සමාජය සංකීර්ණ වන තරමට, මිනිසුන් කාර්යබහුල වන තරමට ආහාර සංස්කෘතිය ද සංකීර්ණ වෙමින් තිබේ. විශේෂයෙන් උත්සව සමයේදී බොහෝ දෙනකු වැඩි වශයෙන් ක්ෂණික ආහාරපාන භාවිතය කෙරෙහි නැඹුරු වන බවක් දක්නට ලැබේ. මෙම පහසු විකල්ප ආහාර අද වන විට බොහෝ නිවෙස්වල ප්‍රධාන ආහාරය බවට ද පත්ව ඇත.
ලෝකයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ වර්ගයේ ක්ෂණික ආහාර පරිභෝජනය වර්ධනය වෙමින් පවතී. මිනිසුන්ගේ ජීවන රටාවේ සහ ආහාර පුරුදුවල වෙනස්වීම් සහ සංක්‍රාන්ති නිසා, විවිධ වයස් කාණ්ඩවල, විශේෂයෙන් නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ක්ෂණික ආහාර පරිභෝජනයට නැඹුරු වී සිටිති. ක්ෂණික ආහාර හෝ කෙටි ආහාර රටින් රටට හා කලාපයෙන් කලාපයට යම් විචල්‍යතාවයක් දක්වයි. ශ්‍රී ලංකාව තුළ බහුලව පරිභෝජනය කරන කෙටි ආහාර පහත ආකාරයට වර්ග කළ හැකිය.
බහුලව පරිභෝජනය කරන කෙටි ආහාර
ගැඹුරු තෙලේ බදින ලද ක්ෂණික ආහාර (වඩේ, කට්ලට්, රෝල්ස්,සමෝසා), රාත්‍රී, සවස් ආපනශාලා ආශ්රිත පිටිවලින් සකසන කෙටි ආහාර (පරාටා, බිත්තර රොටී, කොත්තු රොටි, එළවළු රොටි, ආප්ප, බිත්තර ආප්ප), සම්ප්‍රදායික කෙටි ආහාර (කැවුම්, කොකිස්, ආස්මි, හැලප, අලුවා, ලැවරියා, අග්ගලා, අතිරස, වණ්ඩු), ජනප්‍රිය වීදි ක්ෂණික ආහාර (ඉස්සෝ වඩේ, උළුදු වඩේ, උම්බලකඩ වඩේ, පැටිස්, බැදපු රට කජු, මුරුක්කු, තම්බපු කඩල), ජාත්‍යන්තර සන්නාම සහිත බටහිර විලාසිතාවේ ක්ෂණික ආහාර අවන්හල් මඟින් අලෙවි වන බර්ගර් වර්ග, කුකුල් මස් නිෂ්පාදන එනම් චිකන් නගට්, චිකන් සැන්ඩ්විච්, ග්රීල්ඩ්, ෆ්‍රයිඩ් රෝස්ට් චිකන්, චිකන් මැක්නගට්ස්, චිකන් ස්ටාර්ස්, ඩ්රමිස්ටික්ස්, පීසා, සැන්ඩ්විච්, ෆ්‍රෙන්ච් ෆ්රයිස්), උදෑසන කෙටි ආහාර (බ්‍රෙක්ෆස්ට් සීරියල්ස්, හෑෂ් බ්‍රවුන්ස්, මෆින්ස්), එළවළු හෝ මස් අඩංගු සලාද, පිපුම්කාරක යෙදූ පිටි සහිත ආහාර (පාන්, බනිස්, කේක්, පේස්ට්‍රි), බිස්කට් වර්ග, කුකීස් වර්ග, කිරි ආශ්රයෙන් සැකසූ ආහාර (යෝගට්, මුදවපු කිරි, චීස්, මිල්ක් ෂේක්, චොකලට් ෂේක්, අයිස්ක්‍රීම්), නැවුම්, ටින් කළ හෝ වියළන ලද පලතුරු (රටඉඳි, මුද්දරප්පලම්) සහ වෙනත් ආහාර (තල කැරලි, මාස් මෙලෝස්, පොප් කෝන්ස්, කජු) එවැනි ආහාරවලට උදාහරණ වේ.
කෙටි ආහාර ජනප්‍රිය වීමට හේතු
කෙටි ආහාර ජනප්‍රිය වීමට හේතු වන්නේ ඒවා සමාජයේ ඕනෑම අයෙකුට පාහේ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම, ඒවා මිලදී ගැනීම නිවසේ ආහාර පිළියෙළ කිරීමට වඩා ලාභදායී වීම, කාර්යබහුල අයට හා ආහාර පිසීමට මැළිකමක් දක්වන අයට ඉතා පහසුවක් වීම, බොහෝ ක්ෂණික ආහාර පෙර සකසා තිබීම හෝ ඒවා සැකසීමට ඉතා කෙටි කාලයක් ගතවීම, ඒවා ආහාරයට ගැනීමට විශේෂ ස්ථානයක් අවශ්‍ය නොවීම හා ඉක්මනින් ආහාරයට ගත හැකි වීම, ආකර්ෂණීය පෙනුම, ප්‍රසන්න සුවඳ හා ඉහළ රසයකින් යුක්ත වීම, මිලදී ගැනීමට හැකි අලෙවිසැල් සුලභ වීම, එක් වරක් ආහාරයට ගත්විට එහි රසයට ලොල් වීම සහ ඉහළ කැලරි අගයක් ඇති නිසා ප්‍රධාන ආහාරයක් ලෙස වුවද ගත හැකි වීම දැක්විය හැකිය.
කෙටි ආහාර ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඒවායේ පහසුවයි. කාර්යබහුල ජීවන රටාවන් සමඟ, මිනිසුන් නිරන්තරයෙන් ගමන් කරන අතර ඉක්මන් ආහාර විසඳුම් අවශ්‍ය වේ. ඒ අනුව කෙටි ආහාර රසයෙන් හෝ ගුණාත්මක බවින් තොරව කුසගින්න තෘප්තිමත් කිරීමට පමණක් පහසු මාර්ගයක් සපයයි.
කෙටි ආහාරවල අහිතකර බලපෑම
අමෙරිකානු හෘද සංගමයට අනුව, සෞඛ්‍යයට වඩාත්ම අහිතකර ආහාර ලෙස සලකන්නේ අධික ලෙස පෙර සැකසූ ආහාර වේ. පෙර සැකසූ කෙටි කෑම හිස් කැලරිවලින් පිරී ඇති අතර පෝෂණ ගුණයෙන් අඩුය. මෙම ආහාරවල ඇති පිරිපහදු කළ පිටි, සෝඩියම් සහ සීනි මඟින් ඒවා ලෝකයේ ඇති වඩාත්ම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර බවට පත් කරයි.
සෞඛ්‍යසම්පන්න කෙටි ආහාර තෝරා ගන්නා ආකාරය
කෙටි ආහාර තුළ බොහෝ විට ඉහළ කැලරි අගයක් සහිත සෞඛ්‍යයට අහිතකර සංතෘප්ත හෝ ට්‍රාන්ස් මේදය, ලුණු, සීනි, සකසන ලද කල් තබා ගන්නා ද්‍රව්‍ය හෙවත් ආකලන, වර්ණක සහ වෙනත් අහිතකර අමුද්‍රව්‍ය අඩංගු වේ. එහි ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නොමැති තරම්ය. ඊට හේතුව එම ආහාර තන්තු, විටමින් සහ ඛනිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථවලින් ඌන වීමය. ක්ෂණික ආහාර නිතිපතා පරිභෝජනය කිරීමෙන් බර වැඩි වීම, තරබාරුකම, අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, මානසික අවපීඩනය ඔස්ටියෝ පොරෝසිස් මෙන්ම ඇතැම් පිළිකා ආදිය වැලඳීමට පවා දිගුකාලීන බලපෑම් ඇති කරයි.
පෝෂ්‍ය ගුණයෙන් යුක්ත විකල්ප ආහාර තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා විටමින්, ඛනිජ ලවණ, තන්තු සහ සෞඛ්‍ය සම්පන්න මේදවලින් පොහොසත් කෙටි ආහාර තෝරා ගන්න. නැවුම් පලතුරු සහ එළවළු, සම්පූර්ණ ධාන්‍ය (ඔට් මිල්, ආටා පිටි හෝ නිවුඩු සහල්වලින් තැනූ ආහාර), ආමන්ඩ්, කජු, රට කජු, සූරියකාන්ත බීජ ආදී ඇට වර්ග සහ බීජ වර්ග වඩාත් සුදුසු වේ.
නිතරම එකතු කළ සෝඩියම්, සීනි හෝ සංතෘප්ත මේදය අඩු අඩංගු ආහාර තෝරා ගන්න. කෙටි ආහාරයක් සෞඛ්‍යසම්පන්න දැයි ඔබට විශ්වාස නොමැති විට ආහාර අඩංගු ලේබල් කියවා ආහාරවල කැලරි අගය, මේදය හා සෝඩියම් අඩංගු ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබාගෙන වැඩි සීනි හෝ ලුණු සහිත කෙටි ආහාර ගැනීමෙන් වළකින්න. එක් සේවා ප්‍රමාණයකට එකතු කරන සීනි ප්‍රමාණය ග්‍රෑම් 5ට වඩා අඩු කෙටි ආහාර තෝරා ගන්න.
ප්‍රෝටීන් සහ තන්තු බහුල ලෙස අඩංගු ආහාර තෝරා ගැනීම ඉතා වැදගත් වේ. ඒවා කුසගින්න මැඬ පැවැත්වීමට සහ ඔබව තෘප්තිමත් කිරීමට උපකාරී වේ. මිශ්‍ර ඇට වර්ග, ආමන්ඩ්, තැම්බූ බිත්තර, අලිගැට පේර සමඟ සම්පූර්ණ ධාන්‍ය, අඩු මේද යෝගට් (පැණි රස නොකළ හෝ අඩුවෙන් පැණි රස කළ), මී කිරි වැනි ආහාර ඊට උදාහරණය.
එමෙන්ම ආහාර කොටස් ප්‍රමාණය (Portion size) පාලනය කිරීම ද අවශ්‍ය වේ. එම ප්‍රමාණය පාලනය නොකළහොත් සෞඛ්‍යසම්පන්න ආහාර පවා අතිරික්ත කැලරි ප්‍රමාණයට දායක විය හැකිය. හැකිතාක් දුරට කෙටි ආහාර අධික ලෙස ගැනීමෙන් වැළකීමට කුඩා භාජන භාවිත කරන්න. උදාහරණ ලෙස ඇට වර්ග ගන්නා විට අවුන්සයක පමණ කුඩා ප්‍රමාණයක්, කපන ලද එළවළු සහිත කුඩා බඳුනක් භාවිත කරන්න.
කෙටි ආහාර භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු
හැකි සෑම විටම කෙටි, කෙටි ආහාර ගැනීමෙන් වළකින්න. නැතහොත් සෞඛ්‍යසම්පන්න කෙටි ආහාර පමණක් තෝරා ගන්න. කුඩා ළමුන්, ගර්භිණී මවුවරුන් හා දියවැඩියාව, හෘද රෝග, නිදන්ගත වකුගඩු රෝග හා අක්මා රෝග ආදී දිගුකාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ක්ෂණික ආහාර ගැනීමෙන් හැකිතාක් දුරට වැළකිය යුතුය. විශේෂයෙන් වයස අවුරුදු 1ට අඩු දරුවන්ට ලුණු හා සීනි අඩංගු ආහාර නිර්දේශ නොකෙරේ. බොහෝ කෙටි ආහාර තුළ අඩංගු රසකාරක හා ආකලනවල ඇබ්බැහිකාරක හැකියාවක් ඇති බව පර්යේෂණ මඟින් සනාථ කර ඇත. තවද ඒවා මඟින් ළමුන් තුළ චර්යාත්මක වෙනස්කම් ඇති කළ හැකි බැවින් ළමුන්ට ක්ෂණික ආහාර ලබා දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.
ආහාර සුරක්ෂිතතා කමිටුවක්
සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම, අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගීත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්රමුඛ කාර්යයන් වේ.
ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලුම ආයතනයන්හි සහභාගීත්වය සහිත දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයක් තුළින් ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම ලබා දීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැතිගේ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැතිගේ සම සභාපතිත්වයෙන් යුතුව අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව ස්ථාපිත කෙරේ.