඳුගේ ජීවමාන විමානය තුළ ඉත සිතින් නිවැරැදිව සිරිපා වන්දනාවේ නිරතවන බැතිමතුන්ගේ කරුණු කාරණා ඉෂ්ට වන බව නම් අත්දුටු කාරණාවක්.

පැරන්නන් තම දේපොළ පවා ඊළඟ පරම්පරාවට ලියා, පවරා තබා සිරිපා වන්දනාවේ නිරත වන්නේ එය ගිරි ශිඛර පසු කරමින් යන අතිදුෂ්කර ගමනක් වන බැවිනි. කිසිම විටෙක කට වරද්දා ගැනීම නුසුදුසු හෙයින් බුදුගුණ සිහි කරමින් “අපේ බුදුන් අපි වඳිනවා” යන පාඨය කියමින් පා නැඟිය යුතුයි. එය මාගේ සුවිශේෂ අත්දැකීමයි.

ශ්‍රී පාද වන්දනාවට දින 07 කටවත් පෙර නිර්මාංස විය යුතුයි. ප්‍රථමවරට සිරිපා වන්දනා කරන අය හඳුන්වනුයේ ‘කෝඩුකරුවන්’ යන නාමයෙනි. එහිදී කුඩා දරුවන් ‘කිරි කෝඩු’ , තරුණ වයසේ අය ‘නාඹර කෝඩු’ වශයෙනුත් මහලු වැඩිහිටි අය ‘දඬු කෝඩු’ වශයෙනුත් හඳුන්වනු ලබයි.

බුදුන් වහන්සේගේ පාද පත්මය වැඳ පුදා ගන්නට යන කණ්ඩායම හඳුන්වන්නේ “නඩය” ලෙසය. උතුම් ශ්‍රී පාදය වන්දනාව පිණිස යන ගමන හඳුන්වන්නේ “කරුණා කිරීම” වශයෙනි. ‘නඩය’ හසුරුවන ඉතා භාග්‍යසම්පන්න අයෙකු ඇත. ඔහු “නඩේ ගුරා” ලෙස හඳුන්වයි. ශ්‍රී පාදය කරුණා කිරීමට ප්‍රථම තමාට ළඟම විහාරස්ථානයට ගොස් සුදුමල් වට්ටියක්, තෙල් සුවඳ දුම් සහිත ගෞරවනීය පූජාවක් තබන්න. “උතුම් පාද පද්මය කිසිම අතුරු අන්තරාවකින් තොරව වැඳ පුදා ගැනීමට ලැබේවායි ” සමන් දෙවිඳුට පින් දී උන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න. ආශීර්වාද ගන්න.

ඔබ රැගෙන යන අත්‍යවශ්‍ය දේ ඇතුළත් බෑගය එකල හැඳින්වුයේ “සැහැල්ලුව” නමිනි.

මෙතුල බීමට ජලය අඩංගු බෝතලයක්, ඉදිකටුවක්, නූල් බෝලයක්, දෙහි ගෙඩි ටිකක්, කහ කැබැල්ලක්, සීතලට අඳින කබායක්, පිරිසිදු සුදු ඇඳුමක්, කෝපි සහිත උණුසුම් බෝතලයක්, අග්ගලා, හුණු, රසකැවිලි, බිස්කට් සහ දෙහි, කහවලින් සේදු පඬුරු, සුදු රෙදි කැබැල්ලක් ඇතුළු අත්‍යවශ්‍ය දේ එක්රැස් කර ගන්න.

පේවුණු වන්දනා නඩය ඉතා භක්තියෙන් යුතුව ගිරි ශිඛරයේ ප්‍රථම කොටස වන නල්ලතන්නියේ කල්ප රුක්ෂ විහාරයට ගොස් මල් පූජා කර, පහන් පත්තු කර බුද්ධ වන්දනාවේ නිරත විය යුතුය. මෙතැනදී ද උතුම් සමන් දෙවිඳුට පින් දීමද කළ යුතුයි. අනතුරුව කෙහෙල්ගමුව විශ්‍රාම ශාලාව අසල ඇති සමන් දෙවිඳුගේ දේවාලයට ගොස් නිවෙසින් ගෙනා පඬුරක් සමන් දෙවිඳුට කැපකොට සුදු රෙදි කැබැල්ලේ ගැට ගසා “කිසිම ආපදාවක් නොවේවා” යි අධිෂ්ඨානශීලිව භාර වන්න.

අනතුරුව සීත ගඟුල ප්‍රදේශයේදී දෙහි සහ කහ යොදාගෙන ස්නානය කර සුදු ඇඳුමින් සැරසෙන්න. පළමුවරට කරුණාකරන ‘කෝඩුකරුවන්’ ඉදි කටු පානේදී ඉදිකටුවට නූල දමා “මාගේ දෑස් මේ විස්මිත ගෞරවනීය පාදපද්මය දැක බලා ගැනීමට ශක්තිමත් වේවායි” සිතන්න. නූල ඉහළට ඇදගෙන ගොස් ගැට ගසන්න.

දොළොස් මහා පහනට තෙල් දමා ජීවිතයේ ආලෝකය ප්‍රාර්ථනා කරන්න. මහ ගිරි දඹය නම් ප්‍රදේශයේදී අග්ගලා අනුභව කොට කෝපි පානය මැනවි.

ඇහැළේ කණුවේදී තම ඇඟිල්ලේ හුණු තවරා “සියලු පවින් වැළකෙන බවට පොරොන්දු වී දිවුරුම් දීම කරනු ලැබේ.

ඔබ දැන් උතුම් පාද පද්මය ඉතා ගෞරවයෙන්, භක්තියෙන් නළල තබා වැඳ පුදා ගන්න. මෙතනදී ඔබේ ඕනෑම යහපත් කාරණාවක් අදිටන් කොට සත්‍ය ක්‍රියා කරන්න. එය අනිවාර්යයෙන් ඉටුවනවාමයි. අනතුරුව අතේ බැඳි පඬුර නිදහස් කරන්න.

අනතුරුව ඔබ පැමිණි වාර ගණන ගණ්ඨාර ගසා නාද කරන්න. ඉහළට යන විට මකර තොරණ, ජපන් සාම විහාරය, සංඛලෙන, භගවා ලෙන යන ස්ථානද නරඹන්න අමතක නොකරන්න. උතුම් බුදුන් වැඩි මේ පින් බිම අපවිත්‍ර නොකරන්න. මේ පින් බිම වැඳ පුදා ගන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති 
ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division